මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි පැටවකු පැහැරගෙන යාමට කණ්ඩායමක් පැමිණෙන බවට ලද විශ්වාස කටයුතු තොරතුරක් මුල්කරගෙන වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුල් වූ පිරිසක් සමග බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට සිකුරාදා රාත්‍රියේ පිරිසක් වාහන 2කින් අනවසරයෙන් මින්නේරිය වනෝද්‍යානයට ඇතුල් වී ඇති අතර අදාළ වාහන නැවැත්වීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තද ඔවුන් නොනවත්වා ගමන් කොට ඇති බව පැවසේ.
පසුව මෙම පිරිස නැවත පැමිණ වනජීවී නිලධාරීන් සමග බහින්බස් වීමක් ඇති කොට ගෙන ඇති බවද වාර්තා වේ.
පසුව වනජීවී නිලධාරීන් මේ පිළිබදව හබරණ පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇති අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමටද සූදානමින් පසුවන බව දැනගන්නට ඇත.










