අපගේ ඉතිහාසය පුදුමසහගතය. එය නිරතුරුවම පුනරාවර්තනය වෙමින් පවතී. කාලයෙන් කාලයට එක හා සමාන දේ සිදුවන්නේද පුදුමය දනවන ආකාරයටය.
ලංකාව තුළ ගෙවුණු කාලයේ පැවැති භීෂණ සමයේදී අපගේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, තායිලන්තය වැනි ආසියාතික රටවල් කරාද, ජර්මනිය, ප්‍රංශය වැනි බටහිර රටවල් කරාද අපගේ භික්ෂුන් වහන්සේලා පලායන්නට වූහ. එසේ පලාගිය භික්ෂුන් වහන්සේලා සැවොම මේ වනවිටත් සිය මවුබිමට පෙරළා පැමිණ ඇතැයි කිව නොහැකිය.
මෙය පසුගිය භීෂණ සමයේදී පමණක් සිදුවූවක් ද නොවේ. ලක් ඉතිහාසයේ ඈත අතීතයේද මෙවැනි සිද්ධි දාමයන් අප්‍රමාණව සිදුව තිබේ. Sri Lanka Latest News
අප ලක් ඉතිහාසය දෙස එබී බලන විට ක්‍රි.ව. හත්වැනි සියවසේදීත් මේ ආකාරයේ අභාග්‍යසම්පන්න සිදුවීම් සිදුව ඇති බව පෙනේ. එදවස අප රට පාලනය කළ දෙටුතිස් රජු පරාජයට පත් කොට තුන්වැනි අග්බෝ රජු (ක්‍රි.ව. 624 – 640) රාජ්‍ය පාලන බලය සියතට ගත්තේය. මෙම ආක්‍රමණය ගැන කිපුණු පළමු වැනි දාඨෝපතිස්ස රජුද ඔහුට එරෙහිව නැගී සිටියේය. මෙම තත්ත්වය උද්ගත වූයේ ක්‍රි.ව. 640 – 652 කාලය තුළදීය. මෙකී කාලයද මෙරට අතිබිහිසුණු සටන් පැවැති සමයකි.
එදා මෙරට පාලනය කළ දෙටුතිස් රජුට එරෙහිව සටන් මෙහෙයවා, රටේ පාලන බලය සියතට ගැනීමට අග්බෝ රජු දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ සේනාවෝ ගෙන්වා ගත්හ. එසේ මෙරටට දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් ද්‍රවිඩ හමුදා සේනාවක සහාය ලබාගෙනය දෙටුතිස් රජු පරාජය කොට, රටේ පාලන බලය සියතට ගනු ලැබුවේ.
අග්බෝ රජුට එම සටන පාරාවළල්ලක්ම වූයේය. මෙම රජු ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද ද්‍රවිඩ සෙබළ මුළුවේ සහාය ලබාගෙනම දාඨෝපතිස්ස රජුද අග්බෝ රජු පරාජයට පත්කොට ලක් රජයේ පාලනය සියතට ගත්තේය. මෙම කාල පරාසයද ලක්දිව ඉතා බිහිසුණු ලෙස සටන් පැවැති යුගයක් ලෙස සැලකේ.
මහාවංශය ඒ ආකාරයෙන් බලයට පැමිණි පළමු වන දාඨෝපතිස්ස රජුගේ පාලන කාලය පිළිබඳ මෙවන් සටහනක් තබා තිබේ.
‘දකුණු ඉන්දියානු දෙමළ සේනාව හා එක් වූ රජු ලෝ සසුන් පෙළුවේය. ඒ දාඨෝපතිස්ස රජු තෙමේ පූර්ව රජුන් සතු සියල්ල නැසීය. මහාපාලි නම් බත්හල ඔරු දෙමළුන්ට දිණ’
උද්ගත වූ මෙම තත්ත්වය හමුවේ එදා ලක්දිව වැඩවාසය කළ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මෙරටින් පිටව ගියහ. මෙම භික්ෂු පිරිස් ඉන්දියාවට වැඩමකොට එහි රැකවරණ පැතූහ. මෙම රාජ්‍ය පාලන ව්‍යුහය තුළින්ම ඇතිවූ ශාසන විලෝපනය මෙයට තදින් බලපෑවේය. රට තුළ උද්ගතව පැවැති යුද කෝලාහල කරණ කොට ඇතිවූ අහේනියද මෙම තත්ත්වයට අනෙක් හේතුව වන්නට ඇතැයි සිතිය හැකිය.
මෙම භික්ෂුන් වහන්සේලාගෙන් පිරිසක් දකුණු දඹදිව සාංචිපුරයේදී හියුං සාං නමැති චීන ජාතික භික්ෂුන් වහන්සේට මුණගැසුණහ.
උන්වහන්සේ ඒ වනවිට සාංචි පුරයට වැඩම කොට සිටියේ ලක්දිව කරා වැඩම කරවීමේ අදහසිනි. ඒ වනවිට මෙරටින් පලාගොස් සිටි භික්ෂුන් වහන්සේලා හියුං සාං හිමියන්ට එසේ මුණගැසුණේ, උන්වහන්සේ මෙරටට පැමිණීමට කල්යල් බලමින් සිටියදීය.
එදා මෙරටින් ඉන්දියාවට වැඩම කොට සිටි භික්ෂුන් වහන්සේලා හමුවූ චීන ජාතික හියුං සාං හිමි, උන්වහන්සේගෙන් මෙරට තතු විමසූහ. එසේ තතු විමසීමේදී, ඒ වන විට මෙරට උද්ගතව පැවැති දරුණු යුද ගැටුම් පිළිබඳ මෙන්ම, රට තුළ මතුව පැවැති ශාසන විලෝපනයද හියුං සාං හිමියන්ට සැල කළහ.
මෙම තොරතුරු කන වැකුණු හියුං සාං හිමියෝ ලක්දිව කරා ඒමට තමන් තුළ පැවැති අපේක්ෂාව අත්හැර දැමූහ. එයින් නොනැවතුණු උන්වහන්සේ ‘භ්‍රමණ වෘත්තාන්තය’ යැයි පොතක් ලියූහ. ලක්දිව පැවැති යුද ගැටුම් නිසා ඉන්දියාවට ගොස් සිටි මෙරට භික්ෂුන් වහන්සේලාගෙන් අසා දැන කියාගත් සියලු තොරතුරු උන්වහන්සේ සිය ග්‍රන්ථයට ඇතුළත් කළහ.
ලක්දිව පුරාණ ඉතිහාසය හදාරන අයට අදටද හියුං සාං හිමියන් එදා ලියූ ‘භ්‍රමණ වෘත්තාන්තය’ ග්‍රන්ථයේ මූලාශ්‍රයන් භාවිත වන අයුරු දැකිය හැකිය.
චීන රාජාණ්ඩුව එවකට පනවා තිබූ තහනමද නොතකමින් හියුං සාං හිමියන් එදා චීනයෙන් පිටව පැමිණ තිබිණි. ඒ ක්‍රි.ව. 629 දීය. මෙම ගමනට මුලින් එක්ව සිටි බොහොම දෙනෙක් තැන තැන අතරමග නැවතුණහ.
හියුං සාං හිමියන් කවුරු මග නැවතුණා වුවත්, උන්වහන්සේට ඒකායන අරමුණක් තිබිණි. උන්වහන්සේ දැඩි ලෙස ධර්ම පිපාසයෙන් පෙළුණාහ. තම අරමුණු සාක්ෂාත් කරගැනීමට උන්වහන්සේ අනේකවිධ ගැහැට, පීඩා විඳදරාගෙන අන්තිමේදී දඹදිව හෙවත් එදා ජම්බුද්වීපය ලෙස හැඳින්වූ ඉන්දියාවට සැපත් වූහ. එදා එලෙස දඹදිවට වැඩම කොට එහි කළ චාරිකාවේදී ලබාගත් බොහෝ කරුණු කාරණා සහිත තොරතුරුද හියුං සාං හිමියෝ සිය ග්‍රන්ථයට ඇතුළත් කළහ.
එකල දකුණු දඹදිව නාලන්දා බෞද්ධ සරසවියේ, දස වසරකට අධික කාලයක් පුරාවට මැනවින් බුද්ධ ධර්මය හදාරන ලද චීන ජාතික හියුං සාං භික්ෂුන් වහන්සේ ධර්ම පුස්තක රැසක් ලියූ බවද, පසුව ක්‍රි.ව. 645 දී උන්වහන්සේ යළිත් චීන දේශයට වැඩම කළ බවද දේශාටන වාර්තාවල දැක්වේ.
උන්වහන්සේගේ ‘භ්‍රමණ වෘත්තාන්තය’ කෘතිය පසු කලෙක ලෝ පතළ ග්‍රන්ථයක් බවටද පත්විය. හියුං සාං හිමියන්ගේ එම දේශාටන ග්‍රන්ථයෙහි ‘ලක්දිව’ ගැනද වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කර තිබේ. එහි ඇතුළත් තොරතුරුවලින් කොටසක් මෙසේ දැක්විය හැකිය.
‘සිංහලද්වීපය වට ප්‍රමාණය අතින් බලන විට ලී (සැතපුමෙන් හයෙන් පංගුව) හත්දාහකි. පරිධිය ලී හතළිහකි. උණුසුම් දේශගුණයක් පවතී. ඉතා සරුසාර පොළොවක උරුමයද පවතී. එබැවින් භවභෝග හා ධාන්‍ය සම්පත්තියෙන් හිඟයක් නොමැත්තේය. තවද රටතුළ පවත්නා, වෘක්ෂලතා මල් ඵල බරව ඇත. එසේ බලන විට මේ රට සමෘද්ධිමත් එකකි.’
‘රට තුළ ඉතා අධික ජනගහනයක් වෙසෙති. මොවුහු කාල වර්ණ සිරුරින් යුක්ත වූවෝ වෙති. මේ අය පිනට දහමට ළැදිය. ලක්දිව වැසියෝ පින් රැස් කිරීමට, ගුණධර්ම තුළ ජීවත්වීමට මෙන්ම සිප්සතර හැදෑරීමටද කැමැත්තෝය. එසේම නපුරු ගති ඇත්තෝද වෙති.’
මෙය රත්නද්වීපය ලෙසද හැඳින්වේ. ඊට හේතුව වී ඇත්තේ ලක්දිව තුළ බිහිවන අගනා රත්නයන් නිසාවෙනි. අතීතයේදී එය අමනුෂ්‍යයන්ගේ වාසභූමියකි.
ඈත අතීතයේ දිනෙක දකුණු දඹදිව එක්තරා ප්‍රදේශයක වැසි කුමරියක් ඊට අසල්වැසි රාජ්‍යයක කුමාරයකුට විවාහ කරදීම සඳහා කැඳවාගෙන යමින් සිටියදී සිංහ රාජයකු පැමිණ ඉහත කුමරිය පැහැරගෙන ගියේය. මෙම සිංහයාට දාව ඉපදුණු සිංහ පුත්‍රයා වැඩුණු පසු තම පියා මරා දැම්මේය. එසේ කිරීමෙන් සිංහ පුත්‍රයා අපේක්ෂා කළේ රජුගෙන් වස්තු සම්පත් ලබාගැනීමය.
‘පීතෘ ඝාතකයකු වූ සිංහ කුමරුවා ගැන රජුගේ සිතෙහි තද කෝපයක් හටගත්තේය. රජු කළේ මෙම කුමරුවා එක් නැවකද, එකී කුමාරයාගේ සහෝදරිය තවත් නැවකද නංවා මුහුදේ පාකර හැරීමය. මෙකී කුමරු රැගත් නැව පාවී ආවේ රත්නද්වීපයටය. එසේ පැමිණි සිංහ කුමාරයා මෙහි රත්නයන් තිබෙනු දැක එයට ලොබ බැඳ එහිම වසන්නට විය. එකල මැණික් සොයමින් රත්නද්වීපයට පැමිණි වෙළෙඳුන් මරාදැමූ සිංහ කුමාරයා, ඔවුන්ගේ දරුවන් රට තුළ රඳවා ගත්තේය. කලක් ගතවී යත්ම කුමරු රත්නද්වීපයේ රාජ්‍යයක් පිහිටුවා ගත්තේය. රත්නද්වීපය ලෙස එතෙක් හැඳින් වූ රට ‘සිංහලද්වීපය’ යන නම ගත්තේ එදාය.
තම පියා වූ සිංහයා මරාදැමූ සිංහ පුත්‍රයා සිංහද්වීපයේ ආදි පුරුෂයා වීම රටට ඒ නම ලැබීමට හේතුවිය. මෙම සිංහ කුමාරයාගේ සහෝදරිය රැගත් නැව සේන්දු වූයේ පර්සියාවටය. මැයගෙන් එම දේශයේ ස්ත්‍රී පරපුරක් ආරම්භ විය.
සිංහල ජාතියේ ආරම්භය සිදුවූ ආකාරය කියාපාන ‘මහාවංශ’ කතාවට මෙය බෙහෙවින් වෙනස් බැව් පැහැදිලිය. එහි සඳහන් වන්නේ විජය පුවතට අනුව මෙරට සිංහල ජාතිය ආරම්භ වූ බවය.
හියුං සාං හිමියන් ඒ පිළිබඳ තවත් පුවතක් සඳහන් කර තිබේ. එයින් කියැවෙන්නේ සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේ සිංහල නම් වෙළෙන්දකුගේ සිංහල නම් පුත්‍රයකුගෙන් බවය. එදා විජයට යක්ෂයන් සමග සටන් කිරීමට සිදවූ ලෙසටම සිංහලටද රාක්ෂයන් සමග සටන් කරන්නට සිදුවිය. සිංහලට මෙම සටන කරගෙන යාමට දිව්‍යමය අශ්වයකුගේ සහාය ලැබී තිබේ.
මෙම සටන පැවැති එක් අවස්ථාවකදී සිංහලට සිය සගයින් සමග පලායන්නට සිදුවිය. ඔවුන් එසේ පලාගියේද ඉහත කී අශ්වයාගේ පිහිට ඇතිවය. ඔවුන් හඹාගිය පසු රාක්ෂ රැජින සිංහල පලාගිය රාජ්‍යයේ මාලිගයෙහි විසූ සියලු දෙනාම මරා කෑවාය. රට වැසියන්ගේ කතිකාවකට අනුව සිංහල රජකමට පත්කර ගත්තේය. රත්නද්වීපය ලෙස හැඳින්වූ රට එසේ සිංහල යටතට පත්විය. චීන ජාතික හියුං සාං හිමියන් කියන මේ කතා පුවත ‘වලහාස’ ජාතක කතාවට බොහෝ දුරට සමාන බව නම් පෙනේ.
මෙම කතා පුවත් විචාරශීලීව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සිංහලද්වීපයේ ආරම්භක අවධිය ගැන, මේ රටේ පිළිගැනීමට ලක්ව ඇති කතා පුවත මෙරටින් ගිය භික්ෂුන් වහන්සේලාගෙන් අසා දැනගැනීමේ අවස්ථාව හියුං සාං හිමියන්ට නොලැබී ගිය බවය. නොඑසේ නම් එසේ දැන කියාගත් දෑ වැදගත් සේ නොසලකා හැරියා විය හැකිය. උන්වහන්සේ සිය ග්‍රන්ථය රචනා කිරීමේදී එවක නාවිකයන් මෙන්ම වෙළෙඳුන් විසින් පතුරුවන ලද වෘත්තාන්ත දෙකක් පාදක කොටගෙන ලියා ඇති බව පෙනීයයි.
හියුං සාං හිමියන් සිය ග්‍රන්ථයෙහි මහින්දාගමනය පිළිබඳවද තොරතුරු සඳහන් කර තිබේ. ඉන් සමහර කොටස් වැරදිසහගත බැව් පෙනේ. එහි දැක්වෙන ආකාරයට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගෙවීගිය පසු අශෝක අධිරාජයාගේ බාල සොහොයුරු මහේන්ද්‍ර කුමාරයා පැවිදිවී, රහත් බව ලබා ඍද්ධි බලයෙන් සිංහලද්වීපයට පැමිණ මෙහි සත්‍ය ධර්මය පිහිටු වූ බවයි.
මුලදී මිථ්‍යාදෘෂ්ටිකයන් වූ මෙරට වැසියන් සම්‍ය දෘෂ්ටික වූයේ එතැන් පටන් බවද එහි කියැවේ. ඔවුහු එදා භික්ෂුන් වහන්සේලා විසිදහසකගේ වාසය ඇති විහාරාරාම සියයක් ගොඩනැගූ බවද උන්වහන්සේ පවසති.
ඒ ආකාරයට මෙරට බුදු සසුන පිහිටුවා වසර දෙසීයක් ගෙවුණු පසු මහා විහාරය සහ අභයගිරිය අතර නිකාය භේද ඇතිවූ බවද උන්වහන්සේ සඳහන් කරති.
මෙම කරුණු විමසා බැලීමේදී පැහැදිලි ලෙසම පෙනීයන්නේ හියුං සාං හිමියන් කරුණු කාරණා වරදවා වටහාගෙන ඇති බවයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගෙවුණු පසු ඉන්දියාවේ විසුවේ අශෝක අධිරාජයා නොව, කාලාශෝක රජතුමාය. එකල පැවැතියේ දෙවැනි ධර්ම සංගීතියයි. ශාසන ඉතිහාසයේ කාලාශෝන රජගේ මෙහෙයවීමෙන් ධර්ම ප්‍රචාරක සේවා සිදුකළ බවක් සඳහන් වන්නේ නැත.
ලක්දිවට මිහිඳු මාහිමියන් වහන්සේ විසින් බුදු දහම හඳුන්වා දෙමින්, බුදු සසුන පිහිටුවනු ලැබුවේ තුන්වැනි ධර්ම සංගීතියෙන් පසුව බව පැහැදිලි මතයකි.
මිහිඳු හිමියන් ධර්මාශෝක රජුගේ පුත්‍රයකු බව මහාවංශය කියයි. එදා දඹදිව රජ කළේ දේවානම්පියතිස්ස රජු බවද මහාවංශයේ වැඩිදුරටත් දැක්වෙයි. එම කාලවකවානුව බුද්ධවර්ෂ 236 වේ. ඒ කියන්නේ අදට හරියටම බුද්ධ වර්ෂ 2331කට පෙරය.
මෙරට නිකාය භේදය හටගත් කාලය විමසීමේදී එය බුද්ධවර්ෂ 455න් පසු වළගම්බා රජු දවස සිදුවූ බව පෙනීයයි. ඒ අනුව සැලකීමේදී හියුං සාං හිමියන්ගේ පුකාශය නම් නිවැරදි බව පෙනේ. එසේම දළදා මන්දිරය රාජ භවනට ආසන්නයේ තැනීම කළ යුතු බවට පැවැති මතයකි. එය මහනුවර යුගයේ අවසානය දක්වාම පැවැති සිරිතද විය. හියුං සාං හිමියන්ගේ ප්‍රකාශයට අනුව ‘රජ තෙමේ දිනකට තෙවරක් දන්ත ධාතුව සුවඳ පැනින් නහවන්නේය. තවත් අවස්ථාවලදී සවඳ සුණුවලින්ද නහවති’ යන චාරිත්‍රද විස්තර කරනු ලබයි. දළදා මන්දිරය ගැන විසිතුරු ලෙසින් වර්ණනාවක්ද සිදුකරයි.
එදා දාඨෝපතිස්ස රජ සමයේදී ශාසන විලෝපනයක් පැවැතියද, දළදා වහන්සේ වැඩ සිටි මන්දිරයට හානි සිදුවූ බවක් මහාවංශයේද සෙසු ඉතිහාස ග්‍රන්ථයන්හිද සඳහන් වන්නේ නැත. එබැවින් ඉහත තොරතුරු නම් අවිවාදිතව පිළිගත හැකිය.
උන්වහන්සේගේ ඉහත චාරිකා සටහනෙහි රන් පිළිමයක් සහ ඒ පිළිබඳ රසවත් කතා පුවතක්ද සඳහන් කර තිබේ. එය කවර කලෙක සිදුවූවක් දැයි සඳහන් නොවේ. මහාපාලි දන්සලේ දන්දීම් කටයුතු නොකළ බවද පැවැසේ. දාඨෝපතිස්ස රජු ‘මහාපාලි’ නම් බත්හල ඔරු දෙමළුන්ට දුන් නිසා දානමාන කටයුතු නතරව තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.
‘ලංකාවතර සූත්‍රය’ මහායානික සූත්‍රයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා සූත්‍රයකි. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරනු ලැබුවේ ලංකා පර්වතයේදී බවද පැවැසේ. මෙම ‘ලංකාවතර සූත්‍රය’ මලය පර්වතවාසී රාවණ රජුට දේශනා කරන ලද බවද එකී සූත්‍රයෙහිම දැක්වෙයි.
අමනුෂ්‍යයන් වාසය කරන ලංකා පර්වතය ලක්දිව ගිනිකොන දෙස පිහිටි බවද හියුං සාං හිමියන් ඉහත කී චාරිකා සටහනේ ලියා තිබේ. මෙම පුවත මහායාන සූත්‍රය පසුබිම් කොටගෙන ලියන ලද්දක් බවද පෙනේ.
උන්වහන්සේගේ ඉහත සටහනේ මුතු කිමිදීම ගැනද සඳහන් කරයි. පළමුව දෙවියන් පුදා මුතුපර කඩන හැටිද එහි විස්තර කෙරේ. රටේ රජු ඊට සහභාගි වන බවද, රට වැසියන් ලබාගන්නා මුතුවලට රජුට බදු ගෙවිය යුතු බවද එහි සඳහන්ය.
මෙම කරුණු හැරුණු විට අද්භූත දූපත් සහ කතා පුවත්ද එහි සඳහන් වේ. මේ ආකාරයේ අද්භූත කතා රාශියක්ම චීන ජාතික හියුං සාං හිමියන්ගේ ‘භ්‍රමණ වෘත්තාන්තයේ’ දැකිය හැකිය.

නන්දන ඩී. කෙහෙල්ගමුව










