20 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 39 මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර, මේ සති අන්තය වන විට එහි තීන්දුව කතානායකවරයා වෙත ලැබීමට නියමිතව ඇත. පෙත්සම් ආරම්භයේදීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේ එහි පවතින වගන්ති 32ක් සහ පේළි 51ක් සංශෝධනය කිරීමට සැලැසුම් කර ඇති බවකි. එම සංශෝධන කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේය. ඒ අනුව 20 වන සංශෝධනයේ සංශෝධන වීමට නියමිත තැන් 83ක් පවතින බව නීතිපතිවරයාගේ ප්‍රකාශයෙන් ප්‍රකට වන කරුණකි.
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ 20 සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ ඇති ගැටලු විසඳා ගැනීම ඉලක්ක කරගෙනය. මෙම රැස්වීමට ආණ්ඩුවට සම්බන්ධ සියලුම පක්ෂ නායකයන් මෙන්ම තවත් විශේෂ අමාත්‍යවරයෙක්ද එක්ව සිටිනු දැකගන්නට ලැබිණ. ඒ අන් කවුරුවත් නොව අධිකරණ අමාත්‍ය අලි සබි්‍රය. මහින්ද අලි සබි්‍රව කැඳවා තිබුණේ පක්ෂ නායකයන් විසින් මතුකරනු ලබන විරෝධතා සහ යෝජනා සඳහා ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබාදෙනු පිණිසය.
මෙම රැස්වීම තර්ක විතර්ක, වාද විවාද මැද බොහෝ වෙලාවක් පැවැත්වෙනු දැකගත හැකි විය. එහිදී මහින්ද පළමුවෙන්ම පක්ෂ නායකයන්ට 20 සම්බන්ධයෙන් ඇති සිය අදහස් විවෘතව පළකිරීමට ඉඩකඩ සලසා දුන්නේය. ඒ අනුව සියලුම පක්ෂ නායකයන් පාහේ 20 සම්බන්ධයෙන් තමන්ගේ අදහස් නොවලහා පළකිරීමට පියවර ගත්හ. එහිදී බොහෝදෙනා පෙන්වා දුන්නේ ස්වාධීන කොමිෂන් සභා ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත්, 19 හරහා පාර්ලිමේන්තුවට ලබාදුන් බලය ඒ අයුරින්ම ඉදිරියටත් පැවැතිය යුතු බවය. මහින්දද ඒ සියල්ල සාවදානව අසා සිටිමින් අලි සබි්‍රට කියා සිටියේ පක්ෂ නායකයන් දක්වන මෙම අදහස් සියල්ලම සංශෝධන ලෙස පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසටය.
සාකච්ඡාව අවසන් භාගයේදී පක්ෂ නායකයෝ මහින්දගෙන් තවත් ඉල්ලීමක්ද කළහ. ඒ, අලි සබි්‍ර විසින් සකස් කරනු ලබන මෙම අදහස් ඇතුළත් සංශෝධන වාර්තාව කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරීමට ප්‍රථම තමන්ටද ලැබීමට සලස්වන්න යැයි කියාය. මහින්ද ඊටද එකඟතාව පළකළේය. ඒ අනුව මේ දිනවල අලි සබි්‍ර විසින් පක්ෂ නායකයන් මෙහිදී දැක්වූ සංශෝධන ඇතුළත් විශේෂ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ. එම සංශෝධන නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙනු ලැබූ සංශෝධනවලට අමතරව ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
කපිල පුංචිමාන්නගේ










