‘මිනීමැරීම්, පැහැරගැනීම් සහ ශාරීරික ප්‍රහාර දුසිම් ගණනක් ඇතුළුව එහෙත් එම සිදුවීම්වලටම සීමා නොවී මාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා කඩිනම්, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන පරීක්ෂණ නැවත විමර්ශනයට විවෘත කිරීම හෝ ආරම්භ කිරීම හෝ සිදුකළ යුතුය. 2009දී අවසන් වූ 26 වසරක සිවිල් යුද්ධයේ කාලසීමාව තුළ සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය කාර්යාලවලට සිදුකරන ලද ප්‍රහාරයන්ගේ විමර්ශන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වියයුතු අතර, ඒවා ඇතුළුව විභව නීති විරෝධී මරණයන් පිළිබඳ විමර්ශනය පිළිබඳ තත්ත්වයන් එක්සත් ජාතීන්ගේ ‘මිනසෝටා ප්‍රොටෝකෝලය’ යටතේ (United Nations Minnesota Protocol) එනම් එම මූලලේඛනය යටතේ විග්‍රහ කර ඇත. මෙවැනි වටපිටාවක් යටතේ සාක්ෂිකරුවන්ට සහ විමර්ශකයන්ට ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණයක්ද අවශ්‍ය බව අපි අවධාරණය කරමු…’ (Sri Lanka Latest News)
යම් රටක ජනමාධ්‍ය යාන්ත්‍රණයට අදාළව මෙසේ ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙම දේශය නම් වෙනත් කිසිදු රටක් නොව අපගේ ශ්‍රී ලංකාවයි. එසේනම් ශ්‍රී ලංකාවට අදාළව මෙම ආන්දෝලනාත්මක කතාව අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. ‘ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම (Press Freedom Protections in Sri Lanka) යන සිරස්තලය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙම සුවිශේෂ ලිපිය සකස් කෙරී තිබිණි. දේශීය හා ජාත්‍යන්තර ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන 25ක් එකතුව සකස් කෙරුණු මෙම ලිපිය ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතය. බොහෝ බැරෑරුම් ජනමාධ්‍ය සහ මානව හිමිකම් මාතෘකා 07කට අදාළව යටකී ලිපිය සකස් කෙරී තිබිණි. මෙම සුවිශේෂ ලිපියේ සම්පූර්ණ අන්තර්ගතය කුමක්දැයි අපි සොයා බලමු. එය මෙසේ විග්‍රහ කරයි.
2025 ජනවාරි 13
ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
‘ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම’
ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි,
ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස මෑතකදී තේරී පත්වීමට සුබ පැතුම් පිරිනමමු.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රී ලංකාව ආරක්ෂා කරන බව සහතික කරන ලෙසට, පහත අස්සන් කර ඇති සිවිල් සමාජ සංවිධාන 25 වන අපි ඔබේ නායකත්වයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සහ මාධ්‍යවේදීන්ට එරෙහි අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගයේ කැපවීම අපි සාදරයෙන් පිළිගනිමු. එසේම එය සාර්ථකව ඉටුකරන ලෙසද අපි අලුතින් පත්වූ රජයෙන් ඉල්ලා සිටිමු. මෙහි පහත කරුණු 07 අපි අවධාරණය කර සිටිමු.
- මිනීමැරීම්, පැහැරගැනීම් සහ ශාරීරික ප්‍රහාර දුසිම් ගණනක් ඇතුළු, එහෙත් එම සිදුවීම්වලටම සීමා නොවී මාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා කඩිනම්, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන පරීක්ෂණ නැවත විමර්ශනයට විවෘත කිරීම හෝ ආරම්භ කිරීම හෝ සිදුකළ යුතුය. 2009දී අවසන් වූ 26 වසරක සිවිල් යුද්ධයේ කාලසීමාව තුළ සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය කාර්යාලවලට සිදුකරන ලද ප්‍රහාරයන්ගේ විමර්ශන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, ඒවා ඇතුළුව විභව නීති විරෝධී මරණයන් පිළිබඳ විමර්ශනය පිළිබඳ තත්ත්වයන් එක්සත් ජාතීන්ගේ ‘මිනසෝටා ප්‍රොටොකෝලය’ (United Nations Minnesota Protocol) එනම් එම මූල්‍ය ලේඛනය යටතේ විග්‍රහ කර ඇත. මෙවැනි වටපිටාවක් යටතේ සාක්ෂිකරුවන්ට සහ විමර්ශකයන්ට ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණයක්ද අවශ්‍ය බව අපි අවධාරණය කරමු.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව, සීමා රහිත නිදහස් මාධ්‍ය සහ දේශසීමා රහිත වාර්තාකරුවන් යන සංවිධානවල ඒකාබද්ධ මුලපිරීමක් වන ‘මාධ්‍යවේදීන් ඝාතනය පිළිබඳ සභාව’ සඳහා 2022 දී ඉදිරිපත් කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයේදී හොඳින් විස්තර කර ඇති ප්‍රශ්නයක් විය. එනම් ඵලදායී විමර්ශන සඳහා සාක්ෂිකරුවන්ට සහ විමර්ශකයන්ට ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණයක් අවශ්‍ය බව අපි අවධාරණය කළෙමු.
2005දී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කිරීමේ නියෝගය අපි සාදරයෙන් පිළිගනිමු. මාධ්‍යවේදී හා කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ 2010දී බලහත්කාරයෙන් අතුරුදන් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන නඩු පැවරීම සහ කාලෝචිත හා ඵලදායී අවසානයකට ගෙන එන ලෙස අපි බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිමු. - නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මාධ්‍යවේදීන්ට සහ විශේෂයෙන්ම වාර්ගික දෙමළ ජනයාට හිරිහැර කිරීම් සහ බියගැන්වීම් අවසන් කරන බවට සහතික විය යුතුය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාධ්‍යවේදීන්ගේ සේවයට පළිගැනීමක් ලෙස ඔවුන්ට එරෙහිව පනවා ඇති අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීමට පහසුකම් සැලසිය යුතුය. තවද ‘රාජ්‍ය සේවකයන් බියගැන්වීම’ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව බලධාරීන් නීතිමය පියවර නොගත යුතුය. බලධාරීන් එම තත්ත්වයන් කිහිපයම අවධානයට ගත යුතුය.
- ඔන්ලයින් අන්තර්ගතය වාරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවකට පුළුල් බලතල ලබාදෙන ඔන්ලයින් ආරක්ෂණ පනත අවලංගු කරන්න. එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරයි. සාමකාමී සබැඳි කථනයට අසමාන සහ අසාධාරණ සීමාකිරීම් සහ පෞද්ගලිකත්වයේ අයිතිය අනතුරේ හෙළීමට වඩා, හිරිහැර සහ වංචා වැනි සැබෑ මාර්ගගත හානිවලට විසඳුම් සෙවීමේ අරමුණෙන් නීතිය, නව සයිබර් ආරක්ෂණ නීති මගින් ප්‍රතිස්ථාපනය කළ යුතුය.
- මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ සේවය වෙනුවෙන් හිරිහැර කිරීමට සහ සිරගත කිරීමට කාලයක් තිස්සේ භාවිත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිදුකළ යුතුය. ඒ වෙනුවට රටේ පවතින අපරාධ නීති රාමුව තුළ අදාළ වැරැදි ආමන්ත්‍රණය කළ යුතුය.
- පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත සංශෝධනය කිරීම මගින් මහජන අවශ්‍යතා පිළිබඳ තීරණාත්මක කරුණු වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වාර්තා කිරීම සීමා කරන අතර, පාර්ලිමේන්තු කමිටු වෙත වැඩි මාධ්‍ය ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවරයන් හඳුන්වා දීම සිදුකළ යුතුය.
- ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා අත්‍යාවශ්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අභිභවා යෑමට නීතියට ඉඩ සලසන විධිවිධාන ඉවත් කිරීම සඳහා පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කළ යුතුය. ඕනෑම නීතියක් ඒවායේ ක්‍රියාත්මක කිරීමේ අදාළ ක්‍රියාවලීන්හිදී අනෙකා අභිභවා යායුතු නැත.
- මාධ්‍ය නිදහස තහවුරු කරන සහ මාධ්‍යවේදී ආචාරධර්ම පිළිබඳ කරුණු විනිශ්චය කරන ස්වාධීන, ස්වයං නියාමන මාධ්‍ය කොමිසමක් පිහිටුවිය යුතුය. වාර්තාකරුවන්ට අපරාධයක් සිදු නොවන ලෙසින් ඔවුන්ගේ වැඩකටයුතුවලට අනවශ්‍ය සීමා පැනවීමකින් තොරව එම ක්‍රියාවලිය සිදුකළ යුතුය. යටකී කොමිෂන් සභාව එහි සාමාජිකත්වය තුළ මාධ්‍ය අංශයේ සාධාරණ හා ප්‍රමාණවත් නියෝජනයක් සහතික කළ යුතු අතර, අධිකරණයක ඇතුළුව එහි තීරණවලට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය සහතික කළ යුතුය. මාධ්‍යයට එරෙහි ම්ලේච්ච ප්‍රහාර සඳහා දණ්ඩමුක්තියෙන් හොල්මන් කරන රටක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස ඔබ තේරී පත්වීම, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා සැබෑ කැපවීමක් ප්‍රදර්ශනය කිරීමට ඓතිහාසික අවස්ථාවක් ලබාදෙයි.
මෙම තීරණාත්මක මොහොත ප්‍රයෝජනයට ගෙන මාධ්‍ය නිදහස මෙන්ම ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතියද ආරක්ෂා කිරීමට ඔබ ගන්නා උත්සාහයට සහාය වීමට සූදානම් වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. එය ශ්‍රී ලාංකීය ජනතාවටද නොඅඩුව ලැබිය යුතුය.
මේ සඳහා පහත දැක්වෙන සංවිධාන 25ක් අස්සන් තබා ඇත. ඒවා මෙසේය.
² Amnesty International
² Center for Investigative Reporting
² Center for Justice and Accountability
² World Alliance for Citizen Participation
² Committee to Protect Journalists Dart
² Center for Journalism and Trauma
² Federation of Media Employees Trade Unions
² Free Media Movement
² Free Press Unlimited
² Free Speech Collective
² Freedom Forum
² Nepal Human Rights Watch
² IFEX International
² Federation for Human Rights
² International Federation of Journalists International
² Press Institute
² Journalists for Democracy in Sri Lanka
² Overseas Press Club of America
² PEN International
² Sri Lanka Reporters Without Borders
² Robert F. Kennedy Human Rights
² Sri Lanka Working Journalists Association
මෙම සුවිශේෂ ජාත්‍යන්තර සංදේශයේ පිටපත් දෙකක් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙතද ඉදිරිපත් කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










