‘බහුතරය, බහුතරය තියෙනවද? බහුතරය නැතිද?’ යන්න මේ දිනවල හැම තැනම අසන්නට ලැබෙන කතාවකි. එම නිසා මේ දිනවල බහුතරයක්ම ඇසෙන්නේ ‘බහුතරය’ පිළිබඳවයි. Sri Lanka Latest News
පළාත් පාලන ආයතන බහුතරයකම මෙම බහුතර ගැටලුව මතුවීම නිසා මේ දිනවල ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලින් වැඩිම අවධානයක් යොමුව තිබෙන්නේ කෙසේ හෝ බහුතරය වැඩිකර ගැනීම සඳහාය.
බහුතරයේ වැදගත්කම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට යන කාරණයේදී මේ තරම් වැදගත් නම් රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ බහුතරය රැකගැනීම කෙතරම් වැදගත් වේද?
ආණ්ඩු බලය ලබාගත්තත් ආණ්ඩු බලය රැකගැනීමට නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයයි. පාර්ලිමේන්තුවේ බහුතරය රැකගැනීමට අසමත් වුවහොත් එම ආණ්ඩුවට පැවැත්මක් නැත.
විසර්ජන පනත නොහොත් අයවැය පරාජයට පත්වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මුදල් පනතකට අදාළ කාරණයක් වුවද පාර්ලිමේන්තුවේදී බහුතරය නොමැතිව සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එම ආණ්ඩුව දැඩි අර්බුදයකට අනිවාර්යයෙන්ම මුහුණ පාන්නේය.
අයවැය වාගේම රාජාසන කතාව, එසේත් නොමැති නම් රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අභියෝගයක් එල්ල වී රාජාසන කතාව ඡන්ද විමසීමකට ලක්කොට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව අර්බුදයකට යෑම නොවැළැක්විය හැකිය.
රාජාසන කතාව පරාජයට පත්වූ ඇතැම් ආණ්ඩු අර්බුදයට ගොස් ආණ්ඩු බලය නැතිවූ අවස්ථාද ඉතිහාසයේ දැක්වේ. නමුත් මෑත කාලයේ සහ වර්තමානයේ රාජාසන කතාව ඡන්ද විමසීමකට ලක්කෙරෙන සම්ප්‍රදායක් දක්නට ලැබෙන්නේ නැත.
‘පුළුවන් නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න. මං අභියෝග කරනවා’ යනුවෙන් දින 52 ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී මෙම අභියෝගය කළේ එවක යහපාලන ආණ්ඩුවේ සභානායක ධුරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ලය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය.
මේ නිසා මෙරට දේශපාලන ක්ෂේත්‍රය උඩුයටිකුරු වූ අතර මෙහිදීද වැදගත්ම කාරණය වූයේ පාර්ලිමේන්තුවේ බහුතරයයි.
පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වාගෙන යෑමට නම් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකු අවශ්‍යයි. නමුත් ඒ අවස්ථාවේදී දින 52 ආණ්ඩුවට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 109කි.
මේ නිසා ලක්ෂ්මන් කිරිඇල්ල දින 52 ආණ්ඩු සමයේදී පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකදීම අභියෝග කළේ පුළුවන් නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසයි.
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමෙන් අනතුරුව බත්තරමුල්ලේ දියත උයනේදී දින 52 ආණ්ඩුව මගින් රැස්වීමක් සංවිධාන කර තිබිණි. මෙම රැස්වීම සඳහා එම ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල මෝටර් රථයෙනි.
මෙම රැස්වීම පවත්වන විටත් දින 52 ආණ්ඩුවේ බහුතරය සකස් කර තිබුණේ නැත. දින 52 ආණ්ඩුවට බහුතරය ලබාගැනීම සඳහා ඒ වනවිටත් බැසිල් රාජපක්ෂ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
තම සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ බහුතරය ඇතිකර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ සිදුකරන මෙහෙයුමට සහයෝගය ලබාදෙන ලෙසයි.
‘ආණ්ඩුවේ බහුතරය ඇතිකර ගැනීමට මල්ලිලා දෙන්නා මාර ගේමක් ගහනවා’ යනුවෙන් දේශපාලනඥයන් අතර කතාවක් පැතිර ගියේ බැසිල් රාජපක්ෂ සහ ඩඩ්ලි සිරිසේනද බහුතරය ඇතිකර ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටි නිසයි.
බත්තරමුල්ල දියත උයනෙහි තිබුණු රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග සිටින විට ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අසලට විත් යම් විමසීමක් සිදුකරන බව දක්නට ලැබිණි.
‘ජනාධිපතිතුමා බහුතරය හරිද?’ යනුවෙන් කිහිප දෙනකු විමසන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ ‘බයවෙන්න එපා බයවෙන්න එපා. බහුතරය මං බලාගන්නම්…’ කියාය.
එම රැස්වීමේදී පැවැත්වූ කතාවේදීද බහුතරය ගැන කතාකිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අමතක නොකළේය.
‘දැන් මේ මන්ත්‍රීවරුනුත් කිහිප දෙනෙක්ම ඇවිල්ලා මගෙන් ඇහුවා, සර් බහුතරය හරිද කියලා. හුඟදෙනකුට පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රශ්නයක් කියලා මට තේරෙනවා. බහුතරය හරි. ඕනේ නම් බහුතරය හරි කියලා ෆෝන් එකේ රිගිං ටෝන් එකට දාගන්න’ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ බහුතරය ගැන දැඩි විශ්වාසයකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එසේ කතා කළේය.
එදිනට පාර්ලිමේන්තුවේ බහුතරය පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි ලෙස කිව්වද එදින සවස් කාලය වනතුරු මැතිසබය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි විය.
බහුතරය පෙන්වීමට නොහැකි වීම නිසා යහපාලනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එහිදී තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කළේ බහුතරය නොමැති වීම නිසා එම ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බවයි.
දින 52 ආණ්ඩුව දින 52කට සීමා වූයේ පාර්ලිමේන්තුවේ බහුතරය නොතිබූ නිසාය. ඒ අනුව දින 52 ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවිය.
ආණ්ඩු බලය රැකගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීම යනු ආණ්ඩුව ආරක්ෂා කරගැනීමයි.
පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑමේ ප්‍රමුඛතම වගකීම හිමිවන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයටයි. සභානායක ධුරයද මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර, ආණ්ඩුවේ බහුතරය රැකගැනීම ගැන සභානායක කාර්යාලයද සිටිය යුත්තේ දැඩි විමසිල්ලකිනි.
පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයටත්, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයටත් විශාල වගකීමක් පැවරුණද මේ සම්බන්ධයෙන් දැඩි වගකීමක් තිබෙන තවත් කාර්යාලයක් සහ තනතුරක් පාර්ලිමේන්තුවේ තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලය සහ එම තනතුර වන්නේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරයයි.
ඕනෑම ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීමට නම් ඉතා වැදගත් තනතුරක් වන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරන විට ජනාධිපති ලේකම් වූයේ මැණික්දිවෙලයි. පාර්ලිමේන්තු කටයුතුද බොහෝ විට සොයා බැලුවේ මැණික්දිවෙල විසිනි.
1977 ජේ.ආර්.ට 5/6ක පාර්ලිමේන්තු බහුතරයක් හිමිවුවද මැති ඇමැතිවරුන්ගේ ගැටලු, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු, ජනතා සේවයේදී ඔවුන් මුහුණ පාන ගැටලු ගැන පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට පැමිණ සොයා බැලුවේ මැණික්දිවෙල විසිනි.
මෙරට දෙවැනි විධායක ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති ලේකම් ධුරයට පත්වූයේ කේ.එච්.ජේ. විජේදාසයි. ඔහුද දක්ෂ ලේකම්වරයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාගේම පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කටයුතුද කේ.එච්.ජේ. විජේදාස විසින් ඉතා හොඳින් සොයා බැලුවේය.
90 දශකයේ මුල රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවට කේ.එච්.ජේ. විජේදාසගේ කනට වැටෙන්නේද පාර්ලිමේන්තුවෙනි.
ඒ බව කේ.එච්.ජේ. විජේදාස විසින් ‘පහන් සංවේගය’ නම් කෘතියෙන් විස්තර කර තිබුණේ මෙසේය.
‘1991 මැද භාගයේ සිට දෝෂාභියෝගයේ දෝංකාරය ගුවනට මුසුව තිබිණි. අපේක්ෂා කළ පරිදි අගෝස්තු 28 වැනිදා සවස කතානායක එම්.එච්. මොහොමඩ් මහතා මට දුරකතනයෙන් කතා කළේය.
‘මිස්ට විජේදාස, ජනාධිපතිතුමාට භාරදෙන්නට වැදගත් ලිපියක් තියෙනවා’ මොහොමඩ් මහතා මට පැවැසීය. මේක හදිසි ලියුමක්. මම ආරක්ෂක නිලධාරියෙක් අතේ දැන්ම එවනවා. ජනාධිපතිතුමාට ඒක ඉක්මනින් භාරදෙන්න…’ ඔහු කීවේය.
දෝෂාභියෝගය තමන් විසින් භාරගත් බව දැනුම් දෙන ලිපියදැයි මම ඇසීමි. ඔහු සිනාසුණේය. විනාඩි ගණනකින් ලිපිය මා අතට පත්වුණි.’
කේ.එච්.ජේ. විජේදාස හිටපු ජනාධිපති ලේකම්වරයාගේ කෘතියකින් ඉහත කොටස උපුටා ගත්තේ දෝෂාභියෝගය පිළිබඳ ඔහු කලින් සිට දැනගෙන සිටි බව පෙන්වීමටය.
විජයදාස ලේකම්වරයා පාර්ලිමේන්තුව සමග සමීප සබඳතාවක් පැවැති නිසා කතානායකවරයා අතට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග යෝජනාව පත්වන විටම ඒ බව දැන සිටියේය.
එම දෝෂාභියෝගයේ ඉදිරි ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 1991 අගෝස්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල්දමන බව හා යළි පාර්ලිමේන්තුව සැප්තැම්බර් 24 වැනිදා කැඳවනු ලබන බවත් සඳහන් ගැසට් නිවේදනය කේ.එච්.ජේ. විජේදාස ජනාධිපති ලේකම්වරයාගේ අස්සනින් ප්‍රකාශයට පත්කෙරිණි.
එදා දෝෂාභියෝගය මෙහෙයවපු බොහෝ දෙනා අන්දමන්ද වූයේ කේ.එච්.ජේ. විජේදාස ජනාධිපති ලේකම්වරයාගේ මෙම ගැසට් නිවේදනයෙනි.
එදා දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී එය ජයග්‍රහණය කළේ නම් රණසිංහ ප්‍රේමදාසට ජනාධිපති ධුරයත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවත් නැතිවන්නේය.
දෝෂාභියෝගය පරාජය කිරීම පිළිබඳ කේ.එච්.ජේ. විජේදාස සතු ඉතා වැදගත් සහ රසවත් අත්දැකීම් බොහෝය. එය ඉදිරි කාලයේදී ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීම හේතුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝග අභියෝගයෙන් ජයගත්තේය.
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, දොස්තර ගාමිණී විජේසේකර, ඔසී අබේගුණසේකර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකයන් රැසක්ම 1993/94 වර්ෂවලදී කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලින් මරුමුවට පත්වූ නිසා 1994 දී බලයට පත්වන චන්ද්‍රිකා ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට ප්‍රබල බාධාවන් පැමිණෙන්නේ නැත.
එම නිසා එක් මන්ත්‍රී ආසනයකින් පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව ගෙනයෑමට චන්ද්‍රිකාට හැකි වන්නේය.
යම් විදියකින් එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවට ලලිත් හෝ ගාමිණී සිටියා නම් එක් මන්ත්‍රී ආසනයකින් පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීමට චන්ද්‍රිකාට පහසු වන්නේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව 2005 සිට 2010 දක්වා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීමට වැඩි අවධානයක් යොමුකළ බව දක්නට ලැබිණි.
ඊට හේතුව කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයද ක්‍රියාත්මක වූ නිසා නිතරම පාර්ලිමේන්තුවේ බහුතරය ගැන විමසිල්ලෙන් සිටීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවිය.
එහි වගකීම පැවරුණේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේටය. ඔහු ඉතා මැනැවින් එම රාජකාරිය ඉටුකළ නිලධාරියකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
2008 වර්ෂය වෙනුවෙන් 2007 දෙසැම්බර් මාසයේදී පැවැති අයවැය විවාදය පරාජය කිරීමට විරුද්ධ පක්ෂය සැලසුම් කළේය. පාර්ලිමේන්තුවේදී මේ ගැන කන වැකුණු හෙට්ටිගේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුවත් කොට පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. සැලුන් දොරද විවෘත වන්නේ මෙහි ප්‍රතිඵලයක් හැටියටය.
එම අයැවය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ තෙවැනි වර කියවීමේ ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එදා එසේ නොවුණා නම් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරාජයට පත්වී කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයද අතරමග නතර වන්නේය. එදා ආණ්ඩුවට බහුතරය ආරක්ෂා කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමග බොහෝ සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ හෙට්ටිගේය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු පමණක් නොව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලටද හෙට්ටිගේ විසඳුම් ලබාදුන් අතර, එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද විශාල සහනයක් විය.
ජනාධිපතිවරයා ළඟට යන්නේ නොමැතිව පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය තුළම බොහෝ ගැටලු විසඳීමට හෙට්ටිගේ සමත් විය.
පසු කාලයේ රාජපක්ෂවරුන්ගේ පරාජයට කුමාරසිරි හෙට්ටිගේ එම තනතුරෙන් ඉවත් කිරීම ප්‍රබල ලෙස බලපෑ බව නොරහසකි.
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු පත්කිරීම ගැන එතරම් උනන්දුවක් නොදැක්වීය. ඒ අවස්ථාවේදී කුමාරසිරි හෙට්ටිගේ වැනි පළපුරුදු ලේකම්වරයකු ගෝඨාභය විසින් පත්කර තිබුණා නම් එදා ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවට අත්වූ ඉරණම මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.
යහපාලන ආණ්ඩු අවස්ථාවේදීද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාගෙන් වැඩි දෙයක් සිදු නොවීය. මෛත්‍රී-රනිල් දේශපාලන අර්බුදය විසඳීමට තිබූ හොඳම ස්ථානය පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වුවත් එමගින් නිසි ප්‍රයෝජනයක් ලබාගත්තේ නැත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ විට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත්වන්නේ ආශු මාරසිංහයි. තනි මන්ත්‍රීවරයෙක් සහිතව සිටි පක්ෂයකට ජනාධිපති ධුරය සහ ආණ්ඩු බලය හිමිවීම පාලනය කරගෙන යෑම ප්‍රායෝගිකව දැඩි දුෂ්කරතාවකි. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය ඉතා වැදගත් වන අතර එහිදී ආශු මාරසිංහ එම කාර්යය සිදුකරගැනීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බව දක්නට ලැබිණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වශයෙන් මහාචාර්ය ආශු මාරසිංහ යම් මෙහෙයක් කළද පාර්ලිමේන්තු විවාදවලදී ආණ්ඩු පක්ෂයේ මතය ගෙනයෑමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණයේදී ඔහු දුර්වල විය.
ආණ්ඩු පක්ෂයේ මතය පාර්ලිමේන්තුව තුළ ගෙනයෑමේ වගකීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට සහ සභානායක කාර්යාලයට පැවරුණද එහි ප්‍රබල වගකීමක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයටද ඇත.
එම නිසා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකද මේ ගැන අවධානය යොමුකළ යුතුය. පාර්ලිමේන්තුවේ තිබෙන බලය ආරක්ෂා කරගැනීමට නම් පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලයට විශාල වගකීමක් තිබෙන අතර, එය නිසි පරිදි සිදුවෙනවාදැයි සොයාබැලීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. බලය ලබාගැනීම වාගේම බලය පවත්වාගෙන යෑමද වැදගත් වන අතර, ඊට පාර්ලිමේන්තුවේ බහුතරය ඉතා වැදගත් වේ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










