හර්ෂ කැපූ වළේ හර්ෂම වැටිලා!
ලාල්කාන්ත විරුද්ධ වූ සාම්පූර් අනුර දීපු හැටි!
රනිල්ගෙන් තවත් පට්ට කෙබරයක්!
හර්ෂගේ වළේ හර්ෂම
පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යම් තැනක ජනාධිපතිවරයාට බාධා කරමින් ප්‍රශ්නයක් ඇසීමට පියවර ගත්තේය. එහිදී සිය අයවැය කතාව මඳකට නවතා ලූ ජනාධිපතිවරයා හර්ෂ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට උපහාසයෙන් යුතුව සිනාසිසී කියා සිටියේ හර්ෂගේ ප්‍රශ්නවලට තමන්ට උත්තර නැති බවත්, හර්ෂට අහිමි වූ සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමන්ට ලබාදිය නොහැකි බවත්, එය විපක්ෂ නායකවරයාගෙන් ලබාගත යුතු බවත්ය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීමට හේතු වූයේ ඊට පෙර දින පැවැති සජබ සාකච්ඡාවකදී කොළඹ දිස්ත්‍රික් සජබ නායකත්වය තමා යටතට ගැනීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට තිබීම නිසාය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හර්ෂගෙන් ප්‍රශ්න කරද්දී ඊට පිළිතුරු දෙමින් ඔහු කියා තිබුණේ පක්ෂ නායකත්වයට අමතරව සජිත් කොළඹ නායකත්වයද තමා යටතට ගත් බවත්, තමන් තනතුරු පස්සේ එල්ලී නොයන බවත්ය.Sri Lanka Latest News
හර්ෂ මේ ආකාරයෙන් මාධ්‍ය හමුවේ එක එක කතා කීවද සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් මුල් වටයේදීම ප්‍රශ්නය හදා තිබුණේද වෙන කවුරුවත් නොව හර්ෂ ඇතුලු කණ්ඩායමකි. සජබය මුලින්ම මහ මැතිවරණයකට තරග කළ 2019 මැතිවරණයේදී කොළඹින් සජබයේ අංක 01 බවට පත්වූයේ සජිත් ප්‍රේමදාසය. දෙවැනි තැනට පත්වූයේ කොළොන්නාවේ එස්.එම්. මරික්කාර්ය. ඒ අවස්ථාවේ තමන් පක්ෂ නායකයා වීම නිසා සජිත් තීන්දු කළේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙවැනියාට වැඩිම මනාප ලබාගත් මරික්කාර්ට ලබාදීමටය. ඒ සඳහා වූ ලියුමද සජිත් විසින් සකස් කිරීමට පියවර ගත්තේය.
නමුත් ඒ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කයේ කිහිප දෙනකු සජිත් හමුවී දැනුම්දී සිටියේ මරික්කාර්ට කොළඹ දිස්ත්‍රික් නායකත්වය ලබාදීම හරහා ගැටලු ගණනාවක් පැනනැගිය හැකි බවකි. විශේෂයෙන්ම මරික්කාර් මුස්ලිම් ජාතිකයකු වීම නිසා අනෙකුත් ජන කොටස්වල සහාය පක්ෂයට නොලැබී යෑමේ අවදානමක් මතුවිය හැකි බවද මෙම පිරිස හීන් සීරුවේ සජිත්ගේ ඔළුවට දැමූහ. නමුත් ඒ වනවිටත් මුස්ලිම් ජාතිකයකු වූ එම්.එච්. මොහොමඩ් සහ කතෝලිකයකු වූ රවි කරුණානායක එජාපය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් නායකත්වය දරා තිබූ බව මේ පිරිසට අමතක වී තිබිණි. නමුත් මරික්කාර්ට කෙසේවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය ලබා නොදෙන ලෙසට මේ පිරිස දිගින් දිගටම සජිත්ට කියා සිටියහ.
මේ බලපෑම හේතුකොට ගෙන ලිපිය සකස් කොට තිබුණද අවසානයේ සජිත් තීන්දු කළේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය මරික්කාර්ට ලබා නොදී තමන් යටතේම තබාගැනීමටය.
නමුත් දෛවයේ සරදම කියන්නේ එදා කළ බලපෑම සහ මරික්කාර්ට දැමූ කැපිල්ල අද ඔවුන්ටම පාරාවළල්ලක් වී පැමිණ තිබීමය. මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් පළමු තැනට පැමිණි අතර, දෙවැනි තැනට පත්වූයේ හර්ෂය. ඒ අනුව හර්ෂ තමන් මෙතෙක් කල් පක්ෂයේ දැරූ භාණ්ඩාගාරික තනතුරට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයද තමන්ට ලබාදෙන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක් කොට තිබිණි. මේ බව වාර්තා වීමත් සමග මරික්කාර්ද නිකම් සිටියේ නැත. වහාම මාධ්‍ය හමුවක් කැඳවූ මරික්කාර් කියා සිටියේ තමන්ට කොළඹ දිස්ත්‍රික් නායකත්වය ලබාදීමට සජිත් සූදානම් වූ අවස්ථාවේ එක් පුද්ගලයකු ඊට විරුද්ධ වූ බවකි. එම තර්කය යටතේ අද ඔහුටද කොළඹ දිස්ත්‍රික් නායකත්වය ලැබී නොමැති බව මරික්කාර් එහිදී සඳහන් කර සිටියේය.
මීට අමතරව මෙහි තවත් බරපතළ ගැටලුවක්ද තිබේ. ඒ, සජබය ආරම්භ කළ දින සිටම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ හර්ෂ, පක්ෂය වෙනුවෙන් කොපමණ මුදලක් එකතු කොට තිබේද යන්නය. බොහෝ දෙනා හර්ෂව හඳුන්වන්නේ වසර පහකට අධික කාලයක් සජබ භාණ්ඩාගාරික ධුරය දැරුවද එකදු රුපියලක් හෝ සජබයට එකතු කර නැති අයකු ලෙසටය. විශේෂයෙන්ම පක්ෂයේ කිසිදු උත්සවයකට හෝ සංවත්සරයකට හෝ රැස්වීමකට හෝ මුදල් ලබා නොදුන් භාණ්ඩාගාරිකවරයකු ලෙස හර්ෂ සජබ ඉතිහාසයට එකතු වන බවද ඔවුන් පෙන්වා දී තිබේ. එසේ වුවද හර්ෂ පක්ෂයෙන් ඉල්ලන්නේ එසේ මෙසේ තනතුරු නොව, පක්ෂ නායකකම්ය. විපක්ෂ නායකකම්ය. නමුත් අද මේ පක්ෂ නායකකම්, විපක්ෂ නායකකම් ඉල්ලන හර්ෂ 2019 ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා වූ සජිත්ව කෝට්ටෙන් තුන්වැනි තැන දක්වා පල්ලම් බැස්සවීමට කටයුතු කොට තිබිණි. හර්ෂ එසේ කොට තිබුණේ තම ආණ්ඩුවක් යටතේ හර්ෂට මුදල් අමාත්‍ය ධුරය ලබාදෙන බවට සජිත් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට තිබූ පසුබිමක වීම විශේෂ සිදුවීමකි. අඩුම තරමින් සජිත්ගේ වචනයට හෝ කළගුණ නොසැලකූ හර්ෂ, සිය නායකයා අනුරට පමණක් නොව, රනිල්ටද කෝට්ටේ ආසනයෙන් පරාජයට පත්කිරීමට පාර කපා තිබිණි.
ඉන්දීය තුරුම්පුව
‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මීට පෙර අවස්ථා ගණනාවකදීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තොරතුරු පළකරමින් අප කියා සිටියේ රනිල් යනු ජනතාව සමග උරෙනුර ගැටී දේශපාලනය කරන, ජනතාව මත විශ්වාසය තබා දේශපාලනය කරන දේශපාලනඥයකුට වඩා මාධ්‍ය හරහා පුවත් පැළකරමින්, නැතහොත් ‘නිවුස් ප්ලාන්ට්‘ කරමින් දේශපාලනය කරන දේශපාලනඥයකු යැයි කියාය. ඒ සඳහා සිය මාමා වන රංජිත් විජේවර්ධනට සහ මස්සිනා වන රුවන් විජේවර්ධනට අයත් පවුලේ පත්තරය වූ ‘ලංකාදීප’ය හරහා බොරු පුවත් ‘ප්ලාන්ට්‘ කරමින් රනිල් දේශපාලනය කරන ආකාරයට උදාහරණ රැසක්ද අපි පෙන්වා දුන්නෙමු. විශේෂයෙන්ම කුමන ඡන්දයකට ඉදිරිපත් වුවද, කිසිසේත්ම ජයග්‍රහණය කළ නොහැකි චරිතයක් බවට පත්ව තිබීම නිසා රනිල් මේ අයුරින් සිය පවුලට අයත් ‘ලංකාදීප‘ පත්තරය ඔස්සේ දේශපාලනය කරන බවද අපි එහිදී අනාවරණ කළෙමු.
මෙහි ආසන්නතම අවස්ථාව වූයේ පසුගියදා ඕමානයේ පැවැති සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ඉන්දීය සමුළුවය.
මෙවැනි සමුළුවලට සහභාගි වන ලෙසට හිටපු ජනාධිපතිවරුන්ට, හිටපු ඇමැතිවරුන්ට, හිටපු ප්‍රභූ පුද්ගලයන්ට ආරාධනා ලැබෙන අතර, ඊට සහභාගි වන ලෙසට රනිල්ටද සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කොට තිබිණි. එය සාමාන්‍යයෙන් රටක හිටපු ජනාධිපතිවරයකු ලෙස සලකා කරනු ලබන සාමාන්‍ය මට්ටමේ ආරාධනාවකි. නමුත් ආණ්ඩුව ඒ වනවිටත් ඉන්දියාවේ අංක එකේ ව්‍යාපාරිකයා වූ ගෞතම් අදානිගේ විදුලි ව්‍යාපෘතිය මුල්කරගෙන මතභේදයක් ඇතිකරගෙන තිබූ අතර, අදානි සිය ශ්‍රී ලංකා ආයෝජන ගෞරවාන්විතව ඉවත් කරගන්නා බවට නිවේදනයක්ද නිකුත් කර තිබිණි. ඒ අනුව රනිල් සැලසුම් කළේ ආණ්ඩුව සහ ඉන්දියාව අතර අදානිගේ ප්‍රශ්නය මුල්කොට ගෙන බරපතළ අර්බුදයක් හටගෙන ඇති බව රටට පෙන්වා ඕමානයේ පැවැත්වෙන ඉන්දීය සමුළුවට ගොස් ‘මම තමයි පොර – ඉන්දියාව ඉන්නේ මාත් එක්ක – මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඉන්දියාව ගනුදෙනු කරන්නේ මාත් එක්ක…’ යනුවෙන් රටට පෙන්වා තමන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ සිටින බව තහවුරු කිරීමය.
විජිත රනිල් එකට
අනෙක් අතට මෙම ඉන්දීය සමුළුවට ආණ්ඩුව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වීමට නියමිතව ඇති බවද රනිල්ට ආරංචි වී තිබිණි. ඒ අනුව රනිල් සැලසුම් කළේ එම සමුළුවට සහභාගි වී කෙසේ හෝ විජිත හේරත් සමග ඡායාරූපයක් ගෙන එය මාධ්‍යයට මුදාහැර ආණ්ඩුව ඇතුළේද අර්බුදයක් ඇතිකිරීමටය.
ඒ අනුව, ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඕමානය බලා පිටත්ව ගිය රනිල් සහ විජිතද රැඳී සිටියේ එකම හෝටලයේය. මෙහිදී සෑම අවස්ථාවකදීම රනිල් උත්සාහ කළේ කෙසේ හෝ විජිත හමුවී ඔහුත් සමග ඡායාරූපයකට පෙනී සිට එය ජාත්‍යන්තර සහ මෙරට මාධ්‍යවලට ලීක් කිරීමටය. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙන වෙනම විජිත සහ රනිල් හමුවී සාකච්ඡා පැවැත්වීම නිසා එම අවස්ථාව රනිල්ට අහිමි වී ගියේය.
කෙසේ වෙතත් රනිල් ඕමානයේදී ගහන්නට යන මේ ගේම ගැන අනුරටද දැනගන්නට ලැබිණි. ඒ, ජනාධිපතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමක් හරහාය. එම ඇමතුමෙන් කියැවුණේ ඕමානයට ආ රනිල් සහ විජිත යන දෙදෙනාම එකම හෝටලයේ සිටින බවත්, රනිල් කෙසේ හෝ විජිත සමග ඡායාරූපයක් ගැනීමට මාන බලමින් සිටින බවත්ය. ඒ අනුව අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ මෙම ඇමතුම ලැබුණු වහාම අනුර පෙරළා ඕමානයට ඇමතුමක් ගෙන රනිල්ගේ මේ සැලසුම විජිතට දැනුම් දීමට කටයුතු කළ බවකි. ඒ අනුව විජිතද ඕමාන සංචාරය පුරාම රනිල්ගෙන් ඈත් වී සිටීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම උත්සවයේ අවසාන අවස්ථාවේදී ඊට සහභාගි වූ ආරාධිත අමුත්තන් සමූහ ඡායාරූපයකට පෙනීසිටියද විජිත රනිල්ගෙන් බොහෝ දුරස් වී ඊට පෙනී සිටි ආකාරයක් දැකගත හැකි විය.
රනිල් යළි ඉන්දියාවට
කෙසේ වෙතත් ඕමාන සංචාරයෙන් අනතුරුව පෙරළා ලංකාවට පැමිණීමෙන් පසුවත් රනිල් සැලසුම් කළේ ආණ්ඩුව සහ ඉන්දියාව අතර ගැටුමක් ඇති බව පෙන්වා එහි වාසිය තමන් හට ගැනීමටය. ඒ සඳහා විවිධ අවස්ථාවන් සහ හේතු සොයමින් සිටියදී රනිල්ට තවත් අපූරු අවස්ථාවක් ඒ සඳහා උදාවිය. ඒ, ලබන 28 වැනිදා සහ මාර්තු 01 වැනිදා යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන සම්මන්ත්‍රණයකි. නවදිල්ලියේ භාරත් මණ්ඩපම්හි පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නරේන්ද්‍ර මෝදි සහභාගි වීමට නියමිතව සිටින බවද රනිල්ට වාර්තා විය. ඒ අනුව රනිල් තීන්දු කළේ ප්‍රවේශ පත්‍රයක් ගෙන එම උත්සවයට සහභාගි වීමටය. ඒ හරහාද රනිල් රටට පෙන්වීමට උත්සාහ කරන්නේ ඉන්දියාව මේ වනවිට අනුර සමග අමනාප වී සිටින බවත්, තමන් සමග ඉන්දියාව තවමත් හොඳින් ගනුදෙනු කරන බවත්, තමා තවමත් ඉන්දියාවේ පිළිගැනීමට ලක්ව ඇති බවත්ය.
එමෙන්ම රනිල් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගත්තේ වෙන කිසිවක් නිසා නොව මෝදි සමග පින්තූරයක් ගෙන තවමත් ඉන්දියාව තමන්ට සලකන බව රටට පෙන්වීමටය.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ රනිල්ගේ මෙම නවදිල්ලි ගමන සැලසුම් කිරීම පසුපස භාරතීය ජනතා පක්ෂයේ ලේකම්වරයකු සිටින බවය. මෙම ලේකම්වරයා නිතර නිතර ලංකාවට එන යන පුද්ගලයකු බවත්, රනිල් ජනාධිපති ධුරය දරද්දී පවා අවස්ථා කීපයකදීම හෙතෙම ලංකාවට පැමිණ රනිල් මුණගැසී ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එමෙන්ම රනිල් ඕමානයේ පැවැත්වුණු ඉන්දීය සාගර සමුළුවට සහභාගි වන බව ආරංචි වී මෙම පුද්ගලයාද ඕමානයට ගොස් තිබූ බවක්ද ආරංචිය. ඒ අනුව මෙවර රනිල්ගේ දිල්ලි සංචාරය සංවිධාන කරන්නේද බී.ජේ.පී.යට සම්බන්ධ මෙම පුද්ගලයාය.
මෙහිදී තවත් විශේෂ කරුණක් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට අප සූදානම්ය. ඒ, ඕමාන සංචාරය අතරතුරදී ඉන්දීය පර්ශ්වයෙන් රනිල්ට යම් බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකොට ඇති බවය. තානාපති ක්ෂේත්‍රයේ සාකච්ඡාවට ලක්වෙමින් ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යම් පාර්ශ්වයක් හරහා ඉන්දියාව මෙම අනතුරු ඇඟවීම රනිල්ට සිදුකොට ඇති බවකි. ඉන්දියාව පෙන්න පෙන්නා ඉන්දියාව තමන් සමග සිටින බව රටට පෙන්වීමට කටයුතු නොකරන ලෙසත් එම අනතුරු ඇඟවීමෙන් දැනුම් දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එය සදාචාර විරෝධී හැසිරීමක් බවත්, වහාම එම ක්‍රියාව නවතාලීමට කටයුතු කරන ලෙසත් ඉන්දියාව එහිදී රනිල්ට නොනිල වශයෙන් දැනුම් දී ඇති බවක්ද ආරංචිය.
රනිල්ට බෑ.. අනුර කළා..
මීට අමතරව ඉකුත් ජනාධිපතිවරණයට මාස කීපයක් තබා ඉන්දීය අගමැති මෝදිව ලංකාවට ගෙන්වාගෙන ලොකු ෂෝ එකක් දැමීමට රනිල් සැලසුම් කර ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරක් අපි අනාවරණ කළෙමු. ඒ සඳහා මෝදිට ආරාධනා කර තිබූ බවත්, ඉන්දීය රජය පාර්ශ්වයෙන් එම ආරාධනාව පිළිගෙන තිබූ බවත් වාර්තා වුවද අප කැට තියා එදා කියා සිටියේ ජනාධිපතිවරණය කටමුල තබා ඉන්දීය අගමැතිවරයා ලංකාවට ගෙන්වා ගැනීමටත්, ඒ හරහා අනියම් වාසියක් ලබාගැනීමට රනිල් සැලසුම් කර ඇති බවට ඉන්දියාවට තොරතුරු ලැබී ඇති බවකි. ඒ අනුව ඡන්ද කටේ මෝදි ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටිනු ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. අප කළ එම අනාවරණය 100%ක් තහවුරු කරමින් අන්තිම තත්පරයේ සිය ශ්‍රී ලංකා ගමන අවලංගු කිරීමට මෝදි කටයුතු කොට තිබිණි. මෝදි එසේ කොට තිබුණේ රනිල්ට හිතවත් මෙරට ඇතැම් මාධ්‍ය මෝදි ලංකාවට එන බව කියමින් මැතිවරණ සමයේදී දිගට හරහට පුවත් පළකරමින් තිබූ පසුබිමකය.
කෙසේ වෙතත් රනිල්ට මෝදිව ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නම් මෝදිව ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවක් මතුව ඇති බව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය හරහා රටට අනාවරණ කිරීමට අප සූදානම්ය. මෝදිට ලංකාවට පැමිණෙන ලෙසට අනුර නිල වශයෙන් ආරාධනා කළේ අනුරගේ පළමු ඉන්දීය සංචාරය අතරතුරදීමය. එම ඉල්ලීමට අනුව මෝදි මේ වනවිට සූදානමින් සිටින්නේ ලබන අප්‍රේල් මාසයේදී ලංකාවේ සංචාරයක නිරත වීමටය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම සංචාරය අතරතුරදී මෝදි ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ලංකාවේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 120ක සාම්පූර් විදුලි බලාගාරය සඳහා මුල්ගල් තබනු ඇති බවකි.
එදා විරුද්ධ වුණු හැටි
මෙම සාම්පූර් බලාගාරය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුව තිබේ. ඒ, මීට වසර ගණනාවකට ඉහතදී සාම්පූර් බලාගාරය ඉදිකිරීම සඳහා යහපාලන රජය සමයේ ඉන්දියාව සූදානම් වෙද්දී ජවිපෙ ඊට බරපතළ විරෝධයක් දක්වමින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සිදුකොට තිබීමය. ඒ අවස්ථාවේදී කේ.ඩී. ලාල්කාන්ත මානව හිමිකම් කොමිසමට ගොස් ඊට එරෙහිව පෙත්සමක් පවා බාරදීමට පියවර ගත්තේය. පහත දැක්වෙන්නේ එදා ජවිපෙ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයය.
‘සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අසාධාරණයට පත්වූ ජනතාවගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාරදීමට නැගෙනහිර ජනතා සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය.
එම පෙත්සම භාරදීම අද (05) දින පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා නැගෙනහිර ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු හේමචන්ද්‍රා අරුන් මහතා සහ අසාධාරණයට පත්වූ ජනතාව වෙනුවෙන් නියෝජිතයන් කිහිප දෙනෙක් සහභාගි විය.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2016.02.05
ඒ අවස්ථාවේදී සාම්පූර් බලාගාරයට විරුද්ධව සහ ඉන්දියානු මැදිහත් වීමට විරුද්ධව ජවිපෙ සිටියේ ලොකු සටනකය.
නමුත් දෛවයේ සරදම වී ඇත්තේ එදා ජවිපෙ විරෝධය පළකළ මෝදි විසින්ම සාම්පූර් බලාගාරය ඉදිකිරීම සඳහා ජවිපෙ රජයක් යටතේ ලංකාවට පැමිණීමය. පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාම්පූර් බලාගාරය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේ සාම්පූර් බලාගාරයට එදා විරෝධය පළකළ ලාල්කාන්තද කැබිනට් මණ්ඩලයේ අසුන්ගෙන සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව බොහෝ දුරට අප්‍රේල් මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙරාතුව මෝදිගේ ලංකා සංචාරය සිදුවනු ඇති බවක් ආරංචිය.
රනිල් කලබල වෙයි
මේ ආකාරයට මෝදි ලංකාවට පැමිණෙන බවට වාර්තා වීමත් සමග බරපතළ ලෙස කලබලයට පත්වූයේ වෙන කවුරුවත් නොව රනිල්ය. ඒ, මෝදි සමග විශාල සබඳකම් ඇති බව සහ ජාත්‍යන්තර සබඳතා ඇති බවට පෙන්වාගෙන සිටි රනිල්ගේ චරිතය මේ හරහා අවලංගු වී යෑම නිසාය. රනිල් එදා සිටම තමන්ට ජාත්‍යන්තර සබඳතා ඇති බව කියා සිටියත් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප උදාහරණ සහිතව පෙන්වා දුන්නේ රනිල්ට ඒ ආකාරයේ කිසිදු ජාත්‍යන්තර සබඳතාවක් නොමැති බවය. විශේෂයෙන්ම රනිල් ජනාධිපති ධුරයට පත්වෙද්දී ජපානයෙන් ඩොලර් බිලියන 4ක් ලැබෙන බව රනිල් ඇතුළු එජාප ලොක්කන් ප්‍රසිද්ධියේ කියද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කර සිටියේ රනිල්ට ඔය කියන ආකාරයේ ජාත්‍යන්තර සබඳතා නොමැති බවත්, ජපානයෙන් ඩොලර් බිලියන 4ක් තබා එක ඩොලරයක් හෝ රනිල්ට නොලැබෙන බවත්ය. අප කී එම කරුණු තහවුරු කරමින් රනිල් ධුරයෙන් නික්ම යන තෙක්ම ජපානයෙන් කිසිදු සහායක් රනිල්ට ලබාගත හැකි වූයේ නැත. රනිල්ගේ පාලන සමයේදී ලංකාවට ලැබුණු එකම වාසිය වූයේ මූල්‍ය අරමුදල සමග එකඟ වූ ආකාරයට ඩොලර් බිලියන 3.9ක ණය මුදලක් හිමිවීම පමණකි. නමුත් අයි.එම්.එෆ්. එක සම්බන්ධ එම ගනුදෙනුවද ආරම්භ කළේ රනිල් නොව ගෝඨාගේ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂය. එය හොඳටම තහවුරු වූයේ එවකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වූ රනිල් ප්‍රසිද්ධියේම අයි.එම්.එෆ්. ගිවිසුම ඉල්ලා බැසිල් සමග වාදයක පැටලීමය.
ඒ කොයිහැටි වෙතත් රනිල්ට මෝදිව ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවද දැන් අනුර මෝදිව ලංකාවට ගෙන්වා ගැනීමට සියලු සැලසුම් සකස් කොට අවසානය. අදානිගේ ප්‍රශ්නය අල්ලාගෙන රනිල් මේ වනවිට මැද්දට පැන ඇත්තේ එය උහුලාගත නොහැකිව විය යුතුය.
රනිල්ගේ අලුත්ම බොරුව
රනිල්ගේ මේ කඩාවැටීමත් සමගම මෙතෙක් කල් ඉන්දියාව විකුණාගෙන කෑමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට නොහැකි නිසා රනිල් කළේ නැවතත් සුපුරුදු පරිදිම සිය මාමාගේ සහ මස්සිනාගේ පත්තරය උපයෝගී කරගෙන අලුත්ම තාලේ පුවතක් ‘ප්ලාන්ට්‘ කිරීමය. ඒ අනුව පසුගිය සතියේ ලංකාදීප වෙබ් අඩවියේ සහ පුවත්පතේ පළවූ අමුතුම තාලේ පුවතකින් කියැවුණේ මේ වසර අවසන් වීමට පෙරාතුව රනිල් සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයි කියාය. නමුත් රනිල් පාර්ලිමේන්තු එන්නේ කෙසේදැයි එම පුවතේ සඳහන්ව නොතිබීම විශේෂ සිදුවීමකි.
මෙම පට්ටපල් කෙබරය ඊට පසු දින පාර්ලිමේන්තුවේදී සිලින්ඩරයේ නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායකටද දැකගන්නට ලැබිණි. ඒ අනුව මන්ත්‍රීවරුන් රවීගෙන් ඒ පිළිබඳ විමසද්දී රවී සිනාසෙමින් කියා සිටියේ එය කිසිසේත්ම සිදුවන්නේ නැති එකක් යැයි කියාය.
‘ඒක කිසිම විදියකින් සිද්ධ වෙන එකක් නෙමෙයි. මොකද සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් ඉන්නේ මමයි, ෆයිසරුයි විතරයි. රනිල් එනවා නම් එක්කෝ මම අයින් වෙන්න ඕනේ, නැත්නම් ෆයිසර් අයින් වෙන්න ඕනේ. ඉතින් මම අයින් වෙන්නෙත් නෑ, ෆයිසර් අයින් වෙන්නෙත් නෑ. නිකමට හරි ෆයිසර් අයින් වුණත් වෙන එක්කෙනෙක් පාර්ලිමේන්තුවට අරන් එනවා මිසක් අපි රනිල්ව ගේන්නෙත් නෑ. ඒ හින්දා එයාට එන්න බෑ…’ යන්න එහිදී රවී මන්ත්‍රීවරුන්ට දී තිබූ පිළිතුර විය.
මීට අමතරව සිකුරාදා දිනයේ සිලින්ඩරයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කරන ෂර්මිලා පෙරේරා මාධ්‍යට කියා තිබුණේ රනිල් සිලින්ඩරෙන් පාර්ලිමේන්තු එන කතාව අමූලික බොරුවක් යැයි කියාය.
මාලිමාවෙන් 15ක් ගැලවෙයි?
මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල වශයෙන් වාර්තා කර පුවතක් වී ඇත්තේ මාලිමාවේ මන්ත්‍රීවරුන් 15කට ආසන්න ප්‍රමාණයක් නුදුරේදීම මාලිමා ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි කියාය. මාලිමාව බලයට පත්වී මේ වනවිට මාස පහකට අධික කාලයක් ගතව ඇති හෙයින් ඇතැම් සමාජ මාධ්‍ය දැන් දැන් මේ පුවත මහ ලොකුවට වාර්තා කිරීමට කටයුතු කළත් අප මෙම පුවත ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළේ මාලිමාවේ තුනෙන් දෙකක ආණ්ඩුව පිහිටුවා සති දෙක තුනක් ඉක්ම යද්දීය. එහිදී අප පෙන්වා දුන්නේ මාලිමා ආණ්ඩුව ඇතුළේ විවිධ ස්වරූපවලින් ජවිපෙ-මාලිමා ගැටුමක් දැකගන්නට ඇතැයි කියාය. ආචාර්ය-මහාචාර්ය ප්‍රශ්නය, ප්‍රතිපත්ති ප්‍රශ්න ආදී විවිධ මාතෘකා මුල්කරගෙන මෙම ගැටුම මතුවෙමින් පවතින බවත්, ඇතැම් අවස්ථාවලදී ජවිපෙ දේශපාලන මණ්ඩලය මේ නිසා ඉතා උණුසුම්කාරී වී ඇති බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු.
කෙසේ වෙතත් මාලිමාවෙන් මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් ඉවත් වීමට සූදානමින් සිටින පුවත සම්බන්ධයෙන්ද පසුගිය සතියේ අපි විශේෂ සොයාබැලීමක් කළෙමු. ඒ අනුව මෙවර අප මෙම කතාවේ ඇත්ත කතාව පාඨකයන්ට හෙළිකිරීමට සූදානම්ය.
159ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් 107ක් නියෝජනය කරන්නේ මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙනි. එහි උපන්ගෙයි ජවිපෙ මන්ත්‍රීවරුන් සිටින්නේ 52කි. මේ පනස් දෙදෙනා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ය. නමුත් 107ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් ආචාර්ය – මහාචාර්ය පදවි මෙන්ම ප්‍රධාන පෙළේ සමාගම්වල සහ ආයතනවල ඉහළ තනතුරු දැරූ, ඉහළ වරප්‍රසාද සහිත, ඉහළ වැටුප් ලැබූ පිරිස්ය. නැතහොත් ඉහළ මට්ටමේ වෘත්තිකයන්ය. ඔවුන් මාලිමාවේ මන්ත්‍රී ධුරවලට පත්වූයේ ඒ සියලු වරප්‍රසාද වැටුප් පසෙක තබාය.
එමෙන්ම මෙම පිරිස ආණ්ඩු බලය ගැනීම සඳහා මැතිවරණ වේදිකාවේදී කියා සිටියේ මාලිමා මන්ත්‍රීවරුන් වැටුප්, වරප්‍රසාද, වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩල ආදිය ලබාගන්නේ නැතැයි කියාය. ජනතාවට දුන් එම පොරොන්දුව නිසා ඔවුන්ට දැන් ඒවා ලබාගැනීමේ අපහසුතාවක්ද පවතී. මෙසේ වරප්‍රසාද නොමැතිව කට්ටක් කෑමට පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ට හැකියාව තිබුණත්, ඉහළ මට්ටමේ වැටුප්, රැකියා සහ වරප්‍රසාද පසෙක තබා පාර්ලිමේන්තු පැමිණි මාලිමාවේ යම් කණ්ඩායමකට මේ වනවිට මෙය විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ අනුව ඔවුන් මේ දිනවල යම් තක්සේරුවක් කරමින් සිටින්නේ තවදුරටත් මෙම කට්ට කාගෙන, පඩිනඩි, වාහන, ඉන්ධන, වරප්‍රසාද නැතිව අවුරුදු පහම මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිටිනවාද, එසේත් නැතිනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී පරණ පුරුදු රැකියාවලට ගොස් තමන් එතෙක් ගෙවූ සැපපහසු ජීවිතය ගතකරනවාද කියාය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මාලිමාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සිදුවෙමින් පවතින මෙම සංවාදය මේ වනවිට උච්ච තැනකට පත්ව ඇති බවත්, කොයි මොහොතේ හෝ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මාලිමාවෙන් ඉවත් වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවත්ය.
ගියොත් හොඳයි
ඒ අනුව මාලිමාවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එසේ ඉවත් වුවහොත් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්ද? මතුවෙමින් පවතින මෙම තත්ත්වය ජවිපෙද අවබෝධ කරගෙන නැතුවා නොවේ. නමුත් ජවිපෙ බලා සිටින්නේ කොයි මොහොතේ හෝ මෙම මාලිමා මන්ත්‍රීවරුන් සිය ධුරවලින් ඉවත්ව යන තෙක්ය. ඒ, ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් වූ විට එම හිස්වූ තනතුරු සඳහා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන් පත්කර ගැනීමේ ඉඩකඩක් ඔවුන්ට මතුව ඇති නිසාය. එසේ වූ විට දැනට 52ක්ව සිටින පූර්ණකාලීන ජවිපෙ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තවත් ඉහළ නංවාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. එය ජවිපෙ පැත්තෙන් විශාල වාසියකි. ඒ නිසා ජවිපෙ දැඩි මතධාරීන් පක්ෂයට දැනුම් දී ඇත්තේ මෙම මාලිමා මන්ත්‍රීවරුන් ඉවත් වීම ජවිපෙට වාසිසහගත බවත්, ජවිපෙ මන්ත්‍රීවරුන්ට කටු කා පුරුදු බවත්ය. මේ වනවිට සමාජ මාධ්‍යවල ආරලු බූරලු දමා ජවිපෙ මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් මන්ත්‍රී ධුරවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවට පළවන්නේ මේ කතාවය.
මේ අතර, මාලිමාවේ අගමැතිනි හරිනි අමරසූරිය පිළිබඳවද මේ දිනවල සමාජ මාධ්‍යවල බොහෝ අදහස් පළවෙමින් තිබේ. පසුගිය දිනවල යූ.එස්. ඒඩ් ආයතනයෙන් විශාල මුදල් ප්‍රමාණයක් හරිනිට ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණද හරිනිගෙන් හෝ අණ්ඩුව පැත්තෙන් හෝ ඒ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුවූයේ නැත. ඒ නිසාම යූ.එස්. ඒඩ් ආයතනයෙන් හරිනිට මුදල් ලැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පළකරන ආකාරයක් දැකගන්නට පුළුවන. ඇතැමුන් අතිශය පෞද්ගලික කරුණු පවා සඳහන් කරමින් ප්‍රසිද්ධියේම අදහස් දක්වන ආකාරයක්ද දැකගත හැකිවිය. නමුත් මෙහිදී දැකගැනීමට ඇති විශේෂ සිදුවීම වී ඇත්තේ අනුරට බාහිරින් එල්ල වන ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට ජවිපෙ දක්වන උනන්දුව සහ උත්සාහය හරිනිට බාහිරින් එල්ලවන ප්‍රහාරයන්ගෙන් ඇය ආරක්ෂා කරගැනීමට නොතිබීමය.
විපක්ෂයම මැකො ළඟට
මේ දිනවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවක් මතුව තිබේ. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට ලයිලහියේ සූදානම් වෙද්දි විපක්ෂය කියා සිටින්නේ මාර්තු 21 දක්වා අයවැය විවාදය දිගටම පැවැත්වෙන බැවින් අයවැය විවාදය අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය කැඳවන ලෙසය. මුලින්ම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමට ගොස් එහි නිලධාරීන් හමුවී මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. නමුත් ඊට සාධනීය ප්‍රතිචාරයක් කොමිසම පැත්තෙන් ලැබී තිබුණේ නැත.
මේ අතරවාරයේ මැතිවරණ කොමිසමද අයවැය විවාදය අතරවාරයේදී පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වන බවට තොරතුරු විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත ලැබී තිබිණි.විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරියකු සති අන්ත පුවත්පතකට ලබාදී තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් හරහා බරපතළ තත්ත්වයක් මතුවී ඇති බවද මන්ත්‍රීවරුන්ට පෙනීගොස් තිබිණි. එහි තිබුණේ මැතිවරණය කලින් ඉල්ලා තිබූ මන්ත්‍රීවරුන්ම දැන් මැතිවරණය කල්දමා ගැනීමට සූදානම් වන බවකි.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරු අදාළ ලිපියද රැගෙන පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී සියලු දෙනාම සජිත්ට පෙන්වා දුන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එක්රැස් වී සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකට යායුතු යැයි කියාය.
ඒ අනුව සජිත්ද අයවැය විවාදය ආරම්භ වීමට පෙර විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට කැඳවීමට පියවර ගත්තේය. ඊට සහභාගි වූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පෙර කී මැතිවරණ නිලධාරියාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. එසේ අදහස් දැක්වූ ඔවුන් සියලු දෙනාම සජිත්ට පෙන්වා දුන්නේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් මුලු විපක්ෂයම මැතිවරණ කොමිසම හමුවට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගතයුතු යැයි කියාය. පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවට ගිය ප්‍රධාන පක්ෂය වශයෙන් සජිත්ද එම යෝජනාව එක පයින් පිළිගත්තේය. ඒ අනුව, විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිවරා සජිත් මැතිවරණ කොමිසමට ගියේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔවුන් සමග සාකච්ඡා කිරීමටය.
රාසමාණික්කම්ගෙන් ප්‍රහාරයක්
එහිදී සාකච්ඡාව අතරවාරයේ කොමිසමේ නිලධාරීන්ට ප්‍රබලම ප්‍රහාරය එල්ල කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම්ය. යටකී කොමිසමේ නිලධාරියා පුවත්පතට කළ ප්‍රකාශයද රැගෙන කතාව ආරම්භ කළ රාසමාණික්කම්, නිලධාරියා පුවත්පතට කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පෙන්වා දුන්නේය. මෙහිදී අදාළ නිලධාරියා කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් පුවත්පතට නොකළ බවත්, ඔවුන් සිරස්තලය වැරැදි ලෙස ඉදිරිපත් කොට ඇති බවත්, සිරස්තලය සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ගත නොහැකි බවත්ය. නමුත් රාසමාණික්කම් පෙරළා යළිත් ප්‍රශ්න කර සිටියේ එසේ නම්, එම පුවත්පතේ ලිපිය මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තේ මන්දැයි කියාය. සිරස්තලය වැරැදි නම්, අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් සටහනක් තබා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ එය පළකළ යුතුව තිබූ බවත්, ඊට අමතරව සිරස්තලය සම්බන්ධයෙන් අදාළ පුවත්පතට නිවැරැදි කිරීමක් යොමුකළ හැකිව තිබූ බවත් රාසමාණික්කම් පෙන්වා දුන්නේය. රාසමාණික්කම් එසේ පවසද්දී අදාළ නිලධාරියා නිරුත්තර වූ ආකාරයක් දැකගත හැකි විය.
ගුරු මාරුව ඡන්දෙට බලපායිද?
කෙසේ වෙතත් එහිදී සජිත් ඇතුළු විපක්ෂයේ සියලු දෙනාම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ එකම එක කාරණාවකි. ඒ, අයවැය විවාදය යනු වසරකට එක් වතාවක් පමණක් පැවැත්වෙන්නක් බවත්, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළේ විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඇති බවත්ය. එම නිසා එවැනි තත්ත්වයක් යටතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වීමට කාලය නොමැති බව පෙන්වා දුන් සජිත්, අයවැය විවාදය අවසන් වීමෙන් පසු මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස යළිත් කොමිසමෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය.
මේ ආකාරයට විපක්ෂයේ සියලු පක්ෂ සජිත් පිරිවරාගෙන මැතිවරණ කොමිසමට ගොස් ඇති බව මාලිමාවේ ප්‍රධානීන්ටද වාර්තා වී තිබිණි. ඉන් වඩාත් කලබලයට පත්වූ ඔවුන්ද ඊට පසු දිනම මැතිවරණ කොමිසමට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එම කණ්ඩායමට බිමල් රත්නායක, සුනිල් වටගල ඇතුළත් වූහ. ඔවුන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය කල්දැමිය යුතු නැති බවත්, සති පහක කාලසීමාවක් පමණක් ප්‍රචාරක කටයුතුවලට ප්‍රමාණවත් නිසා වහාම මැතිවරණය කැඳවන ලෙසත්ය.
කෙසේ වෙතත් මේ පළාත් පාලන මැතිවරණය මාලිමා ආණ්ඩුවටත්, ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයටත් අතිශය තීරණාත්මකය. ඊට හේතුව වන්නේ මේ පක්ෂ දෙකම එදා රනිල් පළාත් පාලන මැතිවරණය කල් දමද්දී ඊට එරෙහිව අධිකරණය හමුවේ සාධාරණය ඉල්ලා සටන් කොට තිබීමය. අද ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් නියෝජනය කරන්නේ එම පක්ෂ දෙකය. නමුත් මේ වනවිට මෙම පක්ෂ දෙක පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත දෙකක් දරන්නේ ඇයි? ඊට හේතුව දැනගතහොත් පාඨකයන් පුදුමයෙනුත් පුදුමයට පත්වනවා නිසැකය. මාලිමා ප්‍රධානීන් කෙතරම් විශ්වාස නොකරන බව කීවද ඊට බලපා ඇත්තේ කවුරු පිළිගත්තත් නැතත් ජ්‍යොතිෂමය හේතුවකි. බලය නැති විටදී කුමන කරුණු කීවද, ආණ්ඩු බලය ගෙන ඇමැති තනතුරු දරද්දී, මැතිවරණවලට දින නියම කරද්දී මේ කොයි කවුරුත් නිරායාසයෙන්ම ජ්‍යොතිෂය දෙසට හැරෙන ආකාරයක් දැකගන්නට පුළුවන. ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වාදිය හැක්කේ පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළකරද්දී මැතිවරණ කොමිසම පවා අසුබ දිනයක් ලෙස සලකමින් එදිනට ජනාධිපතිවරණය පැවැත්විය නොහැකි බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කොට තිබීමය.
ඒ අනුව, මේ සියලු දෙනාම බලා සිටින්නේ, සියලු දෙනාගේම ඉලක්කය වී ඇත්තේ මැයි 14 වැනිදාය. ඒ, එදාට ප්‍රබල ගුරු මාරුවක් යෙදී තිබීමය. මේ නිසා එක් පාර්ශ්වයක් සූදානම් වන්නේ ගුරු මාරුව තමන්ට අසුබ බැවින් කෙසේ හෝ මැයි 14ට පෙර මැතිවරණය පවත්වා ගැනීමටය. අනේ පාර්ශ්වය සූදානම් වන්නේ මැයි 14න් පසු තමන්ට සුබ බැවින් කෙසේ හෝ මැයි 14 පන්නා මැතිවරණය පවත්වා ගැනීමටය.
කෙසේ වෙතත් සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ අයවැය විවාදයක් පැවැත්වෙන කාලසීමාව අතරතුරදී මැතිවරණයක් නොකැඳවා සිටීමය. නමුත් මේ වනවිට එම සාමාන්‍ය සම්ප්‍රදාය පවා කඩකරමින් එක්පාර්ශ්වයක් අයවැය විවාදය අතරතුරදීම මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටින ආකාරය දැකගන්නට පුළුවන. නමුත් මේ පැවැත්වීමට සූදානම් වන්නේ උසාවි ගොස් ඇතැමුන්ගේ රස්සා පවා නැතිකරගත් මැතිවරණයක් නිසා එය ඕනෑවට වඩා කල් දැමීමද සුදුසු නැති බව බොහෝ දෙනාගේ අදහසය.
චමුදිතගේ ආරක්ෂාව
පසුගිය සතියේ අයවැයටත් වඩා රටේම අවධානය දිනාගත්තේ දින 3ක් ඇතුළත පිට පිට සිදුවූ පාතාල ඝාතනයන්ය. පළමු ඝාතනය සිදුවූයේ මිද්දෙණියේදීය. එහිදී එක් පුද්ගලයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාම ඝාතනයට ලක්විය. දෙවැනි සිදුවීම අතිශය ආන්දෝලනාත්මක එකක් විය. එහිදී ඉතිහාසයේ පළමු වතාවට නඩුවක් විභාගයට ගනිමින් තිබියදීම පාතාල නායකයකු ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීවට විත්ති කූඩුව ඇතුළේදීම වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරුවෙක් සමත් විය. එම වෙඩික්කරු සහ ඔහුට ගිනි අවිය ලබාදුන් කාන්තාව නිරුපද්‍රිතව අධිආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන උසාවි භූමියෙන් පිටව යෑමද විශේෂ සිදුවීමක් විය. එහි රස්නය වියැකී යෑමට මත්තෙන් ඊට පසු දින උස්වැටකෙයියාව මුහුදු තීරයේදී තවත් තරුණයකු දණගසා පපුවට වෙඩිතබා ඝාතනය කර තිබූ ආකාරයක් වාර්තා විය.
මෙම සිදුවීම් තුනෙන් පළමුවැන්න වූ මිද්දෙණිය ඝාතනය සම්බන්ධයෙන් කිසිවකු නොදන්නා කතාවක්ද තිබේ. ඒ, මෙම පුද්ගලයා ඝාතනය වීමට දින කීපයකට පළමුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එක්ව දේශපාලනඥයන් කීප දෙනකුගේම නම් හෙළිදරව් කිරීමට කටයුතු කොට තිබීමය. එමෙන්ම මෙහි ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ පසුගිය කාලය පුරා චමුදිත සමග සම්මුඛ සාකච්ඡාවන්ට එක්වූ සිවුදෙනකුම ඝාතනයට ලක්ව තිබීමය. ඉන් පළමුවැන්නා වූයේ කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් තුෂාරය. දෙවැන්නා වූයේ වෛද්‍ය සේනක ගමගේය. හෙතෙම අදාළ සම්මුඛ සාකච්ඡාවෙන් පසු අබිරහස් ලෙස මියගොස් තිබිණි. තුන්වැන්නා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ය. බෙලිඅත්තේදී සමන් ඇතුළු පස් දෙනෙක් එකවර පරලොව යැවීමට එදා ඝාතකයන් කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් මේ තර්ජන නිසාම වරෙක චමුදිතට පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කොට තිබිණි. නමුත් පසුගිය කාලයේදී එම ආරක්ෂාව ද ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව චමුදිතගේ ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
මේ පසුබිම යටතේ චමුදිත පසුගිය බදාදා දිනයේදී විපක්ෂ නායක සජිත්ට කතාකොට මේ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කිරීමට පියවර ගත්තේය. තමා සම්මුඛ සාකච්ඡා සිදුකළ හතර දෙනකු මේ වනවිට ඝාතනය වී ඇති බැවින් තමාගේ ආරක්ෂාව අනතුරේ බවත්, තමන්ට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරියාද ඉවත් කොට ඇති බැවින් තත්ත්වය තවත් බරපතළ බවත් එහිදී චමුදිත සජිත්ට පෙන්වා දී තිබිණි. ඒ අනුව සජිත් චමුදිතට කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් ‘මව්රට’ වෙබ් අඩවියේ පළව තිබූ පුවත දුටු බවත්, ඒ පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානය යොමුකරන බවත්ය.
ඉන් අනතුරුව චමුදිත බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපතිවරයාටද ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පියවර ගත්තේය. චමුදිතගේ කතාව සාවධානව අසා සිටි ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ සොයා බලන බව චමුදිතට දැනුම් දී සිටියේය.
කෙසේ වෙතත් සජිත් චමුදිතට පොරොන්දු වූ පරිදි බ්‍රහස්පතින්දා දිනයේදී චමුදිතගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයද පාර්ලිමේන්තුවේදී මතුකිරීමට කටයුතු කළේය. එමෙන්ම මේ වනවිට විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පවා ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවටද සජිත් චෝදනා කර සිටියේය. නමුත් ඊට පිළිතුරු දුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර සිටියේ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කොට නොමැති බවකි. නමුත් දයාසිරිද වහාම විවාදයට මැදිහත් වෙමින් කියා සිටියේ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පැත්තෙන් චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බවකි.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනය වනවිට මේ සම්බන්ධයෙන් විශේෂ තීන්දු දෙකක් ගැනීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. ඉන් පළමුවැන්න වූයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු තීන්දුවක් ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දී තිබීමය. අනෙක චමුදිතට නැවත වතාවක් පොලිස් නිලධාරියකුගේ ආරක්ෂාව ලබාදීමට පියවර ගැනීමය.










