හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ජනපති අනුර කළ ප්‍රකාශය ජනපතිවරයෙකුට නොගැලපේ. Sri Lanka Latest News
ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඊයේ කටුකුරුන්දේ රැළියක් අමතමින් ප්‍රකාශ කලේ “තමන්ට ලැබී ඇති ආරක්ෂකයින් ගණන මදි යැයි මහින්ද රාජපක්ෂ කෙදිරි ගෑවොත් තිබෙන ආරක්ෂාව ද ඉවත් කරනවා” ලෙසයි. මේ කතාවෙන් පෙනෙන්නේ මාලිමා නායක අනුර සහෝදරයා දැන් තමන් ජනපති බවත් එය වගකිවයුතු තනතුරක් බවත් කටට එන පලියට වචන පාවිච්චි නොකළ යුතු බවත් නොදන්නා බවයි.
ජනපති මහින්දට ලබා දෙන ආරක්ෂකයින් ගණන මෙන්ම ආරක්ෂාව දෙනවා ද නැද්ද වැනි කරුණු තීරණය කළ යුත්තේ ආරක්ෂක විශේෂඥයින් මිස ජනපති අනුර නොවේ. මහින්ද රාජපක්ෂ මහතා කෙඳිරි ගාන නිසා හෝ ආරක්ෂකයින් මදි යැයි පවසන නිසා හෝ එතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ජනපති අනුර තීරණය කරන්නේ නම් එය ද්වේශ සහගත ක්‍රියාවකි. සෘජුවම දේශපාලන පලි ගැනීමකි. තමන් ජනපති මිස සර්ව බලධාරි දෙවියන් නොවන බවත් තමන් රිසි පරිදි හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට තමන්ට බලයක් නොමැති බවත් ජනපති අනුර තේරුම් ගත යුතුය.
හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීමේ තාර්කික පසුබිම පිළිබඳ ජනපති අනුරට තවමත් අවබෝධයක් නොමැති බව මෙම ප්‍රකාශයෙන් පෙනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තිස් වසරකට අධික කාලයක් මේ රට විනාශ කිරීමෙහි යෙදී සිටි කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ගෞරවයේ ලොකුම පංගුවට හිමිකම් කියන්නාය. එබැවින් හිටපු ත්‍රස්තවාදින්ගේ මෙන්ම දෙමළ ඊළාම් සිහිනය දුටු අයගේත් වෛරයට ජනපති මහින්ද බඳුන් වී ඇත. ඔහු 79 වියට පැමිණීම ඒ වෛරය අවසන් වීමට කිසිම හේතුවක් නැති බව අයිආර්ඒ ත්‍රස්තවාදින් මවුන්ට්බැට්න් සාමිවරයා මරා දැමීමෙන් තහවුරු වේ. බ්‍රිතාන්‍ය හමුදාවන්හි කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර දරා විශ්‍රාම ගිය මවුන්ට්බැට්න් සාමිවරයා ත්‍රස්තවාදින් විසින් 1979 දී මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 79ක් විය.
ත්‍රස්තවාදය, පාතාලය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම රජ යන සමාජයක රාජ්‍ය නායකයා එකී උවදුර මුලුනුපුටා දැමීමට තීරණාත්මකව මැදිහත් වන්නේ තනතුරෙන් විශ්‍රාම ගිය පසු ද තම ආරක්ෂාව තහවුරු වන්නේ නම් පමණි. අද ත්‍රස්තවාදය නැතත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහලින්ම සක්‍රියව පවතියි. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ජනපතිවරයා විශ්‍රාම ගිය පසු ආරක්ෂාව අහිමි වෙන්නේ නම් අනාගත ජනපතිවරුන් පාතාලය හෝ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් වැද සිය ජීවිතය අවදානමේ නොහෙලුනු ඇත. එබැවින් මාලිමා නායක අනුර සහෝදරයාට මෙන් ජනපති අනුර මැතිතුමාට කටට එන පලියට දෙයක් කීමට නොහැකි බව සිහි තබා ගත යුතුය.










