අරගලය නිර්මාණය වීමේ ප්‍රධාන හේතුව ආර්ථික ප්‍රශ්නය බවත්, ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වයද පෙරට ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය, සර්වපාක්ෂික අරගලකරුවෝ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිත පිරිසක් සමඟ අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ද සහභාගි වී සිටීම විශේෂත්වයකි.
වත්මන් ජනාධිපති යටතේ කිසිදු සහනයක් ජනතාවට නොලැබෙන බවත්, ඔහුගේ ඉවත්වීම තුළ රට ගොඩනැගෙන කවුළු විවරවන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
ආණ්ඩුව අරගලයේ යෙදී සිටින තරුණ පිරිස අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට එරෙහිව රාජ්‍ය ම්ලේච්ඡත්වය යොදවන බවත් පැවැසූ සජිත් ප්‍රේමදාස මහතා, මැයි 09 වැනිදා ත්‍රස්තවාදය ආරම්භ කළ පිරිස් තවමත් නිදහසේ සිටින බවද පැවැසීය.
පොදුජන යහපත වෙනුවෙන් වූ පොදු සම්මුතියක් උදෙසා විපක්ෂ නායක කාර්යාලය පාලමක් බවට පත්කරන බවද, ඒ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට තමන් ආරාධනා කරන බවද විපක්ෂ නායකවරයා මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.










