”මගේ ළමයා වැඩ කරපු ගෙදර, මගේ දුවට ගොඩක් අපරාධ කරලා තියෙනවා මොකද ඒ අය මගේ දුවට කෑම දීලා නැහැ. මගේ දුව බල්බ් නැතුව කළුවර කාමරයක ඉඳලා, මගේ ළමයා කරුවලේ තනියෙන් ඉන්න බයයි. මම ගිහිල්ලා ඒ කාමරේ බැලුවා. අඩු ගානේ ඒ කාමරේ බල්ලෙකුටවත් ඉන්න බැහැ. ඒ වගේ කාමරයක් දීලා තිබුණේ කුස්සියෙන් එළියේ පැත්තේ, ඇමැතිතුමාගේ ගෙදර කියනකොට අපි හිතුවේ හොඳ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒක එහෙම නැහැ. අපි හිතපු එක බොරු වෙලා ගියා. මගේ දරුවත් දැන් මේ ලෝකේ නැහැ. වළදාපු මිනිය ආපහු ගොඩගන්නවා කියන්නේ අම්මා කෙනෙකුට දරාගන්න බැහැ. ඒගොල්ලන්ට හරි දඬුවමක් ලබාදෙන්න ඕනේ කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. මෙතැනට මමම පැමිණිල්ලක් කරන්න ආවේ මගේ දරුවාගේ මරණ රිපෝට් එක ගැන මට සැකයක් තියෙනවා. ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්. ඒක ආපහු කරලා එතැන මොකද්ද සිද්ධවෙලා තියෙන්නේ කියලා අපිට හොයලා දෙන්න”
හිටපු ඇමැති රිෂාඩ් බදුර්දින් මහතාගේ ගෙදර මෙහෙකාර සේවයේ සිටි, වධ හිංසා පමුණුවා මියගිය බව පැවසෙන ඉෂාලිනීගේ මව මානව හිමිකම් කොමිසම හමුවේ හඬා වැළපෙමින් එලෙස ඉල්ලා සිටියේ එම අපරාධය කළ අයට නිසි දඬුවම් ලබාදෙන ලෙසය. මේ අම්මා කෙනෙකුගේ හදවතේ නැඟෙන දුක් කඳුළුයි. තමන්ගේ දරුවා මෙහෙකාර සේවයට යැව්වේ ආදරේ නැතිකමට නොවෙයි. ජීවත්වීමට තරම් ආර්ථික ශක්තියක් ඔවුන්ට තිබුණා නම් කිසි දිනෙක තමන්ගේ දරුවාව මේ කොළඹ රටේ මෙහෙකාර සේවයට යවන්නේ නැහැ. මේ අම්මා හිතුවේ මේ රටේ ප්‍රබල ඇමැතිවරයකුගේ ගෙදරට යවන්නේ, එතැන තමන්ගේ දරුවාට හොඳ ආරක්ෂාව ලැබෙනවා කියලා. නමුත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
ඇය අවුරුදු 16ක බාලවයස්කාර දැරියක්. මේ දැරිය බොහෝ වධහිංසාවලට සහ ලිංගික අපයෝජනයට ලක්ව තිබුණා. ඇය ප්‍රසිද්ධියට පත්වුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ ගෙදර සිදුවුණු ලිංගික අපයෝජනයක් නිසයි. මේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි තවත් සිදුවීම් රාශියක් වාර්තා වුණා. මේ සිදුවීම්වලින් තමන්ගේ මවුපියන් ළඟ හැරෙන්න කොහේද විශ්වසනීය ආරක්ෂාවක් ලැබෙන්නේ යැයි සිතට ගත යුතුයි.
පසුගිය දින කිහිපය පුරා අපට අසන්නට දකින්නට ලැබුණේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙච්ච අහිංසක මල් කැකුළු ගැනයි. මොහොතකට හරි මේ පාපතරයන් සිතුවා නම් තමන්ටත් සහෝදරියක් දියණියක් සිටින බව, තමන්ගේ අම්මාත් කාන්තාවක් බව, මෙවැනි ම්ලේච්ඡ සාපරාධී සිදුවීම් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ නැහැ.
ගැහැනු දරුවකුට අම්මා තාත්තාගෙන් ලැබෙන ආරක්ෂාව පිටතින් ලැබෙතැයි කවදාවත් විශ්වාස කරන්න හොඳ නැහැ. සමහර දරුවන්ව, අම්මා, ආච්චිට භාරදීලා යනවා. ආච්චිලා සීයලා වයෝවෘද්ධ නිසා දැරියන් නොසීතු ලෙස ලිංගික හිංසාවලට පොළඹවා ගැනීමේ අවස්ථාව පිටතින් පැමිණෙන පුදගලයන්ට උදාවෙනවා. ඒ වයෝවෘද්ධ උදවිය ඒ බව දකින්නෙත් නැහැ. දන්නෙත් නැහැ.
පසුගිය සතිය පුරා වාර්තා වුණු එවැනි සිද්ධීන් කිහිපයකි මේ…
සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන අවුරුදු 15ක් වයසැති බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදුකිරීම සහ එයට අනුබල දීමේ වරද සම්බන්ධයෙන් පියෙක් සහ පුතෙකු මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබූ බව මොරටුව පොලිසිය පවසා තිබුණා. මොවුන් දෙදෙනා මිතුරුවී තිබුණේ ෆේස්බුක් හරයායි. දැරියගේ මව විදෙස්ගතවයි සිටියේ. පියා හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බව පොලිසිය පවසා තිබුණා. දරුවා අතුරුදන්ව ඇතිබව පොලිසියට දන්වා තිබුණේ ඇගේ මිත්තණියයි. මේ පිළිබඳ දැරියගෙන් කළ ප්‍රශ්න කිරිමේදී ඇය පවසා තිබුණෙ ගෙදරින් ආදරය නොලැබෙන නිසා එසේ කළ බවයි.
තවත් සිදුවීමක් නොරොච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, දම් වැලකින් ගැටගසා කුකුළු කොටුවේ දමා වධ හිංසා කළ 14 හැවිරිදි දැරියක් පිළිබඳවයි. ඇයට වසර 2ක් පුරා වධ දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ නැන්දණිය සහ පියා අත්අඩංගුවට ගෙන තිබුණා. මේ දරුවා පාසලකට යවා තිබුණේද නැහැ. නැන්දණිය මේ දරුවාට කෑම නොදුන් නිසා අසල්වාසී නිවෙස්වලින් සොරාකෑමට පවා මේ දරුවා හුරු වී සිටි බව අසල්වැසියන් පොලිසියට පවසා තිබුණා. දරුවාගේ සිරුර පුරා පිලිස්සුම් තුවාලද දක්නට ලැබුණු බව පොලිසිය පවසා තිබුණා. දැරියට රැකවරණය නොදීමේ චෝදනාවට දැරියගේ පියා නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉංග්‍රිසි පොත් අඩු මිලට රැගෙන දෙන බව පවසා රවටා රැගෙනවිත් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් 17 හැවිරිදි ශිෂ්‍යාවකට තම මෝටර් රථය තුළදීම අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙක්ව ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ අතවරයට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි ශිෂ්‍යාවකයි. මේ අතරවරය සිදුකර තිබුණේ තලංගම කිඹුලාවල හන්දියේ මෝටර් රථය තුළදීමයි.
මේ සිද්ධීන්වලට අමතර තවත් බාලවයස්කාර අවුරුදු 13ක දැරියක් වසර 7ක් පුරා පුද්ගලයන් දසදෙනකුගේ අපයෝජනයට ලක්වූ සිද්ධියක් නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ සිදුවීමට අනුබල දී තිබුණේ දැරියගේ අම්මා සහ නැන්දායි. මේ දැරියට වයස අවුරුදු 6 සිට අසල්වැසියන්ගෙන් ලිංගික හිරිහැර සිදුවී ඇති බවද අනාවරණ වී තිබුණා. මෙලෙස ඇයටව අපයෝජනය කළ පළමු සැකකරු වුණේ ඇගේ පියායි. ඒ, අවුරුදු 3කට පෙර සිටයි. දැරිය අපයෝජනය කළ පුද්ගලයන් වයස අවුරුදු 18 සිට 43 දක්වා වයස්වල පසුවන බව පොලිසිය හඳුනාගෙන තිබුණා. අවසන් වරට දැරිය අපයෝජනය කර තිබුණේ 32 හැවිරිදි එක්දරු පියෙක්. ඔහු දැරියව ගල් ගුහාවකට ගෙනගොස් දින කිහපයක් රඳවාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම දැරිය විශාල පිරිසක් අතින් දිර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කර ඇති බව වෛද්‍ය වාර්තාව නිකුත් කරමින් වෛද්‍ය ජේ.එම්. මහසෙන් මහතා සඳහන් කර තිබුණා.
තම දියණියන් දෙදෙනාම අපයෝජනය කර ගැබිනියන් බවට පත්කළ, පිතෘත්වයට නිගා කළ පියෙක් පිළිබඳවද අසන්නට ලැබුණා. ඒ, බදුල්ල දෙමෝදර ප්‍රදේශයෙනි. දරුවන් අවුරුදු 12 සහ 14 වයසේ පසුවන අයයි. මව විසින් වැඩිමහල් දියණියට උදරාබාධයක් නිසා බදුල්ල රෝහලට රැගෙන ගිය අවස්ථාවේ මේ බව අනාවරණ වී තිබුණා.
මේ සියලු අපයෝජන ක්‍රියා සඳහා රටක එක නීතියක් පැවැතිය යුතුයි. නිසි වයසේදී අධ්‍යාපනය ලැබීම දරුවන්ගේ අයිතිවාසිකමක්. එසේම දරුවන්ව අධ්‍යාපනය සඳහා යොමු කරවීම මවුපියන්ගේ වගකීමක්. කුඩා කාලයේදී මවුපියන්ගේ ආදරය උණුසුම දරුවන්ගේ මානසික පෞරුෂ වර්ධනයට බලපානවා. අහිංසක දරුවන් ආදරය කරුණාව ලැබෙනකොට ඒ දෙසට ඇදී යනවා. දරුවන්ගේ කුඩා වයසට හරි වැරැද්ද වැටහෙන්නෙ නැහැ.
කුඩා දරුවන් ලිංගික කටයුතුවලට යොමුවන්නේ සිය කැමැත්තෙන් නොවේ. දුප්පත්කම, අසරණකම, අධ්‍යාපනයක් නොලැබීම, මවුපියන්ගේ නොසැලකිලිමත්කම යන කාරණා ඊට හේතු වෙනවා. මේ නිසා අහිංසක දරුවන් බලවතුන්ගේ ලිංගික ගොදුරු බවට පත්වෙනවා. නැත්නම් අනාගතයේ මෙවැනි සිදුවීම් දිනෙන් දින ඉහළ යනවා.
කොළඹ ප්‍රදේශයේ වෙසෙන ප්‍රභූවරුන්ගේ දරුවන් බලාගැනීම සඳහා ග්‍රාමිය දරුවන් කොළඹට රැගෙන එන ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මෙසේ කොළඹට ගෙනෙන දරුවන් අගහිඟකම්වලින් පිරුණු අයයි. වතුකරය තුළ පාසල් අධ්‍යාපනයට යොමුවන පිරිසෙන් පිරිමි ළමයින් බහුතරයක් අතරමඟ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. ආපනශාලා, වෙළෙඳසල්, විවිධ ව්‍යාපාරික ආයතන, නිවාසවල සේවය සඳහා ඔවුන් යොමුවන තත්ත්වයක් උදාවී තිබෙනවා.
ළමා අපයෝජනය පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරියේ මතය වූයේ, මව පියා පිළිබඳ විශ්වාසය කඩකරගන්නට එපා. තමුන්ට අපයෝජනයක් නොසැලකිල්ලක් සූරාකෑමක් සිදුවෙනවා නම් වහාම 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරන්න. ඔබගේ රහස්‍යභාවය සම්පුර්ණයෙන් රැකීමට ඔවුන් කටයුතු කරනවා. අවුරුදු 16ට අඩු දරුවකුට ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 20 දක්වා සිරභාරයේ රඳවා තබාගත හැකියි.
මනෝ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා මේ පිළිබඳ පවසා සිටියේ සිදුකර ඇති සමීක්ෂණවලින් පැහැදිලි වී ඇත්තේ මෙවැනි අපයෝජනවලින් 95%ක් පමණ සිදුවී අත්තේ තම නිවෙස තුළදී බවයි. මේ පිළිබඳ අවබෝධයක් වැඩිහිටියන්ට දරුවන්ට තිබිය යුතු වෙනවා. කිසියම් පුද්ගලයකු දරුවකුගේ ශරීරය වැඩිපුර ස්පර්ශ කිරීමට උත්සාහ දරනවා නම් ඔහු විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයෙක් බවට හඳුනාගන්න.
යම් පුද්ගලයකු සේවයට යෙදවීමේ හැකි වයස අවුරුදු 12 සිට 18 දක්වා ඉහළ දැමීමට පසුගියදා කම්කරු අමාත්‍යංශය තීරණය කළා. පුද්ගලයකු ගෘහ සේවයේ යොදවා ගන්නවා නම් සේවා යෝජකයා විසින් අදාළ පුද්ගලයාගේ තොරතුරු දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාපදිංචි කළ යුතු වෙනවා. මෙම නීතිය ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බවද කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියා.
මේ සියලු සිදුවීම්වලට හේතු වුණේ දරුවන් කෙරෙහි මවුපියන්ගේ අවධානය මගහැර කටයුතු කිරීමයි. තම දරුවන් සමාජයේ නිසි තැනකට එනකන් තමන්ගේ ඇස් දෙක වගේ දරුවන්ට ආරක්ෂාව සැලැස්විය යුතු සේම අවධානයෙන් සිටිය යුතුයි. ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කරන දරුවන් කෙරෙහි මවුපියන්ගේ අවධානයක් නොමැතිකමෙන් දරුවන් අසභ්‍ය දේට යොමුවෙනවා. ඒ මේ සමාජය හරිම විෂකුරු නිසයි. මෙවැනි අපයෝජනවලට යොමු වූ දරුවන්ගේ මානසික මට්ටම පහත නොවැටී අනාගතයම අඳුරු කරගැනීමට ඉඩ නොදී රැකගත යුතු වෙනවා.
මවුපියන් වශයෙන් දරුවකුට ලිංගික අපයෝජනයක් සිදුවුවහොත් ඉදිරියට යන්න මානසික ශක්තිය හදන්න දරුවනට හොඳම යාළුවෙක් වෙන්න. මවුපියන් වශයෙන් පුළුවන් නම් ඒක තමයි කරන්න ඕනේ. දරුවන්ව කවදාවත් තනි කරන්න එපා. ළමා ලෝකය ගොඩනැගිය හැක්කේ මවුපියන් ශක්තිමත්ව දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා කර සමාජයට දායාද කළොත් පමණයි.
නිලන්ති රේණුකා










