‘සිංහල සිනමාවේ පියා’ ලෙස සැලකෙන සම්මානනීය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1979 වසරේදී දකුණුකරේ හම්බන්තොටට පැමිණියේ තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණය ගොඩනගන්නටය. ‘බැද්දේගම’ නම්වූ එම සිනමා සිත්තම අතීතයේදී එනම් 1913 වසරේදී ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය සිවිල් පරිපාලකයකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් විසින් රචිත ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නමැති නවකතාව පාදක කරගනිමින් නිර්මාණය විය. හම්බන්තොට වනාන්තර ප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගමක වෙසෙන මිනිසුන්ගේ ජීවන වගතුගක් මෙම නිර්මාණවලට පාදක වූ අතර ඒවා සත්‍ය සිදුවීම් ලෙසටද වාර්තා විය. කෙසේ හෝ එදා අපේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘බැද්දේගම’ සිනමා සිත්තම නිර්මාණය සඳහා සති මාස ගණනාවක් හම්බන්තොට ප්‍රදේශයේ දුෂ්කර ක්‍රියා කළේය. එදා ඔහුගේ එම වෑයම අතිසාර්ථක වී මහා සිනමා නිර්මාණයක්ද බිහිවිය.
අපගේ ඉතිහාසයට එක්වූ එම අමරණීය චිත්‍රපට කතාව සිදුවී දැනට වසර 43ක් පමණ ගතවී ඇත. ඔබට එම තොරතුර ලියා තිබුවේ මෙයට දින කිහිපයකට පෙරදී සිදුවූ තවත් අපූරු චිත්‍රපට කතාවක තොරතුරක් ලියන්නට සිදුවී ඇති හෙයිනි. පසුගියදා හම්බන්තොට ප්‍රදේශයට පැමිණියේ එක්තරා සුවිශේෂ සිනමාකරුවන් පිරිසකි. ඔවුන් මෙරටට ආවේ ඔස්ටේ්‍රලියාවේ සිට වන අතර ඔවුන්ගේ කාරිය වූයේ වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීම නොවේ. දස දෙනකුගෙන් යුත් මෙම විදේශිකයන් කණ්ඩායම මෙරටට පැමිණ තිබුණේ යම් සුවිශේෂ විෂයක් උදෙසා වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටය. මෙම රූපවාහිනී කණ්ඩායම අනුයුක්ත මාධ්‍ය ආයතනය නම් ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වූ ඕස්ටේරලියාවේ ABC මාධ්‍ය සංවිධානයයි. ABC (Australian Broadcasting Corporation)නොහොත් සිංහල බසින් අරුත් ගැන්විය හැකි ‘ඕස්ටේරලියානු ගුවන්විදුලි සංස්ථාව’ යනු ඕස්ටේරලියාවේ රජය සතු ජාතික මාධ්‍ය විකාශන ආයතනයකි. දැනට වසර 90ක් පැරැණි මෙම ආයතනයේ සේවක මණ්ඩලය 3,730ක් සේවය කරති.
ලොව පුරා අතිශය පිළිගැනීමකින් යුත් මෙම මාධ්‍ය ආයතනයේ රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් මෙසේ කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි? ඔවුන් මෙහි පැමිණ තිබුණේ මෙරට තුළ සිදුවී තිබුණු එක්තරා සුවිශේෂ වූ රහසිගත කාරියක වගතුගක් හෙළිකර ගැනීමටය. ABC මාධ්‍ය ආයතනය යටතේ නිෂ්පාදනය කෙරෙන විමර්ශනාත්මක සහ ගවේෂණාත්මක වැඩසටහනක් වන ‘ෆෝ කෝර්නර්ස්’ නමැති විශේෂාංගය සඳහා රූපවාහිනී වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම මෙම කටයුත්ත විය. එම වැඩසටහන මගින් බොහෝ විට ආන්දෝලනාත්මක තොරතුරු හෙළිකරනු ලබන අතර එම කාරිය ඕස්ටේරලියාව තුළ සහ වෙනත් රටවල් තුළද ඉතා විමර්ශනාත්මකව සිදුකරනු ලබයි. එසේ නම් පසුගියදා ශ්‍රී ලංකාවේදී ඔවුන් සිදුකළේ කුමක්ද?
මෙම තොරතුරද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තෙක් දිවයන කතාන්දරයකි. එකල 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද හම්බන්තොට රජයේ මහ රෝහල 2019 වසරේදී සාදා නිමකර විවෘත කරන ලදී. හම්බන්තොට රජයේ රෝහල යනු අතිශයින්ම නවීන පහසුකම්වලින් හෙබි, ඇඳන් 900කින් යුත් සුපිරි මට්ටමේ රෝහලකි. තවද මෙහි වාට්ටු 42ක් සහ නවීනතම ශල්‍යාගාර 7කින්ද සමන්විත වෙයි. අද ලෝකයේ නවීනතම රෝහල්වල භාවිත කරනු ලබන සියලු ආකාරයේ වෛද්‍ය ස්කෑන් යන්ත්‍ර සහ අනෙකුත් පර්යේෂණ උපකරණවලින් මෙම රෝහල සමන්විතය. අතිශය නවීන උපකරණවලින් සමන්විත දැඩි සත්කාර ඒකක දෙකක්ද මෙම රෝහල සතුය. එසේම වකුගඩු රෝගීන් සහ වෙනත් හදිසි අසාධ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය ලේ පිරිසිදු කිරීමේ නවීනතම අංශයක් රෝහල සතුව ඇත. මෙම රෝහල ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 7,000ක් (රුපියල් කෝටි 700ක්) වැයවී ඇති අතර, ඒ සඳහා නෙදර්ලන්ත රජයෙන් පූර්ණ වශයෙන් ආධාර ලැබී ඇත.
දැන් ඔබට මෙම හම්බන්තොට කතාවේ වගතුග යම් අයුරකින් පැහැදිලිවී ඇත. දැන් අප හැරෙන්නේ එහි හැරවුම් ලක්ෂ්‍යය වෙතය. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ටේරලියානු මාධ්‍යවේදීන් පිරිස මෙහිදී හෙළිකර ඇත්තේ මහත් ආන්දෝලනාත්මක පුවතකි. එනම් මෙම රෝහල ඉදිකිරීමේදී සිදුවී ඇති මහා පරිමාණ මූල්‍යමය වංචාවක රහසිගත තොරතුරු රැසක් ඔවුන් හෙළිකර ඇත. මෙම මූල්‍ය වංචාවට ඕස්ටේරලියාවේ සහ ශ්‍රී ලංකාවේ පිරිස්ද සම්බන්ධ බවට මෙම මාධ්‍යවේදීන් බොහෝ ස්ථාවර සාක්ෂි සහ සාධක ඇතිව පෙන්වා දෙයි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලන පවුලකට සම්බන්ධ දේශපාලකයන් මෙන්ම ඔවුන්ට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වන ආකාරය මෙම විදෙස් මාධ්‍යවේදීන් පෙන්වා දෙයි. ‘ෆෝ කෝනර්ස්’ නමැති මෙම රූපවාහිනී විමර්ශනයේ විශේෂත්වය වන්නේ ඔවුන් අපගේ ශ්‍රී ලංකා භූමියට පැමිණ එම මෙහෙවර නිර්භයව ඉටුකිරීමය. ඔවුන් මෙම විමර්ශනයේ ආරම්භක කොටස් සිදුකරනු ලබන්නේ ඕස්ටේරලියාව තුළදීය. එනම් මෙම ආන්දෝලනාත්මක රූපවාහිනී වැඩසටහන සම්පූර්ණ වශයෙන් මිනිත්තු 43.35කින් සමන්විත වන අතර ශ්‍රී ලකා කොටසට මිනිත්තු 12.26ක් ගතවෙයි.
‘ඇස්පෙන් මෙඩිකල්’ නමැති නාමය මෙම කතාවේ පෙරගමන්කරුවා ලෙස සැලකිය හැකිය. ඇස්පෙන් මෙඩිකල් යනු විවිධ වෛද්‍ය මෙහෙයුම් කටයුතු රැසක් සිදුකරනු ලබන ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන අතර, මෙය ඕස්ටේරලියානු සමාගමක් වෙයි. එහි මූලස්ථානය ඕස්ටේරලියාවේ කැන්බරා අගනුවර පිහිටා තිබෙන අතර ලොව තවත් රටවල් රාශියක ඔවුන්ගේ ශාඛාවන් ඇත. මෙම සමාගමෙහි විශේෂත්වයක් වන්නේ ඔවුන් බොහෝ විට ඕස්ටේරලියානු රජය සමග ඍජුවම සම්බන්ධවී කටයුතු කිරීමය. එහිදී මෙම සමාගම ලෝකයේ බොහෝ දියුණු වන සහ දුප්පත් රටවලට වෛද්‍ය සේවා ලබාදීමට කටයුතු කරනු ලබන අතර, එම මෙහෙයුම් සඳහා ඕස්ටේරලියානු රජයේ මූල්‍ය ආධාරයන් හිමිවෙයි. දැනට මෙම සමාගම ස්ථාපිත කර වසර 18ක කාලයක් ගතවී ඇති අතර මෙම කාලය තුළ එම සමාගම ලෝකයේ විවිධ ව්‍යාපෘති රැසක්ම සිදුකළේය. එහිදී එම සමාගම විසින් සිදුකළ සුවිශාල මෙහෙයුම් ව්‍යාපෘතියක් වන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට ඉදිකරනු ලැබූ රජයේ මහ රෝහලයි.
කෙසේ හෝ ඇස්පෙන් මෙඩිකල් සමාගම පසුගිය වසර දෙකකට අධික කාලයක් පුරා ලොව පැවති කොරෝනා වසංගත සමය තුළදීද ලොව විවිධ රටවල් තුළ වෛද්‍ය මෙහෙයුම් කොන්තරාත්තු සිදුකර ඇත. මෙවැනි වටපිටාවකදී පසුගිය මාස කිහිපයක් තුළදී හදිසියේම හෙළිවන්නට වූයේ මෙම සමාගම යම් විශාල ප්‍රමාණයෙන් මූල්‍යමය දූෂණ, වංචා රැසකට යොමුවූ බැව්ය. එහි බැරෑරුම්කම වූයේ එම දූෂණ වංචා සඳහා ඕස්ටේරලියානු රජයේ යම් දේශපාලනික පාර්ශ්වද සම්බන්ධවී තිබීමය. ඩොලර් මිලියන සහ බිලියන ගණනින් සිදුවුණු මෙම මහා වංචාවන් ගැන මුලින්ම කරුණු හෙළිකරන්නට ගත්තේ ඕස්ටේරලියාවේ රාජ්‍ය මාධ්‍ය විකාශන සේවය වන ABC ගුවන් විදුලි සේවය මගිනි. ඔවුන්ගේ මෙම හෙළිදරව් කිරීම් ඕස්ටේරලියානු ජනතාව සහ ලොව අනෙක් රටවලද ජනතාව අතර අතිශය ආන්දෝලනයකට පත්විය. මෙහිදී ඇස්පෙන් මෙඩිකල් සමාගම ඔස්ටේ්‍රලියානු රජයේ අරමුදල් යටතේ සිදුකළ මහා පරිමාණ වෛද්‍ය සැපයුම් සේවාවන් ගැන ABC මාධ්‍ය ආයතනය හෙළිදරව් කිරීමක් කළේය. එය එරට අභ්‍යන්තරයෙහි සිදුවූ ව්‍යාපෘතියකි.
කෙසේ හෝ මෙම විමර්ශනයත් සමග හෙළි වූයේ ‘ඇස්පෙන් මෙඩිකල්’ සමාගම ඉතාමත් තදබල ලෙස මුදල් විශුද්ධිකරණය සිදුකර ඇති බවකි. ඉහත එම රට තුළ සිදුවූ මූල්‍යමය වංචාවේ විමර්ශන කටයුතු ABC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් විසින් සිදුකරගෙන යන විටදී තවත් විවිධ මූල්‍යමය වංචා කිහිපයකම තොරතුරු සොයාගැනීමටද ඔවුනට හැකි විය. ‘හොඳ හොඳ අඩව්, කස්තිරම් දැකිය හැක්කේ තොවිලයේ එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ මෙහිදී හෙළිවන්නට ගත්තේ ශ්‍රී ලංකාවට අදාළව සිදුකෙරුණු මහා මූල්‍ය වංචාවකි. එය නම් හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවී ඇති සුවිශාල මූල්‍ය වංචාවකි. 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ මෙම රෝහල එහි නිමකිරීම් කටයුතු අවසන්ව 2019දී එනම් යහපාලන රජය සමයේදී විවෘත කරන ලදී. මෙලෙස රෝහල ඉදිකිරිමේදී රෝහල සඳහා අවශ්‍ය වන විවිධ උපකරණ සහ වෙනත් යටිතල පහසුකම් සේවා සඳහා ඩොලර් මිලියන 18.8ක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ ඇස්පෙන් මෙඩිකල් සමාගම වෙතය. ඒ සඳහා එම සමාගම ඕස්ටේරලියානු රජයේ නිල අනුමැතියද ලබාගෙන තිබිණි.
මේ අනුව ඕස්ටේරලියානු ඇස්පෙන් මෙඩිකල් සමාගම එම ඩොලර් මිලියන 18.8ක් වූ කොන්ත්‍රාත්තුව යටතේ හම්බන්තොට රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගි වී ඇත. කෙසේ හෝ පසුගියදා ABC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් විසින් මේ ගැන කරුණු විමර්ශනය කරන විටදී ශ්‍රී ලංකාවේ රෝහල් ව්‍යාපෘතිය ගැන තම සමාගමේ කාර්යභාරය ගැන ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇත. එසේ වුවද ABC මාධ්‍ය ජාලය ඒ පිළිබඳ බොහෝ කරුණු හෙළිකර ගැනීමට සමත්ව ඇත. එහිදී හෙළිකර ගත් සුවිශේෂ කරුණක් නම් ඇස්පෙන් මෙඩිකල් සමාගම හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය සඳහා සිදුකර ඇති ප්‍රථම මුදල් ගනුදෙනුව වන ඩොලර් මිලියන 2.1ක මුදල බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත්වල ලියාපදිංචි කර ඇති ‘සබ්රේ විෂන් හෝල්ඩින්ග්ස්’ නමැති සමාගමක් වෙත ගෙවීම් සිදුකර ඇත. මෙම ගෙවීම සිදුකර ඇත්තේ යුරෝවලින් වන අතර එම මුදල් යුරෝ මිලියන 1.4ක් වෙයි. එනම් එකල ඩොලර් කෝටි 42ක් පමණ වන අතර වර්තමාන ඩොලර් අගයට අනුව රුපියල් කෝටි 75ක් පමණ වෙයි.
මෙහිදී හෙළිවූ අනෙක් සුවිශේෂ කරුණ වන්නේ මෙම ගෙවා ඇති යුරෝ මිලියන 1.4ක මුදල යනු ඇස්පෙන් මෙඩිකල් සමාගමෙන් සබ්රේ විෂන් හෝල්ඩින්ග්ස් සමාගමට ගෙවීමට නියමිත යුරෝ මිලියන 4.3ක කොටසක් පමණක් වීමය. ඕස්ටේරලියානු ABC මාධ්‍ය ජාලයේ පුළුල් විමර්ශනයට අනුව පෙනීගොස් ඇත්තේ වර්ජින් දූපත්වල ලියාපදිංචි කර ඇති මෙම සමාගම ඉතා අබිරහස් සමාගමක් බවත්, එය ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා නමැත්තකුට අයත් එකක් බවත්ය. එසේම මෙම සමාගම හරහා කිහිප වතාවක්ම මුදල් විශුද්ධිකරණයන් සිදුකර ඇති බවද හෙළිකරගෙන ඇත. කෙසේ හෝ මේ වන විට බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත්වල ලෝකයේ ධන කුවේර මුදල් වංචාකරුවන් විසින් විවිධ සමාගම් රැසක් ඉතා රහසිගතව සහ අබිරහස් අයුරින් ස්ථාපිත කර ඇත. තත්ත්වය එසේ වුවද පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ABC මාධ්‍යවේදීන් ව්‍යාපාරික නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කරන විටදී ඔහු පවසා සිටින්නේ තමන් සතු කිසිම සමාගමක් වර්ජින් දූපත්වල නොමැති බවය. නිමල් පෙරේරා යනු රාජපක්ෂ පවුලට ඉතා සමීප සබඳකම් ඇති ව්‍යාපාරිකයෙකුද වෙයි.
ABC මාධ්‍යවේදීන් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිදුකරනු ලබන විමර්ශනයේදී රූගත කර තිබෙන දර්ශන මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. මෙම කණ්ඩායමට රූපවාහිනී ශිල්පීන් කිහිප දෙනකු අයත් වුවද සම්පූර්ණ විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීම් සහ කථනයන් සිදුකරනු ලබන්නේ ABC මාධ්‍ය ජාලයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ලින්ටන් බෙසර් විසිනි. ඔහු එම මාධ්‍ය ආයතනයේ සේවය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. එසේම විනාඩි 44කට ආසන්න කාලයක් පුරා දිවෙන මෙම සුවිශේෂ වැඩසටහන නිෂ්පාදනය කර ඇත්තේ අලි රසල් ස ලුසි කාටර් නමැති විමර්ශනාත්මක වැඩසටහන් නිෂ්පාදකවරුන් දෙදෙනකු විසිනි. ශ්‍රී ලංකාව සහ ඕස්ටේරලියාව එක්ව සිදුවී ඇතැයි පැවසෙන මෙම මූල්‍ය වංචාව ගැන ලින්ටන් බෙසර් මාධ්‍යවේදියා අප රට තුළදී විශේෂිත පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කරනු ලබයි. ව්‍යාපාරික නිමල් පෙරේරා, හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, දූෂණ විරෝධී ව්‍යාපාරයේ වසන්ත සමරසිංහ, හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න වැනි පුද්ගලයන්ගෙන් එම ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. මේ අතර එම මාධ්‍යවේදියා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නමද තැන් කිහිපයකදී ප්‍රකාශ කරනු ලබයි.
මෙහිදී මහත් ආන්දෝලනයක් ඇතිකරනු ලබන දසුන් සහ කථනයන් සිදුවී ඇත්තේ ව්‍යාපාරික නිමල් පෙරේරා සමග ලින්ටන් බෙසර් මාධ්‍යවේදියා විසින් සිදුකරනු ලබන සංවාදයේදීය. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා සමග කතා කිරීම සඳහා ABC මාධ්‍යවේදියා ව්‍යාපාරිකයාගේ නිවෙසට යයි. මෙහිදී දෙදෙනා සංවාදයේ යෙදෙන්නේ නිවෙස් භූමියට ඇතුළුවී ඉදිරියෙන් තිබෙන බිම්කඩ මත සිටගෙනය.
නිමල් පෙරේරා – එන්න එන්න, ඔබට මගෙන් මොනවද දැනගන්න ඕනෙ?
ලින්ටන් බෙසර් – ඔබ කුමන ක්ෂේත්‍රයක කටයුතු කරන ව්‍යාපාරිකයෙක්ද? එසේම ඔබ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නිරතවී තිබෙනවද?
නිමල් පෙරේරා – නැහැ නැහැ. මම කිසිම දිනෙක වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙලා නැහැ. මූල්‍ය ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, නිපැයුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවල තමයි මම නිරතව සිටින්නේ.
ලින්ටන් බෙසර් – ඔබ කිසිම දිනෙක වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු ලෙස කටයුතු කර තිබෙනවද?
නිමල් පෙරේරා – නැහැ නැහැ. කිසිම දිනෙක කටයුතු කර නැහැ. මගේ ව්‍යාපාරික කටයුතුවලට එය අදාළ නැහැ.
ලින්ටන් බෙසර් – ඔබ දැන් එසේ පැවසුවත් හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී ඇස්පෙන් මෙඩිකල් සමාගම ඔබට යම් මුදලක් ගෙවා තිබෙනවා නේද? (මාධ්‍යවේදියා යම් ලියකියවිලි කිහිපයක් නිරීක්ෂණය කරමින් කියා සිටියි) මේ ලේඛනවල ඒ බව සඳහන් වෙලා තිබෙනවා.
නිමල් පෙරේරා – නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එහෙම දෙයක් වෙලා නැහැ.
ලින්ටන් බෙසර් – එහෙත් මේ ලේඛනවල සඳහන් වෙලා තිබෙනවා. මෙම මුදල ඔබගේ වර්ජින් දූපත්වල තිබෙන සමාගමක් වෙත ගෙවා තිබෙනවා කියලා. එම සමාගම අයිති ඔබට කියලත් හෙළිවී තිබෙනවා.
නිමල් පෙරේරා – ඒක අසත්‍යයක්. ඒ සමාගමේ මම කාලයක් කළමනාකාර අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළා පමණයි. මම එහි රැකියාවක් කළා.
ලින්ටන් බෙසර් – එහෙත් වර්ජින් දූපත්වල ලේඛනවල තිබෙන්නේ මෙම සමාගමේ අයිතිකරුවා ඔබයි කියලා. මෙම මුදල් ගනුදෙනුව සඟවන්න ඔබ උත්සාහ ගන්නවා.
නිමල් පෙරේරා – (කෝපයෙන් යුතුව ප්‍රශ්න කරයි) මොනවද මේ තරම් අහන්නේ? මට මේ කිසිම දෙයකට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.
මෙලෙස පැවසූ නිමල් පෙරේරා වහා තම නිවෙස තුළට ගොස් ඉදිරි දොර වසා ගනියි.
කෙසේ වෙතත් මෙම හෙළිදරව්වෙන් පසු නාමල් රාජපක්‍ෂ මහතාද වහාම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමන් මේ කිසිවක් පිළිබඳ නොදැනුවත් බවත්, යළිත් සුපුරුදු පරිදි රාජපක්‍ෂ පවුලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බවත් කියා සිටියේය.
ප්‍රියන්ත හෙට්ටිගේ










