පොදු දේපළ අවභාවිත කරමින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවේ පසුගිය 28 වැනිදා කැඳවනු ලැබීය.Sri Lanka Latest News
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් මහතා අධිකරණය හමුවේ පැවැසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවයි. එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවේ අසුන්ගෙන සිටි අතර දිලීප පීරිස් මහතා විමසා සිටියේ ඔහුට අසුන් ගැනීමට අවසර දුන්නේ කවුරුන්ද යන්නයි.
අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට අවවාද කළ අතර මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අධිකරණ ක්‍රියාදාමය ගලායන ක්‍රමවේදයක් පවතින බවයි. අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දැක්වූවා.
‘ස්වාමිනි, මුලින්ම කිව්වා වංගුවකින් රුධිරය යනවා කියලා. සැකකරුගේ ක්‍රියාකලාපය තුළම තියෙන්නේ වංගු. බන්ධනාගාරගත කරපු ගමන් එහේ රෝහලට යනවා. එතනින් ජාතික රෝහලට යනවා. එතනින් දැඩිසත්කාර ඒකකයට වංගු ගහනවා. ඔන්න දැන් යයි වගේ තමයි රටේ ප්‍රචාරයක් යැව්වේ. කොහොම හරි ඇපත් ගත්තා. ස්වාමිනි, මොහු දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරගෙන සහචරයින් සමග පොත් කියවමින් ඉන්නවා. වෛද්‍යවරුන් එක්ක ඡායාරූප ගන්නවා. පොදු දේපළ අවභාවිත කරපු කෙනෙක් එහේ ගිහිල්ලා යළි පොදු දේපළ අවභාවිත කරනවා. ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට යන්න බැරුව ලිස්ට් එකේ කීදෙනෙක් ඉන්නවද? ස්වාමිනි මේ ලැබිලා තියෙන ඇපය මතු සම්බන්ධ නැහැ. මම අනිවාර්යයෙන් ඉදිරියේදී මතක් කරනවා. මේක ඉවර නැහැ කියලා මම කියන්න කැමැතියි.’
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් විමසා සිටියේ ‘ආ, ඒ කියන්නේ මේක පළිගැනීමක්’ යනුවෙනුයි. එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර උස් හඬින් වාද විවාද ඇතිවීමත් සමග අධිකරණයේ නොසන්සුන්තාවක් ඇති වුණා.
මහෙස්ත්‍රාත්වරයා තත්ත්වය සමථයකට පත්කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි කරුණු දැක්වූවා.
‘ස්වාමිනි, අපේ නිලධාරීන් කණ්ඩායමක් එංගලන්තයට යොමු කළා. එම අවස්ථාවේදී නීතිඥවරුන් වන රොනල් පෙරේරා, අනුජ ප්‍රේමරත්න ඇතුළු තිදෙනෙක් නීතිපතිවරයා හම්බවෙන්න ආවා. ඇවිල්ලා කිව්වා ශානි අබේසේකරගේ පොලිසිය නීතිපතිවරයාට කියන්නේ නැතුව එංගලන්තයට කොහොමද ගියේ කියලා. අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සියයට සියයක් සෑහීමට පත්වෙලා ඉන්නවා. අපිව කොටවලා බෙදීමක් ඇති කරන්න හැදුවා. අපි අතර එහෙම වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමැතියි.’
යළි දෙපාර්ශ්වය අතර උස් හඬින් වාද විවාද කිරීමත් සමග අධිකරණයේ නොසන්සුන්තාවයක් ඇති වූ අතර මහෙස්ත්‍රාත්වරයා මැදිහත් වී යළි තත්ත්වය පාලනය කළා.
‘ස්වාමිනි, අපි ලන්ඩනයේ අපගේ තානාපති කාර්යාලයෙන් ප්‍රකාශ ලබාගත්තා. එහිදී අපිට දැනගැනීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ අදාළ උත්සවයට ගිහිල්ලා සාමාන්‍ය බැල්කනියේ පුටුවක ඉඳගෙන හිටියා කියලා. වේදිකාවට ආරාධනා කිරීමක් සිදු වෙලා නැහැ.’
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියේ ‘බී’ වාර්තාවෙන් නිගමන 26ක් දක්වා ඇති අතර, එහි එක් කරුණකින් හෝ මෙය නිල සංචාරයක් බවට කරුණු පෙනී ගියාද යන්නයි.
‘ස්වාමිනි, නිල, රාජ්‍ය, රාජතාන්ත්‍රික, පෞද්ගලික ලෙස සංචාර හතරක් තිබෙනවා. නිල කටයුත්තක් වෙන්නේ ඒ රටේ රාජ්‍ය මැදිහත්වීමක් තිබුණොත් පමණයි. රනිල් වික්‍රමසිංහ පිළිගන්නවත් කවුරුත් එන්නේ නැහැ. ඔහු එක්ක ගිය සොමිසාර ඒකනායක එසේත් නැත්නම් සමන් ඒකනායක නමැත්තා ඇමෙරිකා සංචාරයට යනවා. නමුත් එක්සත් රාජධානියට එන්නේ නැහැ. ඒ වගේමයි ස්වාමිනි, සැකකරු ලිපියක් ඉදිරිපත් කර කිව්වා ඔහුට ආරාධනාවක් ලැබුණු බවට. නමුත් අදාළ ලිපිය තානාපති කාර්යාලයට ලැබුණේ නැහැ. මේ සියලු කාරණාවලින් අනාවරණ වන්නේ මෙය නිල කටයුත්තක් නොවන බවටයි. අනෙක් කාරණාව ස්වාමිනි, මළගෙදරක ගියත් පින්තූර දාන මිනිස්සු මෙහෙම නිල ගමනකට එක්වුණා නම් කෝ ඒවායේ ඡායාරූප? ජනාධිපති මාධ්‍ය ඒකකයේ එවකට ඡායාරූප ශිල්පියෙක් ප්‍රකාශ කරනවා එක්සත් රාජධානියේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් නොමැති බව. සමන් ඒකනායක කියනවා උපාධි ප්‍රදානෝත්සවයක් කියලා දන්නේ ලංකාවට ආවට පස්සේ කියලා.’
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ලේඛනවල පෞද්ගලික ගමනක් වී පසුව එය නිල බවට වෙනස් වීමට හේතුවක් ඇද්ද යන්නයි. එයට ‘නැහැ’ යනුවෙන් දිලීප පීරිස් මහතා පිළිතුරු ලබා දුන්නා.
පසුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයේ කරුණු දැක්වූවා.
‘ස්වාමිනි, අනම් මනම් දොඩවන්න මට පුරුදු නැහැ. කියපු ඒවා සියයට අනූවක් මට අදාළ නැහැ. අවස්ථා කිහිපයකදී කියනවා ව්‍යාජ ලිපියක් කියලා. ඇයි ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අස්සන් කරපු කෙනාගෙන් අහන්නේ නැත්තේ ඇත්තද බොරුද කියලා? ලන්ඩන් ගිහිල්ලා මොනවද කළේ කියලා අපි දන්නෙ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් ෆයිල් හොයන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.’
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරයාගෙන් විමසා සිටියේ විශ්වවිද්‍යාලයෙන් එන ආරාධනය නිල ආරාධනයක්ද යන්නයි. එයට ‘ඔව්’ ලෙස නීතිඥවරයා ප්‍රකාශ කළා.
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ලිපිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ගත්තාද යනුවෙන් දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියා.
‘ස්වාමිනි, එය අතිශය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. බි්රතාන්ය රජයට අයත් එකක් නෙවෙයි. අර්ධ රාජ්‍ය අනුග්රහයක්වත් නැහැ. ස්වාමිනි, සැකකරු සම්බන්ධයෙන් සියලු විමර්ශන අවසන්. ත්‍රිපුද්ගල විමර්ශන සභාවක ඉදිරියේ පැමිණිල්ල මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු මාසයේදී අනිවාර්යයෙන් අධිචෝදනා භාර දෙනවා. ඒ වගේමයි කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥවරයා ප්‍රකාශ කළා සොමිසාර ඒකනායක ආවා කියලා. එහෙනම් ඔහුට කූඩුවට නගින්න කියන්න.’
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥයන් යළි කරුණු දැක්වීමක් සිදුකළා.
‘ස්වාමිනි, එක ප්‍රශ්නයක් අහන්නම්. ජනාධිපති ලන්ඩන් ගිහිල්ලා අසනීප වුණොත් මොකද කරන්නේ? දැන් උදාහරණයකට අනුර ජනාධිපතිතුමා අම්මව බලන්න හත් වතාවක් ගියා.’
‘ස්වාමිනි, විරුද්ධ වෙනවා. මේක දේශපාලනීකරණය කරන්න හදනවා.’
අනතුරුව දෙපාර්ශ්වය අතර යළි නොසන්සුන්තාවක් ඇති වූ අතර, තත්ත්වය පාලනය කරමින් මහෙස්ත්‍රාත්වරයා ‘සද්දෙට නෙවෙයි කරුණුවලටයි තැන තියෙන්නේ’ යනුවෙන් ප්‍රකාශ කළා. පසුව අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සමන් ඒකනායක මහතා නම්කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා. එහිදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතායි.
‘ස්වාමිනි, මගේ සේවාදායකයා මෙහි ඇවිල්ලා ඉන්නවා. ඔහුට පැනලා යන්න අවශ්‍ය නැහැ. ඔහු හැංගිලා ඉන්නවා කියන එක ප්‍රතික්ෂේප කරනවා.’
‘පැහැදිලිව නීතිය මගහරින්න පුළුවන් අපරාධකරුවෙක්. 22 වැනිදායින් පසු එක ඇමතුමක්වත් නැහැ. බිරිඳත් එක්ක අතුරුදන් වෙලා. ඒකත් නිකන් යන්නේ නැහැ. අසල්වැසියාට මාළුයි හාල් මැස්සොයි තම්බලා දීලා යනවා පූසාට කන්න දෙන්න කියලා.’
‘ස්වාමිනි, මොහු මට කතා කළා. ඒ කියන්නේ මට කතා කළේ භූතයෙක්ද?’
‘මේ තියෙන්නේ ඔහුගේ බලසම්පන්න බව පෙන්වීමක්. සී.අයි.ඩී. එන්නේ නැහැ අපි අධිකරණයට එනවා කියලා කියන්න හදනවා. මහජන මුදල් අවභාවිතයට රාජ්‍ය ලාංඡනය තබන්නේ ඔහුයි. ඔහු අවසර දුන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඔහු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අවශ්‍යයි. සමහර විට ඔහුගෙන් ලබාගන්නා ප්‍රකාශ තුළින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළි ප්‍රකාශ ලබාගන්නත් වෙයි.’
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ සිද්ධියෙන් මිලියන දහසයකට ආසන්න මුදල් අවභාවිත වී ඇති අතර, ජනාධිපතිවරයාගේ සංචාරවලට යන වියදම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා පෞද්ගලිකව සොයාබැලිය යුතු බවයි. එමෙන්ම ඉදිරිපත් වී ඇති කරුණු අනුව බැලූබැල්මට මෙය පෞද්ගලික සංචාරයක් බවට පෙනීයන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
මුදල් නිකුත් කිරීමේදී දෙවැනි සැකකරු හෙවත් සමන් ඒකනායක සුපිළිපන්භාවයෙන් සහ පරීක්ෂාකාරීභාවයෙන් තොර වීම නිසා ඔහුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම ලිපිලේඛන සම්බන්ධයෙන් ලන්ඩන්හි වුල්ෆ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, එය මෙරට සිට සිදුකිරීමට හැකි නම් වඩාත් සුදුසු බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.










