අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 22 වන සංශෝධනය පිළිබදව ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
කලතට පසු මෙම කණ්ඩායම් රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීව සිට ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී පළමුව අදහස් දක්වා ඇති සරත් වීරසේකර මහතා 22 වන සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩු වීම සිදුවන බවත්, තමන් ඊට විරුද්ධ බවත් සදහන් කොට තිබේ.
තමන් 19 වන සංශෝධනය රැගෙන එන අවස්ථාවේදී පවා ඊට විරෝධය පළ කළ බව සදහන් කර තිබේ.
ඉන් අනතුරුව අදහස් දක්වා ඇති එස්.බී. දිසානායක මහතාද 22 වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වා ඇත.
හෙතෙම පෙන්වා දී ඇත්තේ විධායක ජනාධිපති ධූරය නොතිබුණේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය හෝ ජයගත නොහැකි වනු ඇති බවකි.
කෙසේවෙතත් මෙහිදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් 22වන සංශෝධනය කවිරුන් විසින් සකස් කරන ලද්දක්දැයි නොදන්නා බවත්, අවම වශයෙන් තමන් තවමත් එහි පිටපතක් හෝ දැක නොමැති බවත් සදහන් කර තිබේ.
එහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කොට ඇත්තේ මෙය තමන් විසින් සකස් කළ එකක් නොවන බවත්, හිටපු ජනාධිපතිවරයා විසින් සකස් කළ එකක් බවත්ය.
ඊට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයාද පවසා ඇත්තේ මෙය හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සකස් කළ එකක් බවත්, තමන් කළේ එය ඉදිරියට රැගෙන යාම පමණක් බවත්ය.
කෙසේවෙතත් මෙහිදී දැඩි ස්වරයකින් අදහස් දක්වා ඇති සාගර කාරියවසම් මහතා තමන් සමග මන්ත්‍රීවරුන් 30 දෙනකු සිටින බවත්, ඒ කිසිවකු 22 වන සංශෝධනයට ජන්දය නොදෙනු ඇති බවත් පවසා තිබේ.
පසුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ කලබල නෙවන ලෙසත්, 22ට ඉදිරිපත් කිරීමට සංශෝධන ඇත්නම් බදාදා දිනට පෙර ඒවා ලැබෙන්නට සලස්වන ලෙසත්ය.