නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
තම නිවසට පිටුපසින්වැටී ඇති මාර්ගයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ එම සැකකටයුතු සුදු වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු පැවසීය.
නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා එයින් බැසගත් පුද්ගලයකු ගේට්ටුවේ යොදා ඇති අංකය පරීක්ෂා කර බලා මේක තමයි ගේ යැයි පවසා ආපසු ගොස් ඇති බවද අසල්වැසියකු එය දැක තමාට දැනුම් දුන් බවද ඔහු පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇතැයි මීට මසකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්, මේ දක්වා තමන්ගෙන් ප‍්‍රකාශයක්වත් ලබාගෙන නැති බවද ගුණවර්ධන මහතා පැවසීය.










