ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිලිබඳව නොවැම්බර් 10 හෝමාගම නගරයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ දැක්වූ අදහස් මෙසේය.
ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ තොරතුරු නොමග යවන සුළු බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන. එම ප්‍රතිපත්තියේ රාජ්‍ය ආයතන විකුණන බවට සඳහනක් නැති බව ඔවුන් කියනවා. නමුත් අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නෙවෙයි. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරණ ගැසට් නිවේදනයේ.
එම ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන් කර තියෙනවා. මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යය.
අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නෙවෙයිද? එසේනම් රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කොහොමද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට හෝ වෙනත් ආයතනයකට ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? එහි ඉංග්‍රීසි පිටපතේ තිබෙන්නේ ඈවර කිරීම සහ ඒකාබද්ධ කිරීම යන දෙකම කරනවා කියා නෙවෙයිද? එය අපට සිදුවූ වැරදීමක්ද?
II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද? රජය ත්‍රිපෝෂ සමාගමට සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ මොකක්ද? ඈවර කිරීමද, නැතිනම් වෙනත් සමාගමකට ඒකාබද්ධ කිරීමද, නැතිනම් ඒ දෙකමද? ඈවර කිරීමක් නොකර ඒකාබද්ධ කරනවානම් ඒකාබද්ධ කරන්නේ කවර ආයතනයකටද? ත්‍රිපෝෂ සමාගම පෙර පරිදි පවත්වාගෙන යනවානම් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට නැතිව මුදල් අමාත්‍යාංශයට පැවරුවේ ඇයි?
මේ කිසිවකට මුදල් අමාත්‍යාංශ නිවේදනයේ උත්තර නෑ.
ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයක. එයට සමාජ විරෝධය එනවිට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවයක් වුණත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නෙවෙයි. ඒ නිසා මෙය ආණ්ඩුවේ ස්ථාවරය නෙවෙයිනම් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුයි. අවම වශයෙන් මෙය නිවැරදි කරන බවට ප්‍රකාශයක් සිදුකළ යුතුයි.
අනෙක රජයේ ආයතනයක් සම්බන්ධ මේ වගේ කරුණක් සම්බන්ධයෙන් ෆේස්බුක් බලකායයි, ගැලරි ටෝක් සෙට් එකයි උත්තර බැඳලා වැඩක් නෑ. එක්කෝ මේ ගැසට් එකට අත්සන් කළ ජනාධිපතිවරයා, නැතිනම් ගැසට් එක නිකුත් කළ රජයේ මුද්‍රණාලයාධිපතිවරයා, එසේත් නැතිනම් මේවායේ වගකීම් දරණ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. අත්වැරැද්දක් සිදුව ඇත්නම් නිවැරදි කළ යුතුයි.










