තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් සිදුකිරීම මුල්කොට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කොට ඇත.
ඊට අදාළ ලිපිය පසුගිය 22 වැනි දින ජනාධිපති නීතිඥ ෆාමන් ජේ. කාසිම් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකිරීමටද පියවර ගෙන තිබේ.
මෙසේ දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින්, අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු පැවරීමට තීන්දු කොට ඇත්තේ පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුලාංජලී ප්‍රේමදාස මහත්මිය වෙත චෝදනා එල්ල කිරීම මුල් කරගෙනය.
මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව 2017 මැයි 22 වැනි දින මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ව්‍යාජ මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් එච්.එම්.ඒ.කේ.ආර්.එම්. පෙරේරා නමැත්තා වැරැදිකරු කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි.
එහිදී දුලාංජලී ප්‍රේමදාස මහත්මියට සිදුව තිබූ අපහාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවීමටද නියම කෙරිණි. ඒ, 2017 ජූලි 21 වැනි දිනය. එම නඩුවේ තීන්දුව දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසිනි.
එසේ තිබියදී අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවේදී සිය සේවාදායිකාව වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියට අපහාසාත්මක අයුරින් ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම මුල් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වන බව ජනාධිපති නීතිඥ කාසිම් මහතා සිය ලිපිය මගින් අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇත. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.
අනුර කුමාර වේදිකාවේදී කරපු චෝදනාව!
දුලාංජලී නඩු පවරන බවට යැවූ ලිපිය!
මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ මහලේකම් කනිෂ්ක ලැනරෝල් මහතාද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
‘සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නැගණිය මුදල් අච්චු ගහලා බේරිච්ච හැටි ගැන කතා කරන්නේ නෑ කියනවා. අපි දකිනවා මේ ගැන කියලා සමාජ මාධ්‍යවලින් සජිත් ප්‍රේමදාස මහත්තයට මඩ ගහනවා. 2014 වර්ෂයේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පෙරේරා කියලා ව්‍යාපාරිකයෙක් යම් මුදල් ප්‍රමාණයක් දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ලබාදෙනවා. ඒ මුදල් ඇතුළේ ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් තිබිලා තියෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ සැබෑ මුදල් නෝට්ටු විදියටමයි. අඳුනාගන්න බෑ. පන්දාහේ නෝට්ටු මිටියක් ගත්තොත් ඒකෙ තියෙන ව්‍යාජ මුදල් මොනවද, සැබෑ මුදල් මොනවද කියලා අපට අඳුනාගන්න බෑ. මේ මුදල් ටික එතුමිය බැංකුවෙ තැන්පත් කරන්න යද්දී හෙළිවුණා ඒ අතර ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් තියෙනවා කියලා.
දුලාංජලී ප්‍රේමදාස මහත්මියට වුණු දේ හෙට අපටත් වෙන්න පුළුවන්. මම මේ කියන කාරණය කොළඹ මහාධිකරණයේ විභාග වෙච්ච නඩුවක්. ඒ අනුව පොලිස් කණ්ඩායම් මේ පෙරේරා කියන පුද්ගලයගෙ නිවෙස පරීක්ෂා කරද්දී ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරපු ප්‍රින්ටර් ඔක්කොම අහුවුණා. මේ සිදුවීම නිසා දුලාංජලී ප්‍රේමදාස මහත්මියට වෙච්ච අපහාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න නියෝග කළා. ඒ වගේම රුපියල් ලක්ෂ 05ක දඩයක් ගෙවන්න නියෝග කළා. මේ පෙරේරා කියන පුද්ගලයා මහාධිකරණය හමුවේ පිළිගත්තා තමන් ව්‍යාජ මුදල් මුද්‍රණය කළා කියලා. ඔහුට අත්හිටුවූ සිරදඬුවමක් දීලා තියෙනවා. එතකොට මොකක්ද මේ කියන්නේ දුලාංජලී ප්‍රේමදාස සල්ලි අච්චුගහලා බේරිච්ච එක ගැන කතා කරන්නේ නෑ කියලා. මේ රටේ ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා මේ පෙරේරා කියන පුද්ගලයයි මුදල් අච්චු ගැහුවේ කියලා. දැන් අනුර කුමාර කියනවා දුලාංජලී ප්‍රේමදාස සල්ලි අච්චු ගැහුවා කියලා. අනුර කුමාර දිසානායක කරන්නේ අධිකරණ තීන්දුව විකෘති කිරීමක්. එතකොට මේක අධිකරණයට අපහාස කිරීමක් නෙවෙයිද? ඒ නිසා අපි අනුරට කියනවා අපි කරුණු ගැන, ප්‍රතිපත්ති ගැන කතා කරමු. තුට්ටු දෙකේ දේශපාලන ගේම් ගහන්න එන්න එපා. එහෙම එනවා නම් අපි ළඟත් ඕනෙ තරම් කරුණු තියෙනවා…’