පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) නව මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාගැනීමේ අරමුණින් ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අනුමත කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවරත්වය සහ පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 350 ක විශේෂ ණය පහසුකමක් සහ තාක්ෂණික ආධාර වශයෙන් ඩොලර් මිලියන 1.5 ක තවත් ණය ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇති බව රජය පවසයි.
ඒ අනුව අදාළ ණය මුදල ලබා ගැනීමේ ඉදිරි කටයුතු සැකසීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කෙසේවෙතත් ආණ්ඩුව මීට පෙර සදහන් කර සිටියේ IMF මුදල් අනුමත වූ වහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 7ක මුදලක් ලැබෙනු ඇති බවකි.
නමුත් මේ දක්වා එම ආයතන දෙකෙන් කිසිදු මුදලක් ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි.










