‘පප්පු’ කියන්නේ ඉන්දියාවේ ළමයි වගේ හැසිරෙන ලොකු මිනිස්සුන්ට කියන වචනයකි. ‘මෙයා නිකන් බබා වගේ’ කියන්නත් ‘පප්පු’ කියන වචනය පාවිච්චි කරයි. පසුගිය වසර 10 පුරාම ඉන්දියාවේ පප්පු කියන වචනය ප්‍රකට වූයේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ පක්ෂත් එරට මාධ්‍යත් ඉන්දියාවේ විපක්ෂ නායකව සිටි රාහුල් ගාන්ධිට පප්පු කියා අපහාස උපහාස කරපු නිසාය. (Sri Lanka Latest News)
රජිව් කතාකරන විට ඔවුන් කීවේ පප්පු කතාකරනවා කියාය. ඔහු මොනවා කිව්වත් මොනවා කළත් කීවේ රාහුල්ගේ පප්පු ගතිය අරින්න බැහැ කියාය. ඉංග්‍රීසියෙන් පප්පුට කියන්නේ Childish කියලාය.
ආණ්ඩුව වගේම විපක්ෂයේ අනෙකුත් පක්ෂ රජිව්ට පටබැඳපු මේ නාමය නිසා රජිව්ගේ ප්‍රතිරූපයට ලොකු හානියක් සිදුවිය. කොංග්‍රස් පක්ෂය දිගින් දිගටම පරාජය වන්නේ රාහුල් ගාන්ධිගේ මේ පප්පු ප්‍රතිරූපය නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ කීහ.
රාහුල්ගේ ලොකුම අභියෝගය වූයේ ඔහුට පටබැඳුණු පප්පු නාමය නිසා ඇදවැටුණු ගාන්ධි පවුලේ නාමය, කොංග්‍රස් පක්ෂයේ අභිමානය යළි ගොඩනැගීමය.
කොංග්‍රස් පක්ෂය තම වැටීම ලෙස දුටුවේත් රාහුල් ගාන්ධිගේ මේ පප්පු හංවඩුවය.
‘මෙයා නිකන් බබෙක් වගේ’
‘දේශපාලනය දන්නේ නැහැ’
‘සෙල්ලක්කාරයෙක්’
‘ජ්‍යෙෂ්ඨයෝ කියන එක අහන්නේ නැහැ’
‘පවුලේ හුරතලා වෙලා පක්ෂයේත් හුරතලා වෙන්න යනවා’
මේ, කොංග්‍රස් පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් කී කතාය. රාහුල් ගාන්ධි කවදාවත් බලයට එන්නේ නැහැ කියා කොංග්‍රස් පක්ෂය අතහැර ගිය ජ්‍යෙෂ්ඨයන් බොහෝය. 2019 මහ මැතිවරණය පරාජය වීමෙන් පසු රාහුල් ගාන්ධි එක්වරම තීරණයක් ගත්තේය. එනම් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් වීමටය. ඔහු විපක්ෂ නායක ධුරයට පත්වූයේ ගාන්ධි පවුලේ උරුමයක් ලෙසය. කොංග්‍රස් පක්ෂය දිනන විට ගාන්ධිවරයෙක් අගමැති වූ අතර, පරදින විට ගාන්ධිවරයෙක් විපක්ෂ නායක විය. මෙය වෙනස් වූයේ රජිව් ගාන්ධි ඝාතනයට පසු ඉතාලියේ උපත ලද රජිව්ගේ බිරිය සෝනියා අගමැති වීමට අකැමැතිව නරසිංහ රාඕ අගමැති කිරීමත් 2004 මන්මෝහන් සිංව අගමැති කිරීමත් සමගය. රාහුල් දේශපාලනයට ආ විට ගාන්ධී පවුල ඔහුව විපක්ෂ නායක කළේය.
රාහුල්ගේ විපක්ෂ නායකකමත් පක්ෂයේ සමහරු රිස්සුවේ නැත. ඔහුගේ පෙනුම, කතාව, හැසිරීම ඔවුන්ට ප්‍රශ්නයක් විය. ඔවුහු ඔහුගේ ඇදම සෙවූහ. රාහුල් උරුමයෙන් ලද විපක්ෂ නායකකමට පයින් ගසා මන්දිර දේශපාලනය වෙනුවට ජනතාව අතර දේශපාලනයට යන්න තීරණය කළේය. ඔහු කැරවෑන් රථයක නැගී Bharat Jodo Yatra යන තේමාව යටතේ ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර යන්න පටන්ගත්තේය. Bharat Jodo Yatra යන්නෙහි සිංහල තේරුම ‘ඉන්දියාව එක්සේසත් කරන පෙළපාළිය’ යන්නය. ඔහු කැරවෑන් රථයේ රාත්‍රිය පහන් කරමින් ඉන්දියාවේ අගුපිල්වල රිංගුවේය. මහජන රැස්වීම්වලට එන්නේ පාක්ෂිකයන් සහ පාක්ෂිකයන් රැගෙන එන මිනිස්සු බව දැන ඔහු මහජන රැස්වීම්වලට නොඑන මිනිස්සු ළඟට ගියේය. මේ ජෝඩෝ යාත්‍රාව පටන්ගත් පසු මෝදිගේ ආණ්ඩුව බයවිය. ඔවුන් රාහුල්ගේ යාත්‍රාව හැඳින්වූයේ රාහුල් ගාන්ධිව රී-බ්‍රෑන්ඩ් කරන්න තටමන තැටමිල්ලක් ලෙසය. රාහුල්ගේ ප්‍රතිරූපය අලුතෙන් නිර්මාණය කරන්න දතකෑමක් ලෙසය. ඒත් රාහුල් යාත්‍රාව අතහැරියේ නැත. වරක් රාහුල් සිය කතාවකදී වාසගමකට අපහාස කළා කියා මෝදිගේ ආණ්ඩුව අපහාසයට ලක්වූ තැනැත්තා ලවා රාහුල්ට නඩු දැම්මේය. නඩුවෙන් රාහුල් ගාන්ධි පැරදුණි. ඔහුට මන්ත්‍රී ආසනය අහිමි වූවා පමණක් නොව වසර දෙකක සිර දඬුවමක්ද නියම විය. මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ රාහුල් හිරේ යන්න බලාගෙන යාත්‍රාව කරගෙන ගියේය.
ඉන්දියාවෙ ප්‍රාන්ත මැතිවරණ පැවැතියේ රාහුල් යාත්‍රාව යන අතරතුරදීය. මේ වසරේ මහ මැතිවරණය කට ළඟ තිබියදී පැමිණි ඉන්දීය ප්‍රාන්ත මැතිවරණය වූ රාජාස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් මැතිවරණයෙන් මෝදි අතිවිශිෂ්ට ජයක් ලැබීය.
‘කතා දෙකක් නෑ. ඔට්ටුවක් අල්ලන්නම්. මෝදි ආසන 400කට වඩා මහ ඡන්දයෙන් ගන්නවා. කොංග්‍රසය හේදිලා යනවා. රාහුල් පප්පුට පිස්සු…’
මේ, කොංග්‍රසයේම සමහර ජ්‍යෙෂ්ඨයන් කී කතාය. ඒත් රාහුල් අතහැරියේ නැත.
‘බලාගෙන ඉන්න මහ ඡන්දයෙන් මොකද වෙන්නේ කියලා. අපි දිනනවා…’
ඔහු කීවේ කොංග්‍රසයේම සමහරුන්ගේ උසුලු විසුලු මැදය. මේ වෙනකොට ඉන්දියාවේ සමීක්ෂණ කළ මාධ්‍ය ආයතන සමීක්ෂණ ආයතන සියල්ල කීවේ මෝදි ආසන 400කට වඩා දිනන බවය.
‘මම ඇයි මේ යූටියුබ් චැනල් එකේ උත්සවයට ආවේ. අද අපිට මාධ්‍ය නැහැ. ඔක්කොම මාධ්‍ය ආණ්ඩුවට කඩේ යනවා. අපිට තියෙන්නේ මේ සමාජ මාධ්‍ය ටික විතරයි. සමාජ මාධ්‍යවල ලොකුම කොටසක් ආණ්ඩුව සල්ලිවලට අරන්. අපි කට වචනය අපේ මාධ්‍ය කරගමු….’
රාහුල් ගාන්ධි වරක් යූටියුබ් චැනලයක උත්සවයකට ඇවිත් කීවේය. ඔහු කීවා හරිය. ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ල මෝදිගේ ආණ්ඩුව උස්ස උස්සා රාහුල් ගාන්ධිව සමච්චලයට ලක්කළහ. කොංග්‍රසයට වාසිව තිබූ එන්.ඩී.ටී.වී. චැනලය මෝදිගේ සමීප ව්‍යාපාරිකයකු වූ අදානි මිලට ගත්තේය. රාහුල් ගාන්ධිට එන්.ඩී.ටී.වී.ත් නැති විය. මොි්දි සහ ආණ්ඩුව විවේචනය කරන බී.බී.සී. වැනි විදේශ මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ගැන ප්‍රශ්න කළේ බී.බී.සී මෝදිට එරෙහි වැඩසටහන් විකාශය කළ නිසාය.
2024 මහ මැතිවරණය ළං වෙද්දී කොංග්‍රස් පක්ෂය සමග ඉන්දියා සන්ධානය හදන්න සාකච්ඡා කරන විපක්ෂයේ පක්ෂ නායකයන් අත්අඩංගුවට පත්විය. කොංග්‍රස් පක්ෂයේ අරමුදල් තැන්පත් කර තිබූ බැංකුවල කොංග්‍රස් පක්ෂ ගිණුම් අත්හිටුවනු ලැබීය. රාහුල් ගාන්ධිලාට ඡන්දය සඳහා මුදල් වියදම් කිරීම ප්‍රශ්නයක් විය. රාහුල් ගාන්ධි මැදි වූයේ ඉන්දියාවේ කිසිම විපක්ෂයක් මැතිවරණවලදී මුහුණ නොදුන් ප්‍රශ්නවලටය. ඒත් ඔහු සැලුණේ නැත. හිරේ යන්න බලාගෙන ඔහු සටන් කළේය. පවුල් දේශපාලන රජ කරනවා යැයි මෝදිගේ ආණ්ඩුව සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂත් චෝදනා කරද්දී ඔහු සිය මව සහ නැගණිය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ ලොකුම ශක්තිය කරගත්තේය.
‘මට මගේ ආච්චි නැතිවුණේ, මගේ තාත්තා නැති වුණේ ඔවුන් මේ රට ආරක්ෂා කරන්න ජීවිතය පූජා කළ නිසා. මගේ පවුල මට ආඩම්බරයක්…’ ඔහු කීවේය. 2024 මහ ඡන්දයෙන් දින්නේ මෝදිය. හැබැයි හැමෝම කතා වෙන්නේ රාහුල් ගාන්ධි ගැනය.
‘පප්පු කුමාරයෙක් වීම…’
‘පප්පු පැසුණු දේශපාලනඥයෙක් වූ වගයි…’
රාහුල්ට ‘පප්පු’ කියපු මාධ්‍යම මේ දවස්වල කියන්නේ එහෙමය. හේතුව ඔහු ඉන්දියාවේ අගමැති වන බව ඔවුන්ට දැනෙන නිසාය.
පුබුදු උදයංග









