පසුගිය සති කීපයේදී නැවත වතාවක් ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අර්බුදයක් පිළිබඳ පාර්ශ්ව කීපයකින්ම අනතුරු ඇඟවීමක් කළ ආකාරයක් දැකගත හැකි විය. වරක් එජාපයේ හරින් ප්‍රනාන්දු කියා සිටියේ ලබන අප්‍රේල් මාසය වනවිටදී ආර්ථිකය අර්බුදයකට යන බවකි. රාජිත සේනාරත්න කියා සිටියේ මේ වසර අවසානය වනවිට ආර්ථික අර්බුදයක් මතුවන බවකි. විමල් වීරවංශද පසුගිය සතියේ මාධ්‍ය හමුවකට පැමිණ කියා සිටියේ රටට නැවත වතාවක් ආර්ථිකමය වශයෙන් අර්බුදයකට යෑමේ අවදානමක් මතුව ඇති බවකි. මෙම පිරිස් කුමන දේශපාලන අරමුණක් සහිතව මේ ආකාරයට ආර්ථික අර්බුදයක් ගැන අනාවැකි පළකළාද යන්න පැහැදිලි නැතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ප්‍රායෝගිකව මතුවිය හැකි අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සූදානම්ය. මෙයද එක්තරා ආකාරයක ආර්ථික අර්බුදයක සලකුණක් වුවත් එය සිදුවන්නේ ලබන අප්‍රේල් මාසයේද, වසර අවසානයේද, එසේත් නැත්නම් 2027 වසරේද, නැත්නම් 2028 වසරේද යන්න පිළිබඳ නිශ්චිත වශයෙන් කීමට අපට හැකියාවක් නැත.Sri Lanka Latest News
ආපදාවෙන් පසු ආණ්ඩුව රට යළි ගොඩගැනීමට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීමට කටයුතු කොට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධය මධ්‍යයේය. මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී තිබුණේ ඒ සඳහා ඉක්මන් නොවන ලෙසත්, ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී එවැනි මුදලක් සොයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත්වී කටයුතු කළ හැකි බවත්ය. එමෙන්ම බිලියන 500ක මුදල් ඒ සඳහා වෙන් කරන්නේ නම් එම මුදල් නැවත සොයාගන්නේ කෙසේද, එම මුදල වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූල්‍ය අරමුදල ප්‍රශ්න කළත් ආණ්ඩුව පැත්තෙන් ඊට නිසි පිළිතුරක් ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මේ නිසාම මූල්‍ය අරමුදල මගින් ලබාගත් ණය වාරිකයේ පස්වැනි වාරිකය නිදහස් කිරීම සඳහා ආණ්ඩුවත් මූල්‍ය අරමුදලත් අතර ඇතිකරගෙන තිබූ කාර්ය මණ්ඩල එකඟතාව අවලංගු කොට එය ලබන පෙබරවාරි දක්වා කල්දැමීමට මූල්‍ය අරමුදල පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙතෙක් ගිවිසුමට අනුකූලව ගලාගෙන ආ ගමන එක්වරම අතරමග නැවතුනු ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව වන ක්‍රිස්ටලීනා ජෝජියාව සහ ඉහළ පෙළේ දූත පිරිසක් මේ මාසය ඇතුළත ලංකාවේ සංචාරය කිරීමටද නියමිතය. එහිදී මෙම රුපියල් බිලියන 500 යළි සොයාගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත සැලැස්මක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් යම් අවදානම්කාරී තත්ත්වයක් මතුවීම වැළැක්විය නොහැක. එවැනි තත්ත්වයක් මතුවුවහොත් බොහෝ දුරට මූල්‍ය අරමුදල ලබන මාර්තු අප්‍රේල් මාසය වනවිට ලංකාවේ ණය තිරසරභාවය ස්ථාවර නොමැති බවටත්, විදෙස් ණය ගෙවීමේ නොහැකියාවක් දිගුකාලීනව මතුවිය හැකි බවටත් ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව වැඩි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. යම් හෙයකින් මූල්‍ය අරමුදල එවැන්නක් ප්‍රකාශ කළහොත් අර්බුදයක් මතුවීමේ මුල් අවස්ථාව එය වනු ඇත. එසේ වුවහොත් ගෝඨාගේ කාලයේ සිදුකළාක් මෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව නැවත වතාවක් සිය ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටමකට ගෙන ඒමේ අවදානමක් තිබේ. එහි ඊළඟ පියවර වනු ඇත්තේ ලංකාවට කිසිම ජාත්‍යන්තර මට්ටමේ ණයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුවීමය. අර්බුදය ගලාගෙන යනු ඇත්තේ ඒ ආකාරයටය. එවැනි පසුබිමක් මතුවුවහොත් එය එක රැයකින් ආර්ථිකය හෝ ආණ්ඩුව කඩාවැටීමේ තත්ත්වයක් නොව දිගුකාලීන ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවක් පමණක් වනු ඇත.
නමුත් මේ සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව පැත්තෙන් නිසි සැලසුමක් හෝ නිසි ප්‍රතිචාරයක් ලැබී ඇති ආකාරයක් දැකගන්නට නැත. යම් හෙයකින් ආණ්ඩුවට මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා වෙනත් නිශ්චිත සැලසුමක් තිබෙනවා විය හැකිය. මූල්‍ය අරමුදල එවැනි ස්ථාවරයකට ගියහොත් ආණ්ඩුව එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනාවද විය හැකිය. එහි ප්‍රතිඵල බලාගැනීම සඳහා තවත් මාස දෙක තුනක කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.










