ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (බීඕඅයි) සමග ගිවිසුම්ගත වී සිටින, රෝහිත රාජපක්ෂගේද දායකත්වය ඇති ීමචරුපැ ී්එ සමාගම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පසුගිය බදාදා (06) අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවේදී ලබාදුන් පිළිතුර හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව තුළත්, සමස්ත රට තුළත් යම් විසංවාදයක් ඇතිවී තිබේ.
මෙය විසංවාදයක් බවට පත්වූයේ අගමැතිනිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු නිවැරදි නැති බව ඊට පසුදා ඇමැති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමගය.Sri Lanka Latest News
ප්‍රශ්නයක් ඇසූ විට සාමාන්‍ය ක්‍රමවේදය
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී, ජනාධිපතිගෙන්, අගමැතිගෙන් සහ ඇමැතිවරුන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයකට උත්තර ලියන්නේ ඒ අය නොවේ. ප්‍රශ්නයක් ඇසූ විට එම පැනය සහ ඊට පිළිතුරු ලබාදිය යුතු දිනය දක්වා, ඊට අවශ්‍ය පිළිතුරු ලබාදෙන ලෙස දන්වා අදාළ ආයතනයට හෝ ආයතන කීපයකට එය යොමුකරන්නේ, අගමැතිගේ හෝ ඇමැතිගේ අමාත්‍යංශ ලේකම්වරයා හෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාය.
අදාළ ආයතනය හෝ ආයතන විසින් ලබාදෙන පිළිතුරු පිළිබඳ ඔවුන්ට සෑහීමකට පත්විය නොහැකි නම්, ඒවායේ අඩංගු කරුණු සම්බන්ධව නැවත විමසීමක් කිරීමට එම දෙදෙනාටම පියවරගත හැකිය. එසේ ලබාගත් තොරතුරු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් විසින් යොමුකරනු ලබන්නේ අමාත්‍යාංශ ලේකම්ටය. පාර්ලිමේන්තුවට ලබාදිය යුතු පිළිතුර අවසාන වශයෙන් සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. එය ඉන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අගමැතිට හෝ අදාළ ඇමැතිවරයා වෙත ලබාදෙනු ලැබේ.
තමන් අතට පත්වූ පිළිතුර පිළිබඳ අගමැතිවරයාට හෝ ඇමැතිවරුන්ට සෑහීමකට පත්විය නොහැකි නම්, එහි අඩංගු කරුණු පිළිබඳ නැවත විමසීමක් කළ හැකිය. අවශ්‍ය නම් නීති උපදෙස් පවා ලබාගත හැකිය. මෙවැනි අවස්ථාවලදී පිළිතුරු දීම සඳහා තව සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍ය බව අදාළ පිළිතුර ලබාදීමට නියමිතව ඇති දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දිය හැකිය. මන්දයත්, අසවල් ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්නේ අසවල් දිනයේය කියා එය න්‍යාය පුස්තකයේ ඇතුළත් කරන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් නිසාය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේවාට ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේවාට ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ. ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය යනු වසර 60-70ක් පැරණි එකකි. එතරම් කාලයක් තුළ මේවා පරීක්ෂණවලට භාජනය වී ඉදිරියට පැමිණ ඇති සම්ප්‍රදායයන්ය.
හරිනි අගමැතිවරිය පසුගියදා පාර්ලිමේන්තුවට ලබාදුන් පිළිතුරින් පෙන්නුම් කළේ ඉහතින් සඳහන් කළ ක්‍රියාදාමය හරි හැටි සිදුවී නොමැති බවකි. ඇතැම් විට අදාළ පිළිතුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇය කියවා බලා නැතිවා දැයි අපි නොදනිමු. මේ අනුව බලන විට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අතපසුවීමක් සිදුවී ඇති බව පැහැදිලිය.
ඕනෑම දේශපාලකයකු බබළවන්නට හෝ නිවා දමන්නට
මෙම අතපසුවීමේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ, අග්‍රාමාත්‍යවරියගේ කාර්ය මණ්ඩලයේ සිටින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ක්‍රියාවලියෙහි ඇති අඩුපාඩුය. සාමාන්‍යයෙන් කාර්ය මණ්ඩලයේ අය දේශපාලනික දැනුමක්, ඒ පිළිබඳ පරිචයක් ඇති අය වීම වැදගත් වන්නේ මේ නිසාය. එසේ දැනුමක් හෝ පරිචයක් නැති නම් ඔහු හෝ ඇය හෝ කළ යුත්තේ එවැනි දැනුමක් සහ පරිචයක් ඇති අයගෙන් සහාය ලබාගැනීමය. ඕනෑම දේශපාලකයකු බබළවන්නට හෝ නිවා දමන්නට ඔහුගේ හෝ ඇයගේ කාර්ය මණ්ඩලයට සෑහෙන විභවයක් ඇත.
ආණ්ඩුකරණයෙහි අත්දැකීම් අඩු පිරිසක් ආණ්ඩුකරණයේ යෙදෙන විට මෙවැනි අතපසුවීම් සිදුවිය හැකිය. එය මහා අපරාධයක් ලෙස හුවාදක්වා අගමැතිනිය වහා ඉල්ලා අස්විය යුතු යැයි බෙරිහන්දී මහා වීරයන් ලෙස හැසිරෙන්නන් දෙස බැලිය යුත්තේ අනුකම්පාසහගතවය. අතපසුවීම් විය හැකි වුවත්, මෙවැනි අතපසුවීම් හැකිතාක් දුරට අවම කර ගැනීම ආණ්ඩුවේ බලවත් වගකීමකි. එම වගකීමෙන් මිදීමට නම් කිසිසේත්ම ආණ්ඩුවට නොහැකිය.
බරපතළ වන්නේ කාරණයේ අනෙක් පැත්තය
මේ එක් පැත්තකි. සැබැවින්ම බරපතළ වන්නේ කාරණයේ අනෙක් පැත්තය. එනම්, අගමැතිනිය පාර්ලිමේන්තුවට ලබාදුන් පිළිතුර වැරැදි තොරතුරු මත සිදුවූවක් බව ආණ්ඩුවේම ඇමැතිවරයෙක් වූ වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව තුළදීමය. මෙය විසංවාදයකි. මේ කාරණා දෙකම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවී තිබේ. ඇත්ත කුමක්දැයි මේ දක්වා පැහැදිලි කර නැත. හරිනි ඉදිරිපත් කළ කරුණු හරිද? වසන්ත සමරසිංහ ඉදිරිපත් කළ කරුණු හරිද? යන්න පිළිබඳ ඇත්තේ නොවිසඳුණු ගැටලුවකි. මෙය විසඳාගත යුත්තේ සහ විසඳාගත හැක්කේද පාර්ලිමේන්තුව තූළින්ම පමණි.
වසන්ත සමරසිංහ කියන පරිදි අගමැතිවරිය නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් විසින් වැරැදිසහගත තොරතුරු ලබාදී තිබේ. අධිකරණයට වැරැදි තොරතුරු ඉදිරිපත් කිරීම අපරාධයක් වනවා සේම, පාර්ලිමේන්තුවට වැරැදි තොරතුරු ඉදිරිපත් කිරීමද අපරාධයකි. ලාංකීය රාජ්‍යය පවතින මුල් ගල් තුන වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. මේවාට බොරු ඉදිරිපත් කර නොමග යැවිය නොහැකිය.
වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව ඉතා පැහැදිලිය
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. වැරැදි හා අසත්‍ය තොරතුරු ලබාදී ඒ අය නොමග යැවූ විට, ඒ අය ගන්නා තීන්දු හා තීරණ රටේ ජනතාවට හා රටේ ඉරණමට ඍජු ලෙස බලපායි. මේ අනුව ගත්විට පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මත අගමැතිවරියගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව ඉතා පැහැදිලිය. අවසාන වශයෙන් ගත්කල එය රටේ සමස්ත ජනතාවගේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි.
එක් පැත්තකින් පාර්ලිමේන්තුව තුළ විසංවාදයක්, ප්‍රතිවිරෝධයක් පවතී. අනෙක් අතට එය හැන්සාඩ්ගතවී තිබේ. එනිසා මෙය විසඳාගත යුත්තේ පාර්ලිමේන්තුව තුළින්ම පමණි.
ඇත්ත නිවැරදිව කීමට පාර්ලිමේන්තුව බැඳී සිටී
හරිනි කීවේ ඇත්තද? වසන්ත කියන්නේ ඇත්තද යන්න නිවැරැදිව සොයාබලා රටට, සමාජයට ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුව බැඳී සිටියි. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඇති එකම ක්‍රමවත් ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතන සියල්ල පාර්ලිමේන්තූ වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවා විමර්ශනය කිරීම පමණි.
අදාළ සියලු ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවන්න
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ීමචරුපැ ී්එ සමාගම, විගණකාධිපති දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී මීට අදාළ සියලු ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවා විමර්ශනය කළ යුතුය. එවිට මෙම ප්‍රස්තුත කාරණයට අදාළ තවත් සැඟවුණු කරුණු ඇතුළු සියලු තොරතුරු රට හමුවේ හෙළිකරගත හැකි වනු ඇත. එසේ නොකොට ඊධෂ නෝනා පස්සෙන් පමණක් හඹා යෑමට කටයුතු කළහොත් නැවත සිදුවිය හැක්කේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරමින් තවමත් වෙස් බඳිමින් සිටින දූෂිත නිලධාරීන් එක්ව කපන තවත් බොරු වළක වැටීමට සිදුවීමය.
වැටුණු බොරු වළෙන් ඇති වූ කම්පනය භාවිත කොට නිවැරැදි ඉලක්කය වෙත ළඟාවීමට මේ ආණ්ඩුව නිවැරැදි ප්‍රතිපාදනය තෝරාගනු ඇතැයි අපි හුදෙක්ම විශ්වාස කරමු.
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් සුනිල් ගාමිණී ජයලත්ගේ










