රැකියා ස්ථානයේ ලිංගික හිංසනයට ගොදුරු වූවන් ශ්‍රී ලංකාව තුළ යුක්තිය පැතීමේ දී ප්‍රධාන බාධක තුනකට මුහුණ දෙන බව වෙරිටේ රිසර්ච් හි නීතිය හා ආණ්ඩුකරණ අංශය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණයව ඇත.Sri Lanka Latest News
මෙම සොයාගැනීම් ඇතුළත් ‘රැකියා ස්ථානයේ ලිංගික හිංසනය: යුක්තිය පසිඳලීමේදී පවතින බාධක ජය ගැනීම’ (‘Sexual Harassment at the Workplace: Overcoming Barriers to Justice’) යන වාර්තාව ගෙවුණු සිකුරාදා (1) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත භාරදීම සිදුවිය.
අධ්‍යනයෙන් සිදුකරගෙන තිබෙන සොයාගැනීම් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකිරීමට වෙරිටේ රිසර්ච් පර්යේෂණ කණ්ඩායම එම අවස්ථාවේ දී, කටයුතු කළ අතර රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ගත හැකි පියවරයන් සඳහා නිර්දේශයන් යෝජනා කිරීමත් එහිදී සිදුවිය. රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන්වලින් සේවා නියුක්තිකයන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වන විධිවිධානයන් දැනට කෙටුම්පත් කෙරමින් පවතින සේවා නියුක්ති පනතට ඇතුළත් කිරීම හරහා ඒවා ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සුදුසු බවටත් එම සාකච්ඡාවේ දී, නිර්දේශ කෙරිණ. එසේ කිරීම, රටට සුදුසු නෛතික වෙනස්කම් සිදුකිරීමට ගැනෙමින් පවතින උත්සාහයන්ට අමතර ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දෙනු ලැබිණ.
මෙම වාර්තාවේ අන්තර්ගතය සැළකුවහොත්, පිලිපීනය, පේරු, ජපානය, මෙක්සිකෝව සහ ඉරාකය වැනි රටවල් සේවා ස්ථානයේ ලිංගික හිංසනය අවම කිරීම සඳහා ගෙන ඇති විවිධ ප්‍රවේශයන් ඉන් ප්‍රධාන වශයෙන් පෙන්වා දේ.
ජයගත යුතුයැයි වාර්තාවෙන් හඳුනාගෙන ඇති බාධක තුනකි.
විවිධ නීති තුළ ව්‍යවස්ථාදායක ප්‍රතිපාදන තිබුණ ද, ලිංගික හිංසනය ආමන්ත්‍රණය කිරීමට තරම් ප්‍රමාණවත් නීතිමය අර්ථ දැක්වීමක් නොමැතිවීම.
අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින නීතිමය ප්‍රමාදයන් සහ ඔප්පු කිරීම් සදහා සාක්කි මත ඉතා ඉහළ බරක් තබා තිබීම වැනි ආයතනික බාධක.
වින්දිතයන්ගේ දුක්ඛිත තත්ත්වය තවදුරටත් උග්‍ර කරන මුල් බැසගත් සංස්කෘතික බාධක සහ දැනුවත්භාවයේ ඌනතාවය
වාර්තාව මගින් නිර්දේශ කර ඇති විසඳුම්වලට පහත කරුණු ඇතුළත් වේ:
සේවා ස්ථානයේ ‘ප්‍රචණ්ඩත්වය සහ හිංසනය’ පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් අර්ථ දැක්වීම අනුගමනය කිරීම – මෙයට ප්‍රදර්ශන කාමය (voyeurism) සාපරාධී වරදක් බවට පත්කිරීම සහ ඩිජිටල් හෝ විද්‍යුත් මාධ්‍ය හෝ ලිංගික අන්තර්ගතයන් ඇති රූප, හඬපට හෝ වීඩියෝ පට භාවිතා කිරීම ඇතුළත් වන ලිංගික හිංසනයට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සැපයීම ඇතුළත් වේ.
වර්තමාන අපරාධ වරදට අනුපූරක යාන්ත්‍රණයක් ලෙස ලිංගික හිරිහැර සඳහා සේවා යෝජකයාගේ වගකීම සම්බන්ධයෙන් සිවිල් ව්‍යවස්ථාදායක වෙනස්කම් අනුගමනය කිරීම. සේවා ස්ථානයේ ලිංගික හිරිහැර අවම කිරීම සහ විසඳීම සඳහා අවම පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සේවායෝජකයින් වගකිව යුතුය – මෙයට අභ්‍යන්තර පැමිණිලි සහ විමර්ශන යාන්ත්‍රණයන් මෙන්ම විකල්ප ආරවුල් විසඳීම සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම ද ඇතුළත් වේ.
අධ්‍යාපනය, පුහුණුව සහ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා ද, මහා පරිමාණ සේවා ස්ථාන, පාසල් විෂයමාලා හරහා සහ සාමාන්‍ය ජනතාව සඳහා – මෙම එක් එක් කාණ්ඩය සඳහා අනුගමනය කළ හැකි නිශ්චිත ක්‍රියමාර්ගයන් ද මෙම වාර්තාවේ දක්වා ඇත.
කාන්තාවන් පමණක් ම මෙහි වින්දිතයන් නොවේ
වෙරිටේ රිසර්ච් නීතිය හා ආණ්ඩුකරණ අංශය සම්පාදනය කර ඇති මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් ඔබ්බට සේවා ස්ථානයේ ලිංගික හිංසනය පැතිර යන බවත් අවධාරණය කරයි. කාන්තාවන් විශේෂයෙන් අවදානමට ලක්වන අතර, පිරිමින් මෙන්ම විවිධ ලිංග අනන්‍යතා ඇති පුද්ගලයින් ද අවදානමට ලක්වන බවත් ඉන් හඳුනාගෙන ඇත. සුළුතර කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්, තරුණයින්, සංක්‍රමණික ශ්‍රමිකයින් සහ LGBTQI (සමලිංගික කාන්තා, සමලිංගික පිරිමි, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, විෂමලිංගික සහ අන්තර් ලිංගික) ප්‍රජාවේ සාමාජිකයන් මෙහි ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව හඳුනාගෙන තිබේ.
සම්පූර්ණ වාර්තාව: https://www.veriteresearch.org/wp-content/uploads/2023/10/20231031SexualHarassmentatTheWorkPlaceFinal.pdf










