• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ නොවන රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබල පුතෙක්ගේ ෆයිල් එක විවෘත වෙයි! අලුත් පරීක්ෂණයක් ඇරඹෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

January 26, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් සජබෙට දෙන්න යන අලුත්ම ගේම!

ලන්ඩනයේදී රනිල්ව අත්අඩංගුවට ගනියිද?

අනුර අරාබියට යනවා!

මහනුවර මන්දිරයක තිබ්බරහස් සාකච්ඡාව!

අනුර කළුතරින් එළියට

පසුගිය සතියේ නැවත වතාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට සියලු දෙනාගේම අවධානය තමන් වෙත යොමුකර ගැනීමට සමත් වූයේ පසුගිය අඟහරුවාදා දිනයේදී කළුතරදී සිදුකළ ආන්දෝලනාත්මක කරුණු රැසකින් සමන්විත වූ දේශපාලන කතාව හරහාය. ජනාධිපතිවරයාගේ මෙම කතාව ආවාට ගියාට අහම්බෙන් සිදු කළ එකක් නොවේ. ආණ්ඩුව පත්වී ඉතා කෙටි කාලයක් වුවද එම කෙටි කාලය ඇතුළත ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව තුළ යම් කලකිරීමක් මතුව ඇති බවට දිගින් දිගටම තොරතුරු වාර්තා වී තිබීම නිසා මෙවැනි කතාවක් ජනාධිපතිවරයා ලවා සිදුකිරීමට ජවිපෙට අවශ්‍යව තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයාගේ චීන ගමන අවසන් වීමත් සමග ජවිපෙ කළුතර මෙම රැස්වීම සංවිධාන කළේ පාක්ෂිකයන්ගේ හමුවක් ලෙසටය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මෙවැනි කතාවක් රාජ්‍ය නිලධාරීන් හමුවේ හෝ වෙනත් නියෝජිත හමුවකදී හෝ පැවැත්වීමට හැකිව තිබුණත් ආණ්ඩුවේ උත්සවයකදී එවැනි කතාවක් සිදුකරද්දී ඊට යම් යම් සීමා බාධක පැනවෙන නිසා දේශපාලන කරුණු කාරණා ප්‍රකාශ කිරීම සඳහාම මෙම වේදිකාව සකස් කර තිබූ බවක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණ.Sri Lanka Latest News

හොරු ඇල්ලීම, හාල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය, ලුණු ප්‍රශ්නය ආදී මාතෘකා මුල්කරගෙන මාලිමාවට ඡන්දය දුන් සමාජයේ විවිධ ස්ථරයන් කලකිරී සිටීමට අමතරව දිගින් දිගටම ගම්වල සමූපාකාර ඡන්ද මාලිමාව පරාජයට පත්වීමද ජනාධිපතිවරයාගේ මෙම රැස්වීම සංවිධාන කිරීමට බලපා තිබිණ. ඒ අනුව මෙම පීඩනයෙන් ගැලවීම සඳහා පහසුම මාර්ගය ලෙස ජවිපෙ තෝරාගෙන තිබුණේ ජනාධිපතිවරයා ලවා මෙවැනි දේශපාලන කතාවක් සිදුකිරීමය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කළ මෙම කතාව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු විසින් සිදුකළ ප්‍රථම දේශපාලන කතාව ලෙස සැලකිය හැකිය. හොරු ඇල්ලීම, පොරොන්දු ඉටුකිරීම, පසුගිය කාලයේ සිදුවූ ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම, ජනතාවට සහන ලබාදීම යනාදී කරුණු ගණනාවක් ඒ කතාව තුළ අන්තර්ගත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළද එහි ‘හිට්‘ එක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කොට ජනාධිපතිවරයා එල්ල කළ ප්‍රහාරයය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍යවල ප්‍රධාන තැනක් ගත්තේ මහින්දව නිල නිවසින් එළියට ඇද දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ කතාවය. එහිදී ජනාධිපතිවරයා පළමුවරට රටට විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ වනවිට රජයේ තක්සේරුකරුවන් ලවා මහින්ද රාජපක්ෂ වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවස තක්සේරු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවකි. ඉඩම නොමැතිව නිවසේ මාසික තක්සේරු කුලිය පමණක් රුපියල් ලක්ෂ 46ක් බව කී ජනාධිපතිවරයා, පවතින නීතියට අනුව විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 30,000ක් හිටපු ජනාධිපතිවරයාට ලබාදීමට හැකි බවත්, තවදුරටත් ඔහුට නිල නිවසේ රැඳී සිටීමට අවශ්‍ය නම් එහි මාසික කුලිය ඔහු විසින් ගෙවිය යුතු බවත් කියා සිටියේය.

අපි කලින්ම කිව්වා

ජනාධිපතිවරයා මහින්දගේ නිවස තක්සේරු කළ බවට වූ පුවත ඉකුත් අඟහරුවාදා දිනයේ පළමුවරට රටට හෙළි කළත් මේ බව අප ‘මව්රට’ පුවත්පත පළමු වරට රටට හෙළි කළේ මීට සති තුනකට පෙරය. එහිදී මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් අප රටට අනාවරණ කළේ රජයේ තක්සේරුකරුවන් මහින්දගේ නිවසට ඇතුළු වී ඇති බවය. ඉකුත් දෙසැම්බර් 29 දින ‘මව්රට’ මුල් පුවත ඔස්සේ අප කළ එම අනාවරණය මෙසේය.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට පසුගිය සතියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ මැනුම් කටයුතු ආරම්භ කොට ඇති බවක් දැනගන්නට තිබේ.
හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති නිල නිවෙසට අමතරව රජයට අයත් යාබදව පිහිටි තවත් නිල නිවෙසක් ඊට ඈඳාගෙන ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව මෙසේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙස මැනීමේ කටයුතු ආරම්භ කොට ඇති බව පැවැසේ.
මීට අමතරව ඉදිරි දින කිහිපය ඇතුළත තවත් හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා වාසය කරන පැජට් පාරේ පිහිටි නිල නිවෙසේ මැනුම් කටයුතු සිදුකිරීමටද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව පැවැසේ.
ඒ, හිටපු ජනාධිපතිවරයා විසින් නිල නිවාස දෙකක් එක්කොට තනි නිවාසයක් සකස් කොට ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.
ඒ අනුව යම් හෙයකින් එම තොරතුරු සනාථ වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.’

කෙසේ වෙතත් මෙම කතාව හරහා ජනාධිපතිවරයා හා ජවිපෙ යම් දේශපාලන වාසියක් ලබාගැනීමට සැලසුම් කර තිබුණද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ මහින්දව නිවසින් එළියට ඇද දැමීමේ කතාව හරහා ඒ ගැනීමට තිබූ වාසිය ඔවුන් සිතූ අයුරින් ගැනීමට හැකිවූවාද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රබල ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බොහෝ පාර්ශ්වයන් පවා එදින ජනාධිපතිවරයා කළ කතාව සහ ඔහුගේ ස්වරය විවේචනයට ලක්කරමින් මාධ්‍යවලට අදහස් දක්වා තිබූ ආකාරය දැකගත හැකි විය. ඇතැමුන් පෙන්වා දුන්නේ මහින්ද ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා එල්ල කළ මෙම ප්‍රහාරය හරහා නිදාගෙන සිටි අලියකු එක්වරම නැගිට්ටවූවා සේ ඒ හරහා හතරගාතේ වැටී තිබූ පොහොට්ටුවට විශාල උත්තේජනයක් ලැබුණා යැයි කියාය. ඒ අනුව පොහොට්ටුව පැත්තෙන් ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය කරේ තියාගෙන විශාල ප්‍රචාරයක් ගෙන යමින් කියා සිටියේ ‘යුද්ධය දිනූ සේනාධිනායකයා‘, ‘රට බේරාගත් නායකයා‘ ගෙදරින් පන්නා දැමීමට අණ්ඩුවට සූදානම් වනවා යැයි කියාය. මේ හේතුකොට ගෙන රාජපක්ෂවරුන්ට එරෙහිව පසුගිය කාලය පුරා අදහස් දක්වමින් සිටි දැඩි මතධාරීන් පවා මේ සම්බන්ධයෙන් අනුකම්පාසහගත අයුරින් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබූ ආකාරයක් දැකගත හැකි විය.

මහින්ද යන්න තීන්දු කරයි

මේ අනුව ජනාධිපතිවරයා දහවල් කළ මෙම ප්‍රකාශයෙන් පසුව සවස්වරුවේ සිටම විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිලනිවස කඩි ගුලක් ඇවිස්සී ගිය ආකාරයක් මෙන් දැකගත හැකි විය. සවස්වරුවේ සිටම විවිධ කණ්ඩායම් මහින්දගේ නිවසට පැමිණ ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්හ. ඒ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, වෙනත් සුළු පක්ෂවල නායකයන්, පක්ෂයේ තරුණ කණ්ඩායම්, වෘත්තීයවේදීන්, නීතිඥවරුද සිටියහ. මෙසේ මහින්දගේ නිවසේ රැස්වීම් පිට රැස්වීම් පවත්වමින් ඔවුන් සාකච්ඡා කළේ මහින්දව නිවසින් පන්නා දැමීමට ආණ්ඩුව උත්සාහ ගතහොත් ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග කුමක්දැයි කියාය. එහිදී බොහෝ නීතිඥවරුන් මහින්දට පෙන්වා දුන්නේ මෙය ජනාධිපතිවරයා විසින් දේශපාලන වේදිකාවකදී කළ දේශපාලන කතාවක් නිසා එම ප්‍රකාශය නිල වශයෙන් ලිඛිතව තමන්ට දැනුම් දෙන ලෙසට ආණ්ඩුවට දැනුම්දිය යුතු යැයි කියාය. එදින පස්වරුවේම මහින්දගේ නිවසේ ගත් මෙම තීන්දුවේ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයටද වාර්තා විය. ඒ අනුව අප එදිනම සවස විශේෂ පුවතක් ලෙස අඅඅගප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවිය මගින් එම පුවත රටට අනාවරණ කළේය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ කතාව හරහා පොහොට්ටුවට ලැබුණු ඊළඟ වාසිය වූයේ පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් වෙන්ව සිටි සුළු පක්ෂ නායකයන් කාලයකට පසුව මහින්ද වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීමය. මෙහිදී ඉදිරියෙන්ම සිටියේ වෙන කවුරුවත් නොව, විමල් වීරවංශත්, උදය ගම්මන්පිලත්ය. සැවොම පිළිගන්නා කාරණයක් වන්නේ විමල් මහින්ද සමග සිටියදී විමල්ගේ කථිකත්වයෙන් මහින්ද සහ පොහොට්ටුව බැබළුණු බවත්, විමල්ගේ නික්ම යෑමත් සමග මහින්දගේ සහ පොහොට්ටුවේද කඩාවැටීම ආරම්භ වූ බවත්ය. ඒ අනුව කාලයකට පසු එළියට පැමිණි විමල් කෙළින්ම කියා සිටියේ යුද්ධය අවසන් කළ සේනාධිනායකයාට මේ ආකාරයෙන් සැලකීම දේශපාලන පළිගැනීමක් යැයි කියාය.

එමෙන්ම ගම්මන්පිලද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මහින්දට මේ ආකාරයෙන් සැලකීම කිසිසේත්ම පිළිගත නොහැකි යැයි කියාය. රනිල්ගේ සිලින්ඩරය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින චාමර සම්පත් දසනායකද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ මහින්දට මේ ආකාරයෙන් සැලකීම නුසුදුසු බවත්, මහින්ද නිවසින් එළියට ඇදදැමුවහොත් ඔහුට නිවාසයක් ලබාදීමට ඕනෑ තරම් පුද්ගලයන් සිටිනා බවත්ය. මීට අමතරව දුමින්ද දිසානායක වැනි ශ්‍රීලනිප නියෝජිතයන්ද මහින්ද සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිසා ජනාධිපතිවරයා කළ එම කතාව පැය කිහිපයක් යාමට මත්තෙන් යම් ආකාරයකට ආණ්ඩුවට භූමරංගයක් වී තිබූ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මහින්ද ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය ජනාධිපතිවරයා තනිව ගත් තීන්දුවක් ලෙස සැලකිය නොහැකි බව බොහෝ දෙනාගේ අදහසය. මීට සති තුනකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ වාර්තාවක් ගෙන එමින් අප කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව සමාජයෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිද්දී පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ මහ රෑ පාන්දර වනතුරු දිනපතාම පාහේ උණුසුම් සාකච්ඡා පැවැත්වුණු බවකි. ඒ අනුව මේ වනවිට ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ එම උණුසුම් වාදවිවාදවලදී ගනු ලැබූ තීන්දුවකට අනුව මෙසේ මහින්දට ප්‍රහාර එල්ල කිරීම සිදුවූවා යැයි සිතීමට හැකි යැයි කියාය. එය වඩාත් තහවුරු වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සමාජයේ විවිධ පාර්ශ්වවලින් ඊට එරෙහිව අදහස් පළවෙද්දී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා සෑහෙන කලකට පසුව එළියට පැමිණ ජනාධිපතිවරයා ආරක්ෂා කරන ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම නිසාය.

ටිල්වින් පාර්ලිමේන්තුවේ පිටත සිට ජනාධිපතිවරයා ගත් ස්ථාවරය සධාරණීකරණය කරද්දී පාර්ලිමේන්තුව ඇතුළේ ජනාධිපතිවරයා කළ කතාව තහවුරු කිරීමේ වගකීම බාරගෙන තිබුණේ සභානායක බිමල් රත්නායකත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්සත්ය. එහිදී නලින්ද ජයතිස්ස පැහැදිලිවම කියා සිටියේ කීමට කිසිවක් නැති බවත්, කිසිවකුත් කියන තුරු නොසිට හරි නම් මහින්ද නිවසින් ඉවත්විය යුතු බවත්ය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් එල්ල වූ මෙම ප්‍රහාරය යටකී සැලසුමේම කොටසක් බව පෙනෙන්නට තිබිණි.

මහින්දත් සටනට

ජවිපෙ ජනාධිපතිවරයාගේ කතාව මේ අයුරින් සාධාරණීකරණය කරද්දී බදාදා දින මහින්දත්, නාමලුත් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයන් දෙකක් සිදුකිරීමට පියවර ගත්හ. මෙහිදී නාමල් පැහැදිලිවම කියා සිටියේ ආණ්ඩුව මහින්දගෙන් පළිගැනීම ආරම්භ කොට ඇති බවත්, නිල නිවසින් පිටවන ලෙසට ආණ්ඩුව ලිඛිතව දැනුම් දෙන්නේ නම් මහින්ද නිල නිවසින් පිටවීමට සූදානම් බවත්ය. දරුවන් ලෙස තමන්ට සිය පියාව බලාකියාගත හැකි බවද නාමල් එහිදී මාධ්‍ය වෙත කියා සිටියේය. මහින්දද කලකට පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් මහින්ද රාජපක්ෂ බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්, ලිඛිතව දැනුම් දුන් වහා තමන් නිල නිවසින් පිටවීමට සූදානම් බවත් සඳහන් කර සිටියේය. මේ දැක්වෙන්නේ මහින්ද මාධ්‍යට දැක්වූ එම අදහස්ය.


‘ජනාධිපති අනුර කුමාර දිසානායක මම මහින්ද රාජපක්ෂ බව අමතක කරනවා. ඔහුගේ කතා ගැලරියට සහ ඔහුගේ බොරු මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් කළාක් මෙන් පුරවැසියන් නොමග යැවීමට හොඳ වුවත්, ජනාධිපතිවරයා මට ලිඛිත ඉල්ලීමක් එවන්නේ නම් මගේ නිල නිවසෙන් ඉවත් වීමට මම කැමැත්තෙන් සිටින බව මම ඔහුට දන්වන්න කැමැතියි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමෙන් පසුව සහ ඉතාමත් කුරිරු කාලවලදී වසර 10ක් රට මෙහෙයවූ ජනාධිපතිවරයකු ලෙස විජේරාම මාවතේ මෙම නිවස මට ලැබුණා.’

‘සාමාන්‍ය ජනතාවට සහන සැලසීම වෙනුවට, ජනාධිපති දිසානායක තම මහජන සම්බන්ධතා ප්‍රයෝගවලට සහ වේදිකාවට ගොස් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ නිවාස පෙන්වමින් ඔවුන් විවේචනය කිරීමට වචන මුදා හරිනවා, මේ කරන්නේ තමාගේම අසාර්ථකත්වයන් ගැන කතා කිරීමෙන් වැළකී සිටීමට ගැලරියට සෙල්ලම් කිරීමක්’

‘මම සෑමවිටම ජාතිය වෙනුවෙන් වැඩ කළ දේශපාලනඥයෙක් සහ නායකයෙක්. යුද්ධය අවසන් කිරීමේ සිට සංවර්ධනය ගෙන ඒම දක්වා, අද මම ජනාධිපතිවරයා ලෙස මගේ ධුර කාලය තුළ ගෙන ආ සංවර්ධනයෙන් රටට ප්‍රතිලාභ ලැබෙනවා. මගේ අනුප්‍රාප්තිකයින් යුද්ධය අවසන් කිරීමට මා දැරූ උත්සාහයන් සහ මා අත්සන් කළ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කළා. සමහරු මෙම ව්‍යාපෘති නතර කිරීමට පවා යොමු වූ අතර එය ආයෝජකයන්ගේ විශ්වාසයට දැඩි ලෙස බාධාවක් වුණා’

‘දේශපාලන පළිගැනීමේ සිට හිරිහැර කිරීම දක්වා සියල්ල මම දැක තිබෙනවා. ජනාධිපති දිසානායක මගේ නිල නිවස මගෙන් උදුරාගත යුතු යැයි හැඟේ නම්, මම යන්න සූදානම්. කිසිවක් බලහත්කාරයෙන් තබාගෙන නැහැ. ඔහු මට නිල ඉල්ලීමක් එවන්න…’ යනුවෙන් මහින්ද මාධ්‍ය වෙත එලෙස අදහස් දක්වා තිබිණි.

කෙසේ වෙතත් මහින්ද ඇතුළු පොහොට්ටුවේ සියලු දෙනා තමන්ට ඉහළින් ලැබුණු නීති උපදෙස් අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිල වශයෙන් ලබාදෙන ලෙසට කළ දැනුම් දීමට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දැකගත හැකි වූයේ නැත. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලිඛිතව ලබාදෙන ලෙසට ලැබුණු නීති උපදෙස් තුරුම්පුව තිතට වැඩකළ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මේ ආකාරයට නිල නිවාස මුල්කරගෙන දේශපාලන කලබැගෑනි සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙවැනිම ආකාරයේ නිල නිවසක් මුල්කරගෙන ආණ්ඩු පෙරළිමට තරම් මුල්වූ විශාල සිදුවීමක් යහපාලන ආණ්ඩු සමයේදී සිදුවිය. 2018 ඔක්තෝබර් මාසයේදී සිදුවූ මෙම සිද්ධිය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකටව ඇත්තේ දින 52 කුමන්ත්‍රණය ලෙසටය. මෙහිදී සිදුවූයේ යහපාලන ආණ්ඩුවේ නිල අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා වශයෙන් විපක්ෂ නායක ලෙස සිටි මහින්ද රාජපක්ෂව පත්කිරීමට කටයුතු කිරීමය. ඒ වනවිට අගමැතිවරයා වශයෙන් රනිල් සිය නිල කටයුතු සිදුකරනු ලැබුවේ අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරය කේන්ද්‍ර කොට ගෙනය. අගමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමග රනිල් සිය බඩුබාහිරාදිය බාරදී අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට තීන්දු කළද එවක ආණ්ඩුවේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රනිල්ට පෙන්වා දුන්නේ මෛත්‍රීපාල කළ මෙම කටයුත්ත නීති විරෝධී බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතු බවත්, එතෙක් අරලියගහ මන්දිරය අත්නොහැර එය අත්පත් කරගෙන සිටිය යුතු බවත්ය. ඒ අනුව සියලු මැති ඇමැතිවරු රනිල් පෙරටුකොට ගෙන නැවත අගමැති ධුරය අත්පත් කරගන්නා සටන මෙහෙයවූයේ අරලියගහ මන්දිරයේ සිටය. ඉතිහාසයේ පළමු වතාවට අරලියගහ මන්දිරය ඉදිරිපිට දේශපාලන රැස්වීමක් පැවැත්වීමටද පියවර ගැනිණ. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මහින්දව අගමැති කිරීම නීති විරෝධී බවත්, අගමැතිවරයා ලෙස නීත්‍යනුකූලව කටයුතු කිරීමේ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට බවත්ය.

නිල නිවසින් ඉවත් නොවී ඒ සඳහා සටන් කිරීමට මහින්ද තීරණය කර ඇත්තේ එම අතීත උදාහරණයත් ඔළුවේ තබාගෙන විය යුතුය. එහිදී නීති උපදෙස්ද ලැබී තිබුණේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට හෝ ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාව නිල නිවසින් ඇද දැමීමට නොහැකි බවත්, හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවසක් ලබාදීම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇති බවත්ය. ඒ අනුව ආණ්ඩුව ඊට එරෙහිව කයුතු කරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතු බවද නීතිඥවරුන් මහින්දට දැනුම් දී තිබිණි. එම සැලසුමට අමතරව තවත් විකල්ප සැලසුම් කීපයක්ද මෙහිදී මහින්දගේ පාර්ශ්වයෙන් ගනු ලැබ තිබිණි. ඉන් එක් විකල්ප සැලසුමක් වූයේ ආණ්ඩුව බලහත්කාරයෙන් මහින්දව නිල නිවසින් ඉවත් කිරීමට සූදානම් වුවහොත් ජනතාව පෙරටු කරගෙන පාරට බැස ඊට එරෙහිව සටන් කිරීමටය. මීට අමතරව තවත් සැලසුම් කීපයක් ගෙන තිබූ අතර, ඒවා රාජපක්ෂ පවුල ඇතුළේ පමණක් තබාගැනීමට ඔවුන් කතිකා කරගෙන තිබිණි.

තවත් රාජපක්ෂ පුතෙක්ට අපලයි

මීට අමතරව අප මීට මාසයකට පමණ කලින් රටට අනාවරණ කළ තවත් පුවතක් තහවුරු වන ආකාරයට පසුබිම සකස් වෙමින් පවතින ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ, නාමල් රාජපක්ෂ මුල්කරගෙනය. මීට මාසයකට පමණ පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා යැයි කියාය. පසුගිය සතිය වන විටද ඊට අවශ්‍ය මූලික පදනම වැටුණේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා හරහාය. මේ බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණ කරමින් අප කියා සිටියේ ඔස්ටේ්‍රලියාවේ වාසය කළ කෝටිපති ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා ලංකාවට පැමිණ නාමල්ට එරෙහිව ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවකි. ඒ, රාජපක්ෂ පාලන සමයේදී සිදුකරනු ලැබ තිබූ ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව මුල්කරගෙනය. මේ බව දැනුම් දෙමින් නිමල් පෙරේරා නාමල්ට කෙටි පණිවුඩයක් තබා තිබූ ආකාරයත්, නාමල් ඊට ‘බොහොම ස්තුතියි’ කියා ප්‍රතිචාර දැක්වූ ආකාරයත් පසුගිය සතියේදී අපි වාර්තා කළෙමු.

පසුගිය සතිය වනවිට එම සිදුවීමට අමතරව තවත් ප්‍රකට සිදුවීමක් මුල්කරගෙන නාමල්ට එරෙහිව අල්ලස් කොමිසම යළිත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා නවතා දමා ඇති ක්‍රිෂ් ව්‍යාපෘතිය මුල්කරගෙනය. මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, පසුගිය සතියේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අල්ලස් විමර්ශන කොමිසමද මෙම ගනුදෙනුව මුල්කරගෙන නැවත විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි කියාය.

ඒ අනුව පසුගිය සතියේ අධිකරණය හමුවේ පෙනීසිට පිටතට පැමිණි නාමල් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව විසින් යහපාලන ආණ්ඩු සමයේදී මෙන් නැවත දේශපාලන දඩයමක් පටන්ගෙන ඇතැයි කියාය. එහිදී තමන්ව සිරගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද නාමල් එහිදී පෙන්වා දුන්නේ අප මීට මාසයකට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළකළ පුවත තහවුරු කරමින්ය.

කෙසේ වෙතත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය තවත් අලුත් තොරතුරක්ද මේ සම්බන්ධයෙන් රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ, මහින්දගේ පවුලේ නොවන තවත් රාජපක්ෂ පවුලක පුත්‍රයකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරක්ෂක අංශ විසින් ආරම්භ කොට ඇති පුවතය. ඇමෙරිකානු පුරවැසිභාවයද හිමි මෙම රාජපක්ෂ පුත්‍රයා ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේ තනතුරු කීපයක්ම දැරූ අයකු බවද පැවැසේ. ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් ආන්දෝලනාත්මක ගනුදෙනු කීපයක් මුල්කරගෙන මෙම රාජපක්ෂ පුත්‍රයාගේ නමද එළියට ඒමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නිල වශයෙන් තහවුරු වූ තොරතුරු නැතත් පසුගිය සතියේ ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති විශේෂ ප්‍රකාශයක් හරහා මෙම රාජපක්ෂ පුත්‍රයාගේ නමද ගෑවී ඇති බවක් දැනගන්නට ඇත. එම අනාවරණයත් සමග ප්‍රබල රාජපක්ෂවරයකුගේ නිවසේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදී මේ සම්බන්ධව දීර්ඝව කරුණු හුවමාරු වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නාමලුත් ලෑස්තියි

කෙසේ වෙතත් අධිකරණය හමුවේ පෙනීසිටීමෙන් පසු නාමල් නිවසට පැමිණ අනතුරුව කෙළින්ම ගියේ පොහොට්ටු පක්ෂ කාර්යාලයටය. එහිදී නීතිඥවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සමගම සාකච්ඡා කිරීමට නාමල් පියවර ගත්තේය. ආසන සංවිධායකවරුන් සමග පැවැති සාකච්ඡාවකදී නාමල් පෙන්වා දුන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට විශාල වාසියක් ලැබීමේ ඉඩකඩක් මතුව ඇති බවත්, ආණ්ඩුව ඒ බව දැනගෙන තමන් රිමාන්ඩ් කිරීමට සැලසුම් කරමින් සිටින බවත්ය. යම් හෙයකින් තමන් සිරගත වුවහොත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. එහිදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නේ කවුද, එය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. වැඩිදුරටත් නාමල් පෙන්වා දුන්නේ මේ වනවිට මාලිමාවට ඡන්දය දුන් ගම් මට්ටමේ පොහොට්ටු සාමාජිකයන් ඒ පිළිබඳ දැඩි කලකිරීමට පත්ව සිටින බවත්, එම ඡන්ද නැවත වතාවක් මාලිමාවට එක්කර ගැනීම සඳහා වැඩසටහනක් දියත් කළයුතු බවත්ය. සමීක්ෂණවලින්ද පෙන්වා දී ඇත්තේ මෙම කලකිරුණු ඡන්ද පළමුව බලන්නේ පොහොට්ටුව දෙස බවත්, අනතුරුව අනෙක් පක්ෂ දෙස බවත් මෙහිදී පෙන්වා දුන් නාමල් එම ඡන්ද කීයටවත් එජාපයට ලබාගත නොහැකි බවද පිරිසට පෙන්වා දුන්නේය. එමෙන්ම කලකිරී සිටින ඇතැම් පොහොට්ටු සාමාජිකයන් මෙවර පුංචි ඡන්දයේදී කිසිවකුටත් ඡන්දය නොදී සිටීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවද නාමල් පිරිසට පෙන්වා දුන්නේය.

රනිල්ගේ අලුත්ම ගේම

මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ තවත් ප්‍රබල මාතෘකාවක් වී ඇත්තේ එජාපය සහ සජබය එකතු වන බවට පළවන පුවත්ය. මීට මාසයකට පමණ පෙරාතුව සිටම අප මේ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ අතිවිශේෂ තොරතුරු රැසක්ම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ අතර, එහිදී අප පෙන්වා දුන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජබය විනාශ කිරීම ඇතුළු තවත් කරුණු කීපයක්ම ඔළුවේ තබාගෙන මෙම එජාප-සජබ දීගය පිළිබඳ මාතෘකාව නිර්මාණය කොට ඇති බවකි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සජබය පක්ෂයක් වශයෙන් ගම් මට්ටමෙන් තහවුරු වීමට ඇති ඉඩකඩ වළක්වාලීම එහි ප්‍රධාන අරමුණ බවත්, ගම් මට්ටමින් සජබ මන්ත්‍රීවරුන් බිහිවීම වැළැක්වීම එහි ඊළඟ අරමුණ බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. පසුගිය මහ මැතිවරණයෙන් පසු එජාපය මේ වනවිට නැත්තටම නැතිවී හේදීගොස් ඇති නිසා වෙනත් නමක්, වෙනත් සලකුණක් යොදාගෙන සජබයද ගම් මට්ටමෙන් හෝදා යැවීම රනිල්ගේ එම සැලසුමේ තවත් කොටසක් බවද අපි අනාවරණ කළෙමු.

ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එජාප-සජබ සාකච්ඡා අස්සේ රනිල් සැලසුම් කර ඇති අනෙකුත් ගේම් පිළිබඳවද රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. එහිදී රනිල් එජාපයෙන් සාකච්ඡා සඳහා නම්කොට ඇති පිරිසට බාරදී තිබෙන කොන්ත්‍රාත්තුව වී ඇත්තේ හැකිතාක් දුරට මෙම දීගය සිදුවන බව පෙන්වමින් සාකච්ඡා ඇදගෙන යන ලෙසටය. ඒ හරහා සජබය පළාත් පාලන මැතිවරණයට තනිව මුහුණ දීම සඳහා සංවිධාන වීම වළක්වාලීම රනිල්ගේ එක් සැලසුමක් වී තිබේ. ඉන් අනතුරුව අන්තිම මොහොතේදී සජබ මන්ත්‍රීවරුන් 10ත් 15ත් අතර කණ්ඩායමක් එජාපය වෙත කඩාගැනීම රනිල්ගේ ඊළඟ අරමුණ වී ඇත.

මේ බව රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබුණේ එජාප-සජබ සාකච්ඡා නිල වශයෙන් ආරම්භ වීමට පෙරාතුව ඉකුත් සති අන්තයේ මහනුවර පිහිටි එක්තරා එජාප ප්‍රබලයකුගේ නිවසක පැවැති සාකච්ඡාවකදී කතාබහට ලක්වූ කරුණු අනුවය. මෙම එජාප ප්‍රබලයා රනිල්ගේ අතිශය සමීපතමයකු මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද ළඟම හිතවතෙකි. මේ සම්බන්ධයෙන් මෙම ප්‍රබලයාගේ නිවසේ සාකච්ඡා ගණනාවක්ම පැවැත්වී ඇති අතර, එහිදී කියැවී ඇත්තේ කෙසේ හෝ පළමු වටයේදීම සජබ නම සහ දුරකතනය ලකුණ ඉවත් කිරීමට කටයුතු කළයුතු යැයි කියාය. නමුත් රනිල්ගේ පැත්තෙන් ගහන්නට ගිය මෙම ගේම තේරුම් ගෙන සජබය පළමු අවස්ථාවේදීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා දැන් එජාපයේ සැලසුම වී ඇත්තේ හැකිතාක් දුරට සාකච්ඡා ඇදගෙන ගොස් අවසන් මොහොතේ සජබය පරාජයට තල්ලු කර දැමීම සඳහා එහි මන්ත්‍රීවරුන් 10ක් 15ක් එජාපයට එක්කර ගැනීමය. ඒ හරහා එජාපයට වාසියක් ලැබෙන බවත්, ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු වන බවත් එහිදී සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත.

ගන්න මන්ත්‍රී ලයිස්තුව

මෙහිදී එජාපයට එක්කරගත හැකි සජබ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා විය. ඒ සඳහා රනිල් විසින් විශේෂ නම් ලැයිස්තුවක්ද මෙම එජාප ප්‍රබලයාට ලබාදී තිබිණි. එම නම් ලැයිස්තුවේ සිටියේ පසුගිය ආණ්ඩු කාලයේදී රනිල්ගෙන් බාර් ලයිසන් ගත් බවට චෝදනා එල්ල වී ඇති සජබ මන්ත්‍රීවරුන්ය. එමෙන්ම රනිල්ගෙන් කෝටි ගණන් විමධ්‍යගත මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම් එහි සටහන්ව තිබිණි. අවශ්‍ය අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් එජාපයට එක්කරගත හැකි බවත්, එසේ ඒමට අදිමදි කරන්නේ නම් ඔවුන් ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද රනිල්ට සැලසුමක් ඇති බවත් එහිදී කියැවිණි. ඒ අනුව මේ සියලු තොරතුරු අදාළ එජාප ප්‍රබලයා විසින් නිසැකවම ජනාධිපතිවරයාටද දැනුම් දී ඇති බව අපගේ විශ්වාසයය.

බොරු පුවත් පැළවෙයි

කෙසේ වෙතත් රනිල් දේශපාලනය කරන්නේ ජනතාව සමග නොව සිය මාමාට සහ මස්සිනාට අයත් ‘ලංකාදීප’ පුවත්පත හරහා බව අප මීට පෙර අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නෙමු. ඒ අනුව එජාප-සජබ සමගි සාකච්ඡා සඳහා පසුගිය බදාදා දිනයේදී පක්ෂ දෙකේම මහලේකම්වරුන් වූ රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල දින නියම කරගෙන සිටියදී එදිනම සවස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවීමට රනිල් කටයුතු කොට තිබිණි. එම රැස්වීමේදී එජාපය තීන්දු කොට තිබුණේ එජාපය, සජබය එකතු වන්නේ නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරගවැදීමට සජබය එකඟතාව පළකළ යුතු බවකි.

ඇත්තටම එක්සත් ජාතික පෙරමුණ නමින් සන්ධානයක් නැත. 2001 වසරේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාගෙන එළියට පැමිණි ජී.එල්. පීරිස්, එස්.බී දිසානායක ඇතුළු කණ්ඩායම එම වසරේ පැවැති හදිසි මහ මැතිවරණයට තරග කළේ අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණ නමිනි. ඒ අනුව බදාදා දිනයේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ එජාප-සජබ සාකච්ඡා සඳහා රාත්‍රි කාලයේ වෙලාව නියමව තිබියදී සවස් වරුවේ රනිල් සැලසුම්සහගතව මෙම එක්සත් ජාතික පෙරමුණ යටතේ සජබය තරගවැදිය යුතු බවට වූ පුවත සිය පවුලට අයත් ‘ලංකාදීප’ වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තේය. ඒ හරහා පැහැදිලිවම එජාප-සජබ සමගියක් රනිල්ගේ පැත්තෙන් බලාපොරොත්තු නොවන බව දැකගත හැකි විය. නමුත් සජබයේ සිටින ඇතැම් දේශපාලන අඳබාලයන් නම් මේ දක්වාම සිතා සිටින්නේ නායකයා කවුරුන් වුවද, පාට කුමක් වුවද, ලකුණ කුමක් වුවද එජාපය සහ සජබය එකතු විය යුතු යැයි කියාය. නමුත් රනිල්ගේ සැලසුම වී ඇත්තේ මේ හරහා සම්පූර්ණයෙන්ම සජබය විනාශ කිරීම බව මේ දේශපාලන අඳබාලයන් තවමත් තේරුම් ගෙන නැත.

මේ අයුරින්ම එජාප සජබ සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයද විපක්ෂ නායක කාර්යාලයේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම සාකච්ඡාවෙන් පසු ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ වොයිස් කට් දෙමින් එජාප-සජබ සමගිය පිළිබඳ මහත් ඉහළින් කතාකරන ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඒ වනවිටත් රනිල්ගේ පාර්ශ්වයෙන් ‘ලංකාදීප’ වෙබ් අඩවියේ පළකොට තිබූ පුවත පිළිබඳ හාංකවිසියක් හෝ ඔවුන් දැන සිටියේ නැත. නමුත් රනිල්ගේ මෙම ගේම පිළිබඳ එහි සිටි එක් මන්ත්‍රීවරයෙක් පමණක් හොඳහැටි දැන සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව, රත්නපුරේ හේෂා විතානගේය. ඒ අනුව අනෙකුත් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ බූරු කතා කියා පිටව යද්දී හේෂා පැහැදිලිවම කියා සිටියේ සජබය එජාපයට ගොස් එකතු වීමක් සිදුවිය නැති බවත්, එජාපය සජබයට පැමිණ සජබයේ ප්‍රධානත්වයෙන් බිහිවන දේශපාලන සන්ධානයට සජබ ලකුණ යටතේ එකතු විය යුතු බවත්ය.

කෙසේ වෙතත් එදින රාත්‍රියේ එජාපය සහ සජබය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ රැස්වී සාම සාකච්ඡා ආරම්භ කළහ. මෙහිදී බොහෝ වේලා කතාකෙරුණේ සාමාන්‍ය කරුණු කාරණා පිළිබඳවය. ඉදිරි සාකච්ඡා සඳහා තවත් අනුකමිටු දෙකක් පත්කර ගැනීමටත්, නැවත නැවත හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් පිරිස තීන්දු කළහ. නමුත් රනිල්ගේ පැත්තෙන් සාකච්ඡාවට ප්‍රථම එජාප පෙරමුණෙන් සියලු දෙනා තරග කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කළ බව ප්‍රකාශ කෙරුණත් කිසිවකුත් නොදන්නා වැදගත් තීන්දුවක් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද ගෙන තිබිණි. ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන සන්ධානය යටතේ සජබය තරග කළ යුතු බවත්, දුරකතනය ලකුණ යටතේ සියලු දෙනාම සන්ධානගත විය යුතු බවත්ය. ඒ සඳහා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය හිමිව තිබූ බවද දැනගන්නට ඇත.

රනිල්ට වරෙන්තුවක්

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අගදී ඕමානය බලා පිටත්ව යාමට ලන්ඩනය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවක් වාර්තා වේ. ඉන් අනතුරුව රනිල් ලන්ඩනය බලා පිටත්ව යාමටද නියමිතය. නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ මෙය රනිල්ගේ පෞද්ගලික සංචාරයක් යැයි කියාය. කෙසේ වෙතත් රනිල් මෙසේ ලන්ඩනයට ඒමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙකක් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවක් වාර්තා වේ. 1980 දශකයේ අගභාගයේදී, කුප්‍රකට බටලන්ද වධකාගාරයට රනිල් සම්බන්ධ බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබේ.

ඔවුන්ගේ වරෙන්තුවට පදනම් වී ඇත්තේ ‘විශ්වීය අධිකරණ බලය පිළිබඳ මූලධර්මය’ වන අතර, එය එක්සත් රාජධානිය ඇතුළු ඇතැම් රටවල අධිකරණවලට, වධහිංසා වැනි දරුණු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පැවරීමට ඉඩ සලසන නීතිමය මූලධර්මයකි.

මෙම පියවර හිටපු චිලී ඒකාධිපති ඔගස්ටෝ පිනෝචේගේ අපරාධ සඳහා විශ්වීය අධිකරණ බලය යටතේ 1998 දී ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමේ නඩුවට සමාන වේ.

අනුර අරාබියට

මේ ආකාරයට රනිල් ඕමානයට සහ ලන්ඩනය බලා පිටත්ව යෑමට සැලසුම් කරද්දී ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ඊළඟ සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමටය. රාජ්‍යයන් දෙකක් අතර සිදුකෙරෙන සංචාරයක් ලෙස මෙය සිදුකෙරෙන අතර, එහිදී ප්‍රධාන වශයෙන්ම මෙරටට අඩු මිලට ඉන්ධන ලබාගත හැකි ආකාරය සොයාබැලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. එම සංචාරයෙන් අනතුරුව නැවත වතාවක් ජනාධිපතිවරයා ලංකාවට පැමිණ තවත් මැදපෙරදිග රටවල් කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. ජනාධිපතිවරයාගේ මෙම අරාබි සංචාරය පිළිබඳ පළමුවෙන්ම රටට අනාවරණ වූයේ පසුගිය අඟහරුවාදා කළුතර පැවැති දේශපාලන රැස්වීමේදීය. ජනාධිපතිවරයා මේ බව පළමු වතාවට කළුතරදී ප්‍රකාශ කළත්, ‘රාජ්‍ය රහස්’ තීරය මේ බව පළමු වරට රටට අනාවරණ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනිදාය. ඒ, මෙසේය.

‘ජනපති මැදපෙරදිගට

මේ වනවිට සියලු දෙනාම බලා සිටින්නේ නව ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය කවරාකාරයේ එකක් වනු ඇද්ද යන්න පිළිබඳවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පළමුව සංචාරය කරන රට සම්බන්ධයෙන්ද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත්වූ විට පළමුවෙන්ම කලාපයේ බලවතා මෙන්ම අසල්වැසියාද වන ඉන්දියාවේ සංචාරය කිරීමය. ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ඉන්දිය විදේශ අමාත්‍ය ජෙයශංකර් මහතා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙසට නිල ආරාධනාවක් සිදුකළේද ඒ අනුවය. ජනාධිපතිවරයාද ජෙයශංකර්ගේ එම ආරාධනාව පිළිගැනීමට පියවර ගෙන තිබිණි.

නමුත් ඒ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා බලයට පැමිණි දින සිටම මැදපෙරදිග රටවල් කිහිපයක් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට කටයුතු කොට තිබිණි. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැදපෙරදිග රටවල් කිහිපයක් සමග මාලිමා ආණ්ඩුව පවත්වන මෙම සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ බටහිර රටක වාසය කරන මාලිමාවට ළැදි ලොව පිළිගත් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු බවය. බටහිර රටක වාසය කළද මෙම ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට මැදපෙරදිග රටවල් සමග විශේෂ සම්බන්ධතා පවතින බව පැවැසේ. ඒ අනුව මෙම මහාචාර්යවරයාගේ මැදිහත් වීමෙන් මැදපෙරදිග රටවල් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් සාකච්ඡා කරන්නේ අඩු මිලට තෙල් ලබාගැනීම පිළිබඳවය.
පසුගිය දිනකදී ජනාධිපතිවරයා කළ කතාවකින්ද කියැවී තිබුණේ ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ලංකාව හා රාජ්‍යයන් අතර ඉහළ පෙළේ සාකච්ඡා ආරම්භ වී ඇති බවකි. ඒ අනුව මෙම මහාචාර්යවරයාගේ මැදිහත් වීමෙන් ලංකාවට අඩු මිලට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වී තිබේ. යම් හෙයකින් මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් එය ලංකාව පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් වනවා පමණක් නොව, අඩු මිලට ඉන්ධන ලබාදීම හරහා ආණ්ඩුවටද විශාල ජයග්‍රහණයක් ලබාගත හැකි තත්ත්වයකි.

ඒ අනුව, දැනට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන නිල නොවන ආරංචියකින් කියැවෙන්නේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මෙම තෙල් ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා බොහෝ දුරට ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස මැදපෙරදිගට යනු ඇතැයි කියාය. දැනට මෙම සාකච්ඡා මැදපෙරදිග රටවල් තුනක් සමග පැවැත්වෙන අතර, ඉන් එක් රටකට ජනාධිපතිවරයා බොහෝ දුරට පළමුව සංචාරය කරනු ඇති බව එම මතයෙන් පැවැසේ. එසේ වුවහොත් ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස මැදපෙරදිග තෝරාගැනීමට නියමිත අතර, දෙවැනි සංචාරය ලෙස ඉන්දියාව තෝරාගනු ඇති බව නිල නොවන මාර්ගවලින් ආරංචිය. එසේ වුවහොත් ජනධිපතිවරයා සිය පළමු ගිවිසුම ලෙස මැදපෙරදිගදී මෙම තෙල් ආනයන ගිවිසුමට අස්සන් තබනු ඇත. අනෙක් අතට එවැන්නක් සිදුවුවහොත් මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් ඉදිරියට ගෙන ආ සම්ප්‍රදායක් වන ඉන්දීය වන්දනාව අවසන් වන ආකාරයක්ද දැකගැනීමට හැකිවනු ඇත.’

පොලිස් කොමිසම ජනපති හමුවෙයි

ජනාධිපතිවරයා පසුගියදා කළුතරදී කළ දේශපාලන කතාවේදී ස්වාධීන පොලිස් කොමිසම ඉලක්ක කොට තරමක් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ දැනට සිදුකෙරෙන විමර්ශන තවදුරටත් සක්‍රීයව ඉදිරියට කරගෙන යෑම සඳහා ඒවා මෙහෙයවූ නිලධාරීන් නැවත කැඳවාගත යුතු බවත්, ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලබාගත යුතු වුවත්, ඊට අනුමැතිය ලබාදීමට කොමිසම අදිමදි කරමින් සිටින බවත්ය.

මේ ආකාරයටම ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කොට ගෙනද ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව නිසි අයුරින් ඇතැම් අවස්ථාවලදී සිය වගකීම ඉටුකර නොමැති බවකි. මේ හේතුවෙන් නීතිපති පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ජනාධිපතිවරයා හමුවී සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවත්, එම විමර්ශනවලදී මතුව ඇති ගැටලු පිළිබඳවත්, පොලිසිය පාර්ශ්වයෙන් සිදුව ඇති බරපතළ අතපසුවීම් පිළිබඳවත් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

මේ ආකාරයටම පොලිස් කොමිසම ඉලක්ක කොට ජනාධිපතිවරයා එල්ල කළ ප්‍රසිද්ධ ප්‍රහාරයෙන් පසු එම කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා හමුවීමට වේලාවක් ඉල්ලා ගැනීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන්ට වේලාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ලිපිගොනු විශාල ප්‍රමාණයක්ද සමග නියමිත වේලාවට ජනාධිපතිවරයා හමුවීමට ගිය කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එම පොලිස් නිලධාරීන් මාරුකිරීම සඳහා මතුව ඇති අසීරුතා එකින් එක ජනාධිපතිවරයාට පෙන්වා දීමට පියවර ගත්හ. ඒවායේ ඇති ඇතැම් අඩුපාඩු සවිස්තරාත්මකව ජනාධිපතිවරයාට පෙන්වා දීමෙන් පසු ඔවුන්ගේ පිළිතුරෙන් ජනාධිපතිවරයාද සෑහීමකට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාව මෙන්ම පොලිස් කොමිසමේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවද ඉතා සුහදව අවසන් වූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

තවත් බොරුවක් මාට්ටු

පසුගිය සතියේදී රනිල්ට හිතවත් ලංකාදීප පුවත්පතේ තවත් විශේෂ පුවතක් පළවී තිබිණි. එම පුවතින් කියැවුණේ මන්ත්‍රී ධුර ලබාගැනීම සඳහා එක්තරා කෝටිපති ව්‍යාපාරිකයකු විසින් කෝටි 50ක මුදලක් පක්ෂ නායකයකුට ලබාදී ඇති බවත්, අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොලැබීම හේතුවෙන් එම ව්‍යාපාරිකයා පසුගිය සතියේදී අදාළ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගොස් කලබල කොට මුදල් ඉල්ලා ඇති බවත්ය. එම පුවත මගින් ඉඟිකොට තිබුණේ සජබ ජාතික ලැයිස්තුවේ සිටි නිව් රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල මහතා මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයා බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යම් යම් මාධ්‍ය සජබ ජාතික ලැයිස්තුවේ සිටි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාලගෙන් විමසීමක් කොට තිබූ අතර, ඔහු කියා තිබුණේ තමන් එවැනි කිසිදු සිදුවීමකට සම්බන්ධ වී නොමැති බවකි. තමන් එලෙස පක්ෂ කාර්යාලයක් වෙත නොගිය බවද මිත්‍රපාල පිළිතුරු ලබාදෙමින් සඳහන් කොට තිබිණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් මාධ්‍ය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් සහ පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරාගෙන්ද විමසීමක් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔවුන්ද තහවුරු කර තිබුණේ එවැනි කිසිදු සිදුවීමක් තම පක්ෂ කාර්යාලයන්හි සිදුව නොමැති බවකි. ඒ අනුව ලංකාදීම පුවත්පතේ පළව තිබූ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔවුන්ද ප්‍රකාශ කොට තිබිණි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

යෝෂිත ඇතුළට ගනිද්දී අනුර හෝමාගමට ඇවිත් කරපු පැයයි විනාඩි 20ක සම්පූර්ණ කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර පාතාලය එක්ක හැප්පෙන්න තීන්දු කරයි! වැඩේ පටන් ගන්නවා! හොඳයි අපි හැප්පිලා බලමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.