කොට්ටහච්චිගේ අවනඩුව
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප මාලිමා ආණ්ඩුව ඇතුළේ මතුවූ අලුත්ම අර්බුදය පිළිබඳ කෙටි සටහනක් තැබුවෙමු. එහිදී අප කියා සිටියේ මාලිමාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ නීතිඥ බිරියක විසින් පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇති බවත්, තමන්ට අයත් ප්‍රාඩෝ රථය මන්ත්‍රී සැමියා විසින් රැගෙන ගොස් ඇති බවත්, එම පැමිණිල්ලේ සඳහන්ව තිබූ බවක් අප වාර්තා කර සිටියෙමු. මීට අමතරව මෙම මන්ත්‍රීවරයා මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරියක සමග සබඳතාවක් පවත්වමින් සිටින බවත්, කෙතරම් අවවාද කළද එය නවත්වා නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන්ව තිබූ බවද අප වාර්තා කර සිටියෙමු. පසුගිය සිකුරාදා දිනයේදී මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ බැවින් සති අන්ත පුවත්පත්වල ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී තිබුණේ නැත. නමුත් සති අන්තයේ මෙම සිදුවීමට තවත් පාර්ශ්ව රැසක්ම සම්බන්ධ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඊට ඍජුවම සම්බන්ධ වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මාලිමාවේ නීතිඥවරියක වන කෞෂල්‍යා ආරියරත්න මහත්මියය. ඇය එම සිද්ධියට සම්බන්ධ වී තිබුණේ මෙම සිදුවීම සිකුරාදා වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය ජාලවලින් මෙම මන්ත්‍රීවරයා සමග සබඳතා පවත්වන්නේ කෞෂල්‍යා ආරියරත්න බව සඳහන් පුවත් සහ පෝස්ට් විශාල වශයෙන් සංසරණය වී තිබීම හේතුවෙනි. එමෙන්ම අදාළ මන්ත්‍රීවරයා සහ කෞෂල්‍යා සිටින ඡායාරූපද ඇතැමුන් විසින් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු කරගෙන තිබිණි. මීට අමතරව යම් යම් පිරිස් කෞෂල්‍යාගේ දුරකතනයට ඇමතුම් ලබාදෙමින් අපහාසාත්මක අයුරින් කතාකිරීමටද කටයුතු කොට තිබිණි.Sri Lanka Latest News
මුලින් මුලින් කෞෂල්‍යා මෙය වැඩි ගණනකට නොගත් නමුත් එන්න එන්නම තත්ත්වය දරුණු වූ බැවින් අවසානයේදී ඇය තීරණය කළේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. එමෙන්ම මාලිමාවට සම්බන්ධ යම් යම් සංවිධාන මෙම සිදුවීමට කෞෂල්‍යා සම්බන්ධ නැති බව කියමින් මාධ්‍ය හමු පැවැත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් කෞෂල්‍යා ආරියරත්න මෙම සිදුවීමට සම්බන්ධ නොමැති නම්, මෙම චෝදනාව එල්ල වී තිබුණේ මාලිමාවේ කුමන මන්ත්‍රීවරියටද? ඒ ගැන නිශ්චිත සඳහනක් නොමැති වුවත්, පසුගිය 29 වැනිදා මාලිමාවේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සහ සටහනක් තබා තිබෙනු දැකගත හැකි විය. ඡායාරූපයේ දැක්වුණේ නිලන්තිගේ සැමියා සහ දරු දෙදෙනා සමග ඇය සිටින ආකාරයය. සටහනේ තිබුණේ පහත ඇති පැදි තුනය.
‘අග ද මුල මැද නොම දැන
නමුදු හෙණ හත යදිමින
ගැහැනුන්ට නිති ගරහන
රටකි උඩු ගං බලා පිහිනන…
පැමිණි මග දෙස බලමින
ගැරහුම් මැද ද හිනැහෙන
ගරහන ලොවෙන් ඉගිළෙන
ගැහැනු ඇත මතු බුදු වන…
මඩ කන්ද පාමුල හිඳිමි
පිඬෙන් පිඬ ගුලි ගසමි
දිය දා පදම් කරමි
තැනූ පැල ඔප දමමි…’
මීට අමතරව පසුගිය සිකුරාදා දිනයේදී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා ඇය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය. එම පැමිණිල්ලෙන් කියවී තිබුණේ කිසියම් පුද්ගලයකු කොට්ටහච්චි මහත්මියට අපහාස කරමින් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු වාර්තා කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.
හඳුන්නෙත්තිගේ ප්‍රහාරය
මේ ආකාරයට මාලිමාව ඇතුළේ යම් අර්බුදයක් පැනනැගෙද්දී තත්ත්වය තවත් දරුණු අතට පෙරළමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාද පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලැබීය. එය එක්තරා ආකාරයකට ආණ්ඩුව ඇතුළේ සිදුවෙමින් පවතින යම් සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ භයානක ඉඟියක් බව බොහෝ දෙනකුට පෙනෙන්නට තිබිණි. එහිදී හඳුන්නෙත්ති කියා සිටියේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මේ වනවිට යම් ගැටලුවක් පැනනැගී ඇති බවකි. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිගත නොහැකි බවද හඳුන්නෙත්ති එහිදී ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේය.
මේ සුනිල් හඳුන්නෙත්ති එහිදී කළ කතාවය.
‘දැන් අපේ ගැටුම තියෙන්නේ කාත් එක්කද? එදා අපිට එළියෙ ගැටුමක් තිබුණා ජනතා අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. අද අපිට ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අද අපිට මුදල් අමාත්‍යාංශයත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. මම මේ ඇත්ත කියන්නේ. බදු ප්‍රතිපත්තියත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. අපිට තරගෙ තියෙන්නේ පිටරට භාණ්ඩ එක්ක නෙවෙයි. ඒවත් එක්ක අපේ නිෂ්පාදකයන්ට තරග කරන්න පුළුවන්. තරගෙ තියෙන්නේ ඒ පිටරටින් ගේන භාණ්ඩ ආරක්ෂා කරන නිලධාරීන් එක්ක. අපිට සිද්ධ වෙලා තියෙනවා ඔවුන් පනවපු බදු එක්ක තරග කරන්න. ඒ බදු නිසා අපේ භාණ්ඩ විශාල වශයෙන් මිල ඉහළ ගිහින්. මේ නිලධාරීන් ලෑස්ති නෑ ප්‍රතිපත්ති ඉවත් කරන්න. සාධාරණය ඉටුකරන්න ඔවුන් ලෑස්ති නෑ. මම කර්මාන්ත හා ව්‍යවසාය ඇමැතිවරයා විදියට ඒ අභියෝගය භාරගන්න ලෑස්තියි.
පසුගිය දවසක මමත් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහෝදරයත්, අමාත්‍යාංශ ලේකම්තුමියත් ගිහින් නිලධාරීන් එක්ක කතා කළා. දේශීය නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කරගන්න පුංචි වෙනස්කම් ටික කරලා දෙන්න කියලා. ඔවුන් ඉන්නේ පරණ තැනමයි. ඔවුන් ලෑස්ති නෑ වෙනස් වෙන්න. ඔවුන් ලෑස්ති නැත්තේ අපි ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් පිළිගන්න විතරක් නෙවෙයි, ඔවුන් ලෑස්ති නෑ ඔවුන් ගත්ත තීරණ වෙනස් කරන්න. එහෙම නම් අපි ලෑස්තියි අපේ නිෂ්පාදන ඔවුන් පනවන බදුත් එක්කම තරග කරන්න.
කැලේට ගියාම බටයක් කපාගන්න දෙන්නේ නෑ. නඩු දානවා. ප්‍රවාහනය කරන්න දෙන්නෑ. පොලිසියෙන් නඩු දානවා. පිත්තල කර්මාන්තයට අවශ්‍ය පිත්තල, තඹ, යකඩ ටික දෙන්නේ නෑ. පිටරට පටවනවා. ලබන අවුරුද්දේ අපි අපේ ශිල්පීන්ට අවශ්‍ය පිත්තල, තඹ, යකඩ දීලා තමයි ඉතිරි ඒවා පිටට දෙන්නේ….’ යන්න එහිදී හඳුන්නෙත්ති කළ කතාව විය.
ආර්ථික ඝාතකයා
හඳුන්නෙත්ති මුදල් අමාත්‍යාංශයට එරෙහිව කළ මෙම ප්‍රකාශය බොහෝ දෙනා හැඳින්වූයේ, එක්තරා ආකාරයක බරපතළ ගැටුමක පෙරනිමිත්තක් හා සමානවය. ඊට උදාහරණ දෙමින් ඔවුන් කියා තිබුණේ ඉකුත් 2010 – 2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සහ 2019-2023 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයන්හිදී ආණ්ඩු පෙරළි සඳහා පාර කැපුණේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මුදල් අමාත්‍යාංශය සමග ඇතිකරගත් ගැටුම් නිසා යැයි කියාය. 2010 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. එහිදී මහින්දගේ කැබිනට්ටුවේ සිටිමින් පී.බී.ට පළමු ප්‍රහාරය එල්ල කළේ වෙන කවුරුවත් නොව, අමාත්‍ය විමල් වීරවංශය. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විමල් ඇතුළු කණ්ඩායම කෙතරම් යෝජනා ඉදිරිපත් කළද, පී.බී. එදා ඒවා කනකට ගත්තේ නැත. ඒ සඳහා මුදල් වෙන්කළේ නැත. මේ නිසා වරෙක විමල් පී.බී.ව හඳුන්වා දෙනු ලැබුවේ ‘ආර්ථික ඝාතකයා’ යැයි කියාය. පී.බී. ආණ්ඩු පෙරළීමට කුමන්ත්‍රණ කරනවා යැයි කියාය. බොහෝ දුරදිග ගිය මෙම විමල් – පී.බී. ගැටුමේ අවසන් ප්‍රතිඵලය වූයේ මහින්දගේ ආණ්ඩුවට ගෙදර යන්න පාර කපමිනි. පී.බී.ටද අධිකරණය හමුවේ නඩු පැවරුණු අතර, ඉන් ඔහු වරදකරු බවටද පත්විය.
කෙසේ වෙතත් 2019-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදීද පී.බී.ට ආණ්ඩුව ඇතුළේ ලොකු තැනක් හිමිව තිබිණි. රාජපක්ෂවරුන් සමග පැවැති හිතවත්කම් හරහා එකලද පී.බී. මැති ඇමැතිවරුන් පාලනය කිරීමට කටයුතු කළේය. නමුත් එහිදීද සිදුවූයේ මහින්දගේ කාලයේ දී මෙන්ම මැති ඇමැතිවරුන් එක්ව පී.බී.ට එරෙහිව කැරැල්ලක් දියත් කිරීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජන අරගලයක් නිර්මාණය වීමය. එම පිපිරුම අවසන් වූයේ ගෝඨා රටින් පන්නා දැමීමෙන් අනතුරුවය.
අදත් දකින්නට ඇත්තේ එදා මහින්දගේ සහ ගෝඨාගේ ආණ්ඩු කාලයේ සිදුවූවා මෙන්ම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන් සටනක් දියත්ව ඇති බවය. එදා විමල් වෙනුවට අද සටන දියත් කර ඇත්තේ විමල්ගේම කඳවුර නියෝජනය කළ හඳුන්නෙත්තිය. හඳුන්නෙත්ති ප්‍රහාරය එල්ල කොට තිබුණේද මහබැංකු අධිපතිවරයාට සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඉලක්ක කොටය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බරපතළ චෝදනාවක් එල්ල වී තිබිණි. ඒ, ආර්ථික අර්බුදය පිට දමමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම් කටයුතු කළා යැයි කියාය. නමුත් කුමන චෝදනා එල්ල වුවද රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුර කිසිදු වෙනස්කමක් නොකර මහබැංකු අධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් තවදුරටත් ඒ තනතුරුවලම තබාගැනීමට පියවර ගත්තේය. එසේ වුවද මේ වනවිට ඔවුන්ට එරෙහිව එළියේ පමණක් නොව මාලිමා ආණ්ඩුවේද යම් විරෝධයක් මේ වනවිට මතුවෙමින් පවතින බවක් හඳුන්නෙත්තිගේ මෙම ප්‍රකාශය හරහා පැහැදිලිය. කෙසේ වෙතත් එම ප්‍රහාරයේ අවසානය කවර ප්‍රතිඵලයක් ගෙනදෙනු ඇද්දැයි දැන්ම තියා කිව නොහැක.
මාලිමා-ජවිපෙ ගැටුමද?
කෙසේ වෙතත් අනුර ජනාධිපති ධුරයට පත්වූ දින සිටම එළියට නොපෙනුණු යම් ගැටුමක් මාලිමාව සහ ජවිපෙ අතර පැවැතියේය. අප මේ සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින් වර තොරතුරු අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මාලිමාව හරහා මහ මැතිවරණයට තරග වදින පිරිස් පරාජයට පත්කිරීම සඳහා සැලසුම්සහගත ප්‍රහාරයක් ජවිපෙ පැත්තෙන් දියත් වී තිබුණු බවකි. විශේෂයෙන්ම කොළඹින් ප්‍රකට චරිත ලෙස සැලකෙන මාලිමාවේ රටම දන්නා හඳුනන විමල් කැටිපෙආරච්චි සහ ව්‍රායි බල්තසාර් යන දෙදෙනාත්, මාතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමත් පරාජයට පත්වී නමක් ගමක් නොදන්නා පිරිස් ආණ්ඩුවට තේරී පත්වූයේ මේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. එම නිසා හඳුන්නෙත්ති හරහා එළියට පැමිණි මෙම ප්‍රහාරයද බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මාලිමාව සහ ජවිපෙ අතර ගැටුමේම යම් දිගුවක් ලෙසටය. විශේෂයෙන්ම හඳුන්නෙත්ති මෙම දේශපාලන බෝම්බය අතහැරියේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ජවිපෙ ප්‍රතිපත්තිය දෙසට හරවා ගැනීමේ අපේක්ෂාවෙන් බව බොහෝ දෙනාගේ අදහසය.
මීට අමතරවද පසුගිය සතියේ මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිද මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයන් දෙකක් සිය මුහුණු පොතේ සටහන් කිරීමට පියවර ගෙන තිබිණි. නිර්මාල් දේවසිරි යනු මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැවැන්ත මතවාදී අරගලයක් ගෙනගිය ප්‍රකට ආචාර්යවරයෙකි. හිටපු කතානායක අශෝක රංවලගේ ආචාර්ය ධුරය සම්බන්ධයෙන් එක්තරා මහාචාර්යවරයකු විසින් අදහස් දක්වද්දී පළමු වරට ඒ සම්බන්ධයෙන් විවෘතව අදහස් පළකළේ නිර්මාල්ය. ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් ඇත්නම් එය වහාම නිවැරැදි කිරීමට අශෝක රංවල පියවර ගතයුතු බවත්, නොඑසේ නම් ආණ්ඩුව අර්බුදයකට නොයවා ඔහු එම තනතුරෙන් ඉවත් විය යුතු බවත්ය. විපක්ෂයේ අනෙකුත් පිරිස් අශෝක රංවලට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට පියවර ගත්තේ නිර්මාල්ගේ මෙම විවේචනයෙන් අනතුරුවය.
ඒ අනුව නිර්මාල් දේශපාලන අර්බුද හමුවේ මාලිමාවේ නිහඬ බව දැඩිව ප්‍රශ්න කරමින් සිය මුහුණු පොතේ විශේෂ සටහන් දෙකක් තබා තිබිණි. ඉන් එකක් වූයේ, ‘ජාතික ජන බලවේගයේ බුද්ධිමය කවය දේශපාලනය අතහැර දමා ඇති බව පෙනේ’ යන්නය. දෙවැන්න වූයේ, ‘සමාජ පරිවර්තනය යථාර්ථයක් කළ හැක්කේ නිලධාරිවාදය පරදා රාජ්‍ය අත්පත් කරගැනීමෙන් පමණි’ යන්නය. ඒ අනුව නිර්මාල් තබා තිබූ දෙවැනි සටහන සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රකාශයට බොහෝ සමපාත වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. එමෙන්ම නිර්මාල්ගේ මෙම ප්‍රකාශය හරහා මාලිමාව ඇතුළේ යම් අර්බුදයක් මතුව තිබෙන බවක්ද පැහැදිලිව දැකගන්නට ලැබිණි.
ඒ සියල්ල අස්සේ අර්බුදයේ ඊළඟ සලකුණ එළියට ආවේ ඇමැති ලාල්කාන්ත හරහාය. ලාල්කාන්තද පසුගිය දිනෙක තරමක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ජනතාවගේ මීළඟ සුනාමිය එන්නේ රාජ්‍ය සේවකයන්ට එරෙහිව යැයි කියාය. ඒ හරහා රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්න කිරීමක් ලාල්කාන්ත විසින් සිදුකොට තිබිණි.
රනිල්ගේ අලුත්ම කුමන්ත්‍රණය
මාලිමා ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයේ අර්බුද පැනනැගෙමින් පැවැතියදී මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කොට ඇති අලුත්ම මෙහෙයුමක් පිළිබඳවද විශේෂ අනාවරණයක් කිරීමට සූදානම්ය. රනිල් මෙම දේශපාලන මෙහෙයුම මේ වනවිට ආරම්භ කොට ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දියත් කරනු ලැබ තිබූ මෙහෙයුමක තවත් එක් දිගුවක් ලෙසය. ගෝඨා ජනාධිපති ධුරය අතහැර දමා රටින් පලායද්දී රාජපක්ෂවරුන්ගේ සහායෙන් පාර්ලිමේන්තුවේ පස්සා දොරෙන් පැමිණ ජනාධිපති ධුරයේ අසුන්ගත් දින සිටම රනිල්ගේ ප්‍රධාන මෙහෙයුම වී තිබුණේ සජිත් සහ සජබය විනාශ කිරීමය. ඒ සඳහා රනිල් එකවර මෙහෙයුම් කීපයක්ම දියත් කොට තිබිණි. ඉන් එකක් වූයේ සජිත් සමග සිටින සජබ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිකම් සහ වරප්‍රසාද ලබාදී ආණ්ඩුවට ගැනීමය. හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, වේළුකුමාර් වැනි මන්ත්‍රීවරු ආණ්ඩුවට ගියේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසටය. ඊළඟ මෙහෙයුම දියත් කරමින් රනිල් කළේ සජබ මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී ඔවුන් හරහා සජබය ඇතුළේ නිතරම ප්‍රශ්න සහ ගැටුම් ඇතිකිරීමය. ඒ හරහා වරෙක රනිල් සජබ මන්ත්‍රීවරුන් රැසකට බාර් ලයිසන් විශාල ප්‍රමාණයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ට මත්පැන් නිෂ්පාදනය කිරීමේ ලයිසන් පවා නිකුත් කොට තිබිණි. තවත් තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටි ගණන් ලබාදීමට රනිල් කටයුතු කළේය. ඉකුත් මහ මැතිවරණයේදී එම මන්ත්‍රීවරුන්ගෙන් යම් කොටසක් පරාජයට පත්කොට ගෙදර යැවීමට සජබ පාක්ෂිකයන් කටයුතු කළද, තවමත් ඉන් කිහිප දෙනෙක් මෙවර පාර්ලිමේන්තුවේද සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. දැන් රනිල් කරන්නේ ඒ පිරිස් අල්ලාගෙන විවිධ ප්‍රකාශ නිකුත් කරවා ගනිමින් සජබය ඇතුළේ ගැටුම් ඇතිකිරීමට කටයුතු කිරීමය.
මීට අමතරව ජනාධිපති ධුරයට පත්වීමත් සමග ලෙහෙසියෙන්ම සජබය විනාශ කිරීමේ මෙහෙයුමට අත තබමින් රනිල් කළේ මුදල් අර්බුදය පෙන්වා පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමය. බොහෝ දෙනා ඇත්තටම රටේ මූල්‍ය අර්බුදය නිසා පළාත් පාලනය මැතිවරණය රනිල් කල්දැමූ බව සිතා සිටියත් එය පිටුපස තිබූ ඇත්ත කතාව එය නොවේ. රනිල් එය හිතාමතාම සිදුකළේ සජබය සහ සජිත් දේශපාලන වශයෙන් ඉහළට ඒම වැළැක්වීමටය.
මක් නිසාද යත් ඒ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශිය සභා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ලබන්නේ සජිත්ගේ සජබ සන්ධානයය. එසේ සජබය ජය ගත්තා නම් පළමු වතාවට සජබය නමින්ම රට පුරා විහිදී ගිය බිම් මට්ටමේ මන්ත්‍රී ජාලයක් නිර්මාණය කරගැනීමට සජබයට අවස්ථාව තිබිණි. 2018 යහපාලන ආණ්ඩු සමයේදී පොහොට්ටුව ආණ්ඩු බලය අල්ලන සටනට අත තිබ්බේ රාජ්‍ය බලය හෝ නැතිව පළාත් පාලන ආයතන අති බහුතරයක් ජයගැනීමත් සමගය. ඉන් අනතුරුව පොහොට්ටුව ජනාධිපතිවරණය ජය ගත්තේත්, මහ මැතිවරණය ජය ගත්තේත් 2018දී පළාත් පාලන මැතිවරණය හරහා රට ඇතුළේ ගොඩනගාගත් ගමේ මන්ත්‍රීවරුන්ගේ ජාලය හරහාය.
මෙය හොඳහැටි අවබෝධ කරගෙන සිටි රනිල් කළේ සජබයට හිමිවීමට නියමිතව තිබූ එම අවස්ථාව අහිමි කරමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමය. ඒ අනුව අදටත් සජබයට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හයිය පමණි. පළාත් පාලන මන්ත්‍රීවරුන් හෝ පළාත් සභා මන්ත්‍රීවරුන් අදටත් සජබය සතුව නැත. එම නිසා ගම් මට්ටමේ බිම් මට්ටමේ යාන්ත්‍රණයක්ද නිල වශයෙන් සජබය සතුව නැත.
2023දී මුදල් නොමැති බව පවසමින් රනිල් පළාත් පාලන මැතිවරණය කල්දමද්දී අනුරලා ඇතුළු ජවිපෙද ඊට බරපතළ විරෝධයක් පළ නොකළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නම් සජබයට විශාල දේශපාලන ජාලයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි නිසාය. ඒ අනුව එදා අනුරලාද සිටියේ කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතුය යන ස්ථාවරයේය. පොහොට්ටුව ගෝඨාභයව ජනාධිපති ලෙස පත්කර ගත්තේත්, පසුව තුනෙන් දෙකක බලයක් මහ ඡන්දයේදී ලබාගත්තේත් 2018 පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් දේශපාලන හයියෙන් බව ජවිපෙ දනී. රනිල්ට පළාත් පාලන මැතිවරරණය කල්දමා ගැනීම සඳහා අනියමෙන් මාලිමාවේ සහාය ලැබුණේද ඒ නිසාමය.
අවාසනාවකට මෙන් මේ දේශපාලන සත්‍යය තේරුම් ගැනීමේ හැකියාවක් එදා සජබයට තිබුණේ නැත. එම දේශපාලන සත්‍යය ඔවුන් තේරුම් ගෙන තිබුණා නම් එදා කිසිසේත්ම පළාත් පාලන මැතිවරණය කල්දමන්නට රනිල්ට ඉඩ දෙන්නේ නැත. එදා ඒ සත්‍යය ඔවුන් තේරුම් ගෙන තිබුණා නම් අද මේ රටේ ජනාධිපති සජිත්ය. ආණ්ඩු බලය හොබවන්නේ සජබයය.
සජබයේ ඉත්තෝ
කෙසේවෙතත් මේ වනවිට මාලිමාව සූදානමින් සිටින්නේ ලබන මාර්තු මාසය වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. මේ වනවිට තුනෙන් දෙකක අති බහුතර බලයක් මාලිමාව සතු වීම නිසා පළත් පාලන ආයතනවලින් අතිබහුතරයක් තමන්ට ජයග්‍රහණය කළ හැකි බව මාලිමාව හොඳාකාරව දනී. එමෙන්ම රනිල් පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරයෙන් ඉල්ලා අන්ත පරාජයකට පත්වීමත් සමග මෙවර පළාත් පාලන මැතිවරණයට රනිල්ට සිලින්ඩරයෙන් හෝ අලියාගෙන් හෝ තරග බිමට පිවිසීමට නොහැකි බවද මාලිමාව හොඳින් දනී. ඒ නිසා පළාත් පාලන ආයතන අතිබහුතරයක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද මෙවරත් සටන පවතින්නේ මාලිමාව සහ සජබය අතරය.
එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු නිල වශයෙන් සජබයට රට පුරා ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් මන්ත්‍රී ජාලයක් නිර්මාණය කරගැනීමට හැකියාව පවතී. ඒ හරහා පළමු වතාවට 2018 පොහොට්ටුව නිර්මාණය කරගත්තාක් මෙන් බිම් මට්ටමේ දේශපාලන යාන්ත්‍රණයක් සකස් කරගැනීමේ හැකියාවක් සජබයට පවතී.
රනිල් මෙය නොදන්නවා නොවේ. 2023 ජනාධිපතිවරයා බවට පත්වී පළාත් පාලන මැතිවරණය කල්දැමීම හරහා එම අවස්ථාව සජබයට අහිමි කළා සේ මෙවරත් රනිල් සූදානම් වන්නේ වෙනත් දේශපාලන ගේමක් ගසා පළමු වතාවට සජබයට හිමිවීමට යන මෙම දේශපාලන හයිය අහිමි කිරීමටය. නොඑසේ නම් රනිල්ගේ සැලසුම වී ඇත්තේ සජබය සහ දුරකතනය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමටය. රනිල් මෙවරත් එම මෙහෙයුම භාරදී ඇත්තේ ඔහුගේ සමීපතමයන් වන සාගල රත්නායකටත්, වජිර අබේවර්ධනටත්, මස්සිනා වන රුවන් විජේවර්ධනටත්ය. මීට අමතරව සජබය ඇතුළේ සිටින දේශපාලනයේ දිගක් පළලක් නොතේරෙන කිහිප දෙනකුද අල්ලාගෙන රනිල් මෙම මෙහෙයුම සජබය තුළට කාවැද්දීමට හීන් නූලෙන් සැලසුමක් දියත් කරමින් තිබේ.
මුලින්ම මෙම මෙහෙයුම සජබය ඇතුළට ගෙන ඒමට සූදානම් වන්නේ රනිල් නොමැතිව සජබය සහ එජාපය එක්ව අලුත් සන්ධානයක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගොඩනගමු යැයි කියාය. ඒ අනුව මෙම මෙහෙයුමට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක්ම මේ වන විටත් ස්ථාන කිහිපයක රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවැසේ. එම සාකච්ඡා ඉදිරියට යද්දී පොදු ලකුණක් සහ පොදු සන්ධානයක් යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනාව සජබයට දැමීමට සැලසුම් කොට ඇති මොවුන්, ඒ හරහා ඉතා සූක්ෂ්මව මෙවර ඡන්ද පත්‍රිකාවෙන් දුරකතනයත්, සජබයත් ඉවත් කිරීමට සැලසුම් සකස් කොට අවසානය. එම මෙහෙයුම සාර්ථක වුවහොත් තවත් අවුරුදු 5ක් යනතුරු සජබයට බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය සකසා ගැනීමට නොහැකි වනු ඇත. රනිල් ගහන්නට යන මේ ගේම තේරුම් නොගත්තොත් පක්ෂයක් ලෙස සජබයේ අවසානයද එතැනින්ම තීන්දු වනු ඇත.
රනිල්ගේ මෙම මෙහෙයුම සජබය ඇතුළට ගෙන ඒම සඳහා පහුගිය අවුරුද් දෙක තුනක් තිස්සේ ජනාධිපති කාර්යාලයට රිංගූ ඔස්තාර්ලා කීප දෙනෙක්ද සිටී. මොවුන්ගේ නම්ගම් නියමිත වේලාවට අප රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. එමෙන්ම රනිල්ගෙන් බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන් කීප දෙනකුද, රනිල්ගෙන් විමධ්‍යගත අරමුදල් ගත් මන්ත්‍රීවරුන් කීප දෙනකුද මෙම මෙහෙයුම පිටිපස සිටී. මීට අමතරව එක්තරා බහුජාතික සමාගමක ප්‍රධානියකු සමග සමීප සබඳකම් පවත්වන සජබ තරුණ මන්ත්‍රීවරයකුද මෙම මෙහෙයුම පිටුපස සිටින බව දැනගන්නට ඇත. ඔහුද පසුගිය කාලසීමාව පුරාම සජිත් සමග සිටින බව උඩින් පෙන්වා සිටියද අවස්ථා කීපයකදීම සාගල රත්නායක සමග සාකච්ඡා පවත්වා ඇති බවක්ද දැනගන්නට තිබේ.
මීට සමගාමීව රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධනට අයත් ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වලින් මේ වනවිට සජිත් සහ සජබය ඉලක්ක කොට දැවැන්ත ප්‍රහාරයක් දියත් කොට ඇති ආකාරය දැකගන්නට පුළුවන. ඒ හරහා එම පුවත්පත් සමාජයට ගෙන යෑමට උත්සාහ දරන මතය වන්නේ මේ වනවිට සජිත් සහ සජබය දුර්වල වී ඇතැයි කියාය. ඊට සමගාමීව දැන් දැන් සජබය පැත්තෙන්ද ඊට උල්පන්දම් දෙමින් විවිධ ප්‍රකාශ නිකුත් වන ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ වනවිට මාධ්‍ය හමු පවත්වමින් සජබය සහ එජාපය එක්විය යුතු බව කියමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් මේ ඉටු කරන්නේ සජබය ගොඩගන්නා කොන්ත්‍රාත්තුවටත් වඩා සජබය විනාශ කරන රනිල්ගේ කොන්ත්‍රාත්තුවය. එසේ වුවත් පසුගිය මහ මැතිවරණයෙන් මේ වනවිට දක්ෂ, තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සජබයෙන් පාර්ලිමේන්තු පැමිණ නැතුවා නොවේ. එමෙන්ම පරාජයට පත්වූ පිරිස අතරත් එවැනි දක්ෂතා සහිත විශාල තරුණ පිරිසක්ද සිටී. ඔවුන් පක්ෂය ගොඩනැගීම සඳහා වෙහෙසෙද්දී රනිල් සමග ඩීල් දමන සුළු පිරිසක් මෙවරත් පාර්ලිමේන්තු පැමිණ පරණ පුරුදු පාරේම ගමන් කරන ආකාරයක්ද දැකගත හැකිය.
රනිල්ගේ ජාත්‍යන්තර බැලුම
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වෙද්දී ආණ්ඩුව ඇතුළට රිංගා ගැනීම සඳහා රනිල් ගෙනගිය ලොකුම ප්‍රචාරය වූයේ වැටී ඇති රට ගොඩගැනීමේ ශක්තිය සහ ජාත්‍යන්තර සබඳතා ඇත්තේ තමන්ට පමණක් බවත්, තමන් රට බාරගත හොත් ඒ සැණින් ජපානයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලැබීමට නියමිතව ඇති බවත්ය. රනිල් සහ රනිල්ගේ ගෝලබාලයන් මෙසේ පම්පෝරි ගසද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පැහැදිලිවම කියා සිටියේ රනිල් මේ කරන්නේ අමු බොරුවක් බවත්, රනිල්ට ජපානයෙන් ඩොලර් බිලියන 4ක් තබා, එක ඩොලරයක් හෝ නොලැබෙන බවත්, ඔය කියන ආකාරයේ කිසිදු ජාත්‍යන්තර සබඳතාවක් රනිල්ට නොමැති බවත්ය. අප අනාවරණ කළ මෙම තොරතුර තහවුරු වූයේ රනිල් ජනාධිපති ධුරයට පත්ව ගෙවුණු දෙවසර පුරාම ලොව කිසිදු රටක් ලංකාවට ආධාර ලබාදීමට ඉදිරිපත් නොවීම හරහාය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ආධාර මුදල හැරුණු විට වෙනත් කිසිදු රටක් රනිල්ට උදව් කිරීමට ඉදිරිපත් වූයේ නැත. නමුත් මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ වැඩකටයුතු 80%ක් ඒ වනවිටත් ගෝඨාගේ ආණ්ඩුවෙ හිටපු මුදල් අමාත්‍යවරයා වූ බැසිල් විසින් අවසන් කොට තිබිණි. ඒ බව තහවුරු වූයේද එවක පැවැති සාකච්ඡාවකදී රනිල් විසින් ප්‍රසිද්ධියේම බැසිල්ගෙන් මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම ඉල්ලා සිටීම හේතුවෙනි.
මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රනිල්ගේ මෙම ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් වූ හුළං පිම්බූ බැලුම පිළිබඳ කෙටි සටහනක් තැබූයේ පසුගිය ඉන්දීය සංචාරයේදී රනිල්ට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීම් කිහිපයක් නිසාය. අනුර ජනාධිපති වූ සැණින් රනිල් අනුරට කලින් ඉන්දියාවට ගියේත්, අනුර ඉන්දියාවට ගොස් යළි පැමිණීමෙන් පසු නැවත වතාවක් රනිල් ඉන්දියාවට ගියේත් අනුරට වඩා තමන්ට ඉන්දියාවෙන් විශාල පිළිගැනීමක් ඇති බව රටට පෙන්වීම සඳහාය. එසේත් නැත්නම් අනුරට ආරාධනා කිරීමට පෙරත්, අනුර ඉන්දියාවට ගොස් පැමිණි පසුත් තමන්ට ඉන්දියාවෙන් ආරාධනා කළ බව රටට පෙන්වීම සඳහාය. නමුත් ඇත්තම කතාව වී තිබුණේ එය නොව, රනිල් මේ දෙවතාවේදීම ගොස් තිබුණේ එරට රජයෙන් ලැබුණු නිල ආරාධනයන්ට අනුව නොව පෞද්ගලික ආරාධනාවන් අනුවය. පළමු වතාවේ ගොස් තිබුණේ ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන නැරැඹීමට සහ වන සතුන් නැරඹීමටය. අනතුරුව ගොස් තිබුණේ ඉන්දීය හිටපු අගමැතිවරයකු වූ අතල් බිහාර් වජ්පායිගේ අනුස්මරණ දේශනයකට සහභාගි වීම සඳහාය.
කෙසේ වෙතත් රනිල් සිය බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ සමග මෙවරද ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන කිහිපයක් නැරඹීමට කටයුතු කොට තිබිණි. එහිදී රනිල්ට දැනගන්නට ලැබුණේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු මෙන්ම ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා ලෙස සැලකෙන ආචාර්ය මන් මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී ඇති බවකි. ඒ අනුව රනිල් කළේ වහාම මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය කොංග්‍රස් පක්ෂ මූලස්ථානයට යෑමය. ඒ අනුව එහි ඡායාරූපයක් මෙරට මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉන්දියාවේදී විශාල පිළිගැනීමක් තමන්ට ලැබුණු බව පෙන්වීමට රනිල්ගේ පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි.
නමුත් මෙම සිදුවීම සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් නාමල් රාජපක්ෂද ලංකාවේ සිට ඉන්දියාව බලා ගොස් ආචාර්ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල්ට නොලැබුණු ආකාරයේ විශාල පිළිගැනීමක් කොංග්‍රස් පක්ෂ නායකයන්ගෙන් නාමල්ට හිමිවීමය. විශේෂයෙන්ම හිටපු කොංග්‍රස් පක්ෂ නායිකාව වූ සෝනියා ගාන්ධි මෙන්ම ඇගේ පුත් රාහුල් ගාන්ධිද නාමල් සමග බොහෝ වේලාවක් ඉතා සුහදව කතාකරමින් සිටි ආකාරයක් සියලු දෙනාටම දැකගන්නට හැකි විය. ඊට අමතරව පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන කේ.සී. වීනුගෝපාල් මහතාද නාමල් සමග අදහස් හුවමාරු කරගත් ආකාරයක් දැකගත හැකි විය. මෙම සිදුවීමට රනිල්ට ලබා දී නොතිබූ තරමේ විශාල ප්‍රචාරයක් ඉන්දීය මාධ්‍ය ඔස්සේ ලබාදී තිබීමද විශේෂ සිදුවීමක් විය.
මේ සිදුවීමත් සමග ජාත්‍යන්තර හිතවත්කම් ඇතැයි කියමින් රනිල් පුම්බමින් සිටි බැලුම එකවර බිමට කඩාපාත් වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව සිදුවූ මදිපාඩුව මකාගැනීම සඳහා වහාම රනිල්ගේ පාර්ශ්වයෙන් රනිල් මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දක්වන තවත් ඡායාරූප කිහිපයක්ම මාධ්‍ය වෙත නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
මනූෂ පැන්නා?
‘ඉකුත් රජය සමයේ ප්‍රබල අමාත්‍යාංශයක සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ රැසකට අදාළ විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ‘මව්රට’ පුවත්පතට ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.
ඒ අනුව, ඊට අදාළ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු කොටුකර ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය වෙමින් පවතින බවද දැනගන්නට ඇත.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම අමාත්‍යාංශයේ සිදුව ඇති විවිධ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණු අතර, පසුව ඒවා විමර්ශනය කිරීම සඳහා අදාළ ආයතන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.
ඒ අනුව, ගෙවුණු මාස දෙකක පමණ කාලය පුරා විමර්ශකයන් විසින් ඊට අදාළ විමර්ශන පවත්වා සාක්ෂි රැසක් අනාවරණ කොටගෙන ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින බැවින් නුදුරේදීම අදාළ දූෂිත ගනුදෙනුවලට වගකිව යුතු හිටපු ප්‍රබල අමාත්‍යවරයකු කොටුකර ගැනීම සඳහා සියලූ කටයුතු මේ වනවිට සකස් වෙමින් පවතින බවද දැනගන්නට ඇත.’
මේ, පසුගිය දෙසැම්බර් 01 වැනිදා ‘මව්රට’ මුල් පුවත ඔස්සේ රටට අනාවරණ කළ විශේෂ පුවතය. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපට ලැබුණු තොරතුරු අනුව පළකළ එම පුවත මේ වනවිට 100%ක් තහවුරු කරමින් ආණ්ඩුව ලැබුවා වූ නව වසරේ එක් ඇමැතිවරයෙක් වෙනුවට තවත් හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මේ වනවිට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සම්බන්ධ විමර්ශන රැසක්ම අවසන් අදියරේ පවතින අතර, එහි එක් පියවරක් ලෙස ඔහුගේ සහෝදරයකු වන තිසර නානායක්කාර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබේ. ඒ, පුද්ගලයන් රට යවන බවට පොරොන්දු දී ලක්ෂ 30ක මුදලක් වංචා කළ සිද්ධියකටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ පසුගිය වසර 2ක කාලය තුළ ඔහුගේ බැංකු ගිණුමට රුපියල් කෝටි 27ක මුදලක් බැරවී ඇතැයි කියාය.
කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල පළවන පුවත්වලින් කියැවෙන්න් මේ වනවිට මනුෂ රටින් පිටව ගොස් ඇති බවකි. ඇතැමුන් කියන්නේ ඔහු වසර අවසානයේ නිවාඩුවක් සඳහා පවුල පිටින්ම විදෙස්ගත වී ඇති බවකි. නමුත් තවත් සමහරු කියන්නේ පළමුව මනුෂ ප්‍රංශය බලා ගොස්, ඉන් අනතුරුව ඔහුගේ දරු පවුලද ප්‍රංශය වෙත ගෙන්වාගෙන ඇති බවකි. ඒ අනුව රනිල්ගේ කාලයේ සිදුවූ බව කියන මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට පලාගියා සේ ඉකුත් රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ මනුෂ නානායක්කාරද මේ වනවිට සිටින්නේ ප්‍රංශයට පලාගොසිනි.
මීට අමතරව ආරක්ෂක අංශ තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරියේදී රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම සම්බන්ධ නඩු කිහිපයක්ම එක දිගට අධිකරණයේ දිගහැරෙන බවත්, ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩක් ඇති බවත්ය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදුවූ මිග් යානා ගනුදෙනුව පිළිබඳවත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නම කියැවෙන සිරිලිය ගිණුම පිළිබඳවත්, කතරගම ඉඩමක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පිළිබඳවත් සිදුකෙරෙන විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවක් දැනගන්නට ඇත.
වටේ ගිහින් පොහොට්ටුවටම
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ විශාල පිරිසක් අවසානයේ නැවතුනේ රනිල් සමීපයේය. තවත් පිරිසක් නැවතුනේ සජිත් අසලය. නමුත් ජනාධිපතිවරණයේදී රනිල්ගේ පරාජයත් සමග රනිල්ට එක්වූ පොහොට්ටුවේ කණ්ඩායම් දේශපාලන වශයෙන් නන්නත්තාර වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව දැන් එම කණ්ඩායම්ද මේ වනවිට පාර්ශ්ව කිහිපයකට කැඩී ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී පොහොට්ටුවේ සිට රනිල්ට සහාය දුන් අනුරාධපුර ප්‍රබලයා වන එස්.එම්. චන්ද්‍රසේන පසුගිය සතියේ දිලිත් ජයවීරගේ ‘මව්බිම ජනතා පක්ෂය’ සමග එක්වූ ආකාරයක් දැකගත හැකි විය. රනිල්ට සහාය දැක්වූ නිමල් ලංසා ඇතුළු තවත් කණ්ඩායමක් මේ වනවිට සූදානමින් සිටින්නේ නැවත වතාවක් පොහොට්ටුව සමග එක්ව ඉදිරි දේශපාලනය සිදුකිරීමය. මීට අමතරව රනිල්ට සහාය දුන් මධුර විතානගේ ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිය ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමට තීරණය කොට ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ අනුව මේ වනවිට රනිල්ට සහාය දුන් සියලු දෙනා වෙනත් අතක් බලාගැනීම නිසා අවසානයේදී රනිල්ට කිසිදු මන්ත්‍රීවරයකුගේ සහායක් නොලැබෙන තැනට පත්ව ඇති බවක් දැකගන්නට පුළුවන.










