• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සම්බන්ධය! Sri Lanka Latest News

September 9, 2024
in Exclusive
Reading Time: 20 mins read
A A
සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සම්බන්ධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කරු සහ ප්‍රේම්ගේ ගුරු ගෝල ගීතය
ආකර්ෂණීය හඬින්ද, ප්‍රිය වචනයෙන්ද අකුරු දෙකකට ලඝුකළ මුල් නමින්ද කලෙක ගෙයක් ගෙයක් ගානේ හැඳිනූ කරු සහ ප්‍රේම්, අනුප්‍රාප්තිකයන් ගැන මිස ගුරුගෝල සබැඳියාවන් ගැන කතා අඩු සිංහල ගීත වංශයේ හමුවන ආදර්ශවත් ද්විත්වයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ චතුරම නිවේදකයන් වූ මේ දෙන්නා ඉන් ඔබ්බෙහි ජන විඥානයට අතිශයින් සමීප ගී පද රචකයන් ලෙස පිළිගැනෙති. අසාමාන්‍ය ප්‍රතිභාවකින් හා අනන්‍යතාවකින් හෙබි ප්‍රේමකීර්ති ද අල්විස් මුව පුරා, නිතිපතා පැවැසූයේ කරුණාරත්න අබේසේකර තමනට ගුරු වූ බවය. ජනප්‍රවාදිත ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් දෙනෝදාහක් දක්ෂයන් පෝෂණය කළ කීර්තිමත් ‘කරු අයියා’ගේ නමගිය ගෝලයාය ප්‍රේම්. රූපවාහිනී නොතිබුණු සමයේ ගුවන්විදුලිය හරහා වදනින් රූප මවමින් අබේසේකර කළ මෙහෙය, රූප මාධ්‍යයේදී ඇහැට පෙනෙන දෙයට වඩා යමක් දන්වමින් ප්‍රේමකීර්ති ඉටුකළ බව මේ යුග දෙකෙහිම ජීවත් වූවන්ගේ මතකයට නැගෙනු නිසැකය. විටෙක අසන්නන්ට මේ දෙදෙනාගේ කටහඬ පැටලිණ. ඇතැම් ගීත රචනාද මේ කරුගේ මේ ප්‍රේම්ගේයැයි වෙන්කොට හඳුනාගන්නට අසීරු අවස්ථා ඇත. එහෙත් ඊට වඩා සියුම් ආකාරයෙන් මේ දෙදෙනා සමාන, සමාන්තර හා සමගාමී වෙති. එය අහඹුවක් ලෙස නොසලකා හරිනු බැරි තරමට අපූරුය, ආශ්වාදජනකය. (Sri Lanka Latest News)

වයස අවුරුදු 12දී, එනම් 1952දී කරුණාරත්න අබේසේකර ලංකා ගුවන්විදුලියට එන්නේ සිරි අයියා නොහොත් යූ.ඒ.ඇස්. පෙරේරා මහතාගේ මගපෙන්වීමෙනි. ළමා ගීතයෙන් සරල ගීතයටත් එතැනින් චිත්‍රපට ගීත රචනයටත් පිවිසෙන ඔහුට කොළඹ කවීන්, ආනන්ද සමරකෝනුන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මර්සලීන් ජයකොඩි පියතුමන් වැනි අප්‍රමාණ මිනිසුන්ගේ කලාව ආදර්ශ වන්නේය. චිත්‍රපට සඳහා සින්දු ලියන්නට ඉන්දියාවට ගිය විටකදී ඒ ක්‍රමය ගැන කලකිරීමෙන් සිටි ආනන්ද සමරකෝන් මහතා, ‘උඹලා මේක අතහරින්න එපා. නැතිනම් මේ අය (ඉන්දියානුවන්) සිංහල ඉගෙන ගෙන මේ වැඩෙත් කරයි.’ යනුවෙන් තමනට දැනමුතුකම් දුන් බව අබේසේකර නිතර සිහිපත් කරන්නට යෙදිණි. ප්‍රථම සරසවි සම්මානෝත්සවයේ නිවේදන කටයුතු කරද්දී එදින හොඳම ගීත රචනයට සම්මාන දිනූ මානවසිංහයන්’ ‘කොලුවෝ උඹත් කවදා හරි මේ වගේ තෑගි ගන්න ඕනෑ’යැයි කරු දිරිමත් කළ බව ප්‍රකට කතාවකි.
මේ ප්‍රියමනාප චරිතයට දැඩි ලෙස ඇලුම් කළ, ඔහුට වඩා දාහත් වසරක් බාල ප්‍රේමකීර්ති 1961දී කරුණාරත්න අබේසේකරගේ ගුවන්විදුලි ළමා වැඩසටහනකට සහභාගි වන්නේ ගායකයකු වීමේ අභිලාෂයෙනි. එහෙත් ප්‍රේම්ගේ නිවේදන හා ලේඛන හැකියාව ඊට වඩා කරුගේ අවධානයට ලක්වේ. දිනක් රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස් (නන්දසිරි)ගේ ඉල්ලීමකට ප්‍රේමකීර්ති මුල් වරට ගීතයක් ලියා දෙන්නේ ‘කාර් බොනට්ටුව මත ගීත රචනා කළේ’ යැයි ප්‍රවාදිත සිය ගුරුවරයා මෙන්ම කඩදාසියක් බිත්තියක තබාය. එය දකින මඩවල එස්. රත්නායක ප්‍රවීණයා සින්දු ලිවීම ඊට වඩා සිතාමතා කළ යුතු කටයුත්තක් බව ඔහුට පවසයි.

ප්‍රේමකීර්තිත් අබේසේකරත් නිරායාස කවීන් වූ බව එම චර්යා රටාවෙන් පැහැදිලි වේ. තැනක් වේලාවක් නොබලා සමකාලීන සියලු ගායක ගායිකාවන්ටද ආධුනිකයන්ටද සමසිතින් ගීත ලියාදීම ඔවුනට දැඩි සතුටක් ගෙනදුන්නා සේය. ඉන් බොහොමයක් තමන්ගේ අත්දැකීම් වූ අතර, සහෘද ශිල්පීන් ඔවුන් ලවා පෞද්ගලික හැඟීම් ගී බවට පෙරළාගත් අයුරුද නොරහසකි. කරු එවකට ලංකාවේ වැඩිම ගී සංඛ්‍යාවක් රචනා කළ ප්‍රබන්ධකයා විය. අවසානයේදී ප්‍රේම් ඔහු හා කරට කර සිටි බව අනුමාන කළ හැකි වේ. ගුවන්විදුලි, චිත්‍රපටි හා තැටි ගී හැරුණු කොට නාට්‍ය, තොරණ, විවිධ සංගම් හා පාසල් සඳහාද ගීත රචනා කරදීමට තරම් දෙදෙනා නිර්ලෝභී වූහ. තම නිර්මාණ එකතු කර තබන්නට කිසිවකුට වැඩි උනන්දුවක් නොවූවත් ඔවුනගේ හුරුබුහුටි වදන් පෙළගැසුම් අදටත් පොදුජන මතකයේ පවතී. ඒවා සියුම්ව විමසා බලද්දී පැහැදිලි වන කරුණක් නම් කරුණාරත්න අබේසේකර හා ප්‍රේමකීර්ති ද අල්විස් නුදුරු යටගියාවේ මෙරට වැඩෙමින් තිබුණු අපූරු නිර්මාණ සම්ප්‍රදායයක සමගාමී සගයන් වූ බවය.

සමාන සුඛ දුක්ඛ සහෘදයෝ
50 දශකයේ මැද සිට 80 ගණන්වල මුල දක්වා සින්දු ලියූ කරුටද 1969 අවුරුද්දේ පටන් 89 වනතුරු ගීත රචනා කළ ප්‍රේම්ටද එවක මිනිසුන්ගේ සිතුම් පැතුම් නිර්මාණවලට වස්තු විෂය වීම ස්වභාවිකය. මේ දෙදෙනා සාමාන්‍ය පවුල්වල පුත්තු වූහ. සරසවි අධ්‍යාපනය නොලැබුවද සරසවි බැල්මත් වාසනා ගුණයත් නොඅඩුව තිබිණි. එකල නිර්මාණ ක්ෂේත්‍රය එවැන්නන්ට තෝතැන්නක් විය. උදාහරණයකට 70 ගණන්වල මුලදී තිරගත වූ ‘වාසනා’ චිත්‍රපටය සඳහා කරු ලියූ පහත සඳහන් ජනප්‍රිය ගීයත් ඒ වකවානුවේම ප්‍රේම් ලියූ සුප්‍රකට ගුවන්විදුලි ගීතයත් සසඳා බලන අතර ඒවායේ සෙසු පාර්ශ්වකරුවන් ගැනත් සලකනු වටී.

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා
මා සනසන්න නළවන්න මගෙ වාසනා…
රැව්දේ හඬ රැව්දේ සැතපී ඔබ මහදේ
ඔබ නැති නිවසක දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්
සිහිනෙන් ඔබ එනවා සතුටෙන්
පොපියනවා…
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්…
(ගායනය: එච්.ආර්. ජෝතිපාල, තනුව: ප්‍රේමසිරි කේමදාස)

මට වාසනා ඔබ මට වාසනා
උපනූපන් හැම ආත්මයේ
ඔබ මට මට ඔබ වාසනා…
ඔබෙ නෙත් දොළොස්මහේ පහන වේ
කළ මැන දල්වන ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්…

සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ මනෝ මැඳුරේ වෙසෙමු සදා…
(ගායනය හා තනුව: ප්‍රියා සූරියසේන)

කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්තිට ගීත රචනය ගැන ගුරුහරුකම් දුන්නේවත් ප්‍රේම් ඔහු අනුව සින්දු ලීවේවත් නැත. එහෙත් එකිනෙකා ලියූ කියූ දෑ පිළිබඳ උනන්දුවකින් සිටි බව ළබැඳියෝ පවසති. සිංහල ගීතයේ විචිත්‍රතම යුගය ලෙස ගැනෙන ලෙස ගැනෙන 70 දශකය ප්‍රේමකීර්තිගේ නැවුම් පදමාලා එළිදුටු සමයයි. ඒ වනවිට දිවයිනේ ජනප්‍රියතම ගීත රචකයාව සිටියේ අබේසේකරය. එකල නැගීඑන ශිල්පියකු වූ මිල්ටන් මල්ලවාරච්චිගේ තරු අනන්‍යතාවට බොහෝ දුරට පාදක වන්නට ඇත්තේ කරුගේ මෙවැනි සංකල්පනා බව හැඟේ.
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා…
(තනුව: එම්.කේ. රොක්සාමි)

ඊට සමාන්තරව ප්‍රේමකීර්ති විසින් තවත් ජනකාන්ත ගායකයකුගේ සලකුණ ඉස්මතු කරනු ලබන්නේ එබඳුම සිතුවිලි පෙළකිනි.
කතරක තනිවී ඔබ යනු අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනිගනී
ගිම්හානය පැමිණි එක්තැනක නොමරැඳේ
පැමිණෙන දුක් පැණි රස බව
නොසිතුණෙද ළඳේ…
(ගායනය හා තනුව: මර්වින් පෙරේරා)

අතිශයින් ස්වාධීනව එහෙත් හුදෙකලා නොවී, මෙසේ සමසිත් ඇති ගායක ගායිකාවන් රැසක් සමග දීර්ඝකාලීන නිර්මාණශීලී සබඳතා ගොඩනගා ගත් කරු සහ ප්‍රේම්ගේ රචනා බොහෝ ශිල්පීන්ගේ අනන්‍යතාවන් වෙන වෙනම ඉස්මතු කිරීමෙහිලා මහෝපකාරී විය.

කරු, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මොහිදීන් බෙග්, සී.ටී. ප්‍රනාන්දු, ජී.එස්.බී. රාණි ධර්මදාස – ලතා යුවළ, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක, සිසිර – ඉන්ද්‍රාණි යුවළ, සනත් – මල්කාන්ති යුවළ, නාරද දිසාසේකර, එම්.එස්. ප්‍රනාන්දු වැන්නන් සමගද ප්‍රේම්, වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන, ෆ්‍රෙඩී සිල්වා, මිල්ටන් මල්ලවාරච්චි, ශ්‍රීමතී තිලකරත්න, අබේ – නිරංජලා යුවළ සමගද විශිෂ්ට සුසංයෝග බිහි කළේය.
එකල සූර සංගීතඥයන්ව සිටි බී.එස්. පෙරේරා, ආර්. මුත්තුසාමි, එම්.කේ. රොක්සාමි, මොහොමඩ් සාලි, සරත් දසනායක, පී.එල්.ඒ. සෝමපාල, ඩී.ඩී. ඩැනී, පැටි්‍රක් දෙනිපිටිය, ෂෙල්ටන් ප්‍රේමරත්න, ෂෙල්ටන් පෙරේරා, ආර්.ඒ. චන්ද්‍රසේන, වික්ටර් දලුගම, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, සෝමපාල රත්නායක, පුන්‍යසිරි මහවත්ත වැන්නන් ඇසුරේ දෙදෙනාගේම ගීත රසාලිප්ත විය.

සමානාලංකාර
සිවුපද හා විරිත් කවියේ ආභාසය මැනවින් පළ කෙරෙන කරු සහ ප්‍රේම්ගේ ගීතවල ප්‍රමුඛ ලක්ෂණය නම් සැණින් මතකයේ රැඳෙන පද යෙදුම් වේ. පාලි, සංස්කෘත භාෂාවන් හා සාහිත්‍යය ඇසුරු කළ කරුණාරත්න අබේසේකරටත් බහුශ්‍රැතභාවයම ප්‍රගුණ කළ ප්‍රේමකීර්තිටත් මෙසේ එකම ආකාරයේ සිතුවිලි හා වදන් ගලා ආවේ කිනම් ආශ්චර්යයකින්ද? දෙදෙනාගේ පහත දැක්වෙන වාග් කැටයම් සූර ඇදුරු-සිසු දෙපළක් විසින් දෙපසක හිඳ නෙලන ලද අලංකාර මුරගල් වැන්න.
කරු: ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුවමඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා…
(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: මොහොමඩ් සාලි)

ප්‍රේම්: කල් ගෙවා දෙනෙත් නොපියා
ඔබ ගැනම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ…
(‘තරු අත්අකුරින්’ ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

කරු: මල් පෙති පාවඩ අතුරා
ගෙට කැන්දන් එනවා
රොන්සුණු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා

(‘රොනට ඇදෙන සමනලියක’ ගායනය: නිහාල් ජයවර්ධන, තනුව: නාරද දිසාසේකර)

ප්‍රේම්: සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය…
(‘මුතු වරුසාවට තෙමිලා’ ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

ප්‍රේම්: දිනෙක ඔබ සඳ වගේ හැඩයි
නැවත ඔබ ඉර වාගෙ සැඩයි
මේ වෙනස්කම නැති වුණත් කිම
දිනෙන් දින ආදරේ වඩයි…
(ගායනය: ඇන්ජලීන් ගුණතිලක, තනුව: වික්ටර් දළුගම)

කරු: දිනෙක සයුර ලෙස සසල වෙලා
දිනෙක පොළොව ලෙස නිසල වෙලා
මා අඬවන ඔබ මා නළවන ඔබ
ළඟක සිටන් ඇයි නිහඬ වෙලා
(ගායනය: ලංකිකා පෙරේරා, තනුව: ප්‍රියා පීරිස්)

කරු: අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දියහැකි ඔබටයි අඩු කොටස ජීවිතේ…
(‘සුරැකීමට හෝ’ ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: මොහොමඩ් සාලි)

කරු: පරව ගිලිහෙන තුරු සියොලඟ
කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වනවිට දිවි විත පුරවා…
(‘දිනෙක රන් සළු පළඳා’ ගායනය: මිල්ටන් මල්ලවාරච්චි, තනුව: වික්ටර් රත්නායක)

කරු: පෙනුණොත් පෙනෙන්නේ
ඔබගේම රුවමයි
ඇසුණොත් ඇසෙන්නේ ඔබගේම හඬමයි…
(‘ඔබ මාගෙ ලෝකෙ’ ගායනය: ධර්මදාස ලතා, තනුව: ආර්. මුත්තුසාමි)

ප්‍රේම්: නෙත් වසා සවනින් අසා ඇසුවත්
ඇසෙන්නේ ඔබ ගැනයි
කන් වසා දෙනුවන් අයා බැලුවත්
පෙනෙන්නේ ඔබ රුවයි
ගඟ කොතෙක් දුර සිට ගැලුවත්
ඉවර තැන මුහුදයි
සිත සිතූ සිතුවිලි වැලක් අග
ඔබේ පිය මුහුණයි
සඳ නැතත් තරු ගිලිහුණත් ඔබ
මගේ මිණි පහනයි
කොතැන හෝ ලොව හිඳින තැන
ඔබ එතැන රජ දහනයි…
(ගායනය: සුජාතා අත්තනායක, තනුව: නවරත්න අත්තනායක)

කරු: සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියළි ගොඩබිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ…
(ගායනය: සිසිර – ඉන්ද්‍රාණි, තනුව: සිසිර සේනාරත්න)

මෙතරම් සමාන පදවැල් ලියැවෙන අතරතුරේ කරුටත් ප්‍රේම්ටත් වෙන වෙනම ශෛලීන් තිබිණි. ඇතැම් විටෙක කෙනෙකු අනෙකාගේ ආරූඪයෙන් නිර්මාණ කළ අවස්ථා දක්නට ලැබේ. බොහෝවිට ඒ කිසිවකුගේ අනන්‍යතාවයෙන් ගොඩනැගුණු ශිල්පියකුට ගීත ලිවීමේදීය.
ප්‍රේම් මොහිදීන් බෙග්ට ලියූ මේ ප්‍රකට ගීතය කරුගේ රචනාවක් බඳුවේ.

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ලා
ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරළ ගහේ හෙවණට වීලා
නෙළුම් කොළේ එතැන තියාලා
ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා…
(තනුව: මොහොමඩ් සාලි)

ෆ්‍රෙඩී සිල්වා මුල් කාලයේ ගායනා කරන ලද පහත සඳහන් ගීතය අබේසේකරගේ රචනයක් වුවත් එහි ඇත්තේ ප්‍රේමකීර්තිගේ ශෛලිය නොවේද?
ටිකිරි කිරිල්ලියො සමග ඉගිලෙන්න
පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන
ඉන්නට මගෙ හිත කීවා
ඉර හඳ තරුවැල් අතට ගෙනත් දෙන
කපු කප්පිත්තෙකු ලව්වා
මම මගෙ පබාවතී හෙව්වා…
(තනුව: මොහොමඩ් සාලි)

ඥාති සංකල්පනා
කරු සහ ප්‍රේම් කොළඹ හාදයෝ දෙදෙනෙකි. එහෙත් ඔවුහු වැඩි ඥාතීත්වයක් දැක්වූවෝ ගැමි වහරට හා සංස්කෘතියටය. තමන් සතු පරිකල්පන ශක්තියෙන් ඔවුහු එහි සැරිසැරූහ. කරු කොළඹ යුගයේ අංකුර කවියකු වූ අතර, ප්‍රේමකීර්ති යනු ජන කවියකුම බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නිරීක්ෂණය වේ. අප සහෘදයන්ගේ සංකල්පනා විටෙක එකම අදහසේ ප්‍රතිබිම්භයන්ය නැතහොත් දිගුවක් ලෙස ලියැවී ඇත. ගමක ජීවත් නොවූ කරුණාරත්න අබේසේකර පරමාදර්ශී සිංහල ගැමි යුවතිය පිළිබඳ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයට මේ සම්මානනීය ගීතය ලීවේය.

අරුණ උදයේ පිපුණ මල සේ
පිබිද මැලිකම් දුරැරලා
මුහුණ දොවලා මිදුල පිසලා
දෙගුරු කුලදෙවි නැමදලා
ගමන නාලිය වැනිය ඈ
පිය නගා ළිඳ වෙත දියට යයි
ළිපෙහි ගිනි දලු ලෙසට යුහුසුළු
ඇගේ ඉරියව් කඩිසරයි
වවයි මල්වතු වියයි පොල්අතු
ගොතයි බීරළු හැබ දමා
කොටයි වී ටික පළයි දර ගොඩ
උයා දෙන්නෙත් ඇය තමා
සිහල ආරිය සිරිත මේ ලිය
සියලූ තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති
ගමේ සඳ මෙන් දිලෙනවා…
(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: ආර්. මුත්තුසාමි)

ඊට වසර කිහිපයකට පසු දෙමළ ගමක තරුණියකගේ දින චර්යාව ඔස්සේ, එහි ජන ජීවිතය විදහාපාන මේ අපූරු ගීතය වදනින් චිත්‍රණය කරද්දී ප්‍රේමකීර්ති යාපන ප්‍රදේශය දෑසින් දැක තිබුණේ නැත.

මන්නාරම්පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට සිංදු කියන්නී කුණ්ඩුමනී
නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කං දමා
සියොලඟ මොට්ටැක්කිලියෙන් හැඩ කොට
වසා ඉඟ නමා
උළුදු කොටා තල වේලා
තල්පත මත ගිනි අව්වේ ලා
සෙම්බු තාලි උකුලෙ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදගෙන
ලුනු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළු ගා
රණ්ඩු කරලා බැනුම් අහලා
හැංගි හැංගි ප්‍රේමෙ
මහරාජා ආකල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර
බලා හිඳිමි කීකරු වීලා…
(ගායනය: ෆ්රෙඩී සිල්වා, තනුව: වික්ටර් රත්නායක)

එකම සංසිද්ධිය දෙස දෙපැත්තකින් බලන්නට ප්‍රේම් සහ කරු උත්සුක වූ අවස්ථා කිහිපයකි. ශ්‍රීමතී තිලකරත්නච ලියූ මේ ගී දෙක බලන්න.
ප්‍රේම්: හිරු ගෙනැවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා හවසට එන්නම්…
(තනුව: වික්ටර් රත්නායක)

කරු: මගේ පුතා සැපට නිදයි
කුටියෙ ඇඳිරියේ
අනේ සඳේ එබෙන්නෙපා කවුළුවෙන් රැයේ
හිත ගැහෙයි බයේ…
(තනුව: සරත් බාලසූරිය)

වරෙක කරු, සිසිර සේනාරත්න හැදූ බටහිර ජෑස් සංගීත ආරේ තනුවකට මෙසේ පද බැන්ඳේය.

ආදරේ පෑ ඉරේෂා මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ නින්දෙදි වෙන්වෙලා…

මේ අතරේ ඉන්ද්‍රානි සේනාරත්න, සිසිරගේම තනුවකට ප්‍රේම්ගේ පහත සඳහන් පදමාලාව ගායනා කරන්නට යෙදිණි.

ඔබ ගතින් මා ළඟයි සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා…

සිතා මතා කළ දෙයක් නොවූවද කිසියම් ආකාරයක කතාබහකට තුඩු දෙමින් ගීත දෙකම එකසේ ජනප්‍රිය විය. එහෙත් ‘ඉරේෂා’ යනු අන් කිසිවකු නොව සරස්වතී දේවියට කියන තවත් නමකි. ඒ අනුව කරුගේ ගීතයෙන් කියවෙන්නේ සරස්වතී බැල්ම හදිසියේ අහිමි වූ කලාකරුවකුගේ සිතුවිලිය. ප්‍රේම්ගේ රචනාව බිරියකගේ වදනින් ලියැවුණත් ඉකුත් ගීතයට රසිකයන් දැක්වූ ප්‍රතිරාවයට කොතරම් ළඟද?

අප කතානායකයන් දෙදෙනාට කිසිදා අදහස්වලින් හිඟයක් වූයේ නැත. මිල්ටන් මල්ලවාරච්චිගේ විරහවට බර හඬට කරු මේ ගීතය ලියන්නට ඇත්තේ මැදි වයසට එළැඹෙද්දීය.

සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙළුෑ බැලුම් ප්‍රියේ…
පාසලේදී මා දිහා නෙත් කොණින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ…
(තනුව: ක්ලැරන්ස් විජේවර්ධන)

පාසල් ප්‍රේමය පිළිබඳ ලියැවී ඇති සිංහල ගීත අතරින් යුගයෙන් යුගයට රසික හඳ බැඳගත් නිර්මාණයක් වන මෙහි, අනෙක් අන්තය ස්පර්ශ කරන්නට ප්‍රේම් සමත්විය.

මේ නගරය ඔබ මා මුණගැසුණ නගරයයි
මේ නගරය ඔබ මා වෙන් කෙරුණු නගරයයි…
(ගායනය හා තනුව: මර්වින් පෙරේරා)

විශ්වවිද්‍යාලයක උගත්, නූගත් කාහට වුවද කටපාඩම් එම වදන් පෙළ සරසවි ප්‍රේමය පිළිබඳ අප දන්නා ජනප්‍රියම ගීතය වේ. එම ගීත දෙකෙන්ම කෙතරම් සියුම් ලෙස, සංයමයෙන් යුතුව විරහී ප්‍රේමවන්තයන් අමතන්නට ප්‍රේම් සහ කරු සමත් වන්නේදැයි සිතනු වටී. මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් නිවන මෙබඳු සරල වදන් වැල් මේ දෙදෙනාත් ඔවුන්ගේ රසික සමූහයාත් එක් කරන මහා පොදුසාධකය වේ. 80 ගණන්වල ප්‍රේමකීර්ති සිය සංකීර්ණ ජීවිතයේ අත්දැකීම් හරහා ලියූ මේ ප්‍රකට ගීතය බලන්න.

මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වනතුරා ඉමු අපි මිදුලට වීලා…

හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් හිඳිමු…
(ගායනය: මාලනී බුලත්සිංහල, තනුව: ඔස්ටින් මුණසිංහ

මෙබඳු අත්දැකීමකට කිසිදා මුහුණ නොදුන් කරු 1967දී ‘දරු දුක’ චිත්‍රපටයේ එවන් සිදුවීමක් අළලා ලියූ මේ හැඟුම්බර ගීතය ප්‍රේම්ගේ ගීතයේ ප්‍රාරම්භක අවස්ථාව නොවන්නේද?

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
දරුදුක මට මෙන් ඔහුට දැනේවා
පොඩිදුව හීනෙන් ඔහුට පෙනේවා
දැඩි සිත ඔහුගේ යළි උණු වේවා
යන එන මංවල සෙත සැලසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා…
(ගායනය: සුජාතා අත්තනායක, තනුව: ටී. ෂෙල්ටන් පෙරේරා)

විරල ප්‍රේම් හා සරල කරු
ඉතා අසාමාන්‍ය කෝණයකින් කිසියම් අත්දැකීමක්, අනුභූතියක් ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රේම්ගේ ගීතාවලිය පුරා විහිදී ඇත. කරුගේ ගී පොතෙහි කැපී පෙනෙන ලක්ෂණය සරල බවය. බෞද්ධ දර්ශනය පවා පද පේළි කිහිපයකින් පිඬුකොට දක්වන්නට කරු සමත් වූ අයුරු ‘ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ – අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ…’ (ගායනය: අමරදේව, තනුව: එඩ්වින් සමරදිවාකර) වැනි ගීතයකින් පැහැදිලි වේ. පොදුජනයා අතර අදත් රැව්දෙන්නේ ඔහු 50-60 ආදී දශකවල මොහිදීන් බෙග් ආදීන්ට ලියූ සරල බොදු ගීතය. ප්‍රේමකීර්තිට 70 දශකයේදී වික්ටර් රත්නායක සමග බොදු ගී කලාව අමුතුම තැනකට ගෙන යන්නට හැකිවිණි. ‘දෙව්රම් වෙහෙරේ’, ‘සාගර ජලය මදි’, ‘නිවන් දුටු හිමි’ විශිෂ්ට උදාහරණ වෙති.

සී.ටී. ප්‍රනාන්දුගේ ‘සඳවට රන්තරු’ වැනි මවු ගුණ ගීයකින් කරු අප නෙත් තෙත් කරන්නට තැත් කළා සේම පසුකලෙක ප්‍රේම් ‘ආදරයේ උල්පත වූ අම්මා’ වැනි ගීත හදේ ගැඹුරුම තැන රැඳවූයේය.

ජාතක කතාවක ආකෘතියෙන් රචිත, සුජාතා අත්තනායක චිත්‍රපටයකට ගැයූ ‘පුතුනේ මේ අහගන්න’ ගීතය කරුගේ ඉතා සියුම් සංකල්පනාවකි. ප්‍රේමකීර්ති 80 ගණන්වල එබඳුම ගීතයක් ‘රබානේ ඉපදී’ යනුවෙන්, විරිඳුවක ආධාරයෙන් ලලිත් කුමාර නමැති ගැටවර ගායකයාට ලිවීය. පළමු ගීතයේ ඇත්තේ කුරුලු කැදැල්ලකට ලෝ පාලන දෙවිඳුන් කළ උපකාරයකි. දෙවැන්නෙන් ලෙහෙනුන් පවුල හා ශක්‍රයා සම්බන්ධ ජාතක කතාව කියැවේ.

කරු වඩාත් අපූර්ව අනුභූතීන් සොයා ගියේ ළමා ගීත රචනා කිරීමේදීය. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘කියන්න සුළඟේ’ ආදී කරු එසැණින් ලියූ ගී නිර්මාණ 60-70 දශකවල ගුවන්විදුලිය ඇසූ දරුවන් ප්‍රබෝධවත් කළ අතර ටයිටස් තොටවත්තයන්ගේ ‘සැකිලි රූ’ ගීත තුළින් ප්‍රේම් එබඳු තිළිණ 80 ගණන්වල ටෙලිවිෂන් දරුවන්ට පිරිනමයි. ගීත රචකයකු ලෙස මුහුකුරා යද්දී ප්‍රේම් බොහෝ විරල අනුභූතීන් සොයා ගියේය. කරු තව තවත් සරල ආකාරයෙන් සියුම් අත්දැකීම් විස්තර කරන්නට තැත් දැරූ බවක් පෙනෙන්නට තිබේ. 70 දශකයේ මැද භාගයේ දෙදෙනා සිය ලකුණු දැරූ මහා ගායකයන්ට ලියා දුන් මේ පද මාලාවන්හි ඇති සමාන බව ආහ්ලාදජනකය.

ප්‍රේම්: දිනක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතුවී යැයි…
(ගායනයහා තනුව: වික්ටර් රත්නායක)

කරු: සඳට අමතක හිරුට අමතක
යටගියාවේ තොරතුරු
ඔබට මතකය මටද මතකය
එය අතීතෙකි විසිතුරු
පෙර අනාවැකි අද සැබෑවකි
කල්පනා වේ එම කතා
කියා ලීවෙමි ලියා කීවෙමි
අනන්තයටම සිත සිතා
කුමුදු කුසුමයි සුමුදු පියුමයි
එකට පිපුණද එක විලේ
අඹර දෙරණත දෙරණ අඹරත
පෑහිලා නැත කිසි කළේ…
(ගායනය: එච්.ආර්. ජෝතිපාල, තනුව: මොහොමඩ් සාලි)

මෙබඳුම සමීපකමක් පළකරන ප්‍රේම්ගේ සුප්‍රකට ප්‍රබන්ධයක් හා කරුගේ අප්‍රකට රචනාවකි පහත දැක්වෙන්නේ.

ප්‍රේම්: සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසම
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක් සේ
ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත් වෙන්නට කිසිවක් ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ හද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එහෙම පිහිටවනු මැනේ…
(ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

කරු: සඳ ඉල්ලා හිරු ඉල්ලා වැළපෙන
කිරි දරුවෙකු විලසේ
උදයේ හවා රැයෙහි දිවා ලුහුබැඳ
ඇවිදින් හැම දවසේ
ඔබේ ආදරය සිඟාකමින් ආ
අසරණ අවධිය මට මතකයි
දෙතොලඟ නංවා කුළුණු සිනා
නැති බැරි ඔබ මට පිහිට වුණා
මගේ ගිනි නිවා ඔබේ සෙවණෙ හිඳ
සනහස වැළඳූ බව මතකයි
මුල මැද මැවි මැවි යසට පෙනේ
හඳුනමි සලකමි කෙළෙහි ගුණේ
ගිමන් නිවාලන සඳුන් විමානය
මම ගිනි නොතියමි කිසිම දිනේ…
(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: සරත් ද අල්විස්)

දෙමගකින් එකම ගමන ගිය එක ගමේ දෙදෙනා
අපේ රටේ විචාරකයෝ කරු සහ ප්‍රේම් දෙපසක තැබූහ. ඔවුන් දෙමගක යන්නවුන් ලෙස පූර්ව විනිශ්චයක සිටි බැවින් දෙදෙනාගේ සමානකම් නොදුටුවෝය. එහෙත් ප්‍රේම්ගේ රසිකයන් කරුටද කරුණාවන්ත වූ අතර, කරුගේ සහෘදයෝ ප්‍රේම්ටද ආදරය දැක්වූහ. ඒ අන් කිසිවක් නිසා නොව දෙදෙනාම සරල මිනිසුන්ගේ අතට හසුවන ඇත්ත ගීයට නැගූ නිසායැයි සිතේ. සිය ජීවිතයේ අවසාන භාගයේ ප්‍රේම් ලියූ ගීයක කොටසක්ද ජනප්‍රියත්වයේ අගතැන්පත්ව සිටියදී කරු ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ චිත්‍රපටයට රචනා කළ පද පේළි කිහිපයක්ම ඔවුනොවුන්ගේ ජීවන දර්ශනයට කදිම ඉඟි වශයෙන් දැක්විය හැකිය.

කරු: රන් මිණි දද බැඳි සුවිසල් මැඳුරුද පොළොවට සම වන්නේ
ගුම්නද දීගංන දිවයන දියරළ වැලි මත වියැළෙන්නේ
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ…
(‘වලාකුළක මෙන්’ ගායනය: ජී.එස්.බී. රාණි පෙරේරා, තනුව: එම්.කේ. රොක්සාමි)

ප්‍රේම්: මුහුද ගොඩ එනතුරා කඳු මුදුන් ඇත උසප
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුණෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන…
(‘වැස්සකට ඉඩ ඇතත්’ ගායනය: නන්දා මාලිනී, තනුව: එච්.එම්. ජයවර්ධන)

වඩාත්ම විස්මයජනක සමානතා අප්‍රකටය. කරුණාරත්න අබේසේකර 1930 ජුනි 03 වැනිදා උපන් අතර, ප්‍රේමකීර්ති 1947 ජුනි 03 වැනිදා උපත ලද්දෙකි. දෙදෙනාම වෘශ්චික ලග්නයේය. උපන් වෙලාවද බොහෝ සමාන බව කියනු ලැබේ. කොළඹ මරදාන, මාලිගාකන්දේ පදිංචිකරුවන් වූ මොවුන්ගෙන් කරුණාරත්න අබේසේකර නාලන්දයේ උගත්තේය. ප්‍රේමකීර්ති ආනන්දීයයෙකි. ගුවන්විදුලියේදී කරු ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ සම්පාදකවරයකුව සිට කාන්තා හා ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් අකාලයේ විශ්‍රාම ගියේය. මුලින්ම කාන්තා හා ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ ප්‍රේම්, ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ සම්පාදකවරයකු වශයෙන් සිටියදී අකාලයේ ජීවිතයෙන් සමුගන්නට යෙදිණි. ඔහුගේ වයස අවුරුදු 42ක් විය. කරු ජීවත් වූයේ අවුරුදු 52කි.

වරක් කරු සිය ගෝලයාගේ උපන් දිනයට ලියා දුන් කවි දෙපදයෙකි මේ.

එකදා එකම එක ලග්නෙන් එකට උපන්
උඹ මට වඩා මිනිසකු විය යුතුය හපන්

එම ප්‍රාර්ථනාව අකුරට ඉටුකළ ප්‍රේම් අවුරුදු ගණනාවක් තිස්සේ කරුගේ අනුස්මරණ යෙදෙන දිනයට නොවරදවාම කවි පන්තියක් ලියා පළකළේය ඔහු පුවත්පත්වලට වැඩිපුරම කවි ලියා ඇත්තේ සිය ගුරුවරයා වෙනුවෙන් බව සඳහන් වේ. අවසන් වරට කරු ගැන ලියූ කවි කිහිපය ප්‍රේම් අවසන් කර තිබුණේ මේ අයුරිනි.

කළල ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත
සැබෑ බව කියන්නට ඔබ මෙන් සමත
ගුරුවරුනුත් ගෝලයනුත් අද නොමැත

දිලීප අබේසේකර

SendShareShare
Previous Post

මහා ජන ගංගාවක් මාවතගමට ඇදෙයි! මහනුවරින් පස්සේ සජිත් දැන් එනවා කුරුණෑගලට! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

සමීක්ෂණ පෝලිමක්! ප්‍රතිඵල වැලක්! 21 වැනිදාට පෙරවදනක්! Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.