පසුගිය සමයේ නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 1.2කට අධික වටිනාකමින් යුත් විදේශ රටවල නිෂ්පාදිත දුම්වැටි මිලියන 8.7ක් ඊයේ (04 වැනිදා) විනාශ කරනු ලැබීය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීති විරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගණයේදී මෙම දුම්වැටි තොගය විනාශ කෙරිණි. ඩුබායි, පාකිස්තානය හා චීනය යන රටවල්වලින් ගෙන්වූ දුම්වැටි මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 2024-2022 හා 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කළ බවද ඒ මහතා කියා සිටියේය.
මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට පත් නොවී රේගුවෙන් පිටවූවා නම් රජයට අහිමි වීමට තිබූ තීරු බදු මුදල රුපියල් බිලියන 1.8කට අධික බවද සීවලී අරුක්ගොඩ මහතා පවසයි. නීත්‍යානුකූල බදු මුදල් ගෙවීම් ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා රේගුව නීති විරෝධී ලෙස රට තුළට ආනයනය කරන දුම්වැටි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පසුගිය වසරේදී ලංකාවේ නිෂ්පාදිත සිගරට් සඳහා නිෂ්පාදිත බදු වශයෙන් රුපියල් බිලියන 141ක් රජයට එකතු කරදී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් සංජීව නෝනිස්, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු රේගු නිලධාරීහු හා ලංකා දුම්කොළ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටියහ.










