2012 වසරේ ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කර වල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. Sri Lanka Latest News
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාල නඩු භාණ්ඩ ලේඛන අද දින විත්තියට බාර දෙන බව සඳහන් කළා.
මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විත්තිය විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති බවත්, ඒවා සැප්තැම්බර් මස 19 වැනිදා සලකා බැලීමට නියමිතව තිබෙන බවත්, අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙන්ම විත්තියේ නීතිඥවරයාද සඳහන් කර තිබෙනවා.
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අභියාචනාධිකරණ පෙත්සම් කැඳවන දිනයෙන් ඔබ්බට යෙදෙන දිනයක මෙම නඩුව කැඳවීම සුදුසු බවයි.
තමන් සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමක් නොකරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 10 වැනිදා කැඳවීමට නියම කෙරුණා.










