දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබෙනවා.Sri Lanka Latest News
පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්ත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී තිබෙනවා.
මෙම ගිරවා රඳවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කරයි.
පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගතවී ඇති බව නිලධාරීන් දැක තිබෙනවා.
පසුව මේ සම්බන්ධව එහි පාලනාධිකාරිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
පසුගිය 2021 වසරේ අගෝස්තු මස 08 වැනි දිනද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබුණා.










