වතුකරයේ ඡන්ද මිලියනයට සජිත් ගහපු ගිවිසුම!
මෛත්‍රී අමෙරිකාවට ගියේ ඇයි?
මන්ත්‍රීවරුන්ට කාර් පර්මිට් දෙන කතාවක්!
බළල් අත් කුමන්ත්‍රණය
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පෙරට දමමින් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ කුමන්ත්‍රණයක් පවතින බවත්, ඊට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ වුවමනාව මත යම් යම් බළල් අත් උපයෝගී කරගෙන මෙම කුමන්ත්‍රණය දියත් කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත් මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි විශේෂ අනාවරණයක් කළෙමු. ඒ අවස්ථාවේදී අප නම්ගම් හෙළි නොකර මෙම අනාවරණය සිදුකළේ එවැන්නක් තිරය පිටුපස සීත කාමරවල සැලසුම් වෙමින් පවතින බවට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙනය. ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙතෙක් සිදුකළ සියලු අනාවරණයන් 100%ක්ම සත්‍ය වී ඇති පසුබිමක මෙම අනාවරණයද අප සති දෙකකට පෙරදී සිදුකළේ නියත වශයෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සැලසුම කරළියට පැමිණෙන බව හොඳ හැටි දැනගෙනය. අප කීවාක් මෙන්ම සති දෙකක් ඉක්ම යෑමට පෙරාතුව අප කී දේශපාලන කුමන්ත්‍රණයේ තොරතුර එළියට පැන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටිනි. දේශපාලන උත්සවයකදී අදහස් දක්වමින් මෛත්‍රීපාල ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව කියා සිටියත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය කරු ජයසූරිය මහතාට පවරා දී ඇති බවය. එවැනි යෝජනාවක් පැමිණියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සහාය ලබාදෙන බවද මෛත්‍රීපාල එහිදී සඳහන් කර සිටියේය. ඒ අනුව අප සති දෙකකට ඉහතදී කළ අනාවරණය නම් ගම් සහිතවම මෛත්‍රීගේ කටින් එහිදී එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
දේශපාලනය ඇවිස්සෙයි
මෛත්‍රීගේ මෙම අනාවරණයත් සමගම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාව බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒ, විවිධ දේශපාලන පාර්ශ්වයන්ගෙන් ඊට එල්ල වූ විවිධ ප්‍රතිචාර දෙස බලන විටදීය. ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම යෝජනාව සීනි තැවරූ විෂ ගුලියක් බවත්, එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයන් යොදාගෙන විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ගම්මන්පිල එහිදී කියා සිටියේය.
ඉන් අනතුරුව නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජනාධිපතිවරණයක් කැඳවීමට නියමිතව ඇති මේ මොහොතේදී මෙවැනි මාතෘකාවක් කරළියට ගෙන ඒම දේශපාලන තක්කඩිකමක් බව කියා සිටියේය. 1983 පැවැති ජනමත විචාරණය හරහා රට ලේ විලක් වූ ආකාරය පෙන්වා දුන් ඩලස් නැවතත් එවැනි තත්ත්වයකට රට පත්වීමට ඉඩ නොතබන බවද කියා සිටියේය.
මද්දුමබණ්ඩාරට කරු කතාකරයි
කෙසේ වෙතත් මේ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව යළි කරළියට ගෙන ඒමට සැලසුමක් ඇති බවට අප කළ අනාවරණයෙන් පසු පසුගිය සතියේ හදිසියේම සාධාරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. ඒ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් සිය සංවිධානයේ ප්‍රධානත්වයෙන් සංවිධාන කොට ඇති බව දැනුම් දීමටය. එමෙන්ම ඊට සහභාගි වන ලෙස සමගි ජන බලවේගයට නිල වශයෙන් ආරාධනා කිරීමටද කරු එහිදී කටයුතු කළේය. කෙසේවෙතත් ඒ වන විටත් කරු සහ කරුගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යපාරය පෙරටු කොටගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් රැගෙන ඒමේ සූදානමක් ඇති බවට සජිත්ටද විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව මෙවැනි යෝජනාවක් පැමිණියහොත් දැක්විය යුතු ප්‍රතිචාර සම්බන්ධයෙන්ද සජිත්ගේ ඔළුවේ යම් චිත්‍රයක් ඇඳී තිබිණ. ඒ ආකාරයටම මද්දුමබණ්ඩාරට කතා කළ කරු කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෙය ඉතා සුදුසු අවස්ථාව බවත්, ඒ සඳහා සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත්ය. කරු මේ කතාව කියද්දීම මද්දුමබණ්ඩාර කෙළින්ම කියා සිටියේ සිය පක්ෂයේ ස්ථාවරයද එය වුවත් මේ අවස්ථාවේදී එවැන්නක් කිරීම ප්‍රායෝගික නැතැයි කියයි.
‘සමගි ජන බලවේගයේ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එකයි. අපි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් පවා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේක සුදුසු වෙලාව නෙවෙයි. මොකද ජනාධිපතිවරණය පවත්වන්න තව මාස 06යි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ මාතෘකාවක් කතා කරන එක ප්‍රායෝගික නෑ..’ යනුවෙන් මද්දුමබණ්ඩාර සිය විරෝධය ඊට පළ කරද්දී යළිත් කරු කියා සිටියේ සිය සංවිධානය මුල්කරගෙන ඒ පිළිබඳ සම්මන්ත්‍රණයක් සූදානම් කොට ඇති බවත්, සමගි ජන බලවේගයටද ඊට ආරාධනා කරන බවත්ය. ඊට ඍජු පිළිතුරක් නොදුන් මද්දුමබණ්ඩාර කරුට දැනුම් දී සිටියේ තමන් ඒ පිළිබඳ පක්ෂය සමග සාකච්ඡා කොට පිළිතුරක් දෙන්නම් යැයි කියාය.
ගිහින් විරෝධය පළකරන්න
ඒ අනුව මද්දුමබණ්ඩාර වහාම කළේ කරුගෙන් ලද ආරාධනාව පිළිබඳ සජිත් දැනුවත් කිරීමය. සජිත්ද ඊට ප්‍රතිචාර දක්වමින් පැවැසුවේ සජබ ප්‍රතිපත්තියද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුවත්, මේ ඊට සුදුසු වෙලාව නොවේ යැයි කියාය. නමුත් ආරාධනාව පිළිගෙන සම්මන්ත්‍රණයට සහභාගි වන ලෙස මද්දුමබණ්ඩාරට උපදෙස් දුන් සජිත් එහිදී මෙය ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් ලෙස පැහැදිලි කොට ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළකරන ලෙස මද්දුමබණ්ඩාරට දැනුම් දී සිටියේය.
මේ අතරවාරයේ සමගි නීතිඥ බලවේගයේ විශේෂ රැස්වීමක්ද පසුගිය සතියේ පැවැත්විණි. සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට එහි සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට අමතරව විශාල නීතිඥවරුන් පිරිසක්ද රැස්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදීද සජිත්, උපුල් සහ නීතිඥවරුන් සමග මේ වන විට කරළියට පැමිණ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. එහිදී සජිත් පිරිසට කියා සිටියේ සිය පක්ෂයේ ස්ථාවරය මෙය වුවත්, මේ මොහොතේ ඊට සහාය පළකළ නොහැකි බවත්, මෙය තනිකරම ජනාධිපතිවරණය කල්දැමීමේ අදහසින් රැගෙන එන කුමන්ත්‍රණකාරී යෝජනාවක් බවත්ය. ඊට අමතරව සිය කතාවේදීද සජිත් කියා සිටියේ විවිධ අතකොලු, බළල් අත් සහ හෙංචයියන් උපයෝගී කරගෙන මේ වන විට ජනාධිපතිවරණය කල්දැමීමේ උපක්‍රමයක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඊට කිසිදු ආකාරයේ ඉඩක් නොතබන බවත්ය.
රාජිත කරුගේ පැත්තේ
මේ ආකාරයට කරුගේ ප්‍රධානත්වයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සම්මන්ත්‍රණය පසුගිය සතියේ පැවැත්වුණේ එම යෝජනාවට හතර වටෙන්ම විරෝධය පළවෙද්දීය. සම්මන්ත්‍රණය ආරම්භ කරමින් එහි අරමුණ පැහැදිලි කළ කරු, විධායකය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂවල සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. නමුත් සජිත්ගෙන් ලැබී තිබුණු උපදෙස්වලට අනුව යමින් මද්දුමබණ්ඩාර සියලු දෙනාම පුදුමයට පත්කරමින් කියා සිටියේ සමගි ජන බලවේගය මේ මොහොතේ මෙම යෝජනාවට එකඟ නැතැයි කියාය. විධායකය අහෝසි කිරීම සිය පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා නමුත්, ජනාධිපතිවරණයට මාස හයක් තියා ගෙන එනු ලබන මෙවැනි යෝජනා කිසිසේත්ම පිළිගත නොහැකි බවද කියා සිටියේය. විධායකය අහෝසි කරනවා නම්, එය කළ යුත්තේ මෙවර ජනාධිපතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමෙන් පසුව බවද මද්දුමබණ්ඩාර එහිදී පැහැදිලිවම කියා සිටියේය.
මද්දුමබණ්ඩාරගෙන් පසුව කතා කළේ වෙන කවුරුවත් නොව, රාජිත සේනාරත්නය. රාජිත යනු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ දින සිටම දෙපැත්තේම කකුල් තබාගනිමින් දේශපාලන කළ චරිතයක් ලෙස ප්‍රකටය. අවස්ථා කිහිපයකදීම තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බව රාජිත ප්‍රසිද්ධියේම කියා තිබිණි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර තිබීම නිසා සජබය ඇතුළේ රාජිත සිටියේ ආණ්ඩුවට ඔන්න ගියා මෙන්න ගියා තත්ත්වයකය. ඒ අනුව මද්දුමබණ්ඩාරගේ කතාවෙන් පසු මයික්‍රෆෝනය අතට ගත් රාජිත කියා සිටියේ ජනතාවට මේ වන විට ජනාධිපතිවරණ අනවශ්‍ය බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තමන් ඊට අත් දෙකම ඔසවන බවත්ය. රාජිත මෙසේ කියද්දී බොහෝ දෙනා රාජිත දෙස සිනාමුසු මුහුණින් බලා සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, විශේෂයෙන්ම ජී.එල්. පීරිස් මහතාගේ මුහුණේ ඒ සිනාව පැහැදිලිවම ඇඳී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
කරු දීපු උත්තරේ
කෙසේවෙතත් රැස්වීම අවසන් වීමෙන් පසු කරු හමුවූ ජී.එල්. කියා සිටියේ ජනාධිපතිවරණයට මාස 6ක් පමණ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කතා කිරීම කුමන්ත්‍රණයක් බවත්, ඊට හසු නොවන ලෙසත්, මේ පිළිබඳ ජාතයන්තරයේම අවධානය යොමුව ඇති බවත්ය. ඊට පිළිතුරු දුන් කරු කියා සිටියේ අපූරු උත්තරයකි.
‘නෑ.. නෑ.. මමත් පිළිගන්නවා මේක ජනාධිපතිවරණයට කලින් කරන්න බෑ කියලා. මම කියන්නෙත් ජනාධිපතිවරණය තියලා ඉවර වුණාට පස්සේ මේක කරමු කියලයි. මම මේ කරන්නේ ඒකට අවශ්‍ය මතය රට ඇතුළේ හදන එක විතරයි…’ යන්න කරු ඊට දුන් පිළිතුර විය.
මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්
මේ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කරුගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණ පැවැත්වෙද්දී ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද පසුගිය සතියේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් විය. ඒ වන විටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ එම උත්සාහයට එරෙහිව සියලු පාර්ශ්වවල විරෝධය පළවෙමින් තිබූ පසුබිමක ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ නියමිත පරිදි ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නියමිත යැයි කියාය. එමෙන්ම ඒ සඳහා මුදල් වෙන්කොට ඇති බවද එම නිවේදනයෙන් කියැවුණු අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා 2025 අයවැය ලේඛනය මගින් මුදල් වෙන්කරන බවද එහි සඳහන් ව තිබිණි. එම කෙටි නිවේදනයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
මාධ්‍ය නිවේදනය
ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, වත්මන් කාල රාමුවට අනුව මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් ලබාදීමට නියමිතය.
මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය
2024.02.13
මේ ආකාරයට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් පෙබරවාරි 13 වැනිදා මෙවැනි නිවේදනයක් නිකුත් කළද මීට සති දෙකකට ඉහතදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කොට තිබුණේ මීට තරමක් වෙනස් මාධ්‍ය නිවේදනයකි. එහි සඳහන්ව තිබුණේ මේ වසරේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ආණ්ඩුව මගින් වෙන්කොට ඇති බවත්ය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව මෙම නිවේදන දෙකෙහිම සඳහන්ව තිබිණි.
පුදුම සිදුවීමක්
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ සිදුවූ තවත් පුදුමසහගත සිදුවීමක් සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු අනාවරණ කිරීමට අප සූදානම්ය. මෙවර අප නම් ගම් රහිතව මෙම සිදුවීම හෙළිකළද ඉදිරි දිනෙකදී මෙම සිදුවීමට සම්බන්ධ වූ සියලු පුද්ගලයන්ගේ නම් ගම් හෙළිදරව් කිරීමට අප සූදානම් බවද මෙහිදී සඳහන් කළ යුතුය. මෙම සිදුවීමට මුල්වී තිබුණේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක නායකයෙකි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මෙම මන්ත්‍රීවරයා පසුගිය සතියේ කිසියම් රාජකාරියක් ඉටුකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබලයකු මුණගැසීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රබලයා පුදුම හිතෙන කතාවක් මෙම පක්ෂ නායකයාට කියා තිබේ. එහිදී මෙම ප්‍රබලයා සඳහන් කොට ඇත්තේ හෙට අනිද්දා ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හදිසි යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බවත්, තමන්ට කරන උපකාරයක් ලෙස සලකා ඊට සහාය ලබා දෙන ලෙසට පක්ෂයට දැනුම් දෙන ලෙසත්ය.
මෙම දේශපාලන පක්ෂයද විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය පළ කරන පක්ෂයක් වුවද ස්වාධීන ලෙස සිටිය යුතු මෙවැනි පුද්ගලයකුගෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවත් සමග මෙම දේශපාලන පක්ෂ නායකයා මහත් විමතියට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහාම මෙම දේශපාලන නායකයා කළේ මෙම පාර්ලිමේන්තු ප්‍රබලයාගෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳ සිය පක්ෂ නායකයා මෙන්ම සහෝදර පක්ෂ නායකයන්ද, විපක්ෂයේ අනෙකුත් නියෝජිතයන්ද දැනුවත් කිරීමය. මෙම තොරතුර වාර්තා වීමත් සමග ඔවුන්ද විශාල පුදුමයකට පත්වූයේ ස්වාධීනව සිටිය යුතු චරිතයක් මෙසේ ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇති යෝජනාවකට විපක්ෂයේ සහාය ඉල්ලා අදහස් දැක්වීම පිළිබඳවය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධානීන්ද විවිධ තැන්වලට කතාකොට මෙම කතාවේ ඇත්ත නැත්ත සොයාබැලීමට කටයුතු කළහ. එහිදී කතාව ඇත්ත බව ඔවුන්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව, මෙම තත්ත්වය ඉතා බරපතළ ලෙස අවධානයට ගැනීමට පියවර ගෙන ඇති විපක්ෂයේ ප්‍රධානීන්ද ඒ පිළිබඳව ඉදිරියේදී විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමටද තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව දැනට මීට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළිකිරීමට අපට නොහැකි වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන්ගේ නම්ගම් එළියට පැමිණෙනු ඇති බව අපගේ විශ්වාසයය.
අපි කලින්ම කිව්වා
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ මේ ආකාරයට තැන් තැන්වල ක්‍රියාත්මක වෙද්දී බොහෝ දෙනකු බලා සිටි විපක්ෂය මුල්කරගෙන ගොඩනැගෙන නව සන්ධානයද පසුගිය සතිය වන විට අවසන් අදියරට පැමිණ තිබිණි. ඒ අනුව මීට පෙර සතියේ අඟහරුවාදා (08) දිනයකදී අප වෙබ් අඩවිය ඔස්සේ විශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ එදින රාත්‍රියේ විශේෂ දේශපාලන සිදුවීමක් සිදුවීමට නියමිත යැයි කියාය. ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට මෙම තොරතුරු ලැබුණු නිසාම ඒ පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් එම පුවත ‘මව්රට’ අප වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තේ මෙසේය.
‘මේ දිනවල රටේ දේශපාලනය පවතින්නේ අතිශය උණුසුම්වය.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා යම් යම් දේශපාලන පෙරළි කිහිපයක් පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුව පිටතදීත් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඊට සමගාමීව අද (08) රාත්‍රියේ අතිශය තීරණාත්මක දේශපාලන සිදුවීමක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
අපට ඇති ආරංචිමාර්ගවලින් කියවෙන්නේ ඉදිරියේ රටේ දේශපාලන ගමන් මග තීරණය කෙරෙන සුවිශේෂ දේශපාලන පෙරළියක ආරම්භය මේ හරහා සනිටුහන් වනු ඇති ඇති බවකි.’
හැමෝම කතාකරලා ඇහුවා
අප මෙම පුවත වාර්තා කිරීමත් සමග අපගේ පුවත්වල නිරවiතාව දන්නා බොහෝ දෙනෙක් අප හට කතා කරමින් එම තීරණාත්මක දේශපාලන පෙරළිය කුමක්ද යන්න අපගෙන් විමසා සිටියහ. නමුත් එම සිදුවීමේ ඇති විශේෂත්වය නිසාම අපද ඔවුන්ට කියා සිටියේ රාත්‍රිය වනතෙක් ඉවසීමෙන් බලා සිටින්න යැයි කියාය. නමුත් රාත්‍රියේ යම් දෙයක් සිදුවුවද එය මාධ්‍ය මගින් වාර්තා වූයේ නැත. ඒ අනුව, ඊට පසු දින අපට කතා කළ බොහෝ දෙනා එම පුවත පිළිබඳ යළිත් විමසා සිටියහ. ඒ අනුව අප ඔවුන්ට කියා සිටියේ යම් දේශපාලන සාකච්ඡාවක් පැවැති නමුත් ගැටලුකාරී තැන් කිහිපයක් මතුව තිබීම හේතුවෙන් ලබන බදාදා වනතෙක් එම අවස්ථාව කල්දැමීමට පියවර ගෙන ඇති බවකි. ඒ අනුව එම අඟහරුවාදා රාත්‍රියේ සිදුවූයේ කුමක්ද?
එදින සිදුවීමට නියමිතව තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා උතුරු නැගෙනහිර, වතුකරය නියෝජනය කරන සියලු දෙමළ මුස්ලිම් පක්ෂ නව සන්ධානයකට අස්සන් තැබීමේ අවස්ථාවය. ඒ අනුව, සජිත්, මද්දුමබණ්ඩාර, රිෂාඩ්, හකීම්, මනෝ ගනේෂන්, දිම්බරම්, රාධක්‍රිෂ්ණන් ඇතුළු සියලු දෙනා එම අවස්ථාවට එක්ව සිටියහ. සන්ධාන ලියවිල්ලද මේසය මත තිබුණු නමුත් සුළු සුළු සංශෝධන කිහිපයක් ඊට එක් කිරීමට අවශ්‍ය බව හකීම් සහ රිෂාඩ් එහිදී පෙන්වා දුන්හ. ඒ, ආසන කිහිපයකට තරග කිරීම සම්බන්ධයෙන්ය. එම සංශෝධන එම අවස්ථාවේදී අදාළ ලියවිල්ලට එකතු කිරීමේ අපහසුතාව නිසා සියලු දෙනාම එකඟ වූයේ අදාළ සංශෝධන ඇතුළත් කොට ඊළඟ බදාදා දිනයේදී ගිවිසුමට අස්සන් තැබීමටය. අප එම සිදුවීම සම්පූර්ණයෙන්ම දැනගෙන සිටියත්, ඒ මොහොතේ වාර්තා නොකර සිටියේ අදාළ පාර්ශ්වයන්ට ඒ හරහා යම් අසාධාරණයක් මතුවීමේ ඉඩකඩක් පැවැතීම නිසාය. ඒ අනුව පසුගිය බදාදා දිනයේ පළමුව සජබය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ නායකයන් සමග සන්ධානගත වීම සිදුවිය.
වතුකරයේ ඡන්ද ලක්ෂ 10
සාමාන්‍යයෙන් වතුකරය සැලකෙන්නේ අතීතයේ සිටම රජුන් තනන්නා ලෙසය. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ වතුකරයේ රජු බවට පත්ව සිටියේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. ජනාධිපති කව්ද, ආණ්ඩුව කව්ද කියා තීන්දු කළේ තොණ්ඩමන්ය. නමුත් තොණ්ඩමන්ගේ අභාවයත් සමග එම පවුල සතුව තිබූ රජුන් තනන්නාගේ භූමිකාව කෙමෙන් කෙමෙන් ගිලිහී ගොස් අද වන විට එම පක්ෂයට එක් මන්ත්‍රීවරයකු පමණක් ඉතිරි වන තත්ත්වයට එය ඇදවැටී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව, අද වන විට වතුකරයේ රජු බවට පත්ව සිටින්නේ වෙන කවුරුවත් නොව පලනි දිගම්බරම්ය. වතුකරයේ ඡන්ද ලක්ෂ 10ක අතිබහුතරයක් ඇත්තේ දිගම්බරම් සතුවය. ඒ අනුව දිගම්බරමුත් වතුකරයේ අනෙක් ප්‍රබලයා වන රාධක්‍රිෂ්ණනුත්, කොළඹ දමිළ ප්‍රබලයා වන මනෝ ගනේෂනුත් පසුගිය බදාදා දිනයේදී සජිත් සමග සන්ධානයට අස්සන් තැබූ අතර, ඒ හරහා කොළඹ, රත්නපුර, නුවරඑළිය, බදුල්ල ආදී දිස්ත්‍රික්කවල විහිදී ඇති දෙමළ ඡන්ද ඉදිරි ජාතික මැතිවරණවලදී සජබයට එක් කිරීම මෙහිදී සිදුවිය.
තව ඉඟියක් දෙනවා
අනෙක් අතට ඉදිරි මැතිවරණවලදී ඊළඟ තීරණාත්මක සාධකය වන්නේ උතුරු නැගෙනහිර මුස්ලිම් ඡන්දය. උතුරු නැගෙනහිර මුස්ලිම් බලය ඇත්තේ හකීම් සහ රිෂාඩ් අතේය. එහිද ඡන්ද මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවැසේ. උතුරු නැගෙනහිරට අමතරව නුවර, යාපනය, කොළඹ, පුත්තලම යන දිස්ත්‍රික්කවල මුස්ලිම් ප්‍රජාව අතරේ විශාල බලයක් ඇත්තේ හකීම්ටය. ඒ අනුව අද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් යුතුව අනාවරණය කරන්නේ එදින රාත්‍රියේ මෙම ඡන්ද සම්බන්ධයෙන්ද යම් තීරණාත්මක සිදුවීමක් සිදුව ඇති බවය. එය අප මේ අවස්ථාවේදී අනාවරණ නොකරන්නේද ඒ හරහා යම් පාර්ශ්වයකට අසාධාරණයක් විය හැකි නිසාය.
ආණ්ඩුවත් සන්ධාන සාකච්ඡාවල
මේ ආකාරයට සජිත් යම් යම් පක්ෂ සමග සන්ධානගත වෙද්දී ආණ්ඩුව පැත්තෙන්ද මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇති ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි. ඉන් එකක් වූයේ පසුගිය බදාදා රාත්‍රියේදීම එජාප ප්‍රබලයකුගේ නිවෙසේ ජනාධිපතිවරයාට සහාය දෙන සන්ධානයක් ගොඩනැගීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමය. එහිදී රාත්‍රි භෝජන සංග්‍රහයක් සමග සූදානම් කොට තිබූ මෙම සාකච්ඡාවට සජබය සමග සමීපව සිටින කිහිප දෙනකුටද ආරාධනා කිරීමට මෙම එජාප ප්‍රබලයා කටයුතු කොට තිබිණි. ඉන් එක් අයකු වූයේ දිගම්බරම්ය. දිගම්බරම් හා ඔහු අතර පවතින හිතවත්කම නිසාම එම එජාප ප්‍රබලයා සිතා සිටියේ නිසැක වශයෙන්ම ආරාධනා කළ සැණින් ඔහු මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. රාත්‍රී භෝජන සංග්‍රහය සහ සාකච්ඡාව සඳහා මෙම එජාප ප්‍රබලයා ආරාධනා කළ විට දිගම්බරම් කෙළින්ම කියා සිටියේ, ‘තරහා වෙන්න එපා. අපි ඊළඟ ඡන්දෙදී සජිතුයි සජබෙයි එක්ක යන්න තීරණය කරලා ඉවරයි. අපට ජනාධිපතිතුමාට සහාය දෙන්න බෑ. අපේ පක්ෂය සම්පූර්ණයෙන්ම සජබෙත් එක්ක යන්න තීන්දු කරලා අවසානයි’ යැයි කියාය. ඒ අනුව එම සාකච්ඡාව පැවැතියේ දිගම්බරම් ඇතුළු සජබයට හිතවත් දේශපාලන පක්ෂ නියෝජිතයන් නොමැතිවය.
4ක් ගන්න හදන්නේ
මීට අමතරව සජබ ප්‍රබලයන් කිහිප දෙනකු ලබන අප්‍රේල් මාසයේදී ආණ්ඩුවට ගෙන ඇමැති ධුර ලබාදීමේ උත්සාහයක්ද ආණ්ඩුව පැත්තෙන් මේ වන විට ක්‍රියාත්මකව ඇති ආකාරයක් දැකගන්නට ලැබේ. ඒ අනුව මේ වන විට සජබෙන් විසිවීමට ඔන්න මෙන්න කියා සිටින හතර දෙනකු මෙසේ ආණ්ඩුවට ගැනීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් සැලසුම් සකස් වී ඇති බවක් දැනගන්නට ඇත. මෙම හතර දෙනා පසුගිය කාලය පුරාම ආණ්ඩුව සමග ඩීල් දමාගෙන සිටි පුද්ගලයන් බවට චෝදනා එල්ලවී තිබූ අතර, උදේ සවස ආණ්ඩුවේ නියෝජිතයන් හමුවී කතාබස් කරන අය ලෙසටද චෝදනා එල්ල වී තිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග එජාපයේ බොහෝ දෙනකු පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ මෙසේ ආණ්ඩුවට ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් හට කිසිදු ජනතා සහයෝගයක් නොමැති බවත්, මේ ආකාරයේ පුද්ගලයන් එජාපයට ගන්නවාට වඩා පක්ෂක් ලෙස සමගි ජන බලවේගය එක්කරගත හැකි නම් එය වාසිසහගත බවත්, එජාප ඡන්ද ඇත්තේ සජබය සතුව මිස මෙවැනි පුද්ගලයන් මත නොවන බවත්ය.
චන්ද්‍රිකා බෑ කියයි
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය මුල්කරගෙන ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ශ්‍රීලනිපය මුල්කරගෙන සන්ධානයක් ගොඩනැගීමට එහි පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, පොදු පෙරමුණේ පුටුව ලකුණ යටතේ එම සන්ධානය බිහිකිරීමට සැලසුම් කර ඇති බවත්, ශ්‍රීලනිපයේ හිටපු සභාපති චන්ද්‍රිකා කුමාරතුංග නැවත වතාවක් දේශපාලන කරළියට රැගෙනවිත් ඇය එහි නායකත්වයට පත්කිරීමට සැලසුම් කර ඇති බවත් අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. අමරවීර ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පෙරමුණ ගෙන තිබුණද, ශ්‍රීලනිපයේ තිලංග ඇතුළු තවත් පිරිසක් ඊට විරෝධය පළකරමින් සිටින බවද අපි එහිදී අනාවරණ කළෙමු. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ නම කරළියට පැමිණියද පසුගිය සති දෙක පුරාම ඇය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චන්ද්‍රිකා කියා සිටියේ තමන් සම්බන්ධයෙන් යම් යම් මාධ්‍යවල පළව ඇති තොරතුරු අසත්‍ය බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයකු සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත්ය. එමෙන්ම බිහිවන නව සන්ධානයේ නායකත්වය තමාට ලබාදෙන බව කියැවුණද ඒ සම්බන්ධයෙන්ද ඇය තවමත් තීරණයක් ගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන්ව ඇත. හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කොට තිබූ එම නිවේදනය පහත පළවේ.
පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමා විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එතුමිය ප්‍රකාශ කර සිටී. මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබාදීමට එතුමිය තීරණය කර නොමැත.
තවද පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය එතුමිය භාරගන්නා බවට වාර්තා පළවුවත්, ඒ සම්බන්ධයෙන්ද එතුමිය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අවධාරණය කර සිටිමු.
තවත් ප්‍රකාශ දෙකක්
මීට අමතරව පසුගිය සතියේ චන්ද්‍රිකා තවත් විශේෂ ප්‍රකාශයන් දෙකක් සිදුකළාය. ඉන් එකක් ඇය සිදුකළේ ආණ්ඩුව පසුගියදා සම්මත කරගත් ඔන්ලයින් පනත සම්බන්ධයෙන්ය. ඊට සිය විරෝධය පළකරමින් අදහස් දැක්වූ චන්ද්‍රිකා කියා සිටියේ මේ හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා වනු ඇතැයි කියාය. මීට අමතරව ඇය පසුගියදා කදිරගාමර් ආයතනයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකළාය. ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ය. ඇය එහිදී කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේදී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු යැයි කියාය.
අනුර මව්රටට කතාකරයි
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ හදිසි ඉන්දීය සංචාරය මේ වන විට රට ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පක්ෂ විපක්ෂ බොහෝ පිරිස් එය දැඩිව විවේචනය කිරීමට පටන්ගෙන තිබීම නිසාය. බොහෝ දෙනා සඳහන් කරන්නේ දැඩි ඉන්දීය විරෝධී මතයක සිටි ජවිපෙ වැනි පක්ෂයක් ඉන්දියාවට ගෙන්වාගෙන එම ඉන්දීය විරෝධය අවසන් කරගැනීමට මෙම සංචාරය හරහා ඉන්දියාව කටයුතු කොට ඇති බවකි. එම චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් අනුර, විජිත හා හරිනි මාධ්‍ය වෙත සඳහන් කොට තිබුණේ ජවිපෙ යනු කාලානුරූපීව වෙනස් වන පක්ෂයක් බවත්, එසේ වෙනස් වීමට ජවිපෙ සූදානම් බවත්ය.
කෙසේ වෙතත් අනුරගේ ඉන්දීය සංචාරය මුල්කරගෙන පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ එක්තරා අනාවරණයක් සම්බන්ධයෙන් යම් විවාදයක් මතුව තිබිණි. අප එහිදී අපට ලැබුණු තොරතුරුවලට අනුව සඳහන් කර සිටියේ අනුර ඉන්දියාවට යද්දී අනුර පිළිගැනීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය නවදිල්ලි ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවකි. එහිදී අප අනුර හා ක්ෂෙනුකා එකට සිටින ඡායාරූපයද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප මෙම ඡායාරූපය පළකරමින් ප්‍රශ්න කොට සිටියේ සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කැබිනට් ඇමැතිවරයකු ඉන්දියාවට යද්දී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ගුවන් තොටුපළට පැමිණ ඔවුන් පිළිගැනීම සම්ප්‍රදාය වුවත් විපක්ෂයේ පක්ෂ නායකයකු හෝ මන්ත්‍රීවරයකු පැමිණෙන විට මහකොමසාරිස්වරිය පැමිණීමේ සම්ප්‍රදායක් නොමැති බවකි. එසේ කරන්නේ නම් කොළමින් යම් පණිවුඩයක් මහකොමසාරිස්වරිය වෙත ලැබිය යුතු බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
ඒක වුණේ මෙහෙමයි
කෙසේ වෙතත් අපගේ මෙම අනාවරණය දුටු අනුර ඉන්දීය සංචාරය අවසන් කොට ලංකාවට පැමිණි වහා ‘රාජ්‍ය රහස්’ තීරය වෙත දුරකතන ඇමතුමක් ලබාදී මෙම ඡායාරූපයේ පසුපස තිබූ කතාව පැහැදිලි කිරීමට කටයුතු කළේය. එහිදී අනුර කියා සිටියේ මෙය දිල්ලි ගුවන් තොටුපළේදී ගත් එකක් නොව ඉන්දීය විදේශ අමාත්‍යාංශය මගින් සංවිධාන කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ගත් එකක් යැයි කියාය.
‘මේක මාව පිළිගන්න දිල්ලි ගුවන් තොටුපළට ඇවිත් ගත්ත ෆොටෝ එකක් නෙවෙයි. ඉන්දීය විදේශ අමාත්‍යාංශය අපිට ආරාධනා කරලා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයේදී ගත්ත ෆොටෝ එකක්. ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඒකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරියටත් ආරාධනා කරලා තිබුණා. එතැනදී ඇය ඇවිත් මගෙත් එක්ක කතා කරලා ඉල්ලීමක් කළා ඡායාරූපයක් ගමුද කියලා. ඒකට මම විරුද්ධ වුණේ නෑ. ඒක තමයි මෙහේ මාධ්‍යවල පළවුණේ ඇය මාව පිළිගන්න දිල්ලි ගුවන් තොටුපළ වෙත ඇවිත් තිබුණා කියලා. ඒ කතාව බොරුවක්…’ යනුවෙන් අනුර ‘රාජ්‍ය රහස්’ තීරය වෙත දැනුම් දී සිටියේය.
තවත් ප්‍රශ්න වැළක්
කෙසේ වෙතත් මේ හරහාද යම් ගැටලු ගණනාවක් මතු නොවනවා නොවේ. අනුරගේ ඉන්දීය සංචාරයේදී ක්ෂෙනුකා සහ අනුර මුණගැසුණු ඡායාරූපය මෙරට මාධ්‍යවල පළවෙද්දී සහ ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු සමාජගත වෙද්දී අවම වශයෙන් ආණ්ඩුව හෝ මෙරට විදේශ අමාත්‍යාංශය හෝ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය හෝ ඒ පිළිබඳ නිවැරැදි කිරීමක් හෝ එම පුවත ප්‍රතික්ෂේප කිරීමක් සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. සාමාන්‍ය සම්ප්‍රදායක් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු මුල්කරගෙන වැරැදි ප්‍රවෘත්තියක් මාධ්‍යවල පළවන්නේ නම් ආණ්ඩුවෙන් හෝ විදේශ අමාත්‍යාංශයෙන් එම පුවත නිවැරැදි කිරීමය. නමුත් මෙහිදී එවැන්නක් දැකගන්නට නොලැබුණු අතර, එය වුවමනාවෙන් මගහැරියාද යන්න පිළිබඳ යම් සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
අනෙක් අතට ක්ෂෙනුකා මෙය පෞද්ගලික මට්ටමින් ගත් ඡායාරූපයක් නම් එය රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද ඇත්තේ බරපතළ ගැටලුවකි. එවැනි පෞද්ගලික මට්ටමේ ඡායාරූපයක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළවීමට නම් එම ඡායාරූපය කොළඹට එවා කාගේ හෝ යම් අනුමැතියක් යටතේ පළවූ බවට අනුමාන කළ හැකිය. එසේ නොවී එම ඡායාරූපය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළවූයේ නම් ඇයට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. එම නිසා එම ක්ෂෙනුකා සහ අනුරගේ ඡායාරූපය උපයෝගී කරගෙන යම් කිසි පිරිසක් මාධ්‍ය මෙහෙයුමක් සිදුකර ඇති බව මෙහිදී අනුමාන කළ හැකිය.
අනුර ඩුමුක අමුල් අමුල්
මේ සියලු සිදුවීම් අතරේ අනුරගේ ඉන්දීය සංචාරය අතරතුර අමුල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමද මේ වන විට රට ඇතුළේ මහත් ආන්දෝලනයක් මතුකර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මේ වන විට ආණ්ඩුවට අයත් මිල්කෝ සමාගම සහ එහි ඉඩම් ඉන්දියාවේ අමුල් සමාගම විසින් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ ඇත්තේ අවසන් අදියරට ළංවය. දැනටමත් අමුල් සමාගමට ලබාදෙන මිල්කෝ ඉඩම් පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණ ඇති බවද ආරංචිය. ඒ අනුව ඊට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ගොවීන් සමග එක්ව පෙත්සමක්ද පසුගිය සතිය වන විට අස්සන් කොට තිබිණි. එවැනි පසුබිමක් යටතේ අනුර ඉන්දියාවේ අමුල් සමාගමට ගොස් සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශ්වයන්ගෙන් ජවිපෙට එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි. මෙය පසුගිය සතියේ සටන් පාඨයක් බවට පත්කොට සමාජගත කිරීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව කලක් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයාව කටයුතු කළ විමල් වීරවංශය. විමල් ඒ සඳහා උපයෝගී කරගෙන තිබුණේ මේ දිනවල සමාජ මාධ්‍යවල අතිශය ජනප්‍රිය ගීත ඛණ්ඩයක් වන ‘අමුක ඩුමුක අමල් ඩුමල්’ කොටසය. ඊට අනුව සම්බන්ධ කරමින් විමල් කියා සිටියේ එය මේ වන විට ‘අනුර ඩුමුක අමුල් අමුල්’ වශයෙන් වෙනස් වී ඇති බවයි.
නාමල් දිනුම්
කෙසේ වෙතත් අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසු මෙරට දේශපාලකයන් රැසකටම ඉන්දියාවට ආරාධනා කොට ඇති බව අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානය සිටින බවද අපි කියා සිටියෙමු. නමුත් මේ සියලු දෙනාට පළමුව පසුගිය සතියේ ඉන්දියාවට ගියේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ තරුණ නායක නාමල් රාජපක්ෂය. නාමල් සිය බිරිය වූ ලිමිනි රාජපක්ෂද සමගින් එසේ ඉන්දියාවට ගියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබූ උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යාවේ පිහිටා ඇති දැවැන්ත රාම කෝවිල වන්දනාමාන කිරීම සඳහාය. මෙම කෝවිල විවෘත කිරීමෙන් පසු එය වැඳපුදාගත් ලංකාවේ පළමු දේශපාලනඥයා වන්නේද නාමල්ය.
මේ අතරතුර නාමල් මේ දිනවල සිටින්නේ ‘දසබල සේනා’ හරහා යළි පොහොට්ටුව ගමට රැගෙන යෑමේ ප්‍රචාරක වැඩසටහන් මාලාවක නිරතවය. මෙහිදී වරක් මාධ්‍යවේදීන් නාමල්ගෙන් විමසා සිටියේ වත්මන් ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා හට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට පොහොට්ටුව තීන්දුවක් ගෙන තිබේද යන්නය. ඊට පිළිතුරු දුන් නාමල් කියා සිටියේ එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරයාට නොදෙන බවත්ය.
පොහොට්ටුවේ ගැටුමක්
කෙසේ වෙතත් නාමල්ගේ මෙම ප්‍රකාශය හරහා පොහොට්ටුව ඇතුළේ යම් අර්බුදයක් පැනනැගී ඇති බවක් පෙනීයන්නේ පොහොට්ටුවේම ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශයත් සමගය. ප්‍රසන්න කියා සිටියේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඊට සහාය දක්වන බවත්, ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවත්ය.
මේ ආකාරයට ප්‍රසන්න ජනාධිපතිවරයාට සහාය පළකරන බව කියද්දී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාද දසබල සේනා වැඩසටහන අතරතුරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවකි. ඒ අනුව ජනාධිපතිවරණය මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ යම් අර්බුදයක් ගොඩනැගෙමින් පවතින බව මේ ප්‍රකාශ හරහා පැහැදිලිය.
වාහන පර්මිට් යළි එළියට?
මේ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු යම් තොරතුරකින් දැනගන්නට ලැබී තිබුණේ මෙතෙක් නවතා තිබූ තීරුබදු රහිත වාහන බලපත්‍ර යළිත් මන්ත්‍රීවරුන්ට ලබාදීමට සූදානමක් ඇති බවය. මෙම තොරතුරු වාර්තා වීමත් සමග ගිය කසුකුසුවලින් කියැවුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින මේ අවස්ථාවේදී තීරුබදු රහිත වාහන බලපත්‍ර මන්ත්‍රීවරුන්ට ලබාදීම හරහා ඔවුන් ඊට බිලී බාගැනීමේ සූදානමක් පවතින බවට සැක මතුවන බවකි.
මෛත්‍රී අමෙරිකා ගියේ ඇයි
මේ අතර පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ අනාවරණ කළ පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉන්දියාවේ හා ඇමෙරිකාවේ සංචාරය කිරීමට කටයුතු කොට තිබිණි. අප එහිදී මෛත්‍රී 13, 14, 15 තෙදින ඇමෙරිකාවේ ගතකොට 16 වැනි දින ඉන්දියාවට පැමිණෙන බව අනාවරණ කළද අවසන් මොහොතේ මෛත්‍රී පළමුව ඉන්දියාව බලා ගොස් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙවර අප මෛත්‍රීගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කිරීමට සූදානම්ය. ඒ, මෙම සංචාරයේ පසුබිම් කතාව පිළිබඳවය.
මෛත්‍රී මෙම ඇමෙරිකානු සංචාරය සැලසුම් කරගැනීම සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත පණිවුඩ කිහිපයක් යවමින් දැනුම් දී තිබුණේ තමන්ට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙසටය. කිහිප වතාවක්ම කළ දැනුම්දීම්වලින් පසු චන්ග් මේ ඉල්ලීම පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙරළා විමසා තිබුණේ කුමන කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෛත්‍රීට අවශ්‍යව තිබේදැයි කියාය. ඒ පිළිබඳ විමසීමෙන් පසු මෛත්‍රීගේ පිළිතුර වී ඇත්තේ ‘සන්ධානය’ පිළිබඳ තමන්ට ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය යැයි කියාය. මෛත්‍රීගේ ඇමෙරිකානු ගමනට පසුබිම සැකසෙන්නේ ජූලි චන්ග් හරහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා මෛත්‍රී අතර සිදුවුණු මෙම පණිවුඩ හුවමාරුව හරහාය.
කෙසේ වෙතත් මෛත්‍රීගේ මෙම ඇමෙරිකානු සංචාරයේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සාකච්ඡා සඳහා නම්කොට තිබුණේ එරට දෙවැනි පෙළ නියෝජනය කරන නියෝජිතවරියකි. ඒ, දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර නියෝජ්‍ය සහකාර ලේකම්වරිය වූ අෆ්රින් අක්තාර් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසකි. නමුත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ මෛත්‍රී මෙසේ හදිසියේම ඇමෙරිකාව බලා ගොස් එරට බලධාරීන් සමග සාකච්ඡා කළ ‘සන්ධානය’ කුමක්ද යන්න කියාය.