නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඞීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා සතු රුපියල් කෝටි 100 කට අධික මුදල් සහ දේපළ අත්හිටුවා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (03) කරුණු වාර්තා කළේය. (Sri Lanka Latest News)
ඒ අනුව, සැකකරුවන් පස් දෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි 69කට (මුහුණත වටිනාකම ලෙසින් සඳහන්) අධික වටිනාකමින් යුත් දේපළ අධිකරණ නියෝග මත මෙලෙසින් අත්හිටුවා ඇතැයි ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙසින් නීතිපතිවරයා විසින් නම්කරන ලද ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඊයේ (03) ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන තවමත් මූලික අවධියේ පැවැත්වෙන බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධාවක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.










