හර්ෂණගේ ආචාර්ය තනතුරේ ලියුම ගියේ කොතනින්ද?
සජිත්ගේ සහතික ගත්ත විපක්ෂ මන්ත්‍රී කව්ද?
මාලිමාව රූපවාහිනියට දාපු සෙනේෂ් මාස 3න් ගෙදර ගියේ ඇයි!
ලියුම ආවේ කොහෙන්ද?
නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 07 වැනි අඟහරුවාදා දිනය. මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අවසන් වරට රැස්වූ පාර්ලිමේන්තු වාරයන් කිහිපයම අවසන් වී තිබුණේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරනවාට සහ ඒවාට විසඳුම් දෙනවාට වඩා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආචාර්ය, මහාචාර්ය, දොස්තර, අධිනීතිඥ පට්ටම් ගැන කතා කරන්නට වැඩි වේලාවක් වැයකරමින්ය. ඊට හේතු වී තිබුණේ මාලිමා ආණ්ඩුවේ පළමුවැනි කතානායකවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබූ ආචාර්ය අශෝක රංවල මහතාගේ ආචාර්ය ධුරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවීමත් සමගය. එහිදී රංවල හට තමන්ට ආචාර්ය උපාධියක් ඇති බව තහවුරු කිරීමට නොහැකි වීම නිසා ඔහුට සිදුවූයේ අඩුම කාලයක් කතානායක පුටුවේ අසුන්ගත් කතානායකවරයා වශයෙන් ඉතිහාස පොත්වලට එක්වී කතානායක පුටුවෙන් බිමට බැසීමටය. අද වනතුරුත් රංවල තමන්ගේ ආචාර්ය උපාධි සහතිකය පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් කිරීමට සමත්ව නැත.Sri Lanka Latest News
නමුත් මෙම තනතුරු ප්‍රශ්නය වඩාත් උග්‍ර අතට පත්වූයේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමන්ගේ නම ඉදිරියෙන් ආචාර්ය තනතුර දමා තිබීම මුල්කරගෙන අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමගය. එහිදී බොහෝ දෙනා සිතා සිටියේ පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු යාවත්කාලීන කරන කාර්යමණ්ඩලය අතින් සිදුවූ අත්වැරැදීමක් හේතුවෙන් හර්ෂණගේ නමට ඉදිරියෙන් ආචාර්ය තනතුර දමා ඇතැයි කියාය. එය වඩාත් තහවුරු වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ ඒ සමගම පාර්ලිමේන්තුවෙන්ද එම සිදුවීමට කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. එවැනි තත්ත්වයක් මතුව තිබියදීත් හර්ෂණ සී.අයි.ඩී.යට යෑම ඇතැමුන් දුටුවේ පාර්ලිමේන්තු නිලධාරීන්ට එරෙහිව හර්ෂණ දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට සූදානමින් සිටින බවකි. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් හැඟෙන්නේ බිමල් රත්නායක මහතාගේ සභානායක කාර්යාලයෙන් යොමුකළ ලිපියකට අනුව හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය තනතුර දැමීමට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවකි. එය හර්ෂණද නොදැන සිටියා විය නොහැක.
කෙසේ වෙතත් හර්ෂණගේ මෙම පැමිණිල්ලෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට පැමිණ එහි කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කොට තිබිණි. ඒත් සමගම සභානායක කාර්යාලයෙන් නිකුත් කළ ලිපිය හදිසියේම වාගේ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන්නට පටන්ගෙන තිබිණි. එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වුවත් බැලූ බැල්මට අව්‍යාජ එකක් බව පැහැදිලිව දැකගන්නට තිබිණි. එමෙන්ම එය මේ වනතෙක් කිසිදු පාර්ශ්වයක් විසින් ප්‍රතික්ෂේප කර හෝ නැත. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සිය වෙබ් අඩවිය යාවත්කාලීන කර තිබුණේ එම ලිපියට අනුවය. නමුත් හර්ෂණ විසින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට ලබාදී ඇති දත්ත සටහනෙහි කොතැනකවත් ආචාර්ය තනතුරක් පිළිබඳ සඳහන් කිරීමට පියවර ගෙන නොතිබිණි. ඒ අනුව මෙම වැරැද්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අතින් සිදුවුණාද, එසේත් නැත්නම් සභානායක කාර්යාලය මගින් නිකුත් කර තිබූ ලිපියට අනුව සිදුවුණාද යන්න දැනගත හැකි වන්නේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තාවට අනුවය.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු හර්ෂණ සහ සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතර උණුසුම් කතාබහක්ද සිදුවිය. ඒ, අජිත් පෙරේරා සිය නමට ඉදිරියෙන් යොදාගෙන තිබූ අධිනීතිඥ නාමය මුල්කරගෙනය. හර්ෂණ කියා සිටියේ එවැනි තනතුරක් දැන් ලංකාවේ නොමැති බවත්, එම නිසා එය භාවිත කිරීම වැරැදි බවත්ය. නමුත් නීති පොත් පෙරළමින් අජිත් පෙන්වා දුන්නේ අධිනීතිඥ තනතුර ලංකාවේ ඇති බවත්, එය භාවිත කළ හැකි බවත්ය. එමෙන්ම 2020 මහ මැතිවරණයේදී හර්ෂණ නානායක්කාරද තමන්ගේ නම ඉදිරියෙන් අධිනීතිඥ තනතුර යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කර තිබූ බවද අජිත් පි. පෙරේරා එහිදී සඳහන් කර සිටියේය.
මාධ්‍ය තහනමක්
මීට අමතරව පසුගිය සතියේදී හර්ෂණ සම්බන්ධයෙන් තවත් සිදුවීමක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඒ, යූටියුබ් මාධ්‍යවේදිනියක වන කිෂානි අලංකි පෙරේරා සිය ට්විටර් ගිණුමේ තබා තිබූ පණිවුඩයක් මුල් කරගෙනය. එහිදී කිෂානි සඳහන් කර තිබුණේ තමන් හර්ෂණගෙන් සම්මුඛ සාකච්ඡාවක් සඳහා තමන් අවස්ථාව ඉල්ලා සිටි බවත්, එහිදී පක්ෂයේ අනුමැතිය නොමැතිව සම්මුඛ සාකච්ඡා ලබාදිය නොහැකි බවට හර්ෂණ පිළිතුරු ලබාදී තිබූ බවත්ය.
මෙම ප්‍රතිචාරයෙන් තමන් පුදුමයට පත්වූ අතර ජාතික ජන බලවේගයේ නවතම ස්ථාවරය මෙයදැයි ඇය ර්‍ණඞ” සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් ප්‍රශ්න කර ඇත.
‘සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම’ යන තේමාව යටතේ සම්මුඛ සාකච්ඡාව පවත්වන්නේ යැයි තමන් අමාත්‍යවරයාට දන්වා සිටි බව කී කිෂානි අලංකි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හර්ෂණ නානායක්කාර මහතා මහමැතිවරණයට පෙර දෙවතාවක්ම තම යූටියුබ් නාලිකාවෙහි සම්මුඛ සාකච්ඡා සඳහා එක්වූ බවයි.
ඒ අනුව මෙම සිදුවීම හරහා පෙනී යන්නේ මතුවෙමින් පවතින විවිධ තත්ත්වයන් මුල්කරගෙන මාලිමාව සිය මැති ඇමැතිවරුන්ට සම්මුඛ සාකච්ඡා ලබාදීම සඳහා යම් සීමාකිරීම් පනවා ඇති බවකි.
සෙනේෂ්ගේ අස්වීම
මීට අමතරව නත්තල් සතියේ මාලිමා ආණ්ඩුව හෙල්ලී යන ආකාරයේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ වූයේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් මාලිමා ආණ්ඩුවෙන් පත්කළ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක හදිසියේම එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගය. මෙය නත්තල මැද්දේ ආණ්ඩුව ඉලක්ක කොට පත්තු කළ තුන්හුලස් රතිඤ්ඤාවක් මෙන් පිපිරී ගියේ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සෙනේෂ් එම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබීම නිසාය. ඒ සමගම බොහෝ දෙනා කියා සිටියේ ඊට දින කිහිපයකට පෙරාතුව ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ශාන්තිකර්ම වැඩසටහනක් අතරතුර ලෙංචිනාට ඇඳ සිටි අයකු මාලිමාවේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියගෙන් උගන්ඩාවේ සඟවා ඇති මුදල් පිළිබඳ හාස්‍යජනක ලෙස ප්‍රශ්න කිරීම විකාශය කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වූවා යැයි කියාය. තවත් පිරිස් කියා සිටියේ කළමනාකාරීත්වයේ තිබූ බරපතළ ගැටලුවක් මුල්කරගෙන මෙසේ සෙනේෂ් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවකි. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබුණේ සෙනේෂ් සමග කාලයක් එකට වැඩකළ දෙදෙනකුගේ ටෙලිනාට්‍ය සඳහා විශාල මුදලක් ගෙවා රූපවාහිනියට මිලදී ගත් සිදුවීමක් මෙය පසුපස ඇතැයි කියාය.
කෙසේ වෙතත් මේ ආකාරයට විවිධ තොරතුරු සමාජ මාධ්‍යවල පළවෙද්දී සෙනේෂ් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ගේම ෆේස්බුක් පිටුවේ දීර්ඝ විශේෂ සටහනක් පළකිරීමට කටයුතු කර තිබිණි. සෙනේෂ්ගේ එම පැහැදිලි කිරීම පහත දැක්වේ.
‘2024.12.24 නත්තල් ලබන හවස අල්ලාප සල්ලාපය
සේවා අංක 1078 සිට සේවා අංක 2766 දක්වා
සේවා අංක 1078 කියන්නේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයකු වශයෙන් මම ජාතික රූපවාහිනියට බැඳිලා නිෂ්පාදකවරයෙකු ලෙස අස්වෙලා යන තෙක් මගේ සේවා අංකය. කිසිදවසක ආයෙත් තනතුරකට එන්න නොසිතුවත්, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් හදිසියේම ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් සේවා අංක 2766 හැටියට වැඩබාරගන්න සිදුවීම අහම්බයක්. එම කාර්යය අවසන් කරලා අස්වීමේ ලිපිය බාර දීලා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්ක අල්ලාප සල්ලාප කතා කරන විට ‘එදා අපිට තිබ්බෙ මෙහෙයුමක්..’ ඔහු මේ කාර්යය මා හට එදා දවසේ පවරපු හැටි මතක් කළේ දැඩි සහොදරාත්මක ස්වරයෙන්. ‘ඒක ඇත්තටම ලොකු කැපකිරීමක්.. ඔයා කළේ’ අමාත්‍ය භූමිකාවෙන් මිදුණු නලින්දගේ හෘදයාංගම බව ඒ වචනවල තිබුණා. ඒ දවස අපි දෙන්නාම මතක් කළා.
2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගෙන් ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬකර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණි. ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම ‘සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.’ මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. ‘….ත් තියෙනවා, …..ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..’ නලින්ද සුපුරුදු හිතෛෂී නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. ‘ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.’ ‘ඒවා පස්සෙ කතාකරමුද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මනට තීරණයක් ඕන..’ නලින්ද ඇමතුම විසන්ධි කළා. නිම්මිට ඇමතුමක් ගත්තා. ‘පුළුවන් වෙයිද නිවාඩු ගන්න’ නිම්මි එක්ක තරමක් දිග ඇමතුම අතරෙ බිමල් රත්නායක සහෝදරයාගේ ඇමතුමක් ආවා. ‘ක්‍ඪ එකක් උය්එි්චච එකට එවන්න.. පරක්කු වෙන්න බෑ.. දැන්ම දාන්න’ කියලා. මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද පීඨාධිපතිතුමාට කතා කළාම සුබපතලා උපකුලපතිතුමාට කියන්නම් විනාඩි 5කින් එතුමාට කතාකරන්න කිව්වා. ඒ ඇමතුම විසන්ධි වූ සැණින් ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයාගේ ඇමතුම වූයේ ‘සෙනේෂ් අයියේ.. ක්‍ඪ එක ගන්න අපි දෙන්නෙක් ගෙදරට එන්නද..?’ අහලා. ‘ඪක්‍ගෙන් අනුමැතිය ගත්තේ නෑ තාම.’ ප්‍රේම්ගේ ඇමතුම වගේ නෙවෙයි නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂී බවක් තිබුණේ නෑ. ‘කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුළුවන් වෙන්නම ඕන.. මාස දෙකක් තුනක්..? මේක වැඩක්.. කරමු ඉතින් දැන් කරමු මේක..’ මාස තුනකට හිත හදාගත්තා. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාත්මක අඩුව හොඳින්ම දන්නා නිසා ‘සර් මං හිතනවා ලෙක්චර්ස් ටිකත් කරන්න කොහොම හරි..’ කියලා සහමුලින්ම පූර්ණකාලීන නොවන හැටියට සේවා නිදහසක් උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ‘යන්න ළමයා.. ජාතික වගකීම ඉටුකරන්න.’ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ උපකුලපතිතුමා නව පත්වීම හරහා බැඳුණු පරිපාලන නිරවුල් කරදීම් එවෙලේම ලේඛකාධිකාරීතුමාට පැවරුවා. ඉතින් ක්‍ඪ එක උය්එි්චච කළා.
2024.09.25 දින උදෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ලිපිය ලැබුණේ උණුසුම් වැලඳගැනීමක් එක්ක. වෙලාව අරගෙන ජාතික රූපවාහිනිය ගැනත් ඒ සම්බන්ධ තවත් දේ ගැනත් ගැන හොයලා හෙට වැඩ බාරගන්න හිතුවා. මාස තුනක කෙටි කාලයකට ගැළපෙන කෙටි සැලසුමක් පමණක් හදාගත්තා.
2024.09.26 දින වැඩ බාරගත්තා. මාස තුනකින් සේවය අවසන් කරන අදහස මුල් කරගෙන ‘කෙටි කාලයයි මං ඉන්නේ.. ඒ ටිකට මේ වැඩ ටික කරගන්න ඕන..’ කාගෙ කාගෙත් උදව්වෙන් ඒ මෙහෙයුම ආරම්භ කළා.
අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා සමග සසඳා බලද්දි මේ රජය බලයට පත්වන 2024 සැප්තැම්බර් මාසය අග වනවිට ජාතික රූපවාහිනිය එතෙක් පැවතියාවූ දුර්වල සහ නොපිළිගත් මට්ටමෙන් මුදාගෙන, සිය මාධ්‍ය මෙහෙවරෙහිලා නිර්මාණාත්මක සහ තාක්ෂණ ශිල්පීයත්වයේ ප්‍රශස්ත මාධ්‍යකරණය අංශයෙන් මෙන්ම රජයේ ජනමාධ්‍ය ආයතනයක් ලෙස ආර්ථිකමය අංශයෙන්ද පැවති ඉතාමත් දුර්මුඛ තත්ත්වය මගහරවා ගනිමින් ගතවූ මාස තුනක කාලපරිච්ඡේදය තුළදී,
■ කලක් තිස්සේ සංස්ථාව සමග ගනුදෙනුවලදී ගැටලුසහගතව කටයුතු කළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාව, විදුලිබල මණ්ඩලය සහ සමාගම, ලංකා බැංකුව වැනි ආයතන සමග පැවති බදු, ණය, හිඟ, දඩ පිළිබඳ නැවත සාකච්ඡා කොට බිඳවැටී තිබුණු විශ්වාසය නැවත ගොඩනැංවීමටත්,
■ මෙරට වෙළෙඳ ප්‍රචාරණ නියෝජිතායතන මෙන්ම ජනමාධ්‍ය කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ, ටෙලිනාට්‍ය සහ ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සංස්ථාව කෙරෙහි පැවති සැක සංකා හේතුවෙන් ඈත්ව ගිය සබඳතා නැවත ගොඩනංවා විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමටත්,
■ අන්තර්ජාතික වශයෙන් සාමාජිකත්වය අහිමිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආසියා පැසිෆික් විකාශන සංගමය (්ඊඹ) සහ විකාශන සංවර්ධනය සඳහා ආසියා-පැසිෆික් ආයතනය (්ෂඊෘ) සමග පැවති ව්‍යාකූලතා සංසිඳවා නැවත සාමාජිකත්වය සුරක්ෂා කිරීමටත්,
■ ගුණාත්මක ප්‍රේක්ෂකත්වය නැවත ආකර්ෂණය පිණිස නව වැඩසටහන් ආරම්භ කිරීමේදී අනවශ්‍ය නිෂ්පාදන පිරිවැය කළමනාකරණය කිරීමට සහ පරිපාලන වියදම් පාලනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ටෙලිනාට්‍ය වැනි බාහිර වැඩසටහන් මිලදී ගැනීමේදී පාරදෘශ්‍යභාවය පවත්වාගැනීම තුළින් විනිවිද මූල්‍ය පරිපාලනයක් ඇතිකිරීමටත්,
■ සංස්ථාවේ ප්‍රවෘත්ති, කාලීන වැඩසටහන්, විචිත්‍රාංග වැඩසටහන්, ටෙලිනාට්‍ය, ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග, නිතර ඉල්ලීම් ඇති පැරණි වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් ප්‍රවර්ග ටෙලිවිෂන් තිරයෙන් නරඹන ප්‍රේක්ෂකත්වය විශාල ගුණයකින් වැඩි කරගැනීමටත්, ඩිජිටල් අවකාශයේ අතීතයේ නොවූ තරම් සුවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ස්ථාපිත කරගැනීමෙන් ඉන් ආදායම් ඉපයීමටත්,
■ ජාතික නාලිකාව, චැනල් අයි, සහ නේත්‍රා ටීවී වෙන වෙනම අනන්‍යතා සහිත නාලිකා ත්‍රිත්වයක් ලෙස සලකා වෙනස් වෙනස් ප්‍රේක්ෂක සමූහ එල්ල කරගත් වැඩසටහන්, තාක්ෂණ සේවා සහ අලෙවි කටයුතු සිදුකිරීම ආරම්භ කිරීමටත්,
■ විටින්විට සේවක වැටුප් හා දීමනා ගෙවීමට නොහැකිවූ අතීත තත්ත්වය නැවත ඇතිවීම වළක්වා කලට වේලාවට සේවක වැටුප් හා දීමනා ලබාදීමටත්,
මූලික වශයෙන්ම ජාතික රූපවාහිනිය සමත් වුණා.
ඊට සහයෝගය දුන්නු කාර්ය මණ්ඩලයේ සැමට ස්තූති පූර්වක වෙමින් 2024.12.25 දිනට මාසික වැටුප් නොලබා මා විසින් ලබාදෙන ලද මාගේ සේවා කාලයට තුන් මසක් සම්පූර්ණ වන දින සිට මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව 2024.12.05 දා වර්තමාන ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා කළා. 2024.09.26 දින සිට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් පත්කරන ලදුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කළ මම මාගේ සේවා කාලය 2024.12.25 දිනට තුන්මසක කාලයක් සම්පූර්ණ කරන විට ජාතික රූපවාහිනියේ දැරූ තනතුරෙන් සමුගන්නවා. බලයට පත්වූ ජාතික ජන බලවේගය රජයේ මුල් පත්වීම් අතර මා ලද මෙම පත්වීම මගින් රජයට, රටට, ජනතාවට ජාතික වශයෙන් වගකියනු ලබන ගුණාත්මක ටෙලිවිෂන් මාධ්‍ය ආයතනයක් බවට නැවත ජාතික නාලිකාව පත් කරවන්නට අවස්ථාවක් කරගැනීමට ඒ කාලය තුළ හැකි වීම පිළිබඳ සෑහීමට පත් වන අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව සහ මගේ රාජකාරී අධීක්ෂණය කරන ලද විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යතුමන්ලා වෙතින් ලද සහයෝගය ඉතා අගය කොට සලකනවා. ජාතික රූපවාහිනිය මෙවැනි යළි සාර්ථක ආරම්භයක් තබන්නට කෙටිකාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම පමණක්ම නොව නැවතත් ජාතික රූපවාහිනියට ආදරය කැඳවමින් එහි ගුණාත්මක ප්‍රේක්ෂාගාරයට එක්වූ ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මගේ ආදර”ය ගෞරවය හිමි කරනවා. ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ආචාර්ය අජන්ත සෙනෙවිරත්න මෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන හිටපු මෑතකාලීන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු විවිධ විද්වතුන් හිතවතුන් රසවතුන් විටින් විට මාහට දෙන ලද උපදෙස් සහ තොරතුරු මට උපකාර වූ බව සටහන් තබනවා. එමෙන්ම ගිහාන් ද සිල්වා සහෝදරයා නව සභාපති ධුරයට පත්ව ක්‍රියාත්මක කරනු ලබන අනාගත ඉදිරි සැලසුම් කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඉතසිතින් සුබ පතනවා.
ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදුව තිබේ. ‘ඒකත් කරන්නම වෙනවා..’ අල්ලාප සල්ලාප අතරේම නලින්ද ආයෙත් එහෙම කිව්වා….’
අනුර චීනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අවසන් වූයේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සනිටුහන් කරමිනි. එහිදී බොහෝ දෙනා ජනාධිපතිවරයා ඉන්දියාවේදී රටට අහිතකර ගිවිසුම් කිහිපයකට අස්සන් තැබූ බවට චෝදනා කළද ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ එවැනි කිසිදු අහිතකර ගිවිසුමකට ජනාධිපතිවරයා අස්සන් නොකළ බවකි. මේ නිසාමදෝ ජනාධිපතිවරයාගේ මීළඟ සංචාරය වන චීන සංචාරය පිළිබඳවද බොහෝ දෙනා සිටින්නේ ඉන්දීය සංචාරයටත් වඩා ඇහැ ගහගෙනය. ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත්තේ ලබන 15 වැනිදාය. මේ වනවිටත් ඊට අදාළ කටයුතු සූදානම් කරමින් පවතින අතර, ඒ සිදුවීම් සියල්ලක්ම දෙස ඉන්දියාව, ඇමෙරිකාව සහ බටහිර රටවල් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මන්ද යත් දැනටමත් ආණ්ඩුව චීනය පැත්තට බරව ඉදිරි ගමනක් යෑමට සැලසුම් කරමින් සිටින බවට ඔවුන්ට ඉව වැටී තිබීම ඊට හේතුවය.
මේ ආකාරයට පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ රජය පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ රජයද සිටියේ දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියකය. මේ නිසාම එකල ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සබඳතා තරමක් පළුදු වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු හෙතෙම ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තම පරාජය පසුපස ඉන්දියාව සිටියා යැයි කියාය. ගෝඨාද චීන හිතවාදී ප්‍රතිපත්තියක සිටි අතර, එහි අවසන් ප්‍රතිඵලය වූයේ රට ඇතුළේ ආණ්ඩු විරෝධී ජන අරගලයක් මතුවීමය. මේ නිසාම වත්මන් ජනාධිපතිවරයාගේ චීන ගමන පිළිබඳවද ඉන්දියාව සිටින්නේ සමීපව නිරීක්ෂණය කරමින්ය.
චීනයෙන් ආ යෝජනාව
පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් දෙස බලන විට ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ මේ චීන සංචාරය ඉතා සුවිශේෂ එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම සංචාරය සැලසුම් කිරීම සඳහා පසුගිය කාලයේදී චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නිලධාරීන් පිරිසක් ලංකාවට පැමිණ තිබිණි. ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ ඉන්දීය සංචාරයේ නිරත වෙමිනි. එසේ පැමිණි චීන දූත පිරිස ජවිපෙ මූලස්ථානයටද ගියහ. එම සාකච්ඡාවලින් අනතුරුව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර කාලාන්තරයක් තිස්සේ සමීප සබඳතාවක් පවතින බවකි.
ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරය නිමාකොට පැමිණි වහා මෙම චීන නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාද හමුවීමට පියවර ගත්හ. එහිදී එම පිරිස ජනාධිපතිවරයාට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ පණිවුඩයක්ද ලැබෙන්නට සැලැස්වීය. එම පණිවුඩයෙන් කියවුණේ ජනාධිපතිවරයාට සිදුකරන ගරුකිරීමක් ලෙස ජනාධිපතිවරයා කැමැති ඕනෑම අලුත් ව්‍යාපෘතියක් චීන සංචාරය තුරදී ඉදිරිපත් කරන ලෙසත්, එය ක්‍රියාත්මක කිරීමට චීන රජය සූදානම් බවත්ය. කිසිදු ජනාධිපතිවරයකුට නොලැබුණු ආකාරයේ සුවිශේෂ යෝජනාවක් චීනය පැත්තෙන් මේ ආකාරයට ඉදිරිපත් වීමත් සමග පසුගිය දින කීපය පුරාම ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැති අතර, එහිදී සාකච්ඡා වූයේ චීන සංචාරයේදී ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘති යෝජනාව පිළිබඳවය.
මීට අමතරව මෙම චීන සංචාරයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර දැනට ඇණහිට ඇති කොටස යළි ආරම්භ කිරීම පිළිබඳවද අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. දැනට එම කොටස නවත්වා ඇත්තේ අදාළ කොටස බාරව ඇති චීන සමාගමට විශාල වන්දි මුදලක් ආණ්ඩුව පැත්තෙන් ගෙවිය යුතුව තිබීම නිසාය. නමුත් අපට ලැබී ඇති ආරංචිවලින් කියැවෙන්නේ ඒ සම්බන්ධයෙන් චීනය පැත්තෙන් ඉතා සුබ පණිවුඩයක් ආණ්ඩුව වෙත ලැබී ඇති බවකි. එනම් අදාළ වන්දි මුදල සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට හෝ විශාල ලෙස එම වන්දි මුදල කපාහැර හෝ කඩවත – මීරිගම ඉතිරි කොටස ඉදිකිරීමට චීනය දැනටමත් එකඟතාව පළකොට ඇති බවකි.
මීට අමතරව රට බංකොලොත් වීම නිසා අතහැර දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර දක්වා කොටසම ඉදිකිරීම සම්බන්ධයෙන්ද චීනය සිටින්නේ සුබවාදී තැනකය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මෙවර චීන සංචාරයේදී ඊට අදාළ වන්දි මුදල්ද ගෙවා අවසන් කොට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි කියාය. එමෙන්ම මීට සති දෙකකට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි චීනය මේ වනවිට සැලසුම් කොට ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල තෙල් පිරිපහදුවක්ද ඉදිකිරීමටය. එමෙන්ම හම්බන්තොට ආශ්‍රිතව දැවැන්ත කර්මාන්ත කලාපයක් පිහිටුවීමටද චීනය දැනටමත් සැලසුම් සකස් කොට ඇති බවක් ආරංචිය.
අනුර දැඩි තීන්දුවක
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී විශේෂ දැනුම්දීමක් චීන රජය වෙත සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. ඒ, චීනය විසින් ලංකාව තුළ සිදුකරන කිසිදු ආයෝජනයකදී සත පහක කොමිස් මුදලක් මෙරට දේශපාලකයන්ට හෝ මෙරට නිලධාරීන්ට හෝ මෙරට ආයතනවලට ලබා නොදෙන ලෙසටය. මන්ද යත් රාජපක්ෂ පාලන සමයේදී ආණ්ඩුවට එල්ල වූ දැවැන්ත චෝදනාවක් වූයේ විශාල ආයෝජන ව්‍යාපෘති දියත් කිරීමේදී අදාළ සමාගම්වලින් ලංකාවේ දේශපාලකයන් ඇතුළු විවිධ පුද්ගලයන් හට රුපියල් කෝටි ගණනින් විවිධ සන්තෝසම් ලබාදී තිබූ බවකි. වරක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීම සඳහා චීන සමාගමකින් ලබාදී තිබූ කෝටි ගණන්වල චෙක්පත් පවා එවක මාධ්‍යවලින් අනාවරණ කර තිබිණි. මේ නිසා ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ සිය ආණ්ඩු කාලය තුළදී ඒ කිසිදු චෝදනාවකට යට නොවී පිරිසිදු පාලනයක් ගෙන යෑමටය. එම නිසා අදාළ චීන සමාගම්වලින් මොනයම් හෝ මුදලක් විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති බවට චෝදනා එල්ල වුවහොත් අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළෙන බව ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී චීන ජනාධිපතිවරයාට දැනුම් දීමට තීන්දු කොට ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඇතුළේ ගැටුම්
තුනෙන් දෙකක අතිබහුතර බලයක් සමග පිහිටුවූ මාලිමා ආණ්ඩුව ඇතුළේ එළියට නොපෙනෙන යම් යම් මතගැටුම් පවතින බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වාර්තා කළේ වරක් දෙවරක් නොවේ. පසුගිය සති කීපය පුරාම ආණ්ඩුව ඇතුළේ පැනනැගී තිබූ එවැනි විවිධ මතගැටුම් සහ නොගැළපීම් පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තුළින් තොරතුරු අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. මෙවරද අප සූදානම් වන්නේ පසුගිය සතියේ මාලිමා අණ්ඩුව ඇතුළේ මතුවූ එවැනි මතගැටුම් කීපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමටය.
ඉන් පළමුවැන්න වී තිබුණේ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන්ගෙන් ඉගෙනගන්නා සිසුන්ට මුදල් ගෙවා අමතර පන්ති පැවැත්විය නොහැකි බවට නිකුත් කළ චක්‍රලේඛය වහාම ආපසු හැරවීමට පියවර ගෙන තිබීමය. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඊට මැදිහත් වී තිබූ අතර බස්නාහිර ආණ්ඩුකාරවරයා විසින් පසුව එය අත්හිටුවීමට කටයුතු කොට තිබුණේය. මේ සම්න්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ප්‍රකාශයක් කරමින් මහින්ද ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර සිටියේය. මහින්ද ජයසිංහ එහිදී සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවය.
මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩයිම් වැඩසටහනට අදාල මොඩියුල සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයද තාවකාලිකව අත්හිටුවූ බව මහින්ද ජයසිංහ සදහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය ඇත්තේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය යටතේය.
බිරිඳ කරපු පැමිණිල්ල
මීට අමතරව තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පසුගිය සිකුරාදා දිනයේදී ලංකාදීප පුවත්පත විසින් සිය මුල්පුවත මගින් වාර්තා කොට තිබුණේ මෙසේය.
‘ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැමියා තමාට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත්, එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි යන්න ගැන බලවත් සැකයක් පවතින බවත් සඳහන් කරමින් එම මන්ත්‍රීවරයාගේ නීතිඥ බිරිඳ පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
තමාට අයත් ප්‍රාඩෝ රථය මන්ත්‍රීවරයකු වන තම සැමියා රැගෙන ගොස් පරිහරණය කිරීම නිසා තමාගේ ගමන් බිමන් යෑමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින බවද නීතිඥ බිරිඳ කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රී සැමියා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත්, එම සම්බන්ධතාව නතර කරන ලෙස අවස්ථා ගණනාවකදීම අවවාද කළත් ඔහු එම සම්බන්ධතාව නතර කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පැවැසේ.’ යනුවෙන් ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබිණ.
ජොනීට ලොකු ජොබ් එකක්
ආණ්ඩුව මේ වනවිට සූදානම්ව සිටින්නේ පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තුවේදී හෝ අප්‍රේල් මාසයේදී පැවැත්වීමටය. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් සූදානම් කරමින් සිටී. ඒ අනුව දේශපාලන පක්ෂද මේ දිනවල පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලසුම් සූදානම් කරමින් සිටින බවක් දැකගන්නට පුළුවන.
ඒ අනුව පසුගිය සතියේ පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම එක්වී සිටි අතර, පළමුවෙන්ම සිදුකෙරුණේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ලෙස තරුණ මන්ත්‍රීවරයකු වන ඩී.වී. චානක පත්කර ගැනීමය. පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වීමෙන් පසු පුරප්පාඩු වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය මෙසේ චානකට ලබාදීමට පක්ෂය කටයුතු කර තිබිණි.
මීට අමතරව එළඹෙන පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ කටයුතු සම්පූර්ණයෙන්ම හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට භාරදීමටද පොහොට්ටුව පසුගිය සතියේ තීන්දු කළේය. ඒ අනුව මේ දිනවල ජොනී රට වටා යමින් පක්ෂය පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානම් කරමින් සිටින ආකාරයක්ද දැකගන්නට පුළුවන.
දෙබිඩි විපක්ෂ මන්ත්‍රී
මාලිමා ආණ්ඩුවේ පළමු කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධ ප්‍රශ්නය අවසානයේදී හැරුණේ වෙන කාටවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. ඒ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන්ද මේ වනවිට රට ඇතුළේ ප්‍රශ්නයක් මතුව ඇති බවත්, එම නිසා විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙය හොඳම අවස්ථාවක් බවත් කියා සිටීමත් සමගය. ඒ අනුව මාලිමාවේ සමාජ මාධ්‍ය නලින්දගේ මේ කතාව අල්ලාගෙන විපක්ෂ නායකවරයා ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමටද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් රංවලගේ මේ උපාධි ප්‍රශ්නය පිළිබඳ සමාජයේ කතාබහක් මතුවෙද්දී සජිත් කොහොමත් තීන්දු කර තිබුණේ ජනවාරියේ පාර්ලිමේන්තුව ආරම්භ වූ වහා සිය සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණේ අද ඊයේ සිට නොව 2019 ජනාධිපතිවරණ සමයේ සිටම සජිත්ගේ මේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විශාල කතිකාවක් රට ඇතුළේ පැනනැගී තිබීම නිසාය. එම ප්‍රශ්නය එවක සිටම මතුකොට තිබුණේද වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කණ්ඩායම විසින්ය.
කෙසේ වෙතත් නලින්ද සිදුකළ අභියෝගයත් සමග සජිත් තීන්දු කළේ වහාම සිය අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ඒ අනුව සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත වතාවක් නලින්දත් බිමල් රත්නායක සභානායකවරයාත් චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ සජිත් අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, ඒවා සභාගත කිරීමට කටයුතු කොට නැතැයි කියාය. නොඑසේ නම් එම සහතික පාර්ලිමේන්තුවට ලබාදී නැතැයි කියාය. සජිත්ට ඊටද බලපෑ හේතුවක් තිබිණි. ඒ, යම් හෙයකින් එදිනම අධ්‍යාපන සහතික සභාගත කළේ නම් විවිධ පුද්ගලයන් ඒවා ගෙන විකෘති කොට සමාජ මාධ්‍ය හරහා චරිත ඝාතන සිදුකළ හැකි බවට උපදෙස් ලැබී තිබීම නිසාය. ඒ අනුව සජිත් කළේ ඊට පසු දිනම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ගොස් අදාළ සහතික සියල්ල නිල වශයෙන්ම ඊට භාරදීමය.
කෙසේ වෙතත් සජිත් මෙම සහතික භාරදීමෙන් පසු පසුගිය සතියේ තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ගොස් සජිත්ගේ සහතික සියල්ල ලබාගැනීමට කටයුතු කොට තිබීම හරහාය. ඒ බව මොහොතක් යෑමට මත්තෙන් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම සජිත්ට ආරංචි විය.
කෙසේ වෙතත් සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මාලිමාව ප්‍රශ්න කර තිබීම නිසා බොහෝ දෙනා සිතා සිටියේ මෙම සහතික මාලිමාව පැත්තෙන් පළමුව ලබාගනු ඇතැයි කියාය. නමුත් ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් වෙමින් එම සහතික ලබාගෙන තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වීම විශේෂ සිදුවීමක් විය. කාලයක් තිස්සේ මෙම පුද්ගලයා සජිත් සමග දේශපාලන වශයෙන් අමනාපයෙන් පසුවුවද පසුගිය දින කීපයේදී සජිත් සමග පාර්ලිමේන්තුවේදී ඉතා කිට්ටුවෙන් හිඳිමින් හිතවත්කම් පෙන්වමින් කතා කිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම එදා රනිල් සමීපයේ සිටිමින් සජිත්ට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට රනිල්ටත්, එජාපයටත් ලණුව දී තිබුණේද මේ පුද්ගලයා විසින් බව ප්‍රකටය. සමාජ මාධ්‍ය යොදාගෙන සජිත්ට මඩ ගැහුවේත් ඔහුගේ ආශීර්වාදය ඇතිව බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. හෙතෙම මෙසේ සජිත්ගේ අධ්‍යාපන සහතික ලබාගෙන ඇත්තේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ලබාදීමේ අරමුණෙන් බවද ආරංචිය.
මීට අමතරව පසුගිය මහ මැතිවරණයේදී එක්තරා ගුරුවරයකු සජිත්ගේ යැයි කියමින් අධ්‍යාපන සහතික ළමයින්ට පෙන්වා සජිත් යනු 8 පාස් නැති අයකු බව කියන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය විය. ඒත් සමගම රනිල්ද මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී සිය සමාජ මාධ්‍ය නඩයට උපදෙස් ලබාදී තිබුණේ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයාගෙන ඔහුට පහරදීම ආරම්භ කරන ලෙසටය. නමුත් ඔවුන්ටද සජිත්ගේ කිසිදු අධ්‍යාපන සහතිකයක් සොයාගැනීමට නොහැකි වූයේ කවදාවත් සජිත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කතාකොට නොතිබීම නිසාය. කෙසේ වෙතත් සජිත් මේ වනවිට සිය අධ්‍යාපන සුදුසුකම් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර සති දෙකකට ආසන්න කාලයක් ගතවුවද තවමත් ඒ සම්බන්ධයෙන් මාලිමාව පැත්තෙන් හෝ රනිල්ගේ පැත්තෙන් හෝ ‘හ්ම්’ සද්දයක් නොමැති වීම විශේෂ සිදුවීමකි.
රාජ්‍ය රහස්!










