ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බව අපි පසුගිය දිනෙක ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කර සිටියෙමු. එහිදී කතාබහට ලක්වූ බව කියැවෙන තොරතුරු අප පමණක් නොව අනෙකුත් මාධ්‍යද අඩු වැඩි වශයෙන් වාර්තා කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් මෙම හමුවේ සිදුවූ කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ කරණක් පාඨකයන් හමුවේ තැබීමට සූදානම්ය.Sri Lanka Latest News
මෙම හමුවට බැසිල් සහභාගි වී තිබුණේ හිස් අතින් නොව ඊට දින කිහිපයකට ඉහතදී තමන් වෙත ලැබී තිබුණු අතිශය රහසිගත මත විමසුමක ප්‍රතිඵල ලේඛනයද අතේ තබාගෙනය. එම මත විමසුමෙන් දක්වා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයකදී සහ මහමැතිවරණයකදී පක්ෂ විසින් ලබාගනු ඇති බව කියන ප්‍රතිඵලයන්ය. සාකච්ඡාව ආරම්භයේදීම එම මත විමසුම්වල ප්‍රතිඵල ජනාධිපතිවරයා හමුවේ තබමින් බැසිල් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ලැබෙනු ඇතැයි අපේක්ෂිත ප්‍රතිඵල මෙම මත විමසුම හරහා හෙළිදරව් වී ඇතැයි කියාය.
මත විමසුමේ ප්‍රතිපල
‘මේක අපි කරපු මත විමසුමක්. අපි කරපු මත විමසුම්වල ප්‍රතිඵල හැම එකක්ම හරි ගියා. ඒවා වැරැදිලා නෑ. ඊළඟ අවුරුද්ද ඡන්ද වසරක්. ජනාධිපතිවරණය තියන්න ඕනෙ. හැබැයි ජනාධිපතිවරණය තිබ්බොත් මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියල මේ මත විමසුමේ තියෙනවා. ඒකට අනුව ඔබතුමාට ජයගන්න බෑ. අපි දාන අපේක්ෂකයාට දිනන්න පුළුවන්කමකුත් නෑ. එහෙම වුණොත් වෙන අපේක්ෂකයො අතර සටනක් තියෙයි. අනෙක මේ ප්‍රතිඵලවලට අනුව මහ ඡන්දයකට ගියොත් කිසි කෙනෙක්ට බහුතරයක් ගන්න පුළුවන්කමක් නෑ….’ යනුවෙන් ජනාධිපතිවරයාට කී බැසිල්, යම් යම් පක්ෂ වැඩි ආසන ගණනක් ලබාගනු ඇති බවටද ජනාධිපතිවරයාට ඉඟි කර සිටියේය. එසේ වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාපයටත්, පොහොට්ටුවටත් පාර්ලිමේන්තුව ඇතුළේ යම් දේශපාලන ගේමක් ගැසීමට සිදුවනු ඇති බවද බැසිල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් දෙදෙනා අතර සාකච්ඡාවේ හොඳම කොටස පැමිණියේ ඉන් අනතුරුවය. ඒ, මෙම අවාසිසහගත තත්ත්වය මගහරවා ගැනීම සඳහා කළ යුතු කටයුත්ත පිළිබඳ බැසිල් ජනාධිපතිවරයා වෙත පෙන්වා දීමත් සමගය. එහිදී බැසිල් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර සිටියේ අලුත්ම දේශපාලන තියරියකි.
විධායකය අහෝසියි?
සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ ආවාට ගියාට දේශපාලන ගේම් ගසන අයකු ලෙස නොව කල්යල් බලා දේශපාලන ගේම් ගසන කෙළිකාරයකු ලෙසටය. බැසිල්ගේ ගණන් හැදිල්ලට අනුව තවත් අවුරුදු 10කට 15කටවත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිකිරීමේ අවස්ථාවක් නැති බව පෙනී ගොස් ඇති නිසා ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇති බව පැවසේ. අලුත්ම දේශපාලන තියරිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පසුබිම වී තිබුණේ බැසිල්ගේ මෙම සැලසුමය.
ඒ අනුව බැසිල්ගේ යෝජනාව වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය බවය. මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් නඩු තීන්දු දී ඇති නිසා ජනමත විචාරණයක් හරහා එය අහෝසි කිරීම පහසු බවත්, විධායක ක්‍රමය අවශ්‍යද, නැද්ද කියා එවිට ජනතාවගෙන් ඇසිය හැකි බවත් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. ඉන් අනතුරුව අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත.
ඒ අනුව බැසිල්ගේ ගේම හරි පැහැදිලිය. විධායක ක්‍රමය අහෝසි කරන බවට යෝජනාවක් ගෙන ආවොත් ඊට විරුද්ධ වීමට සමගි ජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටවත් නොහැකි බව බැසිල් දනී. අනතුරුව පවත්වන මහ මැතිවරණයේදී එජාපය හා පොහොට්ටුව එක්ව හෝ තනි තනිව තරග වැදී පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගැසිය හැකි බවද බැසිල් දනී. තුන්කල් බලා බැසිල් ජනාධිපතිවරයා හමුවී මෙම දේශපාලන බෝම්බය පත්තු කළේ ඒ නිසා විය යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
රනිල් කැමැති වෙයිද
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට එක්වර කැමැති වූවාද නොවූවාද යන්න පිළිබඳ තොරතුරු නොමැති නමුත් අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගෙන්ද ඊට ලොකු විරෝධයක් නොමැති බවකි. තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගැනීමේ හැකියාවක් නොමැති නම්, පොහොට්ටුවටද එය ජයගත නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හෝ ජනාධිපති ධුරය භාරදීමට ජනාධිපතිවරයා හිත හදාගනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ඒ අතින් බලද්දී බැසිල් ගෙනා යෝජනාව හොඳම විකල්පය බව ජනාධිපතිවරයාටද සිතෙනු ඇත. අප එසේ කියන්නේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක්ම ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති බවට අප වෙත ඇති තොරතුරු පදනම් කරගෙනය. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව සමග මෙම මාතෘකාව පිළිබඳ එළිපිට සංවාදයක් ආරම්භ වනු ඇති බව අපගේ විශ්වාසයය.
නමුත් ජනාධිපතිවරයාද දේශපාලන පොර පිටියේ හොඳට තෙම්පරාදු වී සිටින අයකු නිසා ජනාධිපතිවරයාද බැසිල් දමන පන්දුවලට පිට පිට පහර එල්ල කරන්නකු නොවේ. එම නිසා බැසිල් දැමූ මේ පන්දුවට ජනාධිපතිවරයා කෙසේ පහර දීමට කටයුතු කරන්නේදැයි බැලීමට තව ටික දවසක් ඉවසා සිටිය යුතුව ඇත.
රාජ්‍ය රහස්!