ආණ්ඩුව ඊළඟට මුහුණදී සිටින ප්‍රශ්නය වී ඇත්තේ ආපදාවෙන් යළි ගොඩ ඒමට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ ආපදාව කළමනාකරණය කිරීම සඳහා පත්කළ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුව පිළිබඳවය. ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම කමිටුවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ද, දේශපාලකයන් කිහිප දෙනෙක්ද ඇතුළත්ව තිබිණි. නමුත් ජනාධිපතිවරයා පත්කළ මෙම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුව මේ වනවිට බරපතළ ප්‍රශ්නයකට ගොස් ඇත්තේ විපක්ෂය විසින් එහි නීත්‍යනුකුලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමගය. විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ රටේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසා එවැනි කමිටුවක් පත්කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට ලබාගත යුතු බවත්, එසේ නොමැති නම් එම කමිටුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනගින බවත්ය. මීට අමතරව විපක්ෂයේ අනෙකුත් සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් ඊට පත්කර ඇති සාමාජිකයන්ට බරපතළ චෝදනා තිබෙන බවත්, ඇතැමුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු විභාගයන් පැවැත්වෙමින් තිබෙන බවත් පෙන්වා දී තිබිණ. ඒ අනුව පසුගිය සතිය වනවිටම මෙම කමිටුව පිළිබඳ යම් ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබිණී.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් විපක්ෂය විසින් ප්‍රශ්න කිරීමත් සමග එහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් ද සොයා බැලීමක් සිදුවිය. එහිදී ඔවුන්ටද ලැබී තිබුණු උපදෙස්වලින් කියවුණේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ ආකාරයේ මුදල් එක්රැස් කිරීමේ අරමුදලක් පවත්වාගෙන යා නොහැකි බවය. එසේ කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත විය යුතු බවටද එහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ට උපදෙස් ලැබී ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් ගැටලුව වී ඇත්තේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ස්ථාපනය කරමින් ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මේ කරුණු සියල්ල ඇතුළත් කොට තිබීමය.
එමෙන්ම මෙම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ගැටලුවක් පැනනැගී තිබේ. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙද්දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව ආණ්ඩුවට වියදම් කළ හැක්කේ ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් 13%ක ප්‍රමාණයක් පමණි. පනතකින් සම්මත වී නැති නිසා රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට ලැබෙන මුදල්ද ඇතුළත් වන්නේ එම වියදම් කිරීමේ බාධකයට යටත්වය. ඉන් මිදී ඊට ලැබෙන අරමුදල් සම්පූර්ණයෙන් වියදම් කිරීමට නම් එය වෙනම අරමුදලක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ඊට උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්තේ ජනාධිපති අරමුදල පවතින්නේ ඒ ආකාරයේ වෙනම පනතක් ලෙස බවය. එම අරමුදල පාර්ලිමේන්තුවේ සම්මත කොට ඇති බැවින් අවශ්‍ය තරම් මුදල් ප්‍රමාණයක් ඒ හරහා වියදම් කිරීමේ හැකියාව ඇතැයි කියාය. නමුත් මේ වියදම් කිරීමේ 13%ක බාධකය ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැකගන්නට ලැබී ඇත්තේ රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ගැසට් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව ආණ්ඩුවේ ආදායමෙන් වියදම් කළ හැකි වන්නේ 13%ක් පමණක්ය යන බාධකයෙන් මිදීම සඳහා රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කළ යුතු බවට වූ සාකච්ඡාවක්ද මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ආරම්භ වී ඇති බවක් දැකගන්නට පුළුවන.










