ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.













