ආණ්ඩුවේ සපෝට් එකත් තිබුණාද? පිළිගන්න ක්ෂෙනුකා ආවේ කොහොමද?
මුලින්ම ඉන්දියාව ආරාධනා කළේ සජිත්ට!
ෆොන්සේකා සජබෙන් දොට්ට?
අවුරුදු 79ක චන්ද්‍රිකා යළි දේශපාලනයට!
හංගාගෙන සිටි රහස!
වසර 5කට රටේ විධායක බලය පැවරෙන ජනාධිපති තෝරන ඡන්දය මේ වසරේ පැවැත්වෙන බැවින් මේ වසර තුළ ඉතාම තීරණාත්මක එකක් බව දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව, සාමාන්‍ය ජනතාව අතරද කියැවෙන කාරණාවකි. මේ නිසාම වසර ආරම්භයේ සිටම ප්‍රධාන පෙළේ පක්ෂ මුල් කරගෙන විවිධ දේශපාලන පෙරළි සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. පිල් මාරුකිරීම්, අලුත් දේශපාලන මුහුණු කරලියට පැමිණිම්, විවිධ සාකච්ඡා, කුමන්ත්‍රණ ආදිය මේ නිසාම වසර ආරම්භයේ සිටම රටේ ජනතාවට නොඅඩුව දැකගත හැකිවිය. මේ සියල්ල මැද්දේ මුළු රටේම දේශපාලනය එක රැයින් කලඹාලූ, සියලු දෙනාගේ අවධානය යොමුවූ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වූයේ වෙන මොකක්වත් නොව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයය. ඊට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ ජවිපෙ ඉතිහාසය දෙස බලන විට ආරම්භයේ සිටම දැඩි ඉන්දීය විරෝධී දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කර තිබීමත්, ඉන්දීය සංචාරය ආරම්භ කරන තෙක්ම අදාළ ගමන ඉතා රහසිගතව තබාගැනීමට ජවිපෙ කටයුතු කිරීමත්ය.Sri Lanka Latest News
ජවිපෙ ඉන්දීය විරෝධී ඉතිහාසය!
සියල්ලන්ම දන්නා ආකාරයට 71 ජවිපෙ සන්නද්ධ කැරැල්ලේදීත්, 88-89 සන්නද්ධ කැරැල්ලේදීත් ලක්ෂයකට අධික ජනතාවක් ඒ වෙනුවෙන් දිවි පිදූහ. එහිදී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ප්‍රභූ පුද්ගලයන්, උගතුන්, වියතුන්, කලාකරුවන් ආදී සෑම ක්ෂේත්‍රයකම මේ කැරැලි දෙකේම පොදු මාතෘකාවක් වූයේ ලංකාව තුළ සිදුවූ ඉන්දීය ව්‍යාප්තවාදයය. එකල ජවිපෙ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ දැඩි ඉන්දීය විරෝධයය. විශේෂයේනම 1987 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කොට පළාත් සභා ක්‍රමය රටට හඳුන්වා දීමට ජේ.ආර්. රජය කටයුතු කරද්දී ජවිපෙ දැඩි ස්ථාවරයක සිටිමින් ඊට එරෙහිව විශාල විරෝධයක් රට ඇතුළේ ගෙන ගියේය. ගිවිසුම අස්සන් කිරීමට ලංකාවට ආ රජිව් ගාන්ධිට ප්‍රහාර එල්ල කෙරුණු අතර, මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්කිරීමට එකල ජවිපෙ සමත් විය. එදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ආරම්භ කෙරුණු එම දැවැන්ත කැරැල්ල අවසන් වූයේ 60,000කට අධික පිරිසක් මරුමුවට පත්කරමින් බව ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන පවා තහවුරු කොට ඇත.
විශේෂයෙන්ම එදා ඉන්දු-ලංකා ගිවිසුමට පක්ෂව අදහස් දක්වමින් පෙරට ආ එතෙක් මෙතෙක් රටේ සිටි ජනතාව වැඩියෙන්ම ආදරය කළ ජනකාන්ත කලාකරුවා වන විජය කුමාරතුංගයන් පවා ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දැක්වීමේ වරදට පොල්හේන්ගොඩ නිවෙස ඉදිරිපිටදීම හිසට වෙඩිතබා මරාදැමීමට කටයුතු කොට තිබිණි. මේ නිසාම ජවිපෙ පිළිබඳ කතා කරද්දී කාගෙ කාගෙත් මුලින්ම ඔළුවට එන්නේ එදා ජවිපෙ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව රට ඇතුළේ ගැසූ කැරැල්ලය. නමුත් අවසානයේදී ඉන්දු-ලංකා ගිවිසුමට අනුව බිහිකෙරුණු පළාත් සභා මැතිවරණවලට ජවිපෙ ඉදිරිපත් වුණා පමණක් නොව, එහි නියෝජිතයන් ලෙස පළාත් සභාවල අසුන් ගැනීමටද පියවර ගෙන තිබිණි.
මුල්ම ආරාධනාව සජිත්ට!
කෙසේ වෙතත් කල් යත්ම ජවිපෙ මෙම ඉන්දීය විරෝධය යට ගියද හදිසියේම වාගේ කිසිවකුත් නොසිතූ ආකාරයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවෙන් මතුවීම මුල්කරගෙන ලංකාව ඇතුළේ විශාල කතාබහක් මතුවිය. ඊට හේතුව වූයේ ජවිපෙ ඉතිහාසය දෙස බැලූ විට මෙය ඇත්තටම දේශපාලන භූමිකම්පාවක් හා සම වීම නිසාය. එමෙන්ම ඉන්දීය මාධ්‍ය අනුර කුමාරගේ ඉන්දීය ගමනට අතිවිශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම හරහාද අනුර පසුගිය සතියේ ජාත්‍යන්තරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටියේය.
කෙසේ වෙතත් ජවිපෙට මෙම ආරාධනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැමිණියේ මීට සති ගණනකට පෙරය. ඉන්දීය නව මහ කොමසාරිස්වරයා වශයෙන් ලංකාවට පැමිණි සංතෝෂ් ජා මහතා සිය පළමු කාර්යය ලෙස මෙරට විපක්ෂයේ සිටින ප්‍රධාන පක්ෂ නායකයන්ට ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබිණි. ඒ අනුව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මුලින්ම ආරාධනාව ලැබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. නමුත් පසුගිය සති කිහිපය තුළ යොදාගෙන තිබූ සක්වල වැඩසටහන් ගණනාවක් හේතුවෙන් සජිත්ට ඒ සඳහා දින වෙන් කිරීමට අවස්ථාවක් නොතිබිණි. මාස ගණනාවකට පෙර සිටම සක්වල වැඩසටහන යටතේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබාදීම සඳහා අදාළ පාසල් සමග කතාබහ කොට දින වෙන්කරගෙන ඇති බැවින් ඒවා අවලංගු කිරීමට නොහැකි බව සජිත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී පෙබරවාරි මාසයේ අවසන් දින කිහිපය ඒ සඳහා වෙන්කරගත හැකි බවට දැනුම් දී සිටියේය.
විපක්ෂයටම දින දෙයි!
සජිත්ට අමතරව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දෙමළ ජාතික සන්ධානයටද, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාටද කතාකොට නවදිල්ලියට පැමිණිම සඳහා දින ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබිණි. එම ඉල්ලීමට අනුව මෛත්‍රීපාල ලබාදී තිබුණේ පෙබරවාරි 16 වැනි දිනය. ඊට හේතුවී තිබුණේ මෛත්‍රී ලබන 13 වැනි දින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යෑමය. 13, 14, 15 යන දින තුන වොෂින්ටනයේ රැඳී සිටින මෛත්‍රීපාල පසුව 16 වැනි දින ඉන්දියාව බලා පැමිණ නවදිල්ලියේදී ඉන්දීය බලධාරීන් මුණගැසීමට නියමිතය. එම කාලසටහනට අනුව ජවිපෙට පෙබරවාරි මුල් දිනයක් ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබිණි.
සංචාරය රහසක්!
මේ ආකාරයට ඉන්දීය සංචාරයට දින නියම වීමත් සමග ජවිපෙ කළේ එය ඉතා රහසිගත ආකාරයට තබාගැනීමය. ඊට හේතුවී තිබුණේ යම් හෙයකින් අනුර ඉන්දීය බලධාරීන් මුණගැසීමට නවදිල්ලියට යන බවට වූ තොරතුර එළියට ගියහොත් ඊට දැඩි විරෝධයක් මතුවී එය ඉන්දීය සංචාරයට බාධාවක් විය හැකි බවට ජවිපෙ ප්‍රධානීන් තුළ තිබූ මතයය. ඒ අනුව, ඉන්දියාවට යෑම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක්ම අදාළ කාරණය රහසක් ලෙස තබාගැනීමට ජවිපෙ කටයුතු කොට තිබිණි. ඔවුන් සැලසුම් කර තිබුණේ කටුනායකින් ගුවන් යානයට නැගී අනුර ඇතුළු කණ්ඩායම නවදිල්ලියෙන් ගොඩබැසීමත් සමග ඔවුන්ගේ ඉන්දීය සංචාරය අළලා නිවේදනයක් නිකුත් කිරීමටය. ඒ අනුව සැලැස්ම තිතටම ක්‍රියාත්මක වූ අතර, මෙරට මාධ්‍ය පවා අනුරගේ ඉන්දීය ගමන පිළිබඳ දැනගත්තේ අනුර-විජිත ඇතුලු කණ්ඩායම නවදිල්ලි ගුවන් තොටුපළෙන් ගොඩබැසීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් කවුරුත් නොසිතූ පරිදි ඉන්දීය මාධ්‍ය මගින් අනුරගේ ඉන්දීය ගමනට විශාල ප්‍රචාරයක් ලබා දීමට පියවර ගත්තේ මෙතෙක් ඉන්දියාවට එරෙහිව දැඩි විරෝධයක් පළ කළ ලංකාවේ සමාජවාදී පක්ෂ නායකයන් ඉන්දියාවට පැමිණ බලධාරීන් හමුවී ගනුදෙනු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරමිනි.
ඉන්දියාවට වැරදුණු තැන!
කෙසේ වෙතත් මෙම මාධ්‍ය වාර්තාකරණයේදී ඉන්දීය මාධ්‍ය පවා වරද්දාගත් එක් සුවිශේෂ කාරණයක් දැකගන්නට ලැබිණි. ඒ, අනුර පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී ඉන්දීය මාධ්‍ය උපයෝගී කොටගත් එක්තරා ජනමත විමසුමකි. එම මත විමසුම වෙන කිසිවක් නොව, අප විසින් මීට සති දෙක තුනකට පෙර සිටදීම අනාවරණ කොට සම්පූර්ණ අසත්‍යයක් බව රටට හෙළිදරව් කළ ආචාර්ය රන්නන් එලිය නැමැති පුද්ගලයකු විසින් සිදුකරන ලද මත විමසුමක ප්‍රතිඵලයක්ය. එම මත විමසුමෙන් රන්නන් එලිය කියා තිබුණේ ජනාධිපතිවරණයේදී අනුර 51%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, සජිත් සහ එජාප අපේක්ෂකයා ඊට අඩු ප්‍රතිශතයන් ලබාගන්නා බවත්ය. ඒ හරහා රන්නන් එලිය නොකියා කියා තිබුණේ සජිත් සහ රනිල් එකතු වුවහොත් පමණක් අනුර පරාජය කළ හැකි කියාය.
නමුත් මෙම මත විමසුම කරළියට පැමිණි වහාම ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ අප, රටට අනාවරණ කර සිටියේ මෙම මත විමසුම සම්පූර්ණ අසත්‍ය එකක් බවත්, පුද්ගලයන් 500 දෙනකුට පමණ දුරකතන ඇමතුම් ලබාදී ගත් තොරතුරුවලින් සකස් කර ඇති එකක් බවත්ය. එමෙන්ම නීලන් තිරුචෙල්වම් ආයතනය මගින් මෙම මත විමසුම සිදුකිරීම සඳහා අරමුදල් සපයා ඇති බවත්, ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත එම මත විමසුම සිදුකොට ඇති බවත් අපි එහිදී කියා සිටියෙමු. අප කළ මෙම අනාවරණයත් සමග රන්නන් එලිය කෙතරම් කලබලයට පත්වූවාද කියනවා නම් වහාම විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා උත්සාහ කර තිබිණ. නමුත් රන්නන් එලිය හමුවීමට සජිත් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඒ මොහොතේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි සුජීව සේනසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට පමණක් රන්නන් එලියට අවස්ථාව ලැබී තිබිණි. මේ බව අප මීට සති තුනකුට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සඳහන් කිරීමට පියවර ගත්තෙමු.
තවත් මතවිමසුක් එළියට!
කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් පසු රන්නන් එලියට නීලන් තිරුචෙල්වම් ආයතනයෙන් අරමුදල් සැපයීම අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. ඒ බව තහවුරු වී තිබුණේ මීට සතියකට පමණ ඉහතදී රන්නන් එලිය විසින් මහ මැතිවරණය ඉලක්ක කරගෙන කර තිබූ මත විමසුමකදීය. එහි ප්‍රතිඵලය ලෙස රන්නන් එලිය කියා තිබුණේ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජවිපෙ 37%ක ප්‍රතිශතයක් ලබාගන්නා බවත්, අනෙක් පක්ෂ ඊට අඩු ප්‍රතිශතයක් හිමිකරගන්නා බවත්ය. එම අනාවරණය සිදුකරමින් ඔහු කියා තිබුණේ තමන්ට පසුගිය වර මත විමසුම සිදුකිරීම සඳහා නීලන් තිරුචෙල්වම් ආයතනය අරමුදල් සපයා තිබූ බවකි. නමුත් මෙවර මත විමසුමට අරමුදල් සපයා තිබුණේ කවුරුන්ද යන්න පිළිබඳ රන්නන් එලිය කිසිදු සටහනක් තබා තිබුණේ නැත.
විහිලුවක්… පුදුමයක්….!
ඒ අනුව මෙවැනි අසත්‍ය, කිසිසේත්ම පිළිගත නොහැකි මත විමසුමක ප්‍රතිඵල උලුප්පා දක්වමින් ඉන්දීය මාධ්‍ය අනුරගේ ඉන්දීය ගමන වාර්තා කිරීම පිළිබඳ අපටද ඇත්තේ මහත් විමතියකි. අනෙක් විහිළුසහගතම කරුණ වී ඇත්තේ මෙරට ඇතැම් මාධ්‍ය මෙය ඉන්දීය රජය මගින් අනුරට පමණක් සිදුකළ විශේෂ ආරාධනාවක් මත සිදුවූවක් බව හුවාදක්වන්නට උත්සාහ ගෙන තිබීමය. අප පෙර කී පරිදිම එය විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ඉන්දීය රජයෙන් ලැබුණු ආරාධනාවක එක් අවස්ථාවක් පමණි. ඒ අනුව අපට දැන් බලා සිටීමට ඇත්තේ ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු ලංකාවට පැමිණෙන අනුර සහ විජිත ඉන්දීය ආක්‍රමණය, ඉන්දීය ව්‍යාප්තවාදය ආදිය සඳහන් කරමින් දේශපාලන වේදිකාවේ සිදුකරන ලද අතීත ප්‍රකාශ පිළිබඳ කියන්නේ කුමක්ද යන්න පිළිබඳවය.
ජනපති-ආණ්ඩුව සතුටින්!
අනෙක් අතට අනුරලාගේ ඉන්දීය ගමනෙන් මේ වන විට බොහෝ සංතෝෂයට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයත් ආණ්ඩුවත්ය. ඒ නිසාම ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක්ද දැකගත හැකි විය. ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඉන්දීය සංචාරය හරහා අනුර දේශපාලනයේ ඉස්සී ඇති බවට ප්‍රචාරය කරන්න කරන්න රනිල් සමග එකතු වන ලෙස සජිත්ට සජබය ඇතුළෙන් එන බලපෑම වැඩිකිරීම මෙහි අරමුණක් වී ඇති බවය.
ක්ෂෙනුකා ආවේ කොහොමද?
අනෙක් අතට මෙහිදී දැකගත හැකි පුදුමසහගත කාරණය වන්නේ අනුරගේ ඉන්දීය සංචාරය ආරම්භ කරන විට ඔහු පිළිගැනීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය නවදිල්ලි ගුවන් තොටුපළට පැමිණ සිටීමය. සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය ධුරාවලියට (ප්‍රොටොකෝල්) අනුව ජනාධිපති, අගමැති, කැබිනට් ඇමැති හෝ ඉහළ පෙළේ නිලධාරියෙක් වෙනත් රටකට පැමිණෙන්නේ නම් අදාළ රටේ සිටින ලංකාවේ මහකොමසාරිස්වරයා හෝ තානාපතිවරයා ගුවන් තොටුපළ වෙත පැමිණ අමුත්තන් පිළිගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. එසේ නොමැතිව යම් මන්ත්‍රීවරයෙක් වෙනත් රටකට යන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් පමණක් කළහොත් අදාළ රටේ ඇති තානාපති කාර්යාලය මගින් පහළ මට්ටමේ නිලධාරියකු ඊට යොමු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. එසේ නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීවරයකු පැමිණෙන විටදී එරට සිටින ලංකාවේ තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා පැමිණෙන්නේ කොළඹින් ලැබෙන විශේෂ පණිවුඩයකට අනුව පමණි. එසේ නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීවරයකු පිළිගැනීමට ගුවන් තොටුපළට ගොස් තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු සිය තනතුර අනතුරේ දමාගැනීමට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. එම නිසා බොහෝ දෙනාගේ සැකයට තුඩුදෙන ලොකුම කාරණාව වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණක් සිටින පක්ෂයක නායකයකු ඉන්දියාවට පැමිණෙන විට එරට සිටින ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරිය ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියේ කෙසේද යන්නය.
සබ්‍රිත් සතුටින්!
පසුව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහුද එය අනුමත කරමින් අනුරගේ ඉන්දීය ගමන මහත් ඉහළින් වර්ණනා කරමින් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. සබි්‍ර කියා සිටියේ අනුරගේ මෙම ඉන්දීය සංචාරයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ආශීර්වාද කරන බවකි. එමෙන්ම අනුරගේ මෙම ගමන ගැන ආණ්ඩුව සතුටු වන බවත් සබි්‍ර කියා සිටියේය. ඒ අනුව අනුරගේ ඉන්දීය ගමන ආරම්භයේදී අනුර පිළිගැනීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන ක්ෂෙනුකාගේ පැමිණීමත්, විදේශ ඇමැති අනුරගේ ඉන්දීය ගමන පිළිබඳ මහත් උත්කර්ෂයෙන් යුතුව අදහස් දැක්වීමත් එකට බැඳුණු සිදුවීම් පෙළක් ලෙස සැලකිය හැකිය.
ඊළඟ අර්බූදය ගයන්ත!
මේ ආකාරයට අනුර ඉන්දියාවට යෑමේ සිදුවීම කරළියට ගෙන එමින් විපක්ෂය ඇතුළේ අර්බූදයක් නිර්මාණය කොට එහි වාසිය ආණ්ඩුව ලබාගන්නා අතරේ විපක්ෂය කැඩීම සඳහා පසුගිය සතියේ තවත් මෙහෙයුම් කිහිපයක්ම ආණ්ඩුව පැත්තෙන් දියත් වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙසේ විපක්ෂය ඇතුළේ අර්බූද නිර්මාණය කිරීමට ආණ්ඩුව සැලසුම් සකස් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒ හරහා යම් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහාය. ඉන් එකක් වූයේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයා සහභාගි වන ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනකට එක්කර ගැනීමය. දඹුල්ලේ පැවැති මෙම උත්සවයේ සම්පූර්ණ සංවිධාන කටයුතු භාරව තිබුණේ හරීන් ප්‍රනාන්දුටය. මේ හරහා සජබය ඇතුළේ අර්බුදයක් ගොඩනැගීමට ආණ්ඩුව කළේ යහපාලන ආණ්ඩුවේ හිටපු ඉඩම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගයන්තටද මෙම උත්සවය සඳහා ආරාධනා කිරීමය. ඒ සඳහා හේතු වශයෙන් ඉදිරිපත් කෙරුණේ ගයන්ත ඉඩම් ඇමැතිවරයාව සිටියදී ඔහු විසින් ඉඩම් ඔප්පු ලබාදීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවය. ඒ අනුව ගයන්තටද ආරාධනා කෙරුණු අතර, පසුව ගෝඨාභය ආණ්ඩු සමයේ සිටි ඉඩම් අමාත්‍යවරයා වූ එස්.එම්. චන්ද්‍රසේනටද ඊට ආරාධනා කර තිබිණි.
එස්.එම්. පසුපෙළට!
කෙසේ වෙතත් උත්සවය පැවැති දිනයේ ඊට සහභාගි වූ සියලු දෙනාටම විශාල ප්‍රශ්නයක් වූයේ ආරාධිතයන් සඳහා ආසන පනවා තිබූ ආකාරය දෙස බලද්දීය. සාමාන්‍යයෙන් රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් ඇමැතිවරුන්ට සහ ඇමැතිවරුන්ට ඉදිරි පෙළ ආසන පනවන අතර, ආණ්ඩුවේ අනෙකුත් නියෝජිතයන්ට හා අමුත්තන්ට ආසන පනවනුයේ පසුපසට වන්නටය. නමුත් එදින ආසන පනවා ඇති ආකාරය දුටු බොහෝ පොහොට්ටු මැති ඇමැතිවරුන් අතර කසුකුසුවක් ගියේ රාජ්‍ය ධුරාවලිය පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙම උත්සවයේ ආසන පනවා ඇතැයි කියාය. විශේෂයෙන්ම ආණ්ඩුවේ උත්සවයකට වඩා එජාප සමුළුවක් පවත්වන ආකාරයට ආසන පනවා ඇති බව පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර ගිය කසුකුසුවෙන් කියැවිණි. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ එජාප ප්‍රධානීන්ට එම සමුළුවේ මුල් පේළියේ ආසන පනවා තිබීමය. යහපාලන ආණ්ඩුවේ ඉඩම් අමාත්‍යවරයා වශයෙන් ගයන්තටද මුල් පේළියේ අසුනක් පනවා තිබිණි. නමුත් ගයන්තගෙන් පසු ඉඩම් අමාත්‍යවරයා වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම්.ට ලබාදී තිබුණේ පසුපෙළ ආසනයකි.
රැස්වීම ආරම්භ වීමෙන් පසු ජනාධිපතිවරයා සිය කතාවේදී මෙම ඉඩම් බෙදීමට මූලිකත්වය ගත් ගයන්ත පිළිබඳ විශාල වර්ණනාවක් කරමින් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඔප්පු ලබාදීම සඳහා ජනාධිපතිවරයා වේදිකාවට පැමිණෙද්දී හිටිහැටියේම නිවේදකයා නිවේදනය කර සිටියේ ගයන්තටද එම අවස්ථාවටද සහභාගි වන ලෙසටය. එසේ ගයන්තගේ නම ඇසෙනවාත් සමගම පොහොට්ටු මන්ත්‍රීවරුන් එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ ගයන්තට පසුව ඉඩම් අමාත්‍යවරයා වූ එස්.එම්.ට ඊට ආරාධනා නොකළේ මන්දැයි කියාය. ඒ අනුව පිරිස එස්.එම්.ගේ මුහුණ බලද්දී ඔහුද ලැජ්ජාවෙන් මුහුණ බෙරි කරගෙන සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. නිවේදනයට අනුව ගයන්තද වේදිකාවට පැමිණ ජනාධිපතිවරයා සමග ජනතාවට ඔප්පු බෙදද්දී කලින් සැලසුම් කළාක් මෙන් හරීන්ලා පසෙකට වී ජනාධිපතිවරයා සහ ගයන්ත පමණක් රූපවාහිනී කැමරාවලට හසුවන සේ කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ දෙස බලා සිටි පොහොට්ටුවේ බොහෝ දෙනකුට එය ඉතා සැලසුම්සහගතව කළ එකක් බව වටහා ගන්නට ඒ හැටි වෙලාවක් ගියේ නැත.
ඒ අනුව එදින රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්තිවලදී මෙම සිදුවීමට වැඩි ඉඩක් ලබාදීමට සියලු මාධ්‍ය පියවර ගෙන තිබිණි. ඔවුන් එම පුවත වාර්තා කර සිටියේ ජනාධිපතිවරයාගේ උත්සවයට සජබ මන්ත්‍රී ගයන්තද සහභාගි වී සිටි ආකාරයටය. නැතහොත් ගයන්තද ආණ්ඩුවට එක්වීම සඳහා අඩිය තියාගෙන බවට වූ සැකය ජනතාව අතර මතුවන ආකාරයටය.
ගයන්තට ආ විරෝධය!
මෙම ප්‍රවෘත්තිය විකාශය වීමත් සමග සජබය ඇතුළේද යම් උණුසුමක් මතු නොවුණා නොවේ. ඒ, ඊට පෙර දින සජිත්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සමග පැවැති රැස්වීමට පවා ගයන්ත සහභාගි වී සිටියද මේ කිසිවක් සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හාංකවිසියක් හෝ දැනුවත් නොකිරීම හේතුකොට ගෙනය. ඒ අනුව එදින රාත්‍රියේදී හතර වටින්ම සජිත්ට දුරකතන ඇමතුම් ලැබුණු අතර, බොහෝ දෙනා විමසා සිටියේ ගයන්තගේ මෙම හමුව සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමක් කර තිබුණාදැයි කියාය. නමුත් සජිත් කියා සිටියේ ගයන්ත ඒ පිළිබඳ තමන්ට කිසිදු දැනුම්දීමක් කළේ නැතැයි කියාය. පසුව ඔවුන් කතා කළේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරටය. මද්දුමබණ්ඩාරගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහුද ඔවුන්ට කියා සිටියේ ගයන්ත මෙවැන්නක් පිළිබඳ තමන්ට කිසිදු දැනුම් දීමක් කළේ නැතැයි කියාය. ඒ අනුව අනුරගේ ඉන්දීය ගමනෙන් චූන් වී සිටි ආණ්ඩුවේ නියෝජිතයන්ට ගයන්තගේ මෙම සිදුවීම එම චූන් එක දෙගුණ තෙගුණ කිරීමට සමත් වූ කාරණයක් වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි.
බැනුම් කෝටියයි!
කෙසේ වෙතත් ගයන්තට මෙහි බරපතළකම වැටහුණේ උත්සවය අවසන් වී ගෙදර ගියාට පසුවය. ඒ ආ සැණින්ම ගාලු දිස්ත්‍රික්කයේ සජබ පාක්ෂිකයන්ගෙන් දිගට හරහට ගයන්තට දුරකතන ඇමතුම් ලැබුණු අතර, ඒ සියල්ලක්ම හරහා දැඩි විරෝධයක් ගයන්තට එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම මද්දුමබණ්ඩාරට කතා කළ ගයන්ත කියා සිටියේ තමන් මෙම උත්සවයට සහභාගි වූයේ ආණ්ඩුවට එකතු වීමේ අරමුණෙන් නොව, තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව සිදුවන වැඩක් නිසා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ආරාධනාවකට අනුව බවය. එහිදී මද්දුමබණ්ඩාර පිළිතුරු දෙමින් කියා සිටියේ එසේ නම් එය මාධ්‍යයට ප්‍රකාශ කරන ලෙසය.
‘මට මෙහෙ කතාකරලා කට්ටිය බණිනවා හෝ ගාලා. මම ඒ අයටත් කිව්වා මම ආණ්ඩුවට යන්නේ නෑ කියලා. මම හෙට ඇවිත් මේක මාධ්‍යයට කියන්නම්.’ යනුවෙන් මද්දුමබණ්ඩාරට කී ගයන්ත, පසු දින මාධ්‍ය හමුව තමන්ට ලබාදෙන ලෙස මද්දුමබණ්ඩාරගෙන් ඉල්ලීමක්ද කළේය. පසුව මද්දුමබණ්ඩාර සජිත්ටද ඇමතුමක් ලබාදී මෙය දැනුම් දුන් විට සජිත් එය වැඩිය ගණනකට නොගෙන කියා සිටියේ, ‘මට නම් ප්‍රශ්නයක් නෑ. එයාට ඕනෙ දෙයක් කරන්න කියන්න’ යැයි කියාය. ඒ අනුව පසු දින විපක්ෂ නායක කාර්යාලයට ගයන්ත පැමිණියද, මාධ්‍ය හමුවේ අසුන් ගැනීමට ඔහු කටයුතු කළේ නැත. ඒ, මාධ්‍යවෙදීන් විසින් දිගට හරහට මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීම නිසාය. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයෙන් පිටතට පැමිණ එළියේ රැඳී සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් ලබාදුන් ගයන්ත කියා සිටියේ තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවත්, තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයන්ට ද්‍රෝහී නොවන බවත්ය. තමන් ආණ්ඩු පිහිටුවන්නේත්, ඇමැතිකම් ගන්නේත් සජබය සමග පමණක් බවද ගයන්ත වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්‍රකාශයත් සමග ගයන්ත ආණ්ඩුවට එක්වන බව කියමින් චූන් වී සිටි ආණ්ඩුවේ නියෝජිතයන්ගේ සතුටද කඩාවැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණි.
නෙල්සනුත් ගියාද?
මීට අමතරව රාජාසන කතාව ඉලක්ක කරගෙන සජබය ඇතුළේ තවත් අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා පොළොන්නරුවේ සජබ මන්ත්‍රී කිංස් නෙල්සන් ජනාධිපතිවරයා සමග නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වූ බවටත්, ඒ හරහා කිංග්ස්ද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවටත් මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් ලබාදීමට ආණ්ඩුව පැත්තෙන් පියවර ගෙන තිබිණි. ඒ හරහාද ආණ්ඩුවේ සැලසුම වී තිබුණේ රාජාසන කතාව වන විට ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විශාල වශයෙන් ඉහළ නංවා ගැනීමටය. නමුත් එයද කනපිට පෙරළී ගියේ පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි කිංස් නෙල්සන් මේ ආණ්ඩුව පවතින්නේ තවත් මාස 6ක් පමණක් බවත්, සජබය නියත වශයෙන්ම ඊළඟ ආණ්ඩුව පිහිටුවන බවත්, එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවට එක්වීමට තමන්ට පිස්සු නොමැති බවත් ප්‍රකාශ කර සිටීම හරහාය.
රාජාසන කතාව වර්ජනයේ!
මේ ආකාරයට විවිධ උපාය උපක්‍රම යොදමින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය රාජාසන කතාවට පෙර ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව සැලසුම් කරද්දී සජිත්ද සිටියේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ පක්ෂ නායකයන් සමග දිගින් දිගටම සාකච්ඡා කරමින්ය. මෙහිදී සියලු දෙනා සජිත්ට කියා සිටියේ ආණ්ඩුව ඔන්ලයින් පනත, ත්‍රස්ත විරෝධී පනත ආදිය සම්මත කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතකට පැමිණ ඇති බැවින් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළ යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් නව පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිදුකරන කතාව වර්ජනය කිරීම හෝ ඊට බාධා කිරීම සම්ප්‍රදායක් ලෙස සිදු නොකෙරෙන්නක් නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු එම කතාව වර්ජනය කොට සභා ගැබෙන් පිටව යා යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබිණි. ඒ අනුව, සජිත්ද අවසානයේ තීන්දු කළේ රාජාසන කතාව ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සභාවට පැමිණීමෙන් පසු විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් සමග එය වර්ජනය කොට ඉවත්ව යෑමටය. ඒ අනුව මෙම පණිවුඩය විපක්ෂයේ සෙසු පක්ෂවලටද ලබාදෙන ලෙස සජිත් දැනුම් දී සිටියේය. නමුත් කුමන හෝ කරුණකින් එය ඩලස් පිලට සහ මෛත්‍රී පිලට ලබාදීම සජබයට අතපසු වී තිබිණි. මේ හේතුව නිසා ඩලස් පිලත්, ශ්‍රීලනිපයත් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීම පිළිබඳ දැනුවත් වී සිටියේ නැත.
ෆොන්සේකාගේ ප්‍රශ්නය!
මීට අමතරව මෙම සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපතිවරයා වශයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණි. මෙහිදී බොහෝ දෙනා සජිත්ට දැනුම් දී සිටියේ ෆොන්සේකා සම්බන්ධයෙන් ඉක්මන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී බරපතළ ගැටලුවක් පක්ෂයට මතුවනු ඇතැයි කියාය. එහිදී සජිත්, රංජිත් මන්දුමබණ්ඩාර සහ පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර පැවැති සූම් සාකච්ඡාවකදී මතුවූ කාරණයක් පිළිබඳවද තොරතුරු අනාවරණ කෙරිණි. මෙම සූම් සාකච්ඡාව පැවැත්වී තිබුණේ ආණ්ඩුවට විරෝධය පා ටවුන්හෝල්හි පැවැත්වූ සජබ විරෝධයට සහභාගි වූ ආසන සංවිධායකවරුන්ට ස්තුතිය පළකිරීම සඳහාය. මෙහිදී සජිත් සූම් මීටිමට සම්බන්ධ වීමට මඳක් ප්‍රමාද වූ හෙයින් ආසන සංවිධායකවරුන් හා රංජිත් මද්දුමබණ්ඩාර අතර සූම් සාකච්ඡාව ආරම්භ වී තිබිණි. එහිදීද සාකච්ඡාවට සම්බන්ධ වී සිටි ආසන සංවිධායකවරුන් එක හඬින් මද්දුමබණ්ඩාරට කියා සිටියේ වහාම ෆොන්සේකා සම්බන්ධයෙන් පක්ෂය අවසන් තීන්දුවක් ගත යුතු යැයි කියාය. පසුව සජිත්ද සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් අනතුරුව එම ආසන සංවිධායකවරු සජිත්ටද ෆොන්සේකා සම්බන්ධයෙන් මම චෝදනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. නමුත් සජිත් එය මඟහරිමින් කියා සිටියේ, ‘නෑ.. නෑ.., ඕක මෙතැනදී කතා කරන්න එපා. ඒ ගැන අපි වෙනම සාකච්ඡා කරමු. මම මේ සාකච්ඡාව දැම්මේ ඕගොල්ලන්ට ස්තුති කරන්න. හැමෝම මහන්සි වෙලා ආණ්ඩුවට දැනෙන ලොකු විරෝධතා රැලියක් අපි පැවැත්තුවා. ඒකට බොහොම ස්තුතියි…’ යනුවෙන් කියමින් එම සූම් සාකච්ඡාව අවසන් කිරීමට සජිත් පියවර ගත්තද ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බව ඒ වන විටත් සජිත්ටද වැටහී තිබිණි.
රැස්වීමට ෆොන්සේකා නෑ!
ඒ අනුව සජිත් ෆොන්සේකා සම්බන්ධ සාකච්ඡාව පැවැත්වූයේ පාර්ලිමේන්තුව ආරම්භ කළ දින පෙරවරුවේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදීය. නමුත් එදින පුදුමයකට මෙන් ෆොන්සේකා පමණක් නොව, ජනාධිපතිවරයා සමග හිතවත්ව කටයුතු කරන බවට චෝදනා එල්ලව සිටි රාජිත සේනාරත්නද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියේ නැත. ඒ අනුව ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමේ අවසන් තීන්දුව මෙහිදී ගැනීමට මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළහ. ඒ සම්බන්ධයෙන් විමල්, වාසු, උදය සමග ඒ මොහොතේම අදහස් හුවාමරු කරගැනීමේදී ඔවුන් දැනුම් දී සිටියේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ඒකාධිපති ගමනට විරෝධය පළකරමින් තම කණ්ඩායම සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ කතාව වර්ජනය කිරීමට තීන්දු කර ඇති බවත්, ඒ අනුව සිය කණ්ඩායම එදින පාර්ලිමේන්තුවට හෝ නොපැමිණෙන බවත්ය. ඊට අමතරව විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් වන හකීම්ට, රිෂාඩ්, මනෝට සහ දිගම්බරම්ටද මෙම පණිවුඩය ලබාදීමෙන් අනතුරුව ඔවුන්ද ජනාධිපතිවරයාගේ කතාවට විරෝධය පා සභා ගැබෙන් පිටව යෑමට එකඟතාව පළ කළහ. එමෙන්ම දෙමළ සන්ධානයටද පණිවුඩය ලබාදීමෙන් පසු ඔවුන්ද ඊට එකඟතාව පළකිරීමට කටයුතු කොට තිබිණි.
ඒ අනුව, කතිකා කරගත් පරිදි ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරුන් සියලු දෙනා සභා ගැබෙන් පිටව ගියද සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න සහ චම්පික රණවක තවදුරටත් සභා ගැබේ රැඳී සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද සභා ගැබේ රැඳී සිටි අතර, නිසි ලෙස පණිවුඩය සන්නිවේදනය වී නොතිබීම හේතුවෙන් ඩලස් පිලේ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සභා ගැබේ රැඳී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් සජබ මන්ත්‍රීවරුන් පිටව ගිය පසු පණිවුඩය ලැබී නොතිබුණද ඩලස්, චරිත හේරත් ඇතුළු පිරිස සභා ගැබෙන් ඉවත්වීමට කටයුතු කළ ආකාරය දැකගන්නට ලැබිණි.
ෆොනී-රාජිත නවතී!
කෙසේ වෙතත් සජබ මන්ත්‍රීවරුන් පිටව යද්දී සරත් ෆොන්සේකා සභා ගැබේ සිටින අයුරු දුටු ජී.එල්. වහාම ෆොන්සේකා අසලට පැමිණ සභා ගැබෙන් පිටව යෑමේ තීන්දුව දැනුම් දීමට කටයුතු කළේය. එහිදී ෆොන්සේකා කියා සිටියේ තමන් එම තීන්දුවට එකඟ නැති බවත්, රාජ්‍ය නායකයා රාජාසන කතාව ඉදිරිපත් කරන විට මන්ත්‍රීවරුන් සභා ගැබේ රැඳී සිටිය යුතු බවත්ය. ෆොන්සේකාගේ ස්ථාවරය දැනගත් ජී.එල්. එතැනින් එහා ඔහු සමග වාද කරන්නට ගියේ නැ. එමෙන්ම රාජිත සභා ගැබේ සිටියද ඔහු සමග කතා නොකරම ජී.එල්. ද සභා ගැබෙන් පිටව යෑමට පියවර ගත්තේය. ඒ අනුව, මේ පිරිසට අමතරව ජවිපෙ මන්ත්‍රීවරියක වන හරිනි අමරසූරියද වර්ජනයට එකතු නොවී සභා ගැබේ ජනාධිපතිවරයාගේ කතාව අසමින් සිටින ආකාරයක් එදින රාත්‍රියේ සිරස නාලිකාව මගින් වාර්තා කළ ආකාරයක් දැකගත හැකි විය.
මේ ආකාරයට ෆොන්සේකා සහ රාජිත ජනාධිපතිවරයාගේ රාජාසන කතාව අසමින් සභා ගැබේ රැඳී සිටියද, ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව අවසානයේ ලබාදුන් තේ පැන් සංග්‍රහයට ඔවුන් දෙදෙනා එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කෙසේවෙතත් ජනාධිපතිවරයා තේ පැන් සංග්‍රහයට සහභාගි වීම සඳහා ගිය පසු ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට වී ජනාධිපතිවරයා එන තුරු රැඳී සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ, ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකිරීම සඳහාය.
ෆොනී ජනපතිගේ කාමරේ!
මේ ආකාරයට පසුගිය කාල වකවානුවේදී ෆොන්සේකා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමු කිහිපයක්ම පැවැත්වී තිබූ අතර, ඉන් බොහොමයක් ආෂු මාරසිංහ හරහා සිදුව තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. නමුත් අප එම හමුවීම් පිළිබඳ තොරතුරු වාර්තා නොකළේ ෆොන්සේකාගේ පෞද්ගලික කාරණාවක් වූ 2010 ජනාධිපතිවරණ සමයේ ලැබී රඳවාගෙන තිබුණු අතිවිශාල මුදල් කන්දරාවක් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් වූ මාතෘකාද ඒ අතරේ තිබූ නිසාය.
ඒ අනුව තේ පැන් සාදය අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා සිය කාර්යාලයට පැමිණ එතෙක් එහි රැඳී සිටි ෆොන්සේකා සමග විනාඩි 23ක සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. මීට පෙර ෆොන්සේකා සමග පැවැති හමුවීම් පිළිබඳ තොරතුරු කිසිවක් ආණ්ඩුවේ මාධ්‍ය එළියට නොදැම්මද මෙම හමුවීම පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය මහත් ඉහළින් වාර්තා කිරීමට පියවර ගත්තේ ඒ හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමේ අවස්ථාවක් මෙන්ම විපක්ෂය ඇතුළේ අර්බූදයක් මතු කිරීමට අවස්ථාවක් මතුව තිබීම නිසාය. කෙසේ වෙතත් මේ හමුව පිළිබඳ තොරතුරුද ඒ මොහොතේම සජබ නායකයන්ට දැනගන්නට ලැබී තිබිණි. ඒ අනුව මේ වන විට සජබය තීන්දු කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත පක්ෂයේ සභාපති තනතුරෙන් ෆොන්සේකා ඉවත් කිරීමටය. එමෙන්ම ආසන සංවිධායක ධුරයෙන් ෆොන්සේකා ඉවත් කිරීමටද පක්ෂ නායකත්වය මේ වන විට තීන්දු කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සාගරලාගේ විරෝධය!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර පැවැති සාකච්ඡාවක් විනාඩි කිහිපයකින් අවසන් වූ ආකාරය ගෙනහැර දැක්වූයෙමු. එහිදී අප කියා සිටියේ සාකච්ඡාවට පොහොට්ටුවට පමණක් නොව ශ්‍රීලනිපයට හා නිමල් ලන්සා කණ්ඩායමටද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආරාධනා කිරීම හේතුකොට ගෙන පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා විරෝධය පළකර සිටි බවත්, මැතිවරණ සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමට පළමුව පොහොට්ටුවේ නායකයන් සමග සාකච්ඡා කළ යුතු බවට සාගර ප්‍රකාශ කළ බවත්ය. මේ හේතුවෙන් විනාඩි කිහිපයක් ඇතුළත සාකච්ඡාව අවසන් වූ බව අපි අනාවරණ කළෙමු. කෙසේ වෙතත් පසුගිය සතියේ එම සාකච්ඡාවේ සිදුවූ සිදුවීම් හෙළිකළ අප මේ සතියේ හෙළිකිරීමට සූදානම් වන්නේ මෙම සාකච්ඡාවට පදනම වැටුණු පසුබිම් කතාව පිළිබඳවය.
මෙම සාකච්ඡාව සංවිධාන කර තිබූ පාර්ශ්වයන් ලෙස පොහොට්ටුව මේ වන විට හඳුනාගෙන ඇත්තේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා කණ්ඩායමය. ඊට හේතුව සාකච්ඡාව සඳහා පළමුව සාගරට ආරාධනා කිරීම පියවර ගෙන තිබුණේ ප්‍රසන්නය. එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවට ප්‍රසන්න සාගරට කළ දැනුම්දීමේදී සාගර පෙරළා නැවත ප්‍රකාශ කොට සිටියේ පළමුව ඒ පිළිබඳ පක්ෂ නායකයන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කොට තීන්දු ගත යුතු බවකි. එහිදී ප්‍රසන්න මෙය මූලික වටයේ සාකච්ඡාවක් බැවින් එසේ කළ යුතු නැති බව ප්‍රකාශ කළද සාගර නැවත වතාවක් කියා සිටියේ එසේ නම් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඵලක් නොමැති බවකි.
ඒ අනුව ප්‍රසන්න කළේ මේ දිනවල ලොස් ඇන්ජලීස්හි සිටින බැසිල් සමග කෙළින්ම කතාකොට සාකච්ඡාව පිළිබඳ බැසිල්ව දැනුවත් කිරීමය.
‘සර්, ජනාධිපතිතුමාට පොහොට්ටුවත් එක්ක සාකච්ඡා කරන්න ඕනෙ කියලා කිව්වා. මේක මූලික සාකච්ඡාවක් විතරයි. සර් ලංකාවට ආවාම දීර්ඝව මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්…’ යනුවෙන් ප්‍රසන්න බැසිල්ට කළ දැනුම්දීමෙන් පසු බැසිල් නැවත සාගරට කතා කොට කියා සිටියේ සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙසටය. නමුත් එහිදීද සාගර බැසිල්ට කියා සිටියේ පක්ෂ නායකත්වය නොමැතිව සාකච්ඡා සඳහා සහභාගි වීම සුදුසු නැති බවකි.
අමරවීරගෙන් පත්තු වෙයි!
‘නෑ නෑ… ඒ ගැන මොකුත් හිතන්න එපා. සාගර ගිහින් ජනාධිපතිතුමා එන්න සාකච්ඡා කරන්න. ප්‍රසන්න මට වද කරනවා සාකච්ඡාවට එන්න කියන්න කියලා…’ යනුවෙන් බැසිල් කළ සඳහනත් සමග සාගරද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟ විය.
නමුත් ප්‍රශ්නය පැනනැගුනේ සාකච්ඡාව සඳහා යන දින පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් සාගරට දුරකතන ඇමතුමක් ලැබීමය. එම ඇමතුමෙන් අමරවීර විමසා සිටියේ ‘ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවට එනවා නේද?‘ කියාය. ඊට පිළිතුරු දුන් සාගර, ‘ඔව් අපි මේ යන්න ලෑස්ති වෙනවා. ඇයි?’ කියා විමසද්දී අමරවීර, ‘අපිත් සාකච්ඡාවට එනවා. ලන්සා අපිටත් කිව්වා එන්න කියලා…’ යැයි කියා සිටියේය. ඒ අනුව සාකච්ඡාවට පොහොට්ටුවට පමණක් නොව වෙනත් පාර්ශ්වයන්ටද ආරාධනා කර ඇති බවත්, ඒ පසුපස ප්‍රසන්න සහ ලන්සා සිටින බවත් වටහාගත් සාගර වහාම ප්‍රසන්නට යළි දුරකතන ඇමතුමක් ගෙන මේ පිළිබඳ විමසා සිටීමට කටයුතු කළේය.
‘ඇමැතිතුමා පොහොට්ටුවට විතරක් නෙමෙයිද ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවට ආරාධනා කළේ. අමරවීර මට කතාකරලා ඇහුවා සාකච්ඡාවට එනවා නේද කියලා. ඒ කියන්නේ ඒ අයටත් මේකට ආරාධනා කරලද?’ යනුවෙන් සාගර අසද්දී තරමක් අපහසුතාවෙන් ෂේප් න්‍යායෙන් පිළිතුරු දුන් ප්‍රසන්න කියා සිටියේ, ‘නෑ නෑ, ඒ වෙන සාකච්ඡාවකට වෙන්න ඇති’ යැයි කියාය.
නමුත් ප්‍රසන්න පිළිතුරු දුන් ශෛලිය සාගරට ඇල්ලුවේ නැත. ඒ නිසා සාගර වහාම කළේ මේ පිළිබඳ පක්ෂයේ ප්‍රධානීන් දැනුවත් කිරීමය. සාකච්ඡාව සඳහා සහභාගි වීමට නාමල්ද සූදානමින් සිටියත් මෙම තොරතුරු දැනගත් වහා නාමල් කියා සිටියේ තමන් සාකච්ඡාවට සහභාගි නොවන බවත්, වෙනත් පාර්ශ්ව සමග ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡාවන්ට පොහොට්ටුව සහභාගි වී පලක් නොවන බවත්ය. ඒ අනුව සාගර සාකච්ඡාවට සහභාගි වූයේම එහි වෙනත් පාර්ශ්ව සිටියහොත් ඊට විරෝධය පළකිරීමේ අරමුණෙන් යුතුවය.
සිතූ ආකාරයටම සාකච්ඡා මේසයට යද්දී පොහොට්ටුවට අමතරව තවත් පක්ෂ කිහිපයක්ම එහි සිටිනු සාගරට දැකගත හැකි විය. ශ්‍රීලනිපය නියෝජනය කරමින් අමරවීරද, ලන්සාගේ නව සන්ධානය නියෝජනය කරමින් නිමල් ලන්සාද, ටිරාන්ගේ පක්ෂය නියෝජනය කරමින් ටිරාන්ද එහි අසුන්ගෙන සිටිනු දුටු සාගර ඊට තම විරෝධය පළකරමින් මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් පළමුව පොහොට්ටුව සමග පමණක් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. සාගර මතුකළ විරෝධය පිළිගත් ජනාධිපතිවරයා අවසානයේදී කළේ සාකච්ඡාව අතරමග නවතා වෙනත් දිනයකට එය කල්දැමීමට කටයුතු කිරීමය.
සිග්නල් එක හොඳයි!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, පොහොට්ටු ආණ්ඩුවත් එලවා දැමූ ජනතා අරගලයෙන් පසු රට ඇතුළේ පොහොට්ටුවට ඇති ඉල්ලුම සහ ජනප්‍රියත්වය බරපතළ ලෙස කඩාවැටුණු බව පොදුවේ සියල්ලන්ගේම අදහස වී තිබිණි. මේ හේතුවෙන් පසුගිය කාලය පුරාම පොහොට්ටු ප්‍රධානීන් තැන් තැන්වල කුඩා රැස්වීම් පැවැත්වූවා මිස කුමන දිස්ත්‍රික්කයකවත් විශාල ජන රැලි පැවැත්වීමට උත්සාහ කළේ නැත. පක්ෂ සම්මේලනය පවා ඔවුන් පැවැත්වූයේ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේය.
නමුත් පොහොට්ටුව ගමෙන් ප්‍රතික්ෂේප වී ඇති බවට වූ පොදු මතය වෙනස් බවට වූ සංඥාවක් පොහොට්ටුවට ලැබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයෙනි. එම මරණයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පුත්තලමේ ජනතාවගෙන් සහ අවසන් කටයුතු සිදුකළ දිනයේ පැමිණි ජනතාව හේතුවෙන් තවමත් පොහොට්ටුවට ගමේ යම් ප්‍රමාණයක බලයක් පවතින බව පොහොට්ටු නායකයන්ට වැටහී තිබිණි. මෙම සංඥාව පොහොට්ටු නායකයන් පමණක් නොව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පවා වටහා ගැනීමට වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත.
කෙසේ වෙතත් මෙම සංඥාව ලැබීමෙන් පසු අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පොහොට්ටුවේ ප්‍රධානීන් යම් යම් විශේෂ තීන්දු කිහිපයක්ම පක්ෂය ඇතුළේ පවත්වා ඇති අභ්‍යන්තර සාකච්ඡාවලදී ගෙන ඇති බවය. ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ පොහොට්ටු දේශපාලනය අවසන් කිරීම සඳහා යම් යම් පාර්ශ්ව විසින් ගසන ගේම්වලට හසුනොවී ඉතා සැලසුම්සහගතව ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීමට පක්ෂ ප්‍රධානීන් සැලසුම් කොට ඇති බවය. ඒ අනුව තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත්, එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දින වකවානු පවා මෙම සාකච්ඡාවලදී තීරණය කොට අවසන් බවත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත. එමෙන්ම මෙම උපක්‍රමශීලී වැඩපිළිවෙළ අවසානයේදී ගතයුතු ඉහළම දේශපාලන තීන්දුවද මෙම සාකච්ඡාවලදී පොහොට්ටු ප්‍රධානීන් විසින් ගෙන ඇති බවද රාජ්‍ය රහස් තීරය සතුව පවතින අතර ඉදිරියේදී වරින් වර ඒවා ජනතාවට හෙළිකිරීමටද අප සූදානම්ය.
ශ්‍රීලනිපය මහලු වෙයි!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එලවා දැමීමට තරුණ පිරිස් කළ අරගලයෙන් මේ රටේ දේශපාලකයන්ට පණිවුඩ ගණනාවක් ලබාදී තිබිණි. ඉන් එකක් වූයේ කෙළින් කටින් හිටගැනීමට බැරි වයෝවෘද්ධ පිරිස් දේශපාලනයෙන් ඉවත් වී ඒ වෙනුවට දැක්මක් ඇති, හැකියාවක් ඇති තරුණ පිරිස් දේශපාලනයට පැමිණිය යුතු බවකි. වංචාව, දූෂණය, මැරකම දේශපාලනයෙන් ඉවත් කොට නීතියට අනුකූලව සිදුකෙරෙන පාලනයක් ගෙන යා යුතු බවකි. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක් පමණක් අරගලයේ මෙම දේශපාලන පණිවුඩය හරිහැටි කියවාගෙන ඊට අනුගතව කටයුතු කළත් යම් යම් පාර්ශ්ව තවමත් පරණ පුරුදු දේශපාලන අඩි පාරේම යමින් කටයුතු කරන ආකාරයත් මේ දිනවල දැකගන්නට ඇත. ඉන් එක් පාර්ශ්වයක් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය.
ශ්‍රීලනිපය ආරම්භ කළේ එජාපයෙන් කැඩී ගිය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බිරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට පිවිස ශ්‍රීලනිපයට නායකත්වය දුන්නාය. පසුව බණ්ඩාරනායක පවුලේම චන්ද්‍රිකා සිරිමාවෝගෙන් පසු ශ්‍රීලනිපයේ බලය සියතට ගත්තාය. ඇය පළමුව බස්නාහිර මහ ඇමැතිවරිය වූවාය. පසුව අගමැතිනිය වූවාය. දෙවරක් ජනාධිපතිනිය වූවාය. එසේ ඉහළම තැනට ගොස් දෙවතාවක් ජනාධිපතිකම් කළ චන්ද්‍රිකා 2005 වසරේදී දේශපාලනයට සමුදී විශ්‍රාම යෑමට පියවර ගත්තාය. ඒ අනුව මේ වන විට ඇය විශ්‍රාම ගොස් අවුරුදු 19කි. දැන් චන්ද්‍රිකාට වයස අවුරුදු 79කි.
නමුත් වැඩේ කියන්නේ තරුණ දේශපාලකයන්, තරුණ නායකයන්, අලුත් මුහුණු සොයන අද කාලයේදී ශ්‍රීලනිපය නැවත වතාවක් ඊට පිටුපා යමින් විශ්‍රාම ගොස් 79 වැනි වියේ පසුවන චන්ද්‍රිකා යළිත් දේශපාලනයට ගෙන ඒමට තීන්දු කිරීමය. ඒ, ශ්‍රීලනිපයේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති පොදුජන පෙරමුණේ නායකත්වය යළිත් චන්ද්‍රිකාට භාරදීමට තීන්දු කිරීම හරහාය. බොහෝ දෙනා ශ්‍රීලනිපය තරුණ නායකත්වයක් යටතේ ගොඩනගනු ඇති බව සිතා සිටියද මේ තීන්දුවත් සමග ශ්‍රීලනිපයද එජාපයේ මට්ටමටම ඇදවැටෙනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. එදා රටට නිදහස ලබාදුන් එජාපය, හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබූ එජාපය තිස් වසරක් පුරා අඛණ්ඩව නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පත්ව ඇති ඉරණම චන්ද්‍රිකා යළි නායකත්වයට ගෙන ඒමට ගනු ලැබූ තීන්දුවෙන් ශ්‍රීලනිපයටද අත්වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කතානායකට විශ්වාසභංගයක්?
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු ඔන්ලයින් පනත සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඒ, විපක්ෂය පමණක් නොව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනි සිවිල් සංවිධානද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකර ඇති නියෝග එම පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට නොමැති බවට චෝදනා කිරීම හේතුකොටගෙනය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ කෙටුම්පතක් කතානායකවරයා විසින් අස්සන් කරනු ලැබීමෙන් පසු එය නීතියක් බවට පත්වන අතර, එය අධීකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇතුළත්ව නොමැත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනත් කෙටුම්පතට ඇතුළත් කළ යුතු සංශෝධන ආණ්ඩුව නිසි පරිදි ඇතුළත් කොට නොමැති බවට චෝදනා එල්ල වීම හරහා මේ වන විට අලුත් තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ප්‍රසිද්ධියේම කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් නියෝග මෙම පනතේ අඩංගු නොමැති බවත්, එය නොතකා කෙටුම්පතට අස්සන් කළ කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත්ය. එම ප්‍රකාශවලින් ඔබ්බට ගොස් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පක්ෂයේ නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත්, ඔවුන් මේ දිනවල විශේෂ විමර්ශනයක් සිදුකරමින් සිටින බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නමුත් ගැටලුව වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා කතානායකවරයා පනතකට අස්සන් කොට ඇත්නම් ඔහුට හෝ ඇයට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළත් නොවීමය. නැතහොත් ඒ පිළිබඳ ව්‍යවස්ථාව ‘නිහඬ’ වීමය. එවැනි තත්ත්වයකදී එම ගැටලුව විසඳා ගැනීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනයන් සිදුකර ගැනීමෙනි. ඒ අනුව සජබය මේ වන විට තීන්දු කොට ඇත්තේ අදාළ සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙන යෑමටය.