රන්ජන් රාමනායක කියලා කියන්නේ පහුගිය කාලේ විවිධාකාර දේශපාලන කතන්දර නිසා ලෙඩ දාගත්ත කෙනෙක්. රන්ජන් හිරේටත් ගියේ දේශපාලනය කරන්න ගිහිල්ලා. හැබැයි රන්ජන් රාමනායකට හොරකම් ගැන, මැරකම් ගැන, දූෂණ ගැන චෝදනා නැහැ. රන්ජන් කරපු වැරැදිවලට රන්ජන් පරිප්පු කාපු අවස්ථා ඕනෙ තරම් අපි දැක්කා. ඒ නිසා රන්ජන්ට දේශපාලනය කරන කොට පරිස්සමට කරන්න ඕනේ, කට පරිස්සම් කරගන්න ඕනේ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ වගේ එකක් සාමාන්‍ය මහජනතාව කියනවා. රන්ජන් රාමනායකට දුරකතන ඇමතුම් ගනිද්දිත්, රන්ජන් රාමනායක එක්ක කතාබහ කරද්දිත්, රන්ජන් රාමනායක එක්ක පුද්ගලික කාරණා කියද්දිත් පරිස්සම් වෙන්න ඕනේ කියන එකත් ඇත්ත කතාවක්. මොකද එහෙම නොකරපු අයවත් ලොකු ප්‍රශ්න ගොඩකට ඇදලා දාලා තමයි රන්ජන් රාමනායක පහුගිය කාලේ එයාගේ ප්‍රශ්න නිමා කරගත්තේ. (Sri Lanka Latest News)
ඔන්න ඔය රන්ජන් මේ වෙලාවේ දේශපාලනයට එනවා අලුත් පක්ෂයකින්, අලුත් දේශපාලන හැඩහුරුකමක් එක්ක. රන්ජන්ගේ මෙන්න මේ දේශපාලනයට පැමිණීම දැන් එළිපිටම කතාකරන්නේ එක්තරා ප්‍රධාන ව්‍යාපාරිකයෙක්ගේ සල්ලිවලින්, එහෙම නැත්නම් සල්ලි බලෙන් කරන දේශපාලන ගේම් එකක් විදියට. හැබැයි කෙනෙකුට තමන්ගේ සල්ලි බලෙන් දේශපාලන කණ්ඩායමක්, දේශපාලනයට ඉදිරිපත් කරන්න බැරිකමක් නෑ කියන එකට ඕනෙ තරම් උදාහරණ තියෙනවා. අපි දන්නවා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය නාලිකා කීපයක්ම තමන්ගේ කණ්ඩායම් දේශපාලනයට දැම්මා. සිරස තමන් යටතේ වැඩකරපු බොහෝ දෙනෙක්ව දේශපාලනයට ගෙන ඒමේ ව්‍යාපෘතියක හිටියා. දැන් දෙරණ දේශපාලනයට එනවා. දෙරණේ හිමිකරු පවා මේ දේශපාලනයට ඇවිල්ලා ඉන්නවා. ඉන් පස්සේ කියැවෙන්නේ රූපවාහිනී නාලිකා සහ නව පුවත්පත් ඇතුළු මාධ්‍ය රැසක් හිමි කණ්ඩායමක් විසින් අලුත් දේශපාලන ව්‍යාපෘතියක් දියත් කරනවාය කියලා. එහෙම කරන එකේ වැරැද්ද මොකක්ද කියලා කෙනෙක් අපෙන් ඇහුවොත් අපිට ඒකට දෙන්න උත්තරයක් නැති නිසා අපි මෙහෙම තර්ක කරන්න යන්නේ නැහැ. වැරැදියි කියලා කියන්න යන්නෙත් නැහැ. හැබැයි ඉතින් වැඩේ එහෙමයි කියලා කියනවා. හැබැයි එළිපිට නොකියන නිසා තමයි මේ කතාව රහසක් බවට පත්වෙලා එළියට එන්නේ.
රන්ජන් රාමනායකගේ මේ දේශපාලන ආගමනයත් එක්ක පහුගිය කාලයේ සමහර අය ටිකක් ගැස්සිලා හිටියද, බයවෙලා හිටියද කියලත් නිකමට හිතෙනවා. මොකද රන්ජන් දේශපාලනයට එන්නේ නැතුව යාවි, රන්ජන්ට ඡන්දේ ඉල්ලන්න බැරි වේවි, රන්ජන් ඡන්දේ ඉල්ලන්නේ නැති වේවි කියලා හිතපු අයට තමයි රන්ජන්ගේ දේශපාලන ආගමනයත් එක්ක ටිකක් පුදුම වෙන්න සිද්ධ වුණේ.
කොහොම වුණත් රන්ජන්ගේ රැස්වීමකින් පස්සේ ඒ රැස්වීම තිබුණු තැන තවත් පිරිසක් විසින් ඇතිකරපු කලහකාරී තත්ත්වයක්, එහෙමත් නැත්නම් කලබලකාරී තත්ත්වයක් එක්ක විශාල කතාබහක් නිර්මාණය වුණා. ඒ කතාබහෙන් කියැවුණේ සරල කාරණයක්. ඒ තමයි රන්ජන් රාමනායක එක්තරා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන රැස්වීමට කැඳවනවා. ඔවුන්ට සල්ලි සහ තව මොනවදෝ දෙනවා කියලා කියනවා. ඒ දේවල් දුන්නේ නැති නිසා ඒ පිරිස අරගල කරනවා, කෑගහනවා. ඒ කෑගහන අය කියනවා තමන් සරසවි ශිෂ්‍යයන් කියලා. ඉතින් මේ සරසවි ශිෂ්‍යයෝ රන්ජන් රාමනායකගේ රැස්වීම්වලට ගිහිල්ලා සල්ලි ගන්නවද කියන එක ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනේ මාතෘකාවක්. ඒ වගේම රන්ජන් රාමනායකගේ දේශපාලන ආගමනයට මේ අය සම්බන්ධද කියන එකත් වෙනම කාරණාවක්. දැන් ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ විදියට යනවා නම් ඒක හරිම දුක හිතෙන කාරණාවක්. මොකද මේ සරසවි ශිෂ්‍යයෝ කියලා කියන්නේ වෙන වෙන පොඩි පොඩි වැඩවලට ගිහිල්ලා කීයක් හරි හොයාගන්න කට්ටිය කියලා අපි හොඳටම දන්නවා. සරසවි ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි ශිෂ්‍යාවන්ට පවා සිද්ධ වෙනවා විවිධාකාරයේ ප්‍රමෝෂන්වලට යන්න. අපි දන්නවා කැම්පස්වල ප්‍රමෝෂන් සම්බන්ධව කොන්ත්‍රාත් එක අරගෙන එන කෙනෙක් ඉන්නවා. ප්‍රමෝෂන් ආයතනයක් එක්ක ගනුදෙනු කරන අයත් ඉන්නවා. මේ ප්‍රමෝෂන් වැඩක් සෙට් වුණාම ඒකට ගිහිල්ලා, කීයක් හරි හොයාගෙන එන එක කැම්පස් ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රමෝෂන් කතන්දරේ අපි විශ්වාස කළාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලනය අපි විශ්වාස කරන්නේ මීට වඩා බොහොම වැදගත් සහ බොහොම නිදහස් දෙයක් විදියට. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දේශපාලනයේදී ඒකට ටිකක් අවංකයි කියලා අපි හිතුවා. මේ වෙලාවේ අපිට පේන දේ තමයි විශ්වවවිද්‍යාල ශිෂ්‍යයෝ දේශපාලනයට අවංක නැද්ද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කීයක් හරි දීලා කාගේ හරි දේශපාලන රැස්වීමකට සහභාගි කරවන්න පුළුවන්දි කියන එක.
ඒ වගේම රන්ජන් රාමනායකගේ දේශපාලනය රන්ජන් නිතරම කියන්නේ හරිම සුචරිතවත්, සුන්දර, හොඳ දේශපාලනයක් මම කරන්නේ, ඒගොල්ලෝ ඔක්කොම හොරු මල්ලි, ඒගොල්ලෝ වගේ නෙවෙයි මම හරි හොඳයි කියලා දේශපාලනයට ආපු රන්ජන් රුපියල් 2500 ගානේ දීලා කට්ටියක් ගෙන්නුවා කියන එක විතරක් නෙවෙයි මෙතැන තියෙන ප්‍රශ්නේ. 2500ක් දීලා ගෙන්නපු එවුන්ටත් 2500 නොදී වංචාවකුත් කරලා කියන එක. මේක කාගෙ හරි ප්ලෑන් එකක් නම්, ගේම් එකක් නම් රන්ජන් අමාරුවේ දාන්න කරපු උප්පරවැට්ටියක් නම් ඒක වෙනම කතාකරන්න ඕනේ කාරණයක්. මොකද දේශපාලනය කියන්නේ එහෙම දෙයක්. එහෙම දේවලුත් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම රන්ජන් මේ වැඩේ කළා නම්, රන්ජන් ඔයා ගැන ලැජ්ජයි. මොකද ඔයා එළියට බැහැලා කියන කතන්දර, දෙන ටෝක්ස් එක්ක මේ වගේ දෙයක් කවදාවත් අපි ඔයාගෙන් බලාපොරොත්තු වුණේ නෑ. අපි හිතුවේ රන්ජන් රාමනායක කියන්නේ පට්ට ජෙනුවින් දේශපාලකයෙක් කියලා. පට්ට ජෙනුවින් කියන එකයි කට්ට කපටි කියන එකයි අතර තියෙන්නේ පොඩි වෙනසක් කියලා මේ කතාව ඇත්ත නම් අපිට කියන්න සිද්ධ වෙනවා.
ඉතින් තරහා වෙන්න එපා රන්ජන්. ඔයා වන් ෂොට් වුණේ ෆිල්ම් එකට විතරක් කියලා හිතන්න අපිට සිද්ධ වෙනවා. ඇත්තටම දැන් අපිට මේක දැක්කම හිතෙන්නේ ඔයාගේ වන් ෂොට් නෙවෙයි, ඔයත් නිකන්ම නිකන් පාර්ලිමන්ට් ජෝක් එකක් විතරයි කියලා. මේ කතාව ගේම් එකක් නම් සමාවෙන්න. තරහා වෙන්න එපා. ලංකාවේ දේශපාලනය ඔහොම තමයි කියලා හිත හදාගන්න. මොකද රන්ජන්, අපිට වඩා ලංකාවේ දේශපාලනය ගැන ඔයා දන්නවා. හැබැයි මේක ඇත්තටම ඔයා කරපු වැඩක් නම් සොරි ඩොට් කොම්. ඔයාටත් කියන්න තියෙන්නේ ඔයත් නිකන්ම නිකන් පාර්ලිමන්ට් ජෝක් එකක් විතරයි කියලා.

ජීවන පහන් තිළිණ










