ඇසල පෙරහැර කටයුතුවලට බාධා වන අයුරින් මහනුවර කතරගම දේවාලයේ පෙරහැර කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල පුද්ගලයෙකු සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත .Sri Lanka Latest News
අදාල තර්ජනාත්මක දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකුගේද නම සදහන් කරමින් ”තෝ පෙරහරේ අලියා පිට යන හැටි මම බලාගන්නම්, මමයි තොට අලි පිට යන්න පුරුදු කළේ, බලාගමු පෙරහරේ යන හැටි” යනුවෙන් ඉතා අශෝභන අයුරින් තර්ජනාත්මකව තමන්ට බැන වැදුණු බව පැමිණිලි කරු කළ පැමිණිල්ලේ සදහන් වේ.
මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවන මහතාද පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගියදා කුඹල් පෙරහරේ ගමන් ගත් කතරගම දේවාලයේ ඇතෙකු හිටි හැටියේ කුලප්පු වීම හා මෙම දුරකථන ඇමතුම අතර යම් සමබන්ධයක් පවතින බවට තමන් සැක කරන බැවින් කඩිනමින් මේ පිලිබදව සොයා බලා පෙරහැර ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරන ලෙස අදාල පැමිණිල්ලෙන් බස්නායක නිලමේ වරයා ඉල්ලා ඇත.
අදාල ඉතා අසභ්‍ය හඩපටය අප මාධ්‍ය ආයතනය වෙත ද ලැබී ඇති අතර වගකිව යුතු මාධ්‍යක් ලෙස එම අසභ්‍ය දුරකථන ඇමතුම අප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළෙමු . -කැන්ඩි ප්‍රයිම් නිව්ස්










