නීතීඥවරු මැතිවරණ කොමිසමට-පාර්ලිමේන්තුවට ලියුම් යවයි!
තව නඩු තුනක් පෝලිමේ එනවා!
චීන නැව ආපහු හරවයි!
ධම්මික ගැන මුලින්ම එළියට දැම්මේ ‘රාජ්‍ය රහස්’
‘අපේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනේ කෙනෙක්…’
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධ මාතෘකාව පිළිබඳ කතාව සමාජය ඇතුළේ ආරම්භ වෙද්දී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහි ඉදිරිපෙළ නායකයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිනාසෙමින් කියා සිටියේ මෙහෙම කතාවකි. ඒ හරහා රංජිත් බණ්ඩාර ඉඟිකර තිබුණේ බැසිල්, නාමල් යන අයගෙන් කෙනකු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ ඉඩකඩක් ඇති බවකි. මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යද, සමාජ මාධ්‍යද රංජිත් බණ්ඩාරගේ මේ අකුරු තුනේ අපේක්ෂකයාගේ කතාව කරේ තියාගෙන යද්දී ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පසුගිය මාසයේ 17 වැනිදා රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප ඉතා වගකීමෙන් යුතුව කියා සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනේ අයකු නොව අකුරු හතරේ අයකු යැයි කියාය. මෙම අකුරු හතරේ අපේක්ෂකයාට රාජපක්ෂ පවුලේ අනුමැතිය හිමිව ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අප අනාවරණ කළේ මෙසේය.Sri Lanka Latest News
අපි කරපු හෙළිදරව්ව!
‘මෙන්න අපේක්ෂකයා…
එසේ නම් බැසිල් මේ ගේන්න යන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් විය හැකිද? පසුගිය කාලයේදී බැසිල්ට සමීප හිතවතුන් මාධ්‍ය හමුවලදී නම් කියා සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු විය හැකි යැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් බැසිල් විසින් සොයාගෙන ඇති මේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු නම් නොවේ. ඊට වඩා වැඩි අකුරක් වැඩි එනම්, අකුරු හතරක් ඇති රටම දන්නා ජනප්‍රිය අපේක්ෂකයෙකි. මේ දිනවල බැසිල් සහ එම පුද්ගලයා අතර නිතර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, පොහොට්ටුව ප්‍රධාන කොටගත් නව සන්ධානයක් යටතේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් ඒ කවුරුන්ද යන්න පිළිබඳ තහවුරු කළ හැකි තොරතුරු අප සතුව ඇතත්, අප එය මේ අවස්ථාවේදී හෙළි නොකරන්නේ එය නිල වශයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුතු නිසාය.’
රාජ්‍ය රහස් -සැප්තැම්බර් 17
රාජපක්ෂලා අවසන් තීන්දුව අරන්!
අප කළ මෙම අනාවරණය තහවුරු කරමින් මීට සතියකට පමණ ඉහතදී දේශපාලන ක්ෂේත්‍රයේ තැන් තැන්වල කතාබහට ලක්වූ කරුණු කාරණාවලට අනුව කියැවුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා යැයි කියාය. ඒ පිළිබඳ විවිධ කටකතා පැතිරෙද්දී අප කළ අනාවරණය සියයට සියයක්ම තහවුරු කරමින් ධම්මිකද මාධ්‍ය වෙත කියා සිටියේ බහුතරයක් පක්ෂ කැමැති නම් සහ සියයට 50 ඉක්මවා ගත හැකි නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් යැයි කියාය. මේ සම්බන්ධයෙන් ධම්මික වැඩිදුර තොරතුරු අනාවරණ නොකළද අප අදත් කියා සිටින්නේ ධම්මික ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුල අවසන් තීන්දුවක් ගෙන ඇති බවයි.
දැන් තුන්දෙනාම හරි!
ඒ අනුව දැන් 2024 ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා කවුරුන්ද යන්න ඒ ඒ පාර්ශ්වවලින් ප්‍රකාශයට පත් කොට අවසන්ය. සමගි ජන බලවේගය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කළේ මීට මාස දෙකකට පමණ පෙරාතුව පැවැති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදීය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයද එම කාලසීමාවේදීම සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ප්‍රකාශයට පත් කළේය. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික පෙර්රා බව නොනිල වශයෙන් ප්‍රකාශයට පත්ව අවසන්ය. තැන් තැන්වල විවිධ ව්‍යාපාරිකයන්ගේ සහ දන්නා කියන පුද්ගලයන්ගේ නම් කියැවුණද ඒ ඒ පුද්ගලයන් විවිධ නාලිකාවලට, යූටියුබ් නාලිකාවලට ප්‍රකාශ, සාකච්ඡා ලබාදෙමින් තමන්ද ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බව කියා සිටියද එළඹෙන ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පෙරළෙන ලකුණු මේ වන විට පහළ කොට අවසන්ය.
මේ ජනාධිපතිවරණය විශේෂයි!
අනෙක් අතට මෙවර ජනාධිපතිවරණය මෙතෙක් පැවැති ජනාධිපතිවරණ සටන්වලට වඩා විශාල වෙනසක් සහ වැදගත්කමක් ඇති ජනාධිපතිවරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඊට ප්‍රධාන හේතුව 69 ලක්ෂයක ජනවරමක් සහිතව ජනාධිපති ධුරයට පත්වූ අයකු ලංකා ඉතිහාසයේ පළමු වතාවට මහජන අරගලයකින් ධුරයෙන් ඉවත් කොට පවත්වන පළමු ජනාධිපතිවරණය මෙය වීම පෙන්වා දිය හැක. අනෙක් අතට එසේ මහජන බලයකින් ඉවත් කළ ජනාධිපතිවරයා වෙනුවට පාර්ලිමේන්තු අසුනක්වත් දිනාගත නොහැකිව මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ගෙදර සිටි අයකු පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් විමසා ජනාධිපති ධුරයට පත්කරගත් විකෘති තත්ත්වයකින් පසු පළමු වරට පවත්වන ජනාධිපතිවරණයද වන්නේ මෙයය. එම නිසා අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූ අරමුණු සපල කරගැනීමට ජනතාවට උදාවන පළමු අවස්ථාව වන්නේ මේ ජනාධිපතිවරණයය.
අරගලයේ ඉල්ලීමක් පලදරයි!
එමෙන්ම මේ තුන්කොන් සටනේ කාටවත් නොපෙනෙන, රටේ ජනතාව අරගල කර ඉල්ලා සිටි කරුණක්ද දැකගන්නට තිබේ. ඒ, ආශ්චර්යමත් ලෙස මෙවර ජනාධිපති සටනට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම තරුණ නායකයන් වීමය. අරගලයේදී ජනතාව ඉල්ලා සිටි ප්‍රධානම කරුණක් වූයේ අත්දැකීම් සහිත, අධ්‍යාපන පසුබිමක් ඇති සහ දේශපාලන දැනුමක්, දර්ශනයක් ඇති තරුණයන් රටේ අනාගතය භාරගත යුතු යැයි කියාය. විශ්‍රාම ගත යුතු වයසේ පසුවන පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් කළ යුතු යැයි කියාය. එසේ කියා අවුරුදු විස්සේ තිහේ තරුණයන්ට රටේ අනාතය භාරදිය යුතු බව අරගලයේ සිටි ජනතාව ඉල්ලා සිටියේ නැත.
තුන්දෙනාම එකම වයස්වල!
එසේ නම් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගේ විශේෂත්වය කුමක්ද? ඒ විශේෂත්වය වෙන මොකක්වත් නොව අරගලය ඉල්ලා සිටි පරිදිම තරුණ නායකයන් තිදෙනකුම ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීමය. මන්ද මේ තිදෙනාගෙන් දෙදෙනෙක්ම 1967 වසරේ උපත ලබා ඇති අයය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපත ලබා ඇත්තේ 1967 ජනවාරි 12 වැනි දිනය. ධම්මික පෙරේරා උපත ලබා ඇත්තේ 1967 දෙසැම්බර් 28 වැනි දිනය. අනෙක් අපේක්ෂකයා වූ අනුර කුමාර උපත ලබා ඇත්තේ 1968 නොවැම්බර් 27 වැනි දිනය.
පරතරය හරියටම මාස 11යි!
අනෙක් අතට මෙම උපන් දිනයන් දෙස බලන විට තිදෙනා අතර තවත් විශේෂ සමානකමක්ද තිබේ. ඒ තිදෙනාගේම උපන්දින අතර හරියටම මාස 11ක පරතරයක් තිබීමය. ධම්මික පෙරේරා උපත ලබා ඇත්තේ සජිත් ඉපදී හරියටම මාස 11කට පසුවය. අනුර කුමාර උපත ලබා ඇත්තේ ධම්මික පෙරේරා ඉපදී හරියටම මාස 11කට පසුවය. තිදෙනාම දෙස් විදෙස් විශ්වවිiාලවල උසස් අධ්‍යාපනය ලබා දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි වසර 20කට වඩා අත්දැකීම් සහ පලපුරුද්ද සහිත අය වීම අනෙක් විශේෂත්වයය.
වයසක අය හැලෙයි!
ඒ අනුව මෙවර ජනාධිපතිවරණ සටන දෙස බලන විට එක් කරුණක් හොඳටම පැහැදිලිය. ඒ, අවුරුදු 60, 70 ඉක්මවා ගොස් දේශපාලනයේ එක තැන පල්වෙවී සිටින කිසිවකුටත් තවදුරටත් මේ රටේ දේශපාලනයේ ඉඩක් නැති බවය.
විජයදාසයි මහින්දානන්දයි එක පාරේ!
අවසන් වරට පැවැති පාර්ලිමේන්තු සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් නොකිරීමට තවමත් පියවර ගෙන නොමැති වීම පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාත්, ආණ්ඩුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් කළ කතාවක් මුල්කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ මේ වනවිට විශාල ආන්දෝලනයක් මතුව තිබිණි. ඊට මුල්වූයේ අධිකරණ අමාත්‍යවරයා මෙම චෝදනාව ඍජුවම ව්‍යවස්ථාදායක සභාව වෙත එල්ල කරමින් අදහස් දැක්වීමට කටයුතු කොට තිබීමය. එහිදී විජයදාස කෙළින්ම කියා සිටියේ ජනතාව දේශපාලකයන්ගේ ගෙවල් වට කිරීමට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවේ සිටින අයගේ ගෙවල් වට කළ යුතු යැයි කියාය. විජයදාසගේ මෙම කතාව ආණ්ඩුවේ මන්ත්‍රී මහින්දානන්දද අනුමත කරමින් කතා කිරීම නිසා ඊට මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක්ද ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.
ගිය පාර කියලා වෙච්ච දෙයක්!
කෙසේ වෙතත් ඉකුත් අරගල සමයේදී දේශපාලකයන්ගේ ගෙවල් වටකිරීමට කතා කළ සහ පාර්ලිමේන්තුව වටකිරීමට කතා කළ බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වගකිව යුතු ආයතන ප්‍රකාශ ගෙන තිබුණද ව්‍යවස්ථාදායක සභාවේ සිටින නියෝජිතයන්ගේ ගෙවල් වටකළ යුතු බව කී අධිකරණ ඇමැතිගෙන් හෝ මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්වත් හෝ සටහන් කරගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ බවක් දැකගන්නට තිබුණේ නැත.
ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්!
ඒ කොයිහැටි වෙතත් ප්‍රශ්නය පැනනැගුණේ ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන නියෝජිතයන්ට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනකුද රාජකාරි සිදුකිරීම නිසා විජයදාසගේ සහ මහින්දානන්ගේ කතාවලින් පසුව එම සිවිල් නියෝජිතයන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව තිබීමය. ඒ බව පළමුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම අදහස් දැක්වීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් කතානායකවරයා ඉදිරියේ මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කොට ඇති බවය. එහිදී විජයදාස සහ මහින්දානන්ද කළ මෙම ප්‍රකාශ මුල්කරගෙන දැඩි තීන්දුවක් ගත යුතු බව මෙහිදී එම නියෝජිතයන් කතානායකවරයාට පෙන්වා දී ඇති බවක්ද ආරංචිය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
ඒ අනුව මෙම නියෝජිතයන්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව කතානායකවරයාද මේ පිළිබඳ දැඩි තීන්දුවක් ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව ලබන පාර්ලිමේන්තු සතියේදී කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නසීර් දොට්ට වැටුණු හැටි!
මෑතකාලීන දේශපාලනය බෝම්බයක් ගැසුවා හා සමානව උඩුයටිකුරු කළ සිද්ධියක් වූයේ මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත්වී ආණ්ඩුවට එක්ව ඇමැති ධුරයක් ලබාගත් නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා ලබාදුන් ඓතිහාසික තීන්දුවය. පසුගිය අවුරුදු 25ක කාලය තුළ දේශපාලනඥයන් විශාල පිරිසක් එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවට පැමිණ ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වූ අවස්ථා රැසක් අධිකරණය හමුවට ගියද ඒ සෑම අවස්ථාවකදීම පාහේ තීන්දුව ලැබී තිබුණේ ඊට අදාළ මන්ත්‍රීවරුන්ට වාසිසහගත ලෙසටය. නමුත් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය එම පැති මාරුකිරීමට තිත තබමින් කියා සිටියේ නසීර් අහමඩ් පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ මහලේකම්වරයා ගත් තීන්දුව නීත්‍යනුකූල යැයි කියාය. ඒ සමගම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි තීන්දුවක් ලබාදීමත් සමග සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන බවත්, එම තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ කොට ඇති බවත්ය.
මඩකලපුවේ ගිය රනිලුත් නසීර් ගැන හොයයි!
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගතකළේ මඩකළපුවේය. නසීර් අහමඩ්ද මඩකළපුව නියෝජනය කරන බැවින් ජනාධිපතිවරයාගේ මඩකළපු ගමනේ ප්‍රධාන චරිතය බවට පත්වීමට නියමිතව සිටියේ නසීර්ය. නමුත් සිකුරාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මඩකළපු ගමන් අවලංගු කළ නසීර් ජනාධිපතිවරයාටද ඒ බව දැනුම් දී සිය මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගැනීම සඳහා මෙහෙයුම සෙනසුරාදා දින සිටම ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඉහළ පෙළේ නීතිඥ කණ්ඩායමක් සමග මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරද්දී ඇතැමෙක් පෙන්වා දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නඩු තීන්දුව අනුව කිසිවක් කළ නොහැකි යැයි කියාය. මන්ත්‍රී ධුරය අහෝසි වීම ස්ථිර යැයි කියාය. නමුත් කුමක් හෝ දෙයක් කළ යුතුව ඇති නිසා නීතිඥවරුන් උපදෙස් දුන්නේ මෙම තීන්දුව යළිත් විමර්ශනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බවත්, එම තීන්දුව ලැබෙන තොක් නසීර්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාටත්, මැතිවරණ කොමිසමටත් දැනුම් දීමටත්ය. ජනාධිපතිවරයා මඩකළපුවේ සිටියද විටින් විට දුරකතනය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ ආකාරයක්ද එහිදී දැකගත හැකි විය.
උසාවියෙන් පාර්ලිමේන්තුවට තීන්දුව එයි!
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් මෙවැනි තීන්දුවක් ලබාදුන් විට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව නිල වශයෙන් පළමුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එය මැතිවරණ කොමිසම වෙත දැනුම දිය යුතුව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදුන්නේ සිකුරාදා දිනයක බැවින් එම තීන්දුව නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත ලැබී තිබුණේ ඉකුත් අඟහරුවාදා දහවල් වරුවේදීය.
නසීර් නීතීඥවරු එක්ක ගේමක් ගහයි!
ඒ අතරවාරයේ සඳුදා දින නසීර් අහමඩ්ගේ නීතිඥවරුන් අදාළ තීන්දුව පිළිබඳ විමර්ශනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. එම ඉල්ලීමේ පිටපතක් පාර්ලිමේන්තුව වෙතත්, මැතිවරණ කොමිසම වෙතත් ඉදිරිපත් කළ එම නීතිඥවරුන් දැනුම් දී තිබුණේ අදාළ විමර්ශනයේ තීන්දුව ලැබෙන තෙක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පිළිබඳ තීන්දුවක් නොගන්නා ලෙසටය.
රනිලුත් නීතීඥවරුන් කැදවයි!
එසේම මඩකලපු සංචාරය අවසන් කිරීමෙන් පසු සඳුදා දිනයේදී ජනාධිපතිවරයාද ඉහළ පෙළේ නීතිඥ කණ්ඩායමක් සමග නසීර් අහමඩ් සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. කෙසේවෙතත් මෙම සාකච්ඡාවට නීතිපතිවරයා සහභාගි වී සිටියාද යන්න කීමට අප සතුව තොරතුරු නැත. නමුත් එහිදී සාකච්ඡාවට සහභාගි වී සිටි ප්‍රධාන පෙළේ නීතිඥවරුන් සියලු දෙනාම පාහේ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් කිරීමට කිසිවක් ඉතිරිව නොමැති බවත්, යළි විමර්ශනයක් ඉල්ලා සිටියද ඉන් පලක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියත වශයෙන්ම පිළිගැනීමට සිදුවන බවත්ය.
ලේකම්වරිය නීතීපති උපදෙස් ගනී!
මේ අතර අඟහරුවාදා දහවල් වන විට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමත් සමග පාර්ලිමේන්තු මහලේකම්වරිය වූ කුෂාණි රෝහණධීර මහත්මියද වහාම ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට පියවර ගත්තාය. ඒ පිළිබඳ ලැබුණු නීතිපති උපදෙස්වලින්ද කියැවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවය. ඒ අනුව අඟහරුවාදා දිනයේදීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ බවට වූ නිවේදනය මැතිවරණ කොමිසමට යැවීමට පියවර ගත්තාය. බදාදා පස්වරුවේ මැතිවරණ කොමිසම විසින් නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වූ ගැසට් නිවේදනය නිකුත් කළේත්, නව මන්ත්‍රීවරයා ලෙස මඩකළපුවෙන් තරග කළ අලි සහීර් මවුලානා පත්වන බවට වූ ගැසට් නිවේදනය නිකුත් කළේත් ඒ අනුවය.
ඇමැතිකම්වලට පැන්න අයට මොනවා වෙයිද?
නසීර් අහමඩ්ගේ මෙම සිදුවීමත් සමග මේ වන විට රටේ සියලු දෙනාම බලා සිටින්නේ විවිධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවට එක්ව ඇමැති තනතුරු ලබාගත් ඇතැමුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවලට කුමක් සිදුවනු ඇතිදැයි කියාය. ඊට සම්බන්ධව ප්‍රධාන නඩු තුනක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ. ඒ, සජබ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, සහ ඩයනා ගමගේ යන තිදෙනා මුල්කරගෙනය. මේ තිදෙනා සජබයෙන් පාර්ලිමේන්තු පැමිණ පසුව ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ලබාගැනීමට පියවර ගත්තේය. නසීර් අහමඩ්ට මුස්ලිම් කොංග්‍රස් මහලේකම් නිෂාම් කාරියප්පර් මහතා කළාක් මෙන් මේ තිදෙනා සම්බන්ධයෙන් එවකදී විනය පරීක්ෂණ කැඳවූ සජබ මහලේකම් රංජිත් මන්දුමබණ්ඩාර ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමටද පියවර ගත්තේය. ඔවුන් මේ වන විට එම ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇති අතර, පසුගිය බදාදා දින ඉන් එක් නඩුවක් වූ හරීන්-මනුෂ සම්බන්ධ නඩුව කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබිණි.
තව කල් නොදෙයි!
එහිදී සජබ මහලේම්වරයා දක්වා තිබූ කරුණුවලට විරෝධතා ගොනුකිරීමට කල් ලබාදෙන ලෙස හරීන්-මනුෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබුණේ එදින ඊට විරෝධතා ගොනුකිරීමට පියවර ගන්නා ලෙසය. මෙම නඩුවේ තීන්දුව තවත් මාස 2ක් ඇතුළත ලබාදීමට නියමිත අතර, ඩයනාගේ නඩුව කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි දිනය.
පොහොට්ටුව් ගේමක් ගහයි!
මේ අතර නසීර් අහමඩ්ට ලබාදුන් තීන්දුවත් සමග මේ වන විට පොහොට්ටුව ඇතුළේද මේ සම්බන්ධයෙන් විශේෂ කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු 150කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණියද, මේ වන විට එම සන්ධානය ඇත්තේ හතර පහකට කැඩී සුනුවිසුණුවය. එක් පාර්ශවයක් වූ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව විපක්ෂයේ අසුන්ගෙන සිටියි. එහි එක් කොටසක් ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ගෙන තිබේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර පාර්ශ්වය ‘උත්තර සභාගය’ නමින් වෙනත් කණ්ඩායමක් නිර්මාණය කරගෙන විපක්ෂයේ අසුන්ගෙන සිටී. ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ 13 දෙනකුගේ කණ්ඩායමක් ‘නිදහස මහජන සභාව’ නමින් ස්වාධීනව විපක්ෂයේ අසුන් ගෙන සිටී. නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වෙනම සන්ධානයක් නිර්මාණය කිරීමට සාකච්ඡා පවත්වමින් සිටී. පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සජබය සමග එක්වීමට තිරය පිටුපස සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අනුව මේ වන විට පොහොට්ටුවට ඉතිරිව ඇත්තේ 118කට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් පමණි. එයින්ද මේ වන විට නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බැවින් ආණ්ඩුවට සිටින්නේ 117ක මන්ත්‍රී කණ්ඩායමකි.
ගහන්න යන තුරුම්පුව මෙන්න!
මෙම පසුබිම හමුවේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොහොට්ටුව ඇතුළේ නසීර් අහමඩ්ගේ නඩු තීන්දුව උපයෝගී කරගෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරු යළි පක්ෂයට එක්කර ගන්නා සැලසුමක් සකස් කිරීමට සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. නසීර් අහමඩ්ට ලබාදුන් නඩු තීන්දුව යටතේ පක්ෂයකින් තේරී පත්වන මන්ත්‍රීවරයකු එම පක්ෂය ගන්නා තීන්දු තීරණවලට යටත් විය යුතුය. ඒ අනුව පොහොට්ටුව සැලසුම් කර ඇත්තේ ඉදිරි අයවැය ඉලක්ක කරගෙන පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැලක් එළීමටය. එහිදී පොහොට්ටුව අයවැයට සහාය දැක්වීමට නිල වශයෙන් තීන්දු කළහොත් එම තීන්දුව සමග පොහොට්ටුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් සියල්ලම එකට සිටගත යුතුය. එසේ නොවුණහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාව නසීර් අහමඩ්ගේ නඩු තීන්දුව හරහා පොහොට්ටුවේ ප්‍රධානීන්ට ලැබී තිබේ. ඒ අනුව පොහොට්ටුව මේ වන විට සූදානමින් සිටින්නේ ඉදිරි අයවැය මුල් කරගෙන පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් කොටු කිරීමට සැලසුම් සකස් කරගෙනය.
ලියුම් දෙකක් යවයි!
මේ අතර පොහොට්ටුවේ ප්‍රධානීන් දැනටමත් පක්ෂයේ සිට ස්වාධීනව සිටින චන්දිම වීරක්කොඩිට සහ ජයරත්න හේරත්ට ලිපි දෙකක් යැවීමටද කටයුතු කොට තිබේ. ඒ ඔවුන් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් ලෙස පත්වීම් බාරගෙන ඇති බවට චෝදනා එල්ල කරමිනි. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට එම ලිපි මගින් දැනුම් දීමක් කොට ඇති බවක්ද ආරංචිය.
ඡන්ද කල් දාන ගේම යළි එළියට!
මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පළමු වතාවට අප කියා සිටියේ ජනාධිපතිවරණය නොපවත්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉතා රහසිගතව ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවට ලක්ව ඇති බවය. පවතින තත්ත්වය යටතේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට හෝ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම අසීරු කටයුත්තක් වීම මුල්කරගෙන ජනාධිපති ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර කුමාර දිසානායක මහතාට යෑම වැළැක්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවත්, ජනමත විචාරණයක් පැවැත්වීම හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එම සැලසුම වී ඇති බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු.
සැප්තැම්බර් 17 දාතමින් යුතුව අප කළ එම අනාවරණය මෙසේය.
අපි කලින්ම ඒකත් හෙළිකළා!
‘අලුත්ම තියරිය
කෙසේ වෙතත් දෙදෙනා අතර සාකච්ඡාවේ හොඳම කොටස පැමිණියේ ඉන් අනතුරුවය. ඒ, මෙම අවාසිසහගත තත්ත්වය මගහරවා ගැනීම සඳහා කළයුතු කටයුත්ත පිළිබඳ බැසිල් ජනාධිපතිවරයා වෙත පෙන්වා දීමත් සමගය. එහිදී බැසිල් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර සිටියේ අලුත්ම දේශපාලන තියරියකි.
විධායකය අහෝසියි?
සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ ආවාට ගියාට දේශපාලන ගේම් ගසන අයකු ලෙස නොව කල්යල් බලා දේශපාලන ගේම් ගසන කෙළිකාරයකු ලෙසටය. බැසිල්ගේ ගණන් හැදිල්ලට අනුව තවත් අවුරුදු 10කට 15කටවත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිකිරීමේ අවස්ථාවක් නැති බව පෙනී ගොස් ඇති නිසා ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇති බව පැවසේ. අලූත්ම දේශපාලන තියරිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පසුබිම වී තිබුණේ බැසිල්ගේ මෙම සැලසුමය.
ජනමත විචාරණයක්
ඒ අනුව බැසිල්ගේ යෝජනාව වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය බවය. මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් නඩු තීන්දු දී ඇති නිසා ජනමත විචාරණයක් හරහා එය අහෝසි කිරීම පහසු බවත්, විධායක ක්‍රමය අවශ්‍යද, නැද්ද කියා එවිට ජනතාවගෙන් ඇසිය හැකි බවත් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. ඉන් අනතුරුව අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත.
පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක්
ඒ අනුව බැසිල්ගේ ගේම හරි පැහැදිලිය. විධායක ක්‍රමය අහෝසි කරන බවට යෝජනාවක් ගෙන ආවොත් ඊට විරුද්ධ වීමට සමගි ජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටවත් නොහැකි බව බැසිල් දනී. අනතුරුව පවත්වන මහ මැතිවරණයේදී එජාපය හා පොහොට්ටුව එක්ව හෝ තනි තනිව තරග වැදී පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගැසිය හැකි බවද බැසිල් දනී. තුන්කල් බලා බැසිල් ජනාධිපතිවරයා හමුවී මෙම දේශපාලන බෝම්බය පත්තු කළේ ඒ නිසා විය යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
රනිල් කැමැති වෙයිද?
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට එක්වර කැමැති වූවාද නොවූවාද යන්න පිළිබඳ තොරතුරු නොමැති නමුත් අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගෙන්ද ඊට ලොකු විරෝධයක් නොමැති බවකි. තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගැනීමේ හැකියාවක් නොමැති නම්, පොහොට්ටුවටද එය ජයගත නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හෝ ජනාධිපති ධුරය භාරදීමට ජනාධිපතිවරයා හිත හදාගනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ඒ අතින් බලද්දී බැසිල් ගෙනා යෝජනාව හොඳම විකල්පය බව ජනාධිපතිවරයාටද සිතෙනු ඇත. අප එසේ කියන්නේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක්ම ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති බවට අප වෙත ඇති තොරතුරු පදනම් කරගෙනය. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව සමග මෙම මාතෘකාව පිළිබඳ එළිපිට සංවාදයක් ආරම්භ වනු ඇති බව අපගේ විශ්වාසයය.’
රාජ්‍ය රහස් -සැප්තැම්බර් 17
අනුර කතාකරයි!
අප කළ මෙම අනාවරණයෙන් පසු සමාජ මාධ්‍යද, අනෙකුත් මාධ්‍යද මෙම පුවත වාර්තා කිරීමට පියවර ගෙන තිබුණු අතර, දේශපාලන මාධ්‍ය හමුවලදීද ඒ සම්බන්ධයෙන් අදහස් පළවන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම අප කළ අනාවරණයෙන් පසු පළමු වතාවට මේ පිළිබඳ අදහස් දක්වා සිටියේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. පක්ෂ සමුළුවක් අමතමින් අනුර කියා සිටියේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එමින් ආණ්ඩුව කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටින බවය. එහිදී අනුර රැස්වීමේ සිටි පාක්ෂිකයන්ගෙන් විමසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට කැමැතිදැයි කියාය. එවිට සියල්ලෝම එය අනුමත කරමින් අත් එසවූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී අනුර යළිත් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ බැවින් ඒ දක්වා ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ සාමාජිකයන් එක්ව ආණ්ඩුව කරනවාට කැමැතිදැයි කියාය. නමුත් ඊට ජවිපෙ පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් ඊට විරුද්ධ යැයි කියාය.
පාර්ලිමේන්තුවත් විසුරුවා හරින්න!
ඒ අනුව ඊට පිළිතුරු දුන් අනුර කියා සිටියේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සැලසුම් කරන්නේ තවත් අවුරුද්දක් ආණ්ඩු කිරීමට සූදානමින් බවත්, ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට වූ යෝජනාවක් සම්මත කළ යුතු බවත්ය. ඊට රැස්ව සිටි පාක්ෂිකයන්ද දෑත් ඔසවමින් එකඟතාව පළකළ ආකාරයක් දැකගත හැකි විය. ඒ, එක පැත්තකි.
ජනාධිපතිවරණය කල් දායිද?
අනෙක් පැත්තෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අවසන් වරට පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ආණ්ඩුවට හිතැති ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා, විධායක අගමැතිවරයකු සමග පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට එහිදී යෝජනා කොට ඇති බවය. ජනමත විචාරණයක් කැඳවා එහි ප්‍රතිඵල මත එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයට අදාළ නීති සංශෝධනය සිදුකිරීමෙන් පසු එය කල්දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බවද මෙම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව මේ වන විට මීට සති තුනකට ඉහතදී අප කළ තවත් අනාවරණයක්ද මෙම පුවත හරහා 100%ක්ම තහවුරු වී තිබේ.
සජිත් විරුද්ධ වෙයි!
කෙසේ වෙතත් ආණ්ඩුව මේ වන විට පැහැදිලිවම ජනාධිපතිවරණයද කල්දමා ගැනීමේ සැලසුමකට යොමුව ඇති බව පැහැදිලිය. ඒ අනුව වහාම ඊට එරෙහිව පසුගිය අඟහරුවාදා දිනයේදී නිවේදනයක් නිකුත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුවේ මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජයට පත්කිරීමට විපක්ෂයේ සියලු දෙනා සමග එක්ව කටයුතු කරනවා යැයි කියාය. එම නිවේදනය පහත දැක්වේ.
මෙන්න නිවේදනය!
2023-10-09
මැතිවරණ කල්දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතළ ප්‍රහාරයක්
මේ වන විටත් මැතිවරණ කල්දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්විමට නියමිත මැතිවරණත් කල්දැමීම සඳහා අවශ්‍ය කරන කූඨ උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි. ඊට ආණ්ඩුව සූදානම් වන්නේ ‘මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම’ නමැති අයිසින් තැවරූ කේක් කැබැල්ල දිගු කරමිනි.
එය විෂ තැවරූ කේක් කැබැල්ලක් බවත්, ඒවාට මේ රටේ ජනතාව නොරැවටෙන බවත් ආණ්ඩුවට අවධාරණය කළ යුතුය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කරන වර්තමාන ආණ්ඩුව එහි තීරණාත්මක ආරම්භය සනිටුහන් කළේ පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අනීතික ලෙස කල්දමමිනි.
ජනවරමක් නැති පාලකයන්ට ජනතාවගේ ආශීර්වාදය කෙලෙසකවත් හිමි වන්නේ නැත. එහෙත්, අවස්ථාවාදී ලෙස බලය ඩැහැගත් පාලකයන් ජනවරම හෝ ජනතා කැමැත්ත පිළිබඳ මායිම් නොකොට විවිධ දේශපාලන උපාය උපක්‍රම භාවිත කරමින් සිය පාලන කටයුතු කරගෙන යෑමට දරන උත්සාහයේ අවසානය ඛේදවාචකයක් බව මුළු ලෝකයෙන්ම අත්දැකිය හැකි සත්‍යයි.
එමෙන්ම මෙරටද මැතිවරණ කල්දැමීමෙන් සිදුව ඇති ඛේදවාචකයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ලබාගත හැකි අතර, වර්තමාන ආණ්ඩුව සූදානම් වන්නේ නැවතත් අන්ධකාර අතීතයකට මේ රට රැගෙන යාමටදැයි අපි ප්‍රශ්න කර සිටිමු.
ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කල්දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගනිමින් එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බව නොරහසකි.
‘මැතිවරණය කල්දමන්නේ නෑ, කල් දමන්න මැතිවරණයක් නැහැ’ යනුවෙන් ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුළම උපහාසයෙන්, අපහාසයෙන් සහ නින්දා සහගත ලෙස සුනුවිසුනු කළ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින් මැතිවරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණක් වන නමුත්, ඒ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම් බවද ආණ්ඩුවට අවධාරණය කරනු කැමැත්තෙමු.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය පරමාධිපත්‍යය මර්දනය කිරීමට ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව විසින් ගනු ලබන සිය ක්‍රියාමාර්ග ජනතා බලය මගින් ඒකාන්තම පරාජය කරන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
මරික්කාර් කියපු කතාව!
මීට අමතරව පසුගිය අඟහරුවාදා දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතාද කියා සිටියේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිවිශේෂ බලයක් අවශ්‍යව ඇති නමුත් සමගි ජන බලවේගය කිසිසේත්ම මැතිවරණ කල්දැමීමේ අරමුණෙන් රැගෙන එන මෙවැනි සංශෝධනවලට බහුතරය ලබාදීමට සූදානම් නැතැයි කියාය.
ඡන්ද කල්දැමීමේ ඉතිහාසය!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාට ඡන්ද කල්දැමීම සම්බන්ධයෙන් ඇත්තේ එතරම් යහපත් චරිත සහතිකයක් නම් නොවේ. 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ එජාප රජය එදා කටයුතු කළ අතර, ඒ හරහා අදටත් පළාත් සභාවන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න කවුරුත් නොදන්නා තැනකට පත්ව තිබීම විශේෂ සිදුවීමකි. එමෙන්ම පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයද, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ මාතෘකාව පෙන්වා කල්දැමීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. ඒ අනුව මෙවරද ආණ්ඩුව සැරසෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පෙන්වා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන්ද කෙසේ හෝ කල්දමා ගැනීමට බවට මතයක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.
ප්‍රසන්න හදිසියේම අමෙරිකාවට!
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග මහතා මීට සති දෙකකට ඉහතදී හදිසියේම ඇමෙරිකාව බලා පිටත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ප්‍රසන්න මෙසේ වැඩි සද්ද බද්දයකින් තොරව ඇමෙරිකාවට යන විට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වශයෙන් කටයුතු කරන සාගල රත්නායක මහතාද සිටියේ විශේෂ ඇමෙරිකානු සංචාරයක නිරත වෙමිනි. ඒ තවත් කිහිප දෙනකු සමග විශේෂ වැඩකටයුත්තකට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස්ය. ඒ අනුව බොහෝ දෙනා සැක පළකරන්නේ ප්‍රසන්න සහ සාගල අතර විශේෂ හමුවක් ඇමෙරිකාවේදී සිදුව ඇතැයි කියාය.
රනිල්ට පක්ෂව කතා කළා!
ඊට හේතුව වී ඇත්තේ පසුගිය කාලය පුරාම ප්‍රසන්න දැඩි රනිල් හිතවාදී චරිතයකට අනුගත වී තිබීමය. සාමාන්‍යයෙන් ප්‍රසන්න සැලකෙන්නේ එදා සිටම දැඩි රාජපක්ෂවාදියකු ලෙසටය. නමුත් ගෝඨාභයගේ ඉවත් වීමෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ රනිල් සමග ප්‍රසන්න සමීප හිතවත්කමක් ගොඩනගාගෙන තිබිණි. මේ නිසාම අවස්ථා කිහිපයකදීම ප්‍රසන්න කියා සිටියේ ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් කළ යුතු බවත්, තමාගේ සහායද රනිල්ට හිමිවන බවත්ය. කෙසේ වෙතත් ඊට පොහොට්ටුවේ විරෝධය පළවීමෙන් පසු එහි ප්‍රධානීන් හමුවූ ප්‍රසන්න පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ පොහොට්ටුවෙන් නම්කරන අපේක්ෂකයාට සහාය ලබාදීමට තමන් සූදානම් යැයි කියාය. පොහොට්ටුවෙන් රනිල් නම්කරන්නේ නම් තමන් ඔහුට සහාය පළකිරීමට කටයුතු කරන බවද එහිදී වැඩිදුරටත් ප්‍රසන්න සඳහන් කර සිටියේය.
ආයෙමත් අමෙරිකාවට යනවා!
මෙසේ සති දෙකකට පෙර හදිසියේම ඇමෙරිකාව බලා ගොස් නැවත පැමිණි ප්‍රසන්න ඉදිරි දින කිහිපය ඇතුළත නැවත වතාවක් ඇමෙරිකාවට යෑමට සැලසුම් කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙවර ප්‍රසන්න ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ දේශපාලන කරණමකටද, එසේත් නැත්නම් වෙනත් කටයුත්තක් නිසාද යන්න තවමත් පැහැදිලි නැත.
DW ආන්දෝලනය!
ජනාධිපතිවරයා සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට ප්‍රධානතම නාලිකාව වන DW රූපවාහිනී සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට තුඩුදුන් එකක් බව අපි පසුගිය සතියේ අනාවරණ කර සිටියෙමු. ඒ බව සමනය කරගැනීම සඳහා සම්මුඛ සාකච්ඡාව පැවැති දින හෝ ඊට පසු දින අදාළ මාධ්‍යවේදියාට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබූ බවද අපි එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ කර සිටියෙමු.
සජිත්ටත් කෝල් එකක්!
කෙසේ වෙතත් මේ ආකාරයට DW සාකච්ඡාව ජනාධිපතිවරයාට බොහෝ අවාසිසහගත තත්ත්වයක් මතුකොට තිබියදී පසුගිය සතියේ එම නාලිකාවෙන් මෙරට තවත් එක්තරා විශේෂ පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබිණි. එසේ ආරාධනා ලැබුණේ වෙන කාටවත් නොව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂ නායකවරයා DW ආරාධනාව පිළිගෙන ඇති බවකි. ඒ අනුව ජනාධිපතිවරයා අමාරුවේ දැමූ DW නාලිකාව විපක්ෂ නායකවරයාට සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කිරීම හරහා සූදානම් වන්නේ කුමකටද යන්න ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.
මූල්‍ය අරමුදලේ සාකච්ඡා!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි ණය වාරිකය කල්දැමීමට තීන්දු කිරීමත් සමග ආණ්ඩුව සැලසුම් සකස් කළේ කෙසේ හෝ නැවත ඔවුන් සමග සාකච්ඡා කොට දෙවැනි ණය වාරිකය ලබාගැනීමටය. මේ දිනවල මොරොක්කෝවේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවටද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහභාගි වී සිටියේ මෙම අරමුණ හිතේ තියාගෙනය. ඊට චීනය හැරුණු විට ලංකාවේ ණය හිමි අනෙක් සියලු රටවල් සහභාගි වීමට නියමිතව සිටි නිසා ආණ්ඩුව බලාපොරොත්තු වූයේ චීනය නොමැතිව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනෙකුත් ණය හිමි රටවල් සමග මෙම සමුළුවේදී වෙනම අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීමටය. මොරොක්කෝ සමුළුවට සහභාගි වීමට ප්‍රථම මෙරට මාධ්‍ය හරහා එම පුවත ප්‍රසිද්ධ කිරීමටද ආණ්ඩුව කටයුතු කොට තිබිණි.
චීනය ගේමක් ගහයි!
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබුණේ චීනය ඇතුළු ලංකාවේ ණය හිමි සියලු රටවල් පොදු වේදිකාවකට පැමිණ, පොදු එකඟතාවකට අස්සන් තැබිය යුතු බවකි. නමුත් චීනය මුල සිටම එම ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් පොදුවේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි නොවන බවත්, චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථම මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ලංකාව සමග ඇති ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු යැයි බවත්ය. ඒ අනුව තමන් නොමැතිව අනෙකුත් විදෙස් ණය හිමියන් ලංකාව සමග එකඟතාවකට පැමිණීමට සූදානමින් සිටින බවට ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමග චීනයද කල්යල් බලා වෙනම ගේම් එකක් ගැසීමට පියවර ගත් බවක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ අනුව ලංකාවේ නියෝජිත කණ්ඩායම මොරොක්කෝවේ සිටියදීම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් වැඩ කිරීමට චීනය සූදානමින් සිටින බවත්, ඒ වෙනුවෙන් බහුපාර්ශ්වික ආයතනයන්ට සහ වාණිජ ණය හිමියන්ට සාධාරණ අයුරින් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට සහභාගි වීමට ආරාධනා කරන බවත්ය.
වැඩේ ගොඩගියාද?
ඒ අනුව චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම නිවේදනයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ චීනයද ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට එකඟතාව පළකොට ඇතැයි කියාය.
මූල්‍ය අරමුදල දන්නෙත් නෑ!
කෙසේ වෙතත් චීනය මෙම නිවේදනය නිකුත් කොට පැය කිහිපයක් යෑමට මත්තෙන් මොරොක්කෝවේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටි මූල්‍ය අරමුදලේ ලංකාව සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ චීනය විසින් තමන්ට එවැනි කිසිදු දැනුම් දීමක් සිදුකොට නොමැති බවත්, එවැන්නක් පිළිබඳ තමන් දැනුවත් නැති බවත්ය. ඒ අනුව චීනය හීන් සීරුවේ ගේමක් ගසා ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
නැව හරවයිද?
මේ අතර, ඔක්තෝබර් 28 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ෂියැන් යැං 6 චීන නැව සම්බන්ධයෙන්ද මේ වන විට මතුව ඇත්තේ තරමක අර්බුදකාරී තත්ත්වයකි. මීට සති දෙකකට ඉහතදී අප පළමු වරට විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඔක්තෝබර් අවසානයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙම නැව, නොවැම්බර් මාසය දක්වා කල්දමා ගැනීමට ආණ්ඩුව පැත්තෙන් නිල ඉල්ලීමක් කොට ඇති බවකි. ඒ බව පසුගිය සතියේ රූපවාහිනී නාලිකාවක මාධ්‍ය හමුවකට පැමිණි විදෙස් අමාත්‍ය අලි සබි්‍ර මහතාද තහවුරු කර සිටියේය. නමුත් මේ වන විට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම චීන නැවේ ලංකා ගමන චීනය පැත්තෙන් අතහැර දමා ඇතැයි කියාය.
චීනයට දෙන්න යන්නේ මේවාද?
අනෙක් අතට ජනාධිපතිවරයා ලබන සතියේ චීනයේ සංචාරය කිරීමටද නියමිතය. එම චීන සංචාරය කට මුල තිබියදී ජනාධිපතිවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයක් මේ වන විට සියලු දෙනාගේම අවධානයට යොමුව තිබේ. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ දැනට වැඩ නතර කොට ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලු අධිවේගී මාර්ග ඉදිකිරීම වහාම ආරම්භ කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා මත පළකරන්නේ ජනාධිපතිවරයා චීන සංචාරයේදී මෙම අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි කියාය.