විදේශිකයෙකු රවටා රුපියල් 800ක මුදලකට තේ කෝප්පයක් සහ වඩේ එකක් අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණය කළ අතර මොරගොල්ල සංචාරක පොලිසිය ඊයේ (18) එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. (Sri Lanka Latest News)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් වන අදාළ පුද්ගලයා මෙලෙස වැඩි මිලට ආහාර අලෙවි කර ඇත්තේ වෙළෙන්දෙකු ලෙස පෙනී සිටිමින් බවයි.
මෙරට සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙන වකවානුවක ඊට කළු පැල්ලම් එක් කරන සිදුවීම් දෙකක් පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණ කළා.
කළුතර ප්‍රදේශයේ වෙළෙඳසැලකදී විදේශිකයෙකුට තේ කෝප්පයක් සහ වඩේ එකක්, රුපියල් 800ක මුදලකට අලෙවි කිරීමේ සිදුවීමක් ද ඒ අතර වුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මොරගොල්ල සංචාරක පොලිසිය එම විදේශිකයා සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්ත ද ඔහු ඒ වන විටත් විදේශගතව සිටියා.
කෙසේ වෙතත් X සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත් පොලිසිය ඔහුගෙන් ලිඛිත පැමිණිල්ලක්ද ලබා ගෙන ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.
විදේශිකයාට වැඩි මුදලට ආහාර අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ ඉන් අනතුරුවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශය ද එම වැටලීම සඳහා එක් වූ අතර, එහිදී හෙළි වුණේ අදාළ පුද්ගලයා එම වෙළෙඳසැළේ වෙළෙන්දෙකු නොවන බවයි.
ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කරන ඔහු එම විදේශිකයාට ආහාර ගැනීමට ස්ථානයක් පෙන්වන මුවාවෙන් පැමිණ, වැඩි මිලට ආහාර අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරා හෙට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අදාළ වෙළෙඳසැලේ හිමිකරුට එරෙහිව ද නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
hirunews