ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තවමත් ගතවී ඇත්තේ සති දෙකකට ආසන්න කාලයක්. පැවැති ආණ්ඩුවල බලය හෙබවූ ජනාධිපතිවරුන්ට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයාගේ යම් යම් සාධනීය ලක්ෂණ දක්නට ලැබීම නිසාම බොහෝ මාධ්‍යවේදීන්, යූටියුබ් ක්‍රියාකාරිකයන් අනුර කුමාර දිසානායක මහතාගේ පවුලේ තොරතුරු, උපන් ගමේ තොරතුරු ආදිය සොයාබැලීමට වෙහෙසෙන අයුරු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඔහු පිළිබඳ දැඩි උනන්දුවක් හටගෙන ඇති අයුරුද සමාජ මාධ්‍යවල පළවන ඇතැම් පෝස්ටු තුළින් හඳුනාගත හැකියි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් නිර්ධන පන්තිය නියෝජනය කරමින් සාමාන්‍ය පවුලකින් පැවැත ආ එකම අපේක්ෂකයා වූයේ දිසානායක මහතාය. දශක ගණනාවක දැඩි වෙහෙසකර ව්‍යායාමයකින් පසුව එවැනි නිර්ධන පන්තිය නියෝජනය කරන අපේක්ෂකයකු රටේ ප්‍රධාන පුරවැසියා හෙවත් ජනාධිපති ධුරයට පත්වීමද ඔහු කෙරෙහි ජනතා ආකර්ෂණය දැඩි ලෙස යොමුවීමට හේතුවක් වී තිබේ. එවන් පසුබිමක මෙරට උතුරුකරයේ උපන් ද්‍රවිඩ ජාතික තරුණයෙක් අභිනව ජනාධිපතිවරයාගේ නිවෙස සොයාගොස්, ඔහුගේ පවුලේ ඥාතීන් සමග සුහද පිළිසඳරක යෙදුණු පුවත පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාම වේගයෙන් හුවමාරු විය. යාපනයේ පදිංචි තවකරන් නම් මෙම තරුණයා උතුරුකරයේ සිට අනුරාධපුර තඹුත්තේගමට පැමිණ අනුර කුමාර දිසානායක මහතාගේ නිවෙස සොයා ගිය ගමන ඔහු සිය Thavakaran View නම් යූටියුබ් නාලිකාවට පසුගිය 27 වැනිදා එක්කර තිබිණි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු එම නිවෙස සොයා ගොස් ඇත්තේ නව ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාරගෙන දින දෙක තුනක් ඇතුළදී බවය. තවකරන් එම වීඩියෝව නම්කර ඇත්තේ ‘ජනාධිපති AKDගේ නිවසේදී දෙමළ ජාතිකයාට ලැබුණු ආගන්තුක සත්කාරය – මම කම්පනයට පත්වෙමි’ ලෙසටය. මේ වනවිට නැරඹුම් වාර දසලක්ෂයද ඉක්මවා ඇති එම වීඩියෝවට සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතී. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් එම වීඩියෝවට ලැබී ඇති ප්‍රතිචාර (කමෙන්ට්ස්) දහසකට ආසන්නය. ඒ සෑම ප්‍රතිචාරයකම ගැබ්ව ඇත්තේ උතුරේ ද්‍රවිඩ තරුණයකු විසින් දකුණේ සිංහල ජනාධිපතිවරයකුගේ නිවෙස සොයාගොස් මෙවැනි වීඩියෝවක් ප්‍රථම වරට නිර්මාණය කිරීම අගය කළ යුතු බවය. එසේම ජාති – ආගම් – භාෂා යන සීමාවන් ඉක්මවමින් සියලු දෙනා එකම රටක එකම මනුෂ්‍ය ප්‍රජාවක සාමාජිකයන් ලෙස සැලකීම වෙනුවෙන් තවකරන් සිදුකළ මෙම මෙහෙවර පැසසුමට ලක්කිරීමටද ඔවුන් සිය අදහස් දැක්වීම් හරහා කටයුතු කර ඇත. (Sri Lanka Latest News)
උතුරුකරයේ සිට දිසානායක මහතාගේ නිවස සොයා අනුරාධපුර නගරයටත්, අනතුරුව තඹුත්තේගම නගරයට පැමිණ නල්ලච්චිය නම් දුෂ්කර ගම්මානයටත් පැමිණි තවකරන් තරුණයා සිය වීඩියෝව ආරම්භ කරන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ නිවස ඇත්තේ කොතැනකදැයි අසල්වාසීන්ගෙන් විමසමිනි. ඒ අනුව එක් අසල්වැසියෙක් ඔහුට දිසානායක මහතාගේ නිවෙස පෙන්වන අතර, තවකරන් සිය කැමරාවද ක්‍රියාත්මක කරගෙනම එම නිවෙස වෙත පියනගයි.
උතුරුමැද පළාතට ආවේණික ශුෂ්ක දේශගුණයට හුරුවූ ගස් වැල්වලින් පිරුණු වඩාත් ඉඩකඩ සහිත භූමියක එම නිවස පිහිටා තිබේ. කටු කම්බිවලින් වටකර ඇති ඉඩම මැද අනුරගේ මහ ගෙදර පිහිටා ඇති අතර, එය මෑතකදී හොඳින් අලුත්වැඩියා කර ඇති අයුරු දක්නට හැකිය. මේ සියලු තොරතුරු දෙමළ බසින් සිය ප්‍රේක්ෂකයන්ට විස්තර කරන්නට තවකරන් අමතක කරන්නේ නැත. යූටියුබ් ව්ලොග් නිර්මාණකරුවකු ලෙස මීට පෙර වීඩියෝ සිය ගණනක් ඉදිරිපත් කර හොඳ පළපුරුද්දක් ඇති තවකරන්, අනුරගේ නිවස සහ එහි පසුබිම පිළිබඳවද පියවරෙන් පියවර විස්තර කරයි.
මිදුලේ තැනින් තැන රැස්වී සාකච්ඡා කරමින් සිටින කිහිපදෙනකුද එහි දැකිය හැකිය. එසේම අනුර කුමාර දිසානායක මහතාගේ පවුලේ ඥාතීන් සහ කුඩා දරුවන්ද දැකගන්නට හැකිය. තවකරන් ඔවුන් සමග කතාබහ කරන්නට සූදානම් වෙයි. නමුත් තවකරන් යනු සිංහල භාෂාව හොඳින් හැසිරවීමට නොහැකි, උපතින්ම ද්‍රවිඩ තරුණයකු වීම නිසා ඔහු කැඩුණු සිංහලෙන් කතා කරන්නට පටන්ගනී. අනුර කුමාර දිසානායක මහතාගේ පවුලේ සමීපතමයකු බව සිතිය හැකි මැදිවියේ පුද්ගලයකු ඉතා සුහදශීලීව තවකරන්ව පිළිගන්නේ අතට අත දෙමිනි.
‘සන්තෝෂයි සන්තෝෂයි….’ යනුවෙන් දෙදෙනාම සුහදශීලීත්වය පළකර ගනී.
‘මම යාපනේ ඉඳලා ආවේ… සන්තෝෂයි…’ ඒ තවකරන්ගේ හඬය.
‘මේ තඹුත්තේගම නල්ලිච්චිය ගම්මානය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියන රටවැසියේ හැම කෙනෙක්ම මේ ජයග්‍රහණය ගැන සන්තෝෂ වෙනවා… අපේ හැඟීම් දැනීම්, සිතුවිලි, වුවමනා එපාකම් ඔක්කොම එකයි. හැබැයි භාෂාව නිසා තමයි අපිව පොඩ්ඩක් දුරස් කරලා තියෙන්නේ… ’ තවකරන්ට එහිදී මුණගැසුණු මැදිවියේ පුද්ගලයා එසේ සිය අදහස් පළකළේය.
‘සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක්ගේ ගෙදරකට මෙහෙම ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නෑ. නමුත් ඔයාලා එහෙම නෑ…’ ජනාධිපතිවරයකුගේ නිවෙසකට තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවෙසකටවත් මෙසේ පහසුවෙන් ඇතුළු වීමට ඉඩ නොලැබෙන බව දන්නා තවකරන් එසේ පවසා සිටියේය. ඇත්තෙන්ම ඒ මොහොතේද එහි සිටියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණි. රටක ජනාධිපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයාගේ නිවෙස ආරක්ෂා කරන්නට සිය ගණන් පොලිස් බළඇණි සමග ප්‍රභූ ආරක්ෂකයන් විශාල පිරිසක් යොදාගත් ඉතිහාසයක් ඇති අපේ රටට, නව ජනාධිපතිවරයාගේ මෙම සරල ආරක්ෂක ක්‍රියාමාර්ග අදහාගත නොහැකිය. තවකරන් එසේ පවසා සිටියේ එම විස්මයජනක හැඟීමය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව, සහෝදරිය, ඇගේ මිණිබිරිය ඇතුළු පවුලේ ළඟම ඥාතීහු රැසක් ඒ මොහොතේ එම නිවෙසේ රැස්ව සිටියහ. ඒ අතරින් අනුර කුමාර දිසානායක මහතාගේ වැඩිමහල් සහෝදරිය වන ශ්‍රියාලතා දිසානායක මහත්මිය සමග කතාබහ කරන්නට තවකරන්ට අවස්ථාව ලැබේ.
තවකරන්
‘ඔයාට මේ ජයග්‍රහණය ගැන මොනවද හිතෙන්නේ?’
ශ්‍රියාලතා දිසානායක
‘ගොඩක් සතුටුයි. රටේම ජනතාව ඡන්දය දීලා ලබාදීපු ජයග්‍රහණය ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ජනතාව ඡන්ද දුන්නේ රට ගැන හිතලා. ඒකට එයා සේවයක් නොකර ඉන්නේ නෑ. ඒක තමයි අපේ බලාපොරොත්තුවත්….’
එහි රැස්ව සිටි පිරිස සමග කැඩුණු සිංහලෙන් අදහස් හුවමාරු කරගත් තවකරන් ඉන් අනතුරුව දිසානායක මහතාගේ මහගෙදර ඇතුළට පිවිසෙයි. සාලයේ තබා ඇති දිසානායක මහතාගේ මවගේ සහ පියාගේ මංගල ඡායාරූපය, සහෝදරියන්ගේ ඡායාරූප ගැනද සිය යූටියුබ් ප්‍රේක්ෂකයන්ට ද්‍රවිඩ බසින් දීර්ඝ විස්තරයක් සිදුකරයි. අනතුරුව පිටතට පැමිණි තවකරන්ට නිවැසියන් විසින් තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබිණි. බිස්කට් සමග තේ එකක් රස විඳිමින් ඔහු දිසානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ සුහදශීලී බව සහ ආගන්තුක සත්කාරය පිළිබඳ සිය සතුට පළකර සිටියේය.
අවසානයේ ඔහු එම සියලු දෙනාව මිදුලට කැඳවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළේය.
ඉන් අනතුරුව තවකරන් නිවැසියන්ට සමුදී ගෙවත්තෙන් පිටතට පැමිණ සිය කැමරාවද ක්‍රියාත්මක කරගෙනම අසල්වැසි කාන්තාවක විසින් පවත්වාගෙන යන කුඩා වෙළෙඳසලක් වෙත ගමන් ගනී. එම කාන්තාව සමග සුහද පිළිසඳරක යෙදෙන තවකරන් ඇයගෙන් මෙසේ විමසා සිටී.
‘දැන් අනුර මහත්තයා දිනුවනේ. ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ?’
වෙළෙඳසලේ හිමිකාරිය
‘හොඳයි. අපි ඡන්දය පාවිච්චි කෙරුවා. අපේ ගෙදර ඡන්ද 10ක් තිබුණා. ඒ ඡන්ද 10ම අපි අනුර කුමාරට දුන්නා….’
එම කතාබහෙන් අනතුරුව තවකරන් සිය වීඩියෝව අවසන් කරන්නේ නව ජනාධිපතිවරයාගේ නිවැසියන් සහ අසල්වාසීන්, උතුරුකරගෙන් පැමිණි ආගන්තුකයකු වූ තමන්ට දැක්වූ සුහදශී බව සහ නිහතමානී පිළිගැනීම ගැන හදවතින්ම ස්තුති කරමිනි. නව ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ඔහු එලෙසින්ම ආරක්ෂා කරනු ඇතිය යන අදහසද තවකරන් සිය වීඩියෝවෙන් ගම්‍ය කිරීමට මොනවට උත්සාහ දරා තිබිණි.
චානක ලියනගේ










