නේපාලයේ සම්ප්‍රදාය බලයට පත්වන අගමැතිගේ පළමු සංචාරය ඉන්දියාවට යෑමය. එහෙත් පසුගියදා නේපාල නව අගමැති එම සම්ප්‍රදාය බිඳිමින් පළමු සංචාරය සඳහා චීනය තෝරාගත්තේය. මාලදිවයිනේ සම්ප්‍රදායත් මාලදිවයිනේ අලුතෙන් පත්වන ජනාධිපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට යෑමය. මාලදිවයිනේ නව ජනාධිපති එම සම්ප්‍රදාය බිඳිමින් පළමු සංචාරයට තෝරාගත්තේ චීනයය. ලංකාවේ පත්වුණු නව ජනාධිපතිගේ පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර තිබෙන ඓතිහාසික සබඳතාව නිසා අනුර කුමාර සිය පළමු සංචාරය සඳහා චීනයට යනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. එසේත් නැතිනම් ඔහු ඉන්දියාවත් නොවන චීනයත් නොවන රටක් සිය පළමු සංචාරය සඳහා තෝරගනු ඇතැයි සමහරු සැක පහළ කළහ. බොහෝ විට එය මැදපෙරදිග වේ යැයි රාවයක් තිබිණි. එහෙත් ඒ ඕපාදූප බොරු කරමින් අනුර සිය පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත්තේය. මෙය ඉන්දියාවේ අගමැති මෝදිගේ ජයග්‍රහණයකි. (Sri Lanka Latest News)
මෝදි තරම් ලංකාවේ නායකයන් සමග ගනුදෙනු කළ වෙනත් ඉන්දීය නායකයෙක් නැත. මේ නිසාම මෝදිට ලංකාවේ නායකයන්ව හොඳට කියවන්න පුළුවන. ඔහු පළමුව හමුවුණු ලංකාවේ නායකයා මහින්ද රාජපක්ෂය. මහින්ද මෝදිගේ පළමු හමුවේදීම ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන්න පොරොන්දු විය. ඒත් මහින්ද කඩිනම් කළේ චීන ව්‍යාපෘතිය. මේ වනවිට ලංකාවේ විපක්ෂ නායක රනිල් මහින්ද රට චීනයට විකුණනවා කියා ඉන්දියාව බය කළේය. 2015දී මෛත්‍රී ජනාධිපති වී රනිල් අගමැති විය. මෛත්‍රී පළමුව ඉන්දියාවට ගොස් මෝදි හමුවිය. ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන ලෙස මෝදි මෛත්‍රීට කීවේය. ඉන් පසු මෝදි රනිල් හමුවිය. මෛත්‍රී ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන්න බාධා කරනවා යැයි රනිල් මෝදිට කීවේය. අවසානයේ මෛත්‍රී සහ රනිල් එක්වී හම්බන්තොට වරාය චීනයට බදු දුන්හ. ඉන්දීය ව්‍යාපෘති කඩිනම් වූයේ නැත. ඉන් පසු ජනාධිපති වුණේ ගෝඨාභයය. ඔහු ඉන්දියාවට ගොස් ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කිරීමටත්, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් එක්ව සංවර්ධනය කරන්නත් පොරොන්දු විය. පසුව ඔහු ඒ පොරොන්දුව කඩ කළේය.
රාජපක්ෂලා ලංකාව චීනයට විකුණනවා කියා ඉන්දියාව බය කළ රනිල්, රාජපක්ෂලා සමග එක්වී ජනාධිපති වී ඉන්දියාවට පැමිණ මෝදි හමුවිය. ඔහු යළිත් ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන්න පොරොන්දු විය. මෝදි පසුගියදා හමුවුණේ ලංකාවේ නව ජනාධිපති අනුර කුමාරය. ඔහුත් ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන්න පොරොන්දු වී ඇත.
මෝදි සහ අනුරගේ සමානකම් ඇත. මෝදි ජීවත් වෙන්න දුම්රියේ තේ විකුණපු තරුණයෙකි. අනුර වරක් කීවේ ඔහු ජීවත් වෙන්න දුම්රියේ ටොෆි සහ සිගරට් වික්ක බවය. මෝදිගේ මව ගමක සාමාන්‍ය ලෙස ජීවත් වන අහිංසක කාන්තාවකි. අනුරගේ මවද එවැනි සාමාන්‍ය කාන්තාවකි. මෝදිට මෝදි වගේ නායකයෙක් ලංකාවේ හමුවුණා නම් ඒ අනුරය. අනුරටත් අනුර වගේ නායකයෙක් ලෝකයේ හමුවෙනවා නම් ඒ මෝදිය. මේ දෙදෙනාගේ මේ කෙමිස්ටි්‍ර එක ඉන්දු-ලංකා සබඳතාවලට කෙසේ බලපානු ඇද්ද කියා ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.










