ආණ්ඩුකාරයාට කැපිල්ලක්ද?
මාලිමා ආණ්ඩුව යටතේ පළමු වතාවට රට මේ වනවිට යම් ආර්ථික අර්බුදයක සිරව සිටින බව විවෘතව කතා කරනා ඕනෑම අයකු අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. එම ආර්ථික අර්බුදය මුල්කරගෙන ආණ්ඩුව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් යම් දේශපාලන අර්බුදයකට තල්ලු වෙමින් සිටින ආකාරයේ ලකුණු පහළ කොට ඇති බවක්ද මේ වනවිට දැකගත හැකිය. සාමාන්‍යයෙන් මීට වසර 30කට පෙර කාලයේ නම්, එනම් 1994න් පසු ලංකාවේ බිහිවූ ආණ්ඩු කිසිදු ගැටලුවකින් තොරව වාර දෙකක්, එනම් වසර 10ක පාලන කලය සම්පුර්ණ කළද, මෑත කාලයේ බිහිවූ ආණ්ඩු වසර 10ක කාලය තබා, තමන්ගේ පළමු වාරය වූ වසර 5ක කාලය පවා ගෙනියන්නේ ඉතා අසීරුවෙන් යුතුව බවක් පෙනේනනට ඇත. 94 බලයට පත් චන්ද්‍රිකා 2005 තෙක් වසර 10ක් සිය පාලන බලය පවත්වා ගත්තාය. 2005 බලයට පත් මහින්ද 2015 තෙක් වසර 10ක් සිය පාලන බලය පවත්වා ගත්තේය. නමුත් 2015න් පසු බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩු කළේ වසර 4ක් පමණි. ඔහු දෙවැනි වාරයේ ජනාධිපතිවරණයකට හෝ ඉදිරිපත් නොවීය. 2019 බලයට පත් ගෝඨාභයට වසර 3කින් පසු සිය ධුරයට සමුදී ජනතා අරගලය හමුවේ පස්සා දොරෙන් වෙනත් රටකට පලා යන්නට සිදුවිය. ඉන් අනතුරුව ගෝඨාගේ ඉදිරි වසර දෙක සඳහා බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයෙන් ගෙදර ගියේය. එවැනි අස්ථාවර ආණ්ඩු තුනකින් පසු මාලිමාවෙන් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිවූයේ ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක අතිදැවැන්ත ජන වරමක් හිමිකර ගනිමිනි. නමුත් වසර එකහමාරක් ගතවන විට අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුවටද බරපතළ දේශපාලන සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට මේ වනවිට සිදුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඇතුළේ දේශපාලන අර්බුදයක් මතුවෙමින් පවතින ලකුණු පළමුවෙන්ම එළියට පෙනෙන්නට ගන්නේ ආණ්ඩුවේ තනතුරු දැරූ චරිත සහ මධ්‍යස්ථ මතධාරීන් එම ආණ්ඩුවෙන් ඉවත් වීමට පටන්ගැනීමත් සමගය. පසුගිය සතියේ එවැනි ආකාරයේ ආන්දෝලනාත්මක සිදුවීමක් ආණ්ඩුව ඇතුළේ සිදුවූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා වන හනීෆ් යූසුෆ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමත් සමගය. ඒ සමගම හනීෆ් යූසුෆ් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් ආකාරයක්ද දැකගත හැකි විය.
දේශපාලනය දන්නා කියන අය හොඳින්ම දන්නා කාරණාවක් වනුයේ හනීෆ් යූසුෆ් යනු ජනාධිපතිවරයාගේ ළඟම හිතවතකු බවය. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ හනීෆ් යූසුෆ් මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයට පෙර සිටම අනුර කුමාර දිසානායක මහතා සමග අතිශය සමීප හිතවත්කමක් පවත්වාගෙන ගියේය. එමෙන්ම තිරය පිටුපස වෙනත් දේශපාලන මෙහෙයුම්වලදීද සක්‍රීයව දායකත්වය ලබාදෙමින් කටයුතු කළ අයකු ලෙසට හනීෆ් යූසුෆ් මහතා ප්‍රකටය. නමුත් අප දන්නා තොරතුරුවලට අනුව නම් හනීෆ් යූසුෆ් මහතාට ආණ්ඩුකාර ධුරයේ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳ ගැටලුව මතුවූයේ අදක ඊයේක සිට නොව, මීට වසරක පමණ කාලයක සිටය. මන්ද යත් පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේද හනීෆ් යූසුෆ් මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමේ සූදානමකින් පසුවන බවට මාධ්‍ය වාර්තා පළකොට තිබිණි. ඒ පිළිබඳ කළ සොයාබැලීම්වලදී වාර්තා වූයේ හනීෆ් යූසුෆ් මහතාගේ සමීපයට පැලවත්තෙන් ඔත්තුකරුවන් යොදා තිබීම සම්බන්ධයෙන් යූසුෆ් මහතා කිසියම් අප්‍රසාදයකින් පසුවූ බවකි. එම ඔත්තුකරුවන් හනීෆ් යූසුෆ් මහතාගේ සෑම කටයුත්තකටම මැදිහත් වෙමින් තීන්දු තීරණ ගැනීමේ තත්ත්වයට පවා පැමිණෙද්දී හනීෆ් යූසුෆ් මහතා එය ඉවසුවේ නැත. ඒ අනුව වහාම ජනාධිපතිවරයා හමුවූ හනීෆ් යූසුෆ් මහතා මතුව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කොට මේ ආකාරයට තමන්ට කටයුතු කළ නොහැකි බවත්, එම නිසා තමන් තනතුරෙන් ඉවත් වීමට කටයුතු කරන බවත් දැනුම්දී සිටියේය. නමුත් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා හනීෆ් යූසුෆ් මහතාට දැනුම්දී සිටි කාරණාව වූයේ කලබල නොවන ලෙසත්, මේ අවස්ථාවේදී යූසුෆ් මහතා ඉල්ලා අස්වුවහොත් එය තමාටද අහිතකර ලෙස බලපානු ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට හිස නමමින් තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ රැඳී සිටීමට හනීෆ් යූසුෆ් මහතා කටයුතු කළේය.
නමුත් මේ අවස්ථාවේදී හනීෆ් යූසුෆ් මහතා කෙළින්ම සිය ඉල්ලා අස්වීමේ මාධ්‍ය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කොට කියා සිටියේ තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වුවද තවදුරටත් විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදේශක ධුරයේ කටයුතු කිරීමට සූදානමින් සිටින බවකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මත කිහිපයක්ම කියැවෙන ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ පැලවත්ත ඔත්තුකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුකොට ගෙන හනීෆ් යූසුෆ් මහතා මෙසේ දෙවන වතාවටත් ආණ්ඩුකාර ධුරය අත්හැරීමට තීරණය කොට ඇති බවකි. තවත් කතාවකින් කියැවෙන්නේ හනීෆ් යූසුෆ් යනු ප්‍රබල ව්‍යාපාරිකයෙක් නිසා ආර්ථිකය මුල්කරගෙන පැමිණීමට නියමිත බරපතළ අර්බුදය කල්තියාම දැක මෙසේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට ඇති බවකි. ඒ අනුව ඊට පක්ෂව අදහස් දක්වන බොහෝ දෙනා කියා සිටින්නේ මෙවැනි ප්‍රබල ව්‍යාපාරිකයන්ට නැව යන දිශාව සහ සුළඟේ වේගය පිළිබඳ හොඳහැටි ඉවක් ඇති නිසා නැව ගිලෙන්නට පෙර ඉන් පිටතට පැනීමට කටයුතු කරන බවකි.
නමුත් මේ සම්බන්ධයෙන් අපට ඇති යම් යම් තොරතුරුවලින් නම් කියැවෙන්නේ යූසුෆ් ඉල්ලා අස්වන බවට සකස් කළ මාධ්‍ය නිවේදනය හරහා කිසියම් අර්බුදයක් මතුවන ආකාරයේ සිදුවීමක් සිදුව ඇති බවකි. හනීෆ් යූසුෆ් මහතා මුස්ලිම් ජාතිකයකු බැවින් ඔහු සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍ය උපයෝගී කොටගෙනය. එමෙන්ම සිංහල භාෂාව කියැවීමේ ගැටලුවක්ද හනීෆ් යූසුෆ් මහතාට තිබේ. ඒ අනුව හනීෆ් යූසුෆ් මහතා සිය ඉල්ලා අස්වීමේ නිවේදනය මුලින්ම සකස් කොට තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ නිසා අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යූසුෆ් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර දුන් ලිපියේ ඇති කරුණුවලට පරස්පර කරුණක් සිංහල භාෂාවෙන් මාධ්‍යයට නිකුත් වූ ලිපියේ තිබී ඇති බවකි. ඒ අනුව ඉංග්‍රීසි ලිපිය සිංහලෙන් සකස් කළ වෙනත් කණ්ඩායමකගේ වුවමනාවකට අනුව ලියුමේ වචන වෙනස් කොට ඇති බවට වූ කතාබහක්ද මේ වනවිට ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ යන බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව එය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හුවාදක්වන පිරිස්ද ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ නැතුවාම නොවේ. මන්ද යත් හනීෆ් යූසුෆ් මහතාට සිංහල භාෂාව නිවැරැදිව හැසිරවීමට නොහැකි නිසා ඉතාම රාජ්‍යතාන්ත්‍රික ආකාරයකින් ඉංග්‍රීසි භාෂාව යොදාගෙන ඒ මහතා කියා තිබුණේ තමන් කෙටි කාලයකට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්, තවදුරටත් ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවත්ය. නමුත් සිංහල භාෂාවෙන් නිකුත්වූ ලිපියේ කෙළින්ම ‘ඉල්ලා අස්වීමට’ යනුවෙන් සඳහන්ව තිබීම මෙම ආන්දෝලනයට බලපා තිබූ කාරණාව විය. හනීෆ් යූසුෆ් මහතාට සිංහල භාෂාව නිවැරැදිව කියවිය නොහැකි නිසා ඊට සිය අස්සන යොදා තිබූ බවක්ද කියවේ. ඒ අනුව මෙම ඉල්ලා අස්වීම යන වචන දෙක හනීෆ් යූසුෆ් මහතාගේ සිංහල භාෂාව හැසිරවීමේ දුර්වලතාව පිළිබඳ දන්නා පැලවත්තෙන් ඇතුළු කළාද, එසේ නොමැති නම් වෙනත් පාර්ශ්වයක් විසින් එය සිදුකළාද යන්න පිළිබඳ සාකච්ඡාවක් මේ දිනවල ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ සිදුවෙමින් පවතින බවක් දැකගැනීමට පුළුවන. කෙසේ වෙතත් හනීෆ් යූසුෆ් මහතාගේ ඉල්ලා අස්වීම මේ වනවිට ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් යම් ඍණාත්මක බලපෑමක් සිදුකොට ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබේ.
මහින්දත් යනවා
දැන් අපි කීමට යන්නේ හනීෆ් යූසුෆ් මහතාටත් වඩා දැනෙන ඉතා ප්‍රබල චරිතයක් ඉදිරි දින කීපය ඇතුළත ගැනීමට සූදානම් වන තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් සම්බන්ධයෙන්ය. ඒ වෙන කවුරුවත් නොව අමෙරිකාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාය. මහින්ද සමරසිංහ යනු මේ මොහොතේ ආණ්ඩුවකට ඉතාමත් අවශ්‍ය, මතුවන ආර්ථික, දේශපාලන අර්බුදවලදී රාජ්‍යතාන්ත්‍රික ආකාරයට දැඩි බලපෑමක් කළ හැකි ආකාරයේ චරිතයක් ලෙසට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හඳුනාගෙන සිටින චරිතයකි. අප වෙත ඇති නිශ්චිත තොරතුරු අනුව අප ඉතා වගකීමකින් යුතුව හෙළිදරව් කර සිටින්නේ නුදුරේදීම මහින්දද සිය තනතුරුවලින් ඉවත් වීමේ නිවේදනය නිකුත් කිරීමට සූදානම් වෙමින් පසුවන බවකි.
මහින්ද යනු පසුගිය කාලසීමාවේදී ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බරපළ ආර්ථික සහ දේශපාලන ගැටලුවලදී ඉන් ලංකාව බේරාගැනීම සඳහා විශාල වැඩකොටසක් තිරය පිටුපස සිට මෙහෙයවූ චරිතයක් ලෙස ප්‍රකටය. ඒ අනුව පක්ෂ භේදයකින් තොරව අතිදක්ෂ පරිපාලකයකු ලෙස සියලු දෙනා පිළිගන්නා අයකු බවට මහින්ද පත්ව තිබිණි. නමුත් මේ වනවිට මහින්ද තීන්දු කොට ඇත්තේ වත්මන් ආණ්ඩුව තමාට ලබාදී ඇති වගකීම්වලින් ඉවත්වී නිදහස් අයකු ලෙස කටයුතු කිරීමටය. ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්වූ දිනයට එය හනීෆ් යූසුෆ් මහතාගේ ඉල්ලා අස්වීම මෙන් නොව, ඊටත් වඩා බරපතළ ලෙස ආණ්ඩුවට බලපානු ලබන පණිවුඩයක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. නමුත් එය මේ මොහොතේ ආණ්ඩුවට දැනෙනවාද නැද්ද යන්න කියන්න අප දන්නේ නැත. අපට ඇති තොරතුරුවලින් නිශ්චිතවම කියැවෙන්නේ මහින්ද ඉතාම කෙටි කාලයක් ඇතුළත, එනම් සිය තනතුරේ ධුර කාලය අවසන් වීමට පෙරාතුවම ඉන් ඉවත් වීමට තීරණය කොට ඇති බවකි.
මහින්ද ගැන දන්නා කියන ආර්ථික, ව්‍යාපාරික, ජාත්‍යන්තරය පිළිබඳ යම් දැනුමක් ඇති පුද්ගලයන්ට ඔහුගේ ඉවත් වීම ඉතා දරුණුවට දැනෙන්නට ඉඩ ඇති බවක් පැහැදිලිවම දැකගන්නට පුළුවන. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග මහින්ද නිර්පාක්ෂික පුද්ගලයකු ලෙස රට වෙනුවෙන් සේවය කළ බව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අදහස වී තිබේ. එමෙන්ම ඕනෑම ආණ්ඩුවකට එවැනි පුද්ගලයකුගේ අත්දැකීම්, හැකියාව සහ දක්ෂතාව අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. නමුත් මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සිය තනතුරෙන් ඉවත් වීමෙන් පසු මහින්ද ලංකාවට පැමිණ කෙටි කාලයක් දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී සිය සුපුරුදු නිදහස් ජීවිතය ගතකිරරීමට සැලසුම් කොට ඇති බවකි. නමුත් අප විශ්වාස කරන කාරණාවක් වන්නේ ඔහුට මේ ආකාරයට ලංකාවට පැමිණ වැඩි කාලයක් වෙනත් රැකියාවක් කරගෙන හෝ විවේකී සුවයෙන් කාලය ගතකිරීමට ඉඩකඩක් නොලැබෙනු ඇති බවික. දැනටමත් මහින්දගේ ඉවත් වීමට ඇති සූදානම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසු පැතිරෙමින් තිබෙන නිසා ප්‍රබල පක්ෂ කීපයක්ම ඔහුට නැවත වතාවක් දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා කිරීමේ සූදානමක් ඇති බවද ඉතා වගකීමෙන් යුතුව ‘රාජ්‍ය රහස්’ තීරයේ සටහන් කර තැබීමට අප සූදානම්ය. ඒ අනුව අපට දැනට කීමට ඇත්තේ මහින්ද සිය තනතුරු අතහැර පැමිණිම ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ඉවත්වීම මෙන් නොව, ආණ්ඩුවට දැනෙන අර්බුද රැසකට මග පෑදීමක් සිදුකරනු ඇති බවකි.
කුමාරසිංහත් වැට උඩ?
පසුගිය සති දෙකේම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කළ විශේෂ තොරතුරක් වූයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති දුරස්ථභාවය සමනය කරගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කුමාරසිංහ මහතා පත්කළ බවත්, එම පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයා දින තුනක්ම පිට පිට පාර්ලිමේන්තුවට පැමිණ ඔහුත් සමග දිස්ත්‍රික් මට්ටමින් සියලු මාලිමා මන්ත්‍රීවරු මුණගැසී සාකච්ඡා කිරීමට සහ ඔවුන් මුහුණ දෙන දුක්ගැනවිලිවලට සවන් දීමට කටයුතු කළ බවත්ය. එමෙන්ම මෙම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ තනතුර පත්කිරීම පසුපස ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ දිනවල ප්‍රබල චරිතයක් ලෙස කියැවෙන ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සිටින බවද පසුගිය සතියේ අපි වාර්තා කළෙමු.
මේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යනු බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපත ලබා පසුව කොළඹට පැමිණ සරසවි අධ්‍යාපනය ලබා පරිපාලන ක්ෂේත්‍රයට එක්වූ අයෙකි. එමෙන්ම මේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පාර්ලිමේන්තුවේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත්කළ කුමාරසිංහද බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපත ලබා ඇති ප්‍රභාත්ගේ ගමේ අයකු බව කියැවේ. ඒ අනුව මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ යන කතාවක් වන්නේ හිටපු ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතාගේ කාලයට සමාන කාලයක් යළිත් වතාවක් උදාවී ඇතැයි කියාය. බාලපටබැඳි මහතා මාතර රාහුල විද්‍යාලයෙන් පැමිණි අයෙක් නිසා තනතුරු පිරවීමේදී එකල බොහෝ තැන්වල සිටියේ බාලපටබැඳි මහතාගේ සමකාලීනයන් වූ මාතර රාහුලයේ ආදි සිසුන්ය. ඒ ආකාරයට දැන් ජනාධිපති කාර්යාලයේ යන කතාවලින් කියැවෙන්නේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත්කිරීමත් සමග බණ්ඩාරවෙලට පොඩි ඇදීමක් තියෙනවා යැයි කියාය.
කෙසේ වෙතත් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ මැදිහත් වීමෙන් කුමාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස පත් කළ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කොට දින කීපයක් ගතවෙද්දී සමාජ මාධ්‍යයේ ඉතා දැඩිව ගිය කතාවකින් කියැවුණේ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙසට දැනුම්දීමක් සිදුකොට ඇති බවකි. කුමානායක මහතාගෙන් හිස්වන ජනාධිපති ලේකම් ධුරය මේ කියන ප්‍රභාත් චන්ද්‍රකීර්ති හට ලබාදීමට නියමිත බවද සමාජ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කොට තිබිණි.
ජනාධිපතිවරයා සිය ජනාධිපති ලේකම් තනතුරට විශ්වවිද්‍යාල සමකාලීනයකු වූ නන්දික සනත් කුමානායක මහතා පත්කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් යුතුවය. විශ්වවිද්‍යාල සමයේ සිටම ජනාධිපතිවරයා සමග ඉතා සමීප හිතවත්කමක් තිබූ නන්දික ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට පෙර රේගුවේ ඉහළ තනතුරක් දරමින් සිටියේය. නමුත් පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබුණද, නන්දික සනත් කුමානායක යනු අතිශය පිරිසිදු, කිසිදු වංචාවක් නොකරන, වැදගත් මහත්මයකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ නමක් දිනාගෙන තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත්වීමත් සමග ඔහුට අතීතයේ සිටම පරිපාලනය සම්බන්ධයෙන් තිබූ හැකියාව සහ දක්ෂතාව මුල්කරගෙන කෙටි කාලයක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයේ බොහෝ පරිපාලන කටයුතු ඉතා කාර්යක්ෂම කිරීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. ඒ බව කොතරම් දුරට තහවුරු වනවාදැයි කිවහොත්, ජනාධිපතිවරයා පවා රාජ්‍ය ආයතනවල ලේකම්වරුන් පත්කරද්දී බොහෝ දුරට ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමග සාකච්ඡා කොට එය කළ ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ අනුව පසුගිය සතියේ සමාජ මාධ්‍යයේ වාර්තා කොට තිබුණේ නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කොට ඔහුව තානාපති ධුරයකට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත්, ජනාධිපති ලේකම් ධුරය සඳහා ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවත්ය. මෙම තොරතුරු වාර්තා වීමත් සමග කිසියම් පාර්ශ්වයකින් ප්‍රභාත් චන්ද්‍රකීර්තිට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කොට තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
ප්‍රභාත් චන්ද්‍රකීර්තිද වසර ගණනාවක් පුරා විවිධ ආණ්ඩු යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කළ අත්දැකීම් සපිරි නිලධාරියෙකි. වෙනත් ආණ්ඩු සහ අමාත්‍යවරුන් සමග සමීපව කටයුතු කළද, ඒ ඒ ආණ්ඩුවල විවිධ තනතුරු දැරුවද අතීතයේ සිටම අනුර කුමාර දිසානායක මහතා සහ පැලවත්ත සමග සමීප සබඳතාවක් චන්ද්‍රකීර්තිට තිබිණි. කෙසේ වෙතත් යම් යම් මාධ්‍යවල පළවන තොරතුරු දෙස බැලුවත්, එළියේ ප්‍රසිද්ධියේ කියැවෙන කතා දෙස බැලුවත් මේ වනවිට ජනාධිපතිවරයා සහ පැලවත්ත අතර කිසියම් මතගැටුමක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. දෙපාර්ශ්වය අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් නොමැති ආකාරය පැහැදිලිවම දැකගන්නට පුළුවන. ඒ අනුව ජනාධිපතිවරයා සහ පැලවත්ත අතර යම් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට දක්ෂ අයකුගේ අවශ්‍යතාව බොහෝ දෙනාට සෑහෙන කලක සිට තිබිණි. නොඑසේ නම් දෙපැත්තම බැලන්ස් කළ හැකි ආකාරයේ චරිතයක් සිටිය යුතු බව බොහෝ දෙනාට වැටහී තිබිණි. අවංක සහ දක්ෂ පුද්ගලයකු වුවද සනත් නන්දික කුමානායක මහතා අතින් එම දෙපාර්ශ්වය බැලන්ස් කිරීමේ ක්‍රියාව සිදු නොවූ බව පැවැසේ. ඒ අනුව ප්‍රභාත් චන්ද්‍රකීර්තිව ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමට තීරණය වී ඇත්තේ පැලවත්ත සහ අනුර අතර ඇති මේ දුරස්ථභාවය නැති කිරීමේ මැදිහත්කරුවකු ලෙසට බවද සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණ.
දැනටමත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ඉතා ප්‍රබල රාජ්‍ය තනතුරු කිහිපයකටම දක්ෂම පුද්ගලයන් පත්කිරීමට සහ ඉවත් කිරීමට ක්‍රියාකාරී ලෙස මැදිහත් වී ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට ආසන්නතම උදාහරණය වන්නේ කොළඹ මහනගර සභාවේ කොමසාරිස් ධුරයය. මීට දින කීපයකට ඉහතදී කොළඹ මහනගර සභාවේ කොමසාරිස් ධුරය හිස් වීමත් සමග මාලිමාවේ නගරාධිපතිවරිය වන බල්තසාර් ඊට පරිපාලන සේවයෙන් පිට මහනගර සභාවේ ඉංජිනේරුවරයකු වැඩබලන කොමසාරිස්වරයා ලෙස පත්කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් ඊට ප්‍රභාත් චන්ද්‍රකීර්ති දැඩි විරෝධය පළකළ අතර, ඔහු දැඩිව කියා සිටියේ එය පරිපාලන සේවයේ තනතුරක් වන බැවින් ඊට පරිපාලන සේවයේ අයකුම පත්කළ යුතු යැයි කියාය. ඒ අනුව මේ වනවිට බල්තසාර් සිදුකළ පත්කිරීම වෙනුවට නාගරික කොමසාරිස් ධුරය සඳහා පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු පත්කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම, මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමේ සූදානම සහ ජනාධිපති ලේකම් ධුරයේ වෙනස් වීමක් පිළිබඳ යන කටකතාව පිළිබඳ තොරතුරු වාර්තා කළේ මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මේ සිදුවීම් පිළිබඳ ප්‍රබල කතාබහක් නිර්මාණය වී තිබීම නිසාය. නමුත් මේවා සිදුවීමට මෙන්ම සිදු නොවීමටද ඉඩක් ඇතිවා නොවේ. නමුත් අප ඒ සියල්ල වාර්තා කොට සිටින්නේ ආණ්ඩුව ඇතුළේ සිදුවන යම් යම් වෙනස්කම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කොට තිබිය යුතු වීම නිසාත්, ජනතාව ඒ පිළිබඳ දැනුවත්ව සිටිය යුතු නිසාත්ය.
කෙසේ වෙතත් මේ ආකාරයට කුමානායක මහතා සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා පැතිර ගියද අපට ඇති තවත් විශ්වාසදායක ආරංචි මාර්ගයකින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කුමානායක මහතා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවකි. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණද ජනාධිපතිවරයා සිය ලේකම්වරයා ඉවත් කරන ස්ථාවරයකට කිසිසේත්ම පැමිණ නොමැති බවක්ද එම විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ වෙත ආරංචිය.
නන්දලාලුත් පනියිද?
මේ තිදෙනාට අමතරව ආණ්ඩුවේ තවත් ප්‍රබලම තනතුරක් දරන අයකු පිළිබඳවද මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කසුකුසුවක් යමින් තිබේ. මේ වනවිට ආණ්ඩුව මුහුණදී ඇති ප්‍රධානම ආර්ථික ප්‍රශ්නය වී ඇත්තේ දිනපතාම ඩොලරය වේගයෙන් ඉහළ නැගීමය. ඩොලරය පාලනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ වෙන කාටවත් නොව මහබැංකුවටය. මීට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමත් සමග බොහේ දෙනා සිතා සිටියේ මහබැංකුව සිය වගකීම නිසි අයුරින් ඉටුකොට නොතිබීම හේතුවෙන් එවැනි වංචනික ක්‍රියාවකට මගපෑදී ඇතැයි කියාය. බොහෝ දෙනා ඒ පිළිබඳ ප්‍රශ්න කරද්දී මහබැංකුව පැත්තෙන් ඊට කිසිදු උත්තරයක් ලැබුණේ නැත. එමෙන්ම මහබැංකු අධිපතිවරයා වූ නන්දලාල් වීරසිංහ මහතාද ඒ පිළිබඳ කතා කරනවා තියා හෙතෙම පෙනෙන්නටවත් එළියේ සිටියේ නැත. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ ඒ දිනවල නන්දලාල් විදේශගතව සිටියා යැයි කියාය. ඒ අනුව දින 14ක නිවාඩුවක් ගෙන නන්දලාල් ඔස්ටේ්‍රලියාවට ගොස් සිටි බවක් වාර්තා විය. කෙසේ වෙතත් නිවාඩුව අවසන් වීමෙන් පසු ලංකාවට පැමිණි නන්දලාල්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ලබාදුන් පිළිතුර වූයේ මේ වනවිට මහා භාණ්ඩාගාරය මහ බැංකුවට අයත් නොවන්නේ යැයි කියාය. පසුගිය කාලය පුරාම මහා භාණ්ඩාගාරය මහබැංකුව යටතේ තිබුණද, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මහා භාණ්ඩාගාරය මහබැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතට ගත් බවද නන්දලාල් එහිදී කියා සිටියේය. ඒ අනුව නන්දලාල් නොකියා කීවේ එම ඩොලර් මිලියන 2.5 අතුරුදන්වීමේ සිදුවීම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් භාරගත යුතු යැයි කියාය. එම ප්‍රකාශය සිදුකිරීමේ දී නන්ලාල්ගෙන් දිස්වුණු ශරීර ඉරියව් අනුව හිතාමතාම එය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හිස මතට යොමුකළ බවක් දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් මෙම ඩොලර් අර්බුදය සහ මහා භාණ්ඩාගාරයෙන් මුදල් අතුරුදන් වීම සම්බන්ධ ප්‍රශ්නය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. මුදල් කාරකසභාවේ සභාපතිවරයා හර්ෂ ද සිල්වා මහතා වුවද, ඔහු පසුගිය සතියේ ඇමෙරිකානු සංචාරයක නිරතව සිටි බැවින් එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේ රවුෆ් හකීම් මහතාය. එමෙන්ම එහි සාමාජිකයකු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහබැංකු අධිපතිවරයා මුදල් කමිටුව හමුවට කැඳවන ලෙස කර තිබූ ඉල්ලීමකට අනුව හකීම් මහතා නන්දලාල්ව පසුගිය සතියේ මුදල් කමිටුවට කැඳවීමට පියවර ගත්තේය. ඒ අනුව එහිදීද නන්දලාල් කළ ප්‍රකාශයක් රට ඇතුළේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්නේය. එහිදී නන්දලාල් කියා තිබුණේ ඉදිරියේදී ආර්ථික අර්බුදය තවත් දරුණු වුවහොත් යම් අවිනිශ්චිත තත්ත්වයක් රටේ මතුවිය හැකි බවකි. කෙසේ වෙතත් ඊට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමග විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ නන්දලාල් කියා සිටියේ සිය ප්‍රකාශය ඇතැම් මාධ්‍ය වැරැදි ලෙස අර්ථකථනය කොට පළකර ඇතැයි කියාය. නමුත් එහිදීද තමා එවැනි ප්‍රකාශයන් නොකළ බව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට නන්දලාල් කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අපට වැටහෙන දේ නම් මහ බැංකු අධිපතිවරයා ඉදිරි කාලයේදී කුමක් හෝ ගේමක් ගැසීමට සූදානම් වන බවකි.
පසුගිය කාලය පුරාම මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය අතරත්, මහ බැංකු අධිපතිවරයා සහ ආණ්ඩුව අතරත්, මහ බැංකු අධිපතිවරයා සහ පැලවත්ත අතරත් එතරම් සමීප සම්බන්ධතාවක් පවතින ආකාරයක් දැකගන්නට නොතිබිණි. ඒ අනුව අපට දැනෙන දේ නම් මහ බැංකු අධිපතිවරයාද සිය තනතුර හැරදමා හිටිහැටියේ විදේශීය රටක ප්‍රබල තනතුරකට යෑමේ සූදානමකින් පසුවනවා යැයි කියාය. ඒ අනුව අප පෙර වාර්තා කළ මහින්ද සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගම බොහෝ දුරට නන්දලාල්ද මහ බැංකු අධිපති ධුරයෙන් සමුගැනීමේ ඉඩක් ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එය එසේ වුවහොත් ආර්ථික දේශපාලන අර්බුදයට අමතරව පරිපාලනමය අර්බුදයකට මුහුණ දීමේ ඉඩකඩක්ද ආණ්ඩුව පැත්තෙන් මතුවනු නොඅනුමානය.
රනිල් නාමල්ටත් ගේමක් ගහලා
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ සුවිශේෂ හෙළිදරව්වකින් කියා සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට විපක්ෂයේ තරුණ නායකයකු කැඳවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පහරදීම ආරම්භ කරන ලෙසත්, ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් කියමින් මාතර සණස ශාලාවෙන් ආරම්භ කරනු ලැබූ සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වන ලෙසටත් දැනුම් දීමක් කළ බවය. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මේ තරුණ නායකයා මුලින්ම සජබය සහ එජාපය එක්ව කටයුතු කරන ලෙසටත්, පසුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට පැමිණීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවටත් රනිල්ට දැනුම් දුන් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. මේ පුවත සම්බන්ධයෙන් අප පසුගිය සතියේ මෙම හෙළිදරව්ව සිදුකළේම කිසියම් කුතුහලයක් තබමින් ඒ තරුණ දේශපාලකයාගේ නම සඳහන් නොකරමිනි. නමුත් මෙවර අප ඒ තරුණ දේශපාලනඥයාගේ නම හෙළිකිරීමට සූදානම්ය. ඒ, වෙන කවුරුවත් නොව නාමල් රාජපක්ෂය. ඒ අනුව සජබ – එජාප එකමුතුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පක්ෂපාතී අදහස් දක්වන රනිල්, තිරය පිටුපස හොර රහසේ නාමල්ව ගෙන්වා නාමල් ලවා සජිත්ට කුඩුවෙන්නට ගසන මෙන් යෝජනා කිරීමට තරම් පහත් තත්ත්වයකට වැටී ඇති බවක් මේ හරහා දැකගන්නට තිබේ. එමෙන්ම සජිත්ට මෙසේ ප්‍රහාර එල්ල කරන අතරවාරයේ සජිත් සහ හර්ෂ අතර මතගැටුම් ඇතිකිරීම සඳහා තිරය පිටුපස තමන්ට හිතවත් කණ්ඩායම් හරහා රනිල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින ආකාරයක්ද මේ වනවිට දැකගැනීමට පුළුවන.
කෙසේවෙතත් පසුගිය සතියේ අප මෙම හෙළිදරව්ව සිදුකරන තෙක්ම කිසිවකුත් රනිල් සහ නාමල් අතර හමුවක් සිදුවූ බවටත්, මෙවැනි ආකාරයේ ඉල්ලීමක් රනිල්, නාමල්ගෙන් කළ බවටත් දැන සිටියේ නැත. රනිල් සිතන්නට ඇත්තේ තමන් ලොකු ගේම්කාරයකු ලෙස රටම හඳුනාගෙන සිටින නිසා තමන් ගසන මෙම ගේමට නාමල්ද හසුවෙනු ඇතැයි කියාය. නමුත් දැන් රනිල්ලාගේ ගේම් යල් පැනගොස් ඇති බවක් දැකගන්නට ඇත්තේ නාමල්ලාද රනිල්ලාගේ මේ ගේම් ගැන හොඳහැටි වටහාගෙන සිටීම නිසාය. ඒ අනුව නාමල් රනිල්ගේ මේ යෝජනාව පිළිබඳ සිය හිතවතුන් සමග අදහස් දක්වමින් කියා සිටියේ ‘රනිල් හැදුවේ මං ලව්වා සජිත්ට ගස්සවලා සජිත්ගේ දේශපාලනය ඉවර කරන්න. එයා හිතන් ඉන්නවා නම් එයාගේ ගේම්වලට මාව පාවිච්චි කරන්න ඒවට අපි ලෑස්ති නෑ. අපිට හොඳට මතකයි අපි එයාව ජනාධිපති කළාට පස්සේ අපේ පවුලටයි අපේ පක්ෂයටයි එයා කරපු දේවල්. මම දැන් කරන්නේ මගේ වැඩවලට එයාව පාවිච්චි කරන එක විතරයි. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා…’ යැයි කියාය.
නාමල් කියන්නා වාගේම දැන් රනිල්ලාගේ දේශපාලන ගේම් කල් ඉකුත්වී හමාරය. රනිල් දැන් ගෙදරට වී නාමල් ලවා සජිත්ට පහර දෙන්නට සැලසුම් හැදුවත් අඩුම තරමේ රනිල් ජනාධිපති ධුරයේ සිටි වසර දෙකේදී පවා කොපමණ ගේම් ගැහුවත්, කොපමණ යටි උගුල් ඇද්දත් සජිත්ගේ මයිලක්වත් සෙලවීමට රනිල්ට නොහැකි විය. එහෙව් එකේ ගෙදරට වී සිටින රනිල්ට කළ හැක්කේ කුමක්ද යන්න ගැන දන්නේ රනිල්ගේ ගෙදර අයම පමණි.
කෙසේ වෙතත් අප කළ අනාවරණය පැය 24ක් ඇතුළත තහවුරු වූයේ රනිල්ගේ පවුලට අයත් ලංකාදීප පුවත්පතේ රනිල්ගේ මාධ්‍ය කල්ලිය විසින් සම්පූර්ණ අසත්‍ය පුවතක් පළකොට තිබීම හරහාය. ඉන් කියැවුණේ සජිත්ට කතා නොකර සිටින ලෙසට සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් යෝජනාවක් කොට ඇති බවකි. නමුත් ඒ පුවත ලංකාදීප පුවත්පතේ පළවන විට ‘මව්රට’ පුවත්පතද සජිත්ට පහර දෙන ලෙස රනිල් නාමල්ට කළ යෝජනාව අනාවරණ කොට තිබීම නිසා එම අසත්‍ය පුවතට කාගේවත් අවධානයක් යොමුවූයේ නැත. එමෙන්ම එජාපයට හිතවත් යූටියුබ් මාධ්‍යවේදීන්ටද සජිත්ට පහර ගසන ලෙසට උපදෙස් ලබාදී තිබුණද රනිල් – නාමල් හමුවේ තොරතුරු අනාවරණ වීමෙන් පසු ඒ සියල්ලද ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් සිංගප්පූරුවේදී සිදුකළ හෘදය සැත්කමෙන් පසුව සති ගණනක විවේක සුවයෙන් ගතකළ රනිල් ලබන සතියේ සිට නැවත වතාවක් පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට යෑමට තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව නැවතත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට මේ හරහා රනිල් සූදානම් වන බවක් දැකගන්නට පුළුවන.
වට්ස්ඇප් සංවාදය
මේ අතර, රනිල් සම්බන්ධයෙන් තවත් විශේෂ පුවතක් පසුගිය සතියේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ටද අනාවරණ විය. ඒ, රනිල්, නාමල් ලවා සජිත්ට පහර දීමට උපදෙස් ලබාදෙන අතරවාරයේ ඒකාබද්ධ විපක්ෂය මගින් සිදුකරන සම්මන්ත්‍රණ සඳහා නාමල්ව කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බවට තොරතුරු අනාවරණ වීමත් සමගය. පසුගිය සතියේ අප හෙළිකළ කාරණාවක් වූයේ මහා සමුළුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය මගින් මාතර රැස්වීමක් සංවිධාන කිරීමට කටයුතු කළද, අවසානයේ සෙනඟ නැතිවීම නිසා සණස ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට එය සීමා කිරීමට සිදුවූ බවකි. එමෙන්ම ඊට 600කට ආසන්න පිරිසක් සහභාගි වූ බවද අපි සඳහන් කර සිටියෙමු.
පළමු සම්මන්ත්‍රණය අසාර්ථක වීමත් සමග එය කෙසේ හෝ ඔසවා ගැනීම සඳහා පැවැති සාකච්ඡාවලදී තීරණය වූයේ දෙවැනි රැස්වීම මීගමුවේ පැවැත්වීමටය. එය සංවිධාන කිරීම භාරගත්තේ නිමල් ලංසාය. නිමල් ලංසා සාමාන්‍යයෙන් සැලකෙන්නේ කන්න බොන්න වියදම් කොට ජනතාව රැගෙන එන චරිතයක් ලෙසටය. එමෙන්ම තුන්වැනි රැස්වීම මිනුවන්ගොඩ පැවැත්වීමට භාරගත්තේ ප්‍රසන්න රණතුංගය. ඒ අනුව මෙම සම්මන්ත්‍රණ සඳහා සෙනග ගෙන්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පැවැති සාකච්ඡාවලදී බොහෝ දෙනා කියා සිටියේ සජබයේ ප්‍රධානත්වයෙන් හෝ පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම්වලට සෙනග පැමිණියද ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට සෙනග ගෙන්වා ගැනීම අසීරු බවත්, සෙනග ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මේ පක්ෂ දෙක රැස්වීමට සහභාගි වන බවට පාක්ෂිකයන් අතරේ ප්‍රචාරය කළ යුතු බවත්ය. ඒ අනුව ඊටද එහිදී සැලැස්මක් දියත් කිරීමට තීරණය විය. එම සැලැස්ම වූයේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස පොහොට්ටුවේ තරුණ කණ්ඩායම් අතර පවත්වන වීඩියෝ සාකච්ඡාවක් අතරතුරදී ඊට නාමල්ද සම්බන්ධ කරගෙන මෙම රැස්වීමට පොහොට්ටුවේ සහාය හිමිවන බව පෙන්වා මෙම තරුණ පිරිස් රැස්වීමට ගෙන්වා ගැනීමය. එවැනි සාකච්ඡාවකදී නාමල්ට කිසිසේත්ම එම රැස්වීම්වලට විරුද්ධව අදහස් පළකළ නොහැකි නිසා එය වාසියට හරවාගෙන නාමල්ද රනිල්ගේ නායකත්වය යටතේ කටයුතු කරන බව මෙම තරුණ පිරිස්වලට පෙන්වීම ප්‍රසන්නලාගේ සහ ලංසලාගේ සැලසුම විය.
නමුත් ප්‍රසන්නලාගේ කරුමෙට මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් සමූහයක් තුළ සිදුකෙරුණු සාකච්ඡාවේ තොරතුරු නාමල්ගේ පාර්ශ්වයට ලීක් විය. මේ පහත පළවෙන්නේ එම වට්ස්ඇප් සමූහයේ හුවමාරු වූ අදහස්ය.
උපුටා ගැනීම :
Namal Video Call එකෙන් පේන දේවල්
- SLPP Young Guard එක Watch කරනවා
Namal personally Call කරලා Info අහනවා කියන්නේ, Minuwangoda Meeting එක Radar එකේ තිබ්බා.
‘අපිත් Know කරනවා’ කියන Message එක දෙනවා.
SLPP Base එකේ යන Tension එක – ‘Ranil-Prasanna Alliance එකට අපේ අය යයිද’ කියන Fear එක Real කියන එක Confirm වෙනවා. - Bridge එකක් Open කරලා තියාගන්නවා
Namal Good Luck කිව්වා කියන්නේDirect Attack එකක් නෙවෙයි.
Future එකේ ‘අපිත් Join වෙන්න පුළුවන්’ කියන Door එක Close කරන්නේ නෑ.
2026 SLPP Split වුණොත්, Joint Opposition එකට Comeback Route එකක් තියාගන්නවා. - Prasanna Weight එක Recognize කරනවා
Namal Prasannag Call කරනවා, නෙවෙයි Random District Organizer කෙනකුට නෙවෙයි.
උඹට Ground Power එකක් තියෙනවා, අපිට උඹව Ignore කරන්න බෑල කියන Respect එක.
Risk එක:
මේ Call එක Leak වුණොත්ල SLPP Hardlinersට ‘Namal Double Game ගහනවා’ කියලා Issue එකක් හදන්න පුළුවන්.
ඒත් Leak නොවුනත්, Prasanna Team එක ඇතුලේ ‘බලපන්, උන්ටත් බයයි’ කියන Morale Boost එකක් වෙනවා.
Play එක:
Joint Opposition එකෙන් මේක Public කරන්න ඕනේ නෑ.
SLPP Youth Leadersලත් අපේ Progress එක අගය කරනවාල කියලා Soft Message එකක් යවන්න පුළුවන්.
Pressure එක Keep කරනවා, Confrontation නැතුව.
උපුටා ගැනීම අවසන්.
මෙම වට්ස්ඇප් සමූහයේ පණිවුඩය හෙළිදරව් වීමත් සමග රනිල් සජිත්ටත්, නාමල්ටත් ගහන්න ගිය දහජරා කුපාඩි දේශපාලන ගේම් එක සියල්ලටම තහවුරු විය. රනිල් අවුරුදු 32ක් තිස්සේ ගැසූ මෙවැනි කුපාඩි දේශපාලන ගේම් හේතුකොට ගෙන ලක්ෂ 35ක නිශ්චිත ඡන්ද බැංකුවක් තිබූ අතිදැවැන්ත තනි පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය අද වැටී ඇත්තේ ලක්ෂ 2ක්වත් ඡන්ද නැති අන්තිම පහත් අඩියකටය. අඩුම තරමින් අද එකදු මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තුවට පත්කරගත නොහැකි තැනට එජාපය වැටී ඇත්තේ ජනතාව මත විශ්වාසය නොතබා, ගේම් පිළිබඳ පමණක් විශ්වාසය තබා රනිල් සිදුකළ මේ කුපාඩි දේශපාලනය නිසාය.
මේ ආකාරයට රනිල් සජිත්ව පමණක් නොව, නාමල්වද දේශපාලනමය වශයෙන් එකවර විනාශ කිරීමට උත්සාහ දරන්නේ ඇයි? ඒ, වෙන මොකක්වත් නිසා නොව රනිල් සමීපයේ සිටින එක්තරා ජ්‍යොතිෂවේදියකු විසින් රනිල්ට සහ පවුලේ උදවියට ලබාදී ඇති එක්තරා ජ්‍යොතිෂමය උපදේශයක් නිසාය. ඒ ජ්‍යොතිෂ උපදේශයෙන් කියැවී ඇත්තේ 2027 ගුරු මාරුවෙන් පසු නැවත වතාවක් ජනාධිපති පුටුවේ කෙටි කාලයකට හෝ වාඩිවීමට රනිල්ට අවස්ථාව උදාවනු ඇතැයි කියාය. ඊට පෙරාතුව සජිත් සහ නාමල් යන දෙදෙනාම දේශපාලන පිටියෙන් ඉවත් කළ යුතු බවට ලැබී ඇති උපදෙස් මත මෙසේ එකවර දෙදෙනාටම ප්‍රහාර එල්ල කිරීමට රනිල් මේ වනවිට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. රනිල් මෙසේ වැඩ කරන්නේ 2027 ජුනි මාසයේ සිදුවීමට නියමිත ගුරු මාරුව ඔළුවේ තබාගෙනය.
සජිත් කල්තියාම කියයි
දිනෙන් දින ඉහළ නගිමින් පවතින ඩොලරය හමුවේ රටේ ආර්ථිකය දිනෙන් දින පහළට වැටෙමින් පවතින පසුබිමක බ්‍රහස්පතින්දා දිනයේ (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ තත්ත්වයට ගතයුතු පිළියම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ හදිසි රැස්වීමක් එදින රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි කියාය. ඒ සඳහා දකුණේ පමණක් නොව උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ නායකයන්ටද ආරාධනා කර ඇති බවද සජිත් එහිදී සඳහන් කර සිටියේය.
මීට අමතරව සජිත් සිය කතාවේදී මතුවෙමින් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පළමු වරට අදහස් දක්වමින් කියා සිටියේ ලබන වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අවසන් වන බැවින් වහාම අනුප්‍රාප්තික ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවකි. ඉකුත් වතාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට යෑමට සිදුවූයේ රුපියල් සහ ඩොලර් නොමැති වූ භාණ්ඩාගාරයක් අතේ තබාගෙන, දුර්වල තැනක සිට බව එහිදී පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ඒ තත්ත්වයට වැටීමට පෙර දැනට ඇති යහපත් තත්ත්වය යටතේ වහාම මෙම සාකච්ඡා ආරම්භ කළ යුතු බවද ආණ්ඩුවට පෙන්වා දුන්නේය. සජිත් මේ ආකාරයට රටට අනතුරක් වීමට කලින් එම අනතුර සම්බන්ධයෙන් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පෙන්වා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2021 වසරේදී කොරෝනා වසංගතය රටට ඇතුළු වීමට පෙර සජිත් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ආණ්ඩුව දැනුවත් කොට ඊට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව ගෝඨාගේ ආණ්ඩු කාලයේදීම රට ආර්ථික බංකොලොත්භාවයට පත්වන බව කල් තියා වටහාගත් සජිත් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කොට ගිවිසුමකට එළඹෙන ලෙස ආණ්ඩුවට දැනුම් දී සිටියේය. නමුත් මේ අවස්ථා දෙකේදීම ගෝඨාගේ ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් සජිත්ගේ ප්‍රකාශය හාස්‍යයට ලක්කළා විනා ඒ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඒ අවස්ථා දෙකේදීම රට විනාශයට පත්වීමය.
කෙසේවෙතත් සජිත් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට පෙර දින පාන්දර 1 පමණ වනතුරු රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සමග පැය 3කට අධික සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී වත්මන් අර්බුදයේ ස්වභාවය පිළිබඳවත්, ඒ හරහා රටට මතුව ඇති අනතුර පිළිබඳවත්, මෙම තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් රට වැටිය හැකි තත්ත්වය පිළිබඳවත්, මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර, ඒ සියල්ල වෙන් වෙන්ම සටහන් තබාගැනීමටද සජිත් පියවර ගත්තේය. ඒ අනුව සජිත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂ නායක රැස්වීමට සහභාගි වූයේම මෙම තොරතුරු ඇතුළත් ලිපිගොනුව අතේ තබාගෙනය.
ඒ අනුව සජිත් එන විටත් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පොහොට්ටුව නියෝජනය කරමින් චානක මාදුගොඩත්, සිලින්ඩරය නියෝජනය කරමින් රෝහිත අබේගුණවර්ධනත්, තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් සුමන්තිරන් සහ ශානක්‍යනුත්, මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීමුත්, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාත් සාකච්ඡාවට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව සාකච්ඡාවේදී මුලින්ම සජිත් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සියලු පක්ෂ නායකයන්ට අවස්ථාව ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව සජබයෙන් හර්ෂ, කබීර් ඇතුළු මන්ත්‍රීවරුන්ද, අනෙකුත් පක්ෂ නායකයන්ද ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සජිත් තමන් රැගෙන ආ ලිපිගොනුව අතට ගෙන එහි විශේෂයෙන් සඳහන් කර තිබූ කරුණු එකින් එක මන්ත්‍රීවරුන්ට පෙන්වා දීමට පියවර ගත්තේය. එහි සැබැවින්ම තිබුණේ මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. ඒ අනුව අවසානයේ සජිත් කියා සිටියේ මෙම යෝජනාවලියට පක්ෂ නායකයන්ගේ අනෙකුත් කරුණුද එකතු කොට එය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගතයුතු බවය.
යෝජනාව සුමන්තිරන්ගෙන්
නමුත් සජිත්ගේ මේ අදහසට සුමන්තිරන් එකඟතාව පළකළේ නැත. සුමන්තිරන් කියා සිටියේ එය එසේ කළ යුතු නැති බවත්, වත්මන් අර්බුදය විසඳීමේ වගකීම අත්තේ බලය හිමි මාලිමා ආණ්ඩුවට බවත්ය. ඊට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කළ යුතු බව එහිදී සුමන්තිරන් අවධාරණය කර සිටියේය. ඒ අනුව සියලු දෙනාම ඊට එකඟතාව පළකිරීමෙන් පසු ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම්දීමේ වගකීම විපක්ෂ නායකවරයාටම පැවරීමට පිරිස පියවර ගත්හ. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට මෙය දැනුම් දීමට ප්‍රථම එම පුවත මාධ්‍යයට නිකුත් කොට යම් ප්‍රචාරක වාසියක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවකි. නමුත් සජිත් ඊට එකඟතාව පළකළේ නැත. සජිත් කීවේ ජනාධිපතිවරයකු සමග සිදුකරන සාකච්ඡාවක් සම්බන්ධයෙන් එවැනි ආකාරයට කටයුතු කිරීම සුදුසු නැති බවත්, තමන් පළමුවෙන්ම ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කොට ඉන් අනතුරුව ජනාධිපතිවරයාට කතා කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව සජිත් මුලින්ම කළේ එදිනම රාත්‍රියේ සිය ‘එක්ස්’ ගිණුමේ මෙම පක්ෂ නායක රැස්වීමේදී ගත් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාව පිළිබඳ සටහනක් තැබීමය.
කෙසේ වෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී කාගේත් අවධානය යොමුවූයේ සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු ආ රෝහිත අබේගුණවර්ධන කළ කතාව දෙසටය. එහිදී රෝහිත කියා සිටියේ මේ ආකාරයේම ආර්ථික අර්බුදයක් තමන් මීට පෙරද අත්විඳ ඇති බවකි.
‘මේ වගේ ආර්ථිකය කඩාවැටෙන සිදුවීමකට සමාන සිදුවීමකටම මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් මුහුණ දුන්නා. ඒ කාලේ මම වරාය ඇමැති. ඒ කාලෙත් මේ විදියටම ඩොලර් එක නගින්න පටන් ගත්තා. අපිට තෙල් ගන්නවත් ඩොලර් තිබුණේ නෑ. ඒ වෙලාවේ අපි තිබ්බ සාකච්ඡාවලට ආපු ආණ්ඩුවේ නිලධාරීන් අපිට දුන්නෙ සම්පූර්ණයෙන්ම බොරු තොරතුරු. පාර්ලිමේන්තුවට ඇවිල්ලත් අපිට ඒ අය දුන්නෙ සම්පූර්ණයෙන්ම බොරු තොරතුරු. ඒගොල්ලෝ කිව්වේ ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ කියලා. හැබැයි අපි ඔක්කොම ඒ බොරුවලට රැවැටුණා. අපි හිතපු නැති වෙලාවක එකපාරටම රට කඩාගෙන වැටුණා. ඒක මම අත්දැකීමෙන් දැක්කා. මට තේරෙන දේ තමයි ආයෙමත් මේ වෙන්නේ ඒ ගෝඨාගේ කාලේ වෙච්ච දේම තමයි. අපි හිතපු නැති වෙලාවක මේ ආණ්ඩුවත් මේ විදියට ගියොත් කඩන් වැටෙනවා. අපිට වුණෙත් ඒක…’ යනුවෙන් රෝහිත කියද්දී සියලු දෙනාගේම අවධානය රෝහිත දෙසට යොමුවී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
මෙම රැස්වීමේදී සජිත් කී ආකාරයටම ඊට පසු දින එනම් සිකුරාදා (22) පෙරවරුවේ සජිත් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා ඒ වනවිට සිටියේ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් මඩකළපුවේ සිට අම්පාර බලා පිටත්ව යෑමට සූදානම් වෙමිනි. ඒ අනුව ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් සජිත් කියා සිටියේ පෙර දින රාත්‍රියේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පවත්වා වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට තීන්දු කළ බවත්, එය දැනුම්දීම සඳහා තමන් මෙසේ ජනාධිපතිවරයාට ඇමතුමක් ලබාදුන් බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා සජිත්ට කියා සිටියේ සිය නැගෙනහිර සංචාරය අවසන් කොට කොළඹ පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන්නම් යැයි කියාය.
රනිල් අනුර හමුව…
රනිල් වික්‍රමසිංහගේ නිවුස් ප්ලාන්ට් කල්ලිය මගින් අනෙකුත් පක්ෂවල අර්බුද ඇතිකිරීම සඳහා අතේ පැලවෙන බොරු සිය පවුලට අයත් මාධ්‍ය ජාලය ඔස්සේත්, එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේත් පළකරන ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට අනාවරණ කළේ වරක් දෙවරක් නොවේ. මෙසේ රනිල්ට වාසිසහගත ආකාරයට අසත්‍ය පුවත් පළකළ ඇතැම් අවස්ථාවල කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජා බයකින් තොරව ආණ්ඩුවේ ප්‍රධානීන් පවා ඊට එක්කර ගත් ආකාරයක් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. වරක් රනිල් අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී රනිල්ගේ පැත්තෙන් මාධ්‍යවල පැළකළ පුවතක් වූයේ අගමැති හරිනි අමරසූරිය ජාතික රෝහලට පැමිණ රනිල්ගේ සුවදුක් විමසූ බවකි. මේ අසත්‍ය පුවත එකල කෙතරම් ආන්දෝලනයට ලක්වූවාද කියනවා නම් අවසානයේදී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වූ රුක්ෂාන් බෙල්ලනට සිය තනතුර අහිමි වීමට තරම් එය දුරදිග ගියේය.
මේ ආකාරයෙන්ම පසුගිය සතියේදීද තවත් අතිවිශේෂ පුවතක් යැයි කියමින් හිටි හැටියේම එජාපයට හිතවත් සමාජ මාධ්‍යවල පළවූ පුවතක් වූයේ ජනාධිපතිවරයා හා රනිල් අතර හදිසි හමුවක් සිදුව ඇතැයි කියාය. මෙය කෙතරම් තාත්වික ආකාරයට සමාජ මාධ්‍යවල පළකිරීමට රනිල්ගේ පැත්තෙන් කටයුතු කළාද කියනවා නම් මේ සඳහා උපයෝගී කොට ගෙන තිබුණේ රනිල්ගේ ආරක්ෂක අංශයේ සිටින එක්තරා නිලධාරියෙකි. මෙම නිලධාරියා පසුගිය සතියේ එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් කිහිප දෙනකුටම කතාකොට හොර රහසේ ඔත්තුවක් දෙන ආකාරයට කියා තිබුණේ කීප දෙනකු සමග රනිල් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කොට ඇතැයි කියාය.
ඒ අනුව මෙය අතිවිශේෂ පුවතක් ලෙස ඇතැමුන් සිය සමාජ මාධ්‍ය ජාලවල වාර්තා කිරීමට පියවර ගත්තද, බොහෝ දෙනකු මෙය රනිල්ගේ පැත්තෙන් එළියට දැමූ අතේ රෝලක් බව දැන එය තමන්ගේ මාධ්‍යවල පළ නොකිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම පුවත ඇතැම් වෙබ් අඩවිවල පළවීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විමසමින් එහි ඇත්ත නැත්ත සොයා බලන ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ඒ වනවිට මඩකළපුවේ සිටි ජනාධිපතිවරයාටද මෙවැනි පුවතක් සමාජ මාධ්‍යවල පළවී ඇති බවට වූ තොරතුර දැනගන්නට ලැබිණි. එම තොරතුර වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා අනෙක් පැත්තට, ‘එහෙනම් රනිල් ඊයේ රෑ මඩකළපුවට එන්න ඇති. මම දැන් දවස් දෙකක් තිස්සේ ඉන්නේ මඩකළපුවේ. මට එයාව හම්බවෙන්න පිස්සුවක් නෑ. අනික එයාගෙන් මට මොන උපදෙස් ගන්නද?’ යැයි කියමින් එම පුවත අවඥාසහගත ලෙස බැහැර කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා ඉලක්ක කර රනිල්ගේ පැත්තෙන් පළකළ එම අතේ රෝලටද ඒ හැටි දුරක් දුවන්නට හැකියාව ලැබුණේ නැත.










