කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. නාළිකාවේ විකාශන කටයුතු යළි ආරම්භ කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත් වීමත් සමග මෙම අවසරය හිමි විය.
ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පළ කළේය.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.











