ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන විශාලතම සන්ධානයේ පළමු අදියර හෙට (05) දිනයේ ආරම්භ කරන බවත් එහිදි මහචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගිවිසුම් ගතවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද (04) පැවැසීය.Sri Lanka Latest News
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා මෙසේද පැවැසීය.
‘‘ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන පුළුල්ම සන්ධානයේ එක් අදියරක් හෙත තියන්න සුදානම්. හෙට දිනයේදී මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය ගිවිසුමකට එළඹෙන්න නියමිතයි. ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා පැමිණි එකඟතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය එකතු වෙන්නේ. එම සන්ධානය ගොඩනගන්ගේ මැතිවරණය ජයග්‍රහනය කිරිමට පමණක් නෙවයි. රාජ්‍ය බලය ලබාගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නත් එම සන්ධානය හරහා කටයුතු කරනවා. මැතිවරණය පැවැත්වෙන තෙක් නොයෙකුත් කණ්ඩායම් නොයෙකුත් සංවිධාන සමඟ සන්ධාන ගත වීමට නියමිතයි. 2020 මැතිවරණය සඳහා සමගි ජනබල සන්ධානයෙන් තරඟ කළ පිරිස් අපි සමඟ සිටිනවා. හෙට දිනයේදී අලුතින් කණ්ඩායම් එකතු වෙනවා. ඉදිරියේදීත් සමගි ජනසන්ධානයට කණ්ඩායම් එකතු වීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වලා තිබුණා. නමුත් ඔහු කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් නිසා අධිකරණයේ පෙනී සිටින්නේ නෑ කියලා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධූරය දරන සමයේ තමයි පාස්කු ප්‍රහාරය ඇතිවුණේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාව තුළ විශාල සැයක් තිබෙනවා. මෙම ප්‍රහාරයේ මහ මොළකරු සොයා නොගැනීම සම්බන්ධයෙන් විශාල සැකයක් ජනතාව තුළ තිබෙනවා. වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇතිවීමටත් මෙම ප්‍රහාරය බලපෑවා. ඒ වගේම යහපාලන රජය පරදින්න විශාලම හේතුව පාස්කු ප්‍රහාරය. ඒ වගේම ගෝඨාභය වගේ පුද්ගලයෙක් ජයග්‍රහනය කරන්න රැල්ලක් ඇතිවුණෙත් පාස්කු ප්‍රහාරය නිසා. ඒ නිසා මේ ප්‍රශ්නයේ කෙලවර සොයාගන්න ඕන.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දන්නවානම් ඔහු අපරාධ නිතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් තමයි කරලා තිබෙන්නේ. පාස්කු ප්‍රහාරයට කලින් ඒ ගැන දැනගෙන හිටියානම් එම ප්‍රහාරය වළක්වා ගැනීම ඔහුගේ වගකීමක්. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ ගැන දැනගත්තානම් ඊට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදීම ඔහුගේ වගකීමක්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඔහුට මානසික ආතතිය වැඩිවෙලා කියපු දෙයක්ද දන්නෙත් නෑ. ඔහු කියන දේ හරිනම් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන්නා වගේ අධිකරණයට ගිහිල්ලා ප්‍රකාශයක් ලබාදෙන්න බැරි ඇයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වල ඥාතීන්ට සාධාරණයක් ඉටු කිරිම ඔහුගේ වගකීමක්. ඔහු විධායක ජනාධිපතිවරයා සිටින කාලයේදී තමයි පාස්කු ප්‍රහාරය සිදුවුණේ.
රටේ ආර්ථිකය ගැන , නිෂ්පාදන ගැන , ජාත්‍යන්තර සබඳතා ගැන කිසිදු අවබෝධයක් නැති පුද්ගලයෙක් තමයි 2019 දී රටේ ජනාධිපති ලෙස පත්වුණේ. ඔහු රට බංකොලොත්භාවය ඇඳලා දැම්මා. එවැනි තත්ත්වයක් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවගෙන් අධික ලෙස බදු අය කරන්න පටන් ගත්තා. අධික බදු බර හේතුවෙන් රටේ ජනතාව , වෘත්තිකයන් , ව්‍යාපාරිකයන් විනාශ වෙලා තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා තිබෙනවා. ඔවුන් ලඟ සේවය කරපු අයට රැකියා අහිමි වෙලා තිබෙනවා. රටේ ජනතාවට තුන්වේල හරියාකාරව කන්න නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ව පාසල් යැවීමට නොහැකි වෙලා තිබෙනවා. වෘත්තිකයන් තමන්ගේ දැනුමෙන් උපයන මුදල් බදුවලට පුජා කරන්න සිදුවෙලා තිබෙනවා. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය බදු පමණක් උපයෝගිකර ගැනීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. සෘජු විදේශ ආයෝජන රුපියලක්වත් රටට ඇවිත් නෑ. අපනයන වැඩි කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. අලුත් වෙළඳ පොලවල් සොයාගෙන යන්න එකදු පියවරක් අරගෙන නෑ. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රටේ ජනතාව , ව්‍යාපාරිකයන් , වෘත්තිකයන් පිඩාවට පත් කරමින් තමයි බදු අය කරගන්නේ.
වැට් බද්ද සියය 18 දක්වා රජය වැඩි කළා. රුපියල් බිලියන 600 ක් බලාපොරොත්තුවෙන් තමයි රජය මෙලෙස බදු ප්‍රතිශතය වැඩි කළේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එකතු කරගෙන නැති මුදල බිලියන 1066 යි.
බිලියන 1066 එකතු කළානම් වැට් බද්ද වැඩි කිරිම හරහා වැඩිකළ බිලියන 600 ත් ලැබෙනවා. තව අතිරේකව බිලියන 466 ක් ලැබෙනවා. එහෙම වුණානම් වැට් බද්ද සියයට 12 දක්වා අඩුකරන්න තිබුණා. එහෙම වුණොත් පෙට්ට්‍රල් , ඩීසල් , ගෑස් , ප්‍රවාහන ගාස්තු , බඩුමිල අඩුවෙනවා. ඒක කරන්න රජයට කිසිදු අවශ්‍යතාවයක් නෑ.
බලපත්‍රවලට ගෙවන්නේ නැතිව පොලු තියලා යම් මුදලක් ගෙවලා ඒ බලපත්‍ර නැවත ලබාගෙන නැවත ඒ බලපත්‍රවලට ගෙවන්නේ නැතිව සිටිනවා. එසේ සිදුකරන්නේ ජනාධිපතිවරයාගේ ගෝලයෝ. මහබැංකු බැදුකරයට හිරේ ගිය අයත් මේ වැඩේ ඇතුළේ සිටිනවා. ජනතාව අනුභව කරන බී ලුණු , අර්තාපල් කිරිපිටි වලට බදු ගසමින් රටේ ජනතාව පීඩාවට පත්කරලා තිබෙනවා. නමුත් වරායට බී ලුණු එන්නේ රුපියල් 92ට. රේගුගෙන් බී ලූණු එලියට එනකොට කිලෝ එක 365 යි. වෙළඳපොලේ විකුණන්නේ රුපියල් 700 ට. අර්තාපල් වරායට එන්නේ කිලෝ එක රුපියල් 110ට. රේගුවෙන් අර්තාපල් කිලෝ එක එලියට ඇවිත් වෙළඳපොලට යද්දි අර්තාපල් කිලෝ එක රුපියල් 840 ක් වෙනවා. මෙයින් රජය අය කරන බදු ප්‍රමාණය කොපමණද කියලා හොදින් බලාගන්න පුලුවන්. රටේ සිටින කූඨ ව්‍යාපාරිකයන් හොයන ලාබයත් මෙයින් හොදන දැක ගන්න පුලුවන්. පාර්ලිමේන්තු කාරක සභාව මේ ගැන සොයාබැලිමකදී වාර්තා වෙලා තිබෙනවා අලු / ලුණු / කිරිපිටි වලින් රටේ කුඨ ව්‍යාපාරිකයන් රුපියල් කෝටි 8000 ක් සොයාගෙන තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගන්න කටයුතු කරන්නෙත් නෑ. මේ හරහා බඩු මිල අසීමිත ලෙස වැඩවීමට පමණයි සිදුවෙලා තිබෙන්නේ. අයුතු ලාභය අඩු කළානම් බදු අඩුකරන්න තිබුණා. බදු අඩුකළානම් බඩු මිලත් අඩුවෙනවා. මේවා කරන්න රජයට කිසිදු අවශ්‍යතාවයක් නෑ. බදුවලින් ආදායම් හොයනවා හැරෙන්න බදු අඩු කරලා රාජ්‍ය ආදායම ස්ථාවර කර ගැනීම සඳහා කුඨ ව්‍යපාරිකයන් හොයන අයුතු ලාභය නවත්වන්න රජය කිසිදු මැදිහත්වීමක් සිදු කරන්නේ නෑ.
කෝටි 100 කට වැඩිය පොලු තියපු පිරිස් 92 ක් සිටිනවා. කෝට් 50 – 100 අතර පොලු තියපු අය 104 ක් සිටිනවා. කෝටි 30 – 40 ත් අතර පොලු තියපු පිරිස් 57 ක් ඉන්නවා. කෝටි 5 ත් 10 ත් අතර පොලු තියපු පිරිස් 632 ක් ඉන්නවා. කෝටි 1 ත් 5 ත් අතර ආණ්ඩුවට පොලු තියපු පිරිස් 3108 ක් සිටිනවා. මේ මුදල් එකතු කර ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. මේ මුදල් එකතු කරගත්තානම් බඩු මිල අඩු කරන්න පුලුවන්. බදු අඩු කරන්න පුලුවන්. බිල් අඩුකරන්න පුලුවන්.
පසුගිය අවුරුද්දේ බිලියන 100 ක් අපෙක්ෂාවෙන් උපයන විට ආදායම් බද්ද සියයට 36 ක් දක්වා වැඩිකළා. එයින් රජයට බිලියන 150 ක ආදායමක් ලැබුණා. බිලියන 100 එකතු කරන්න පුලුවන් කොපමණ ප්‍රමාණයකින් බදු වැඩි කළොත් ද කියන දේ පිළිබඳව ආණ්ඩුව දැනගෙන හිටියේ නෑ. උපයන විට ආදායම් බද්ද සියයට 24 දක්වා අඩු කරන්න පුලුවන්. එවිට රාජ්‍ය ආදායමට හානියක් නොවී බිලියන 100 එකතු කරගන්න පුලුවන්. රටේ වෘත්තිකයන් , ව්‍යපාරිකයන් , ව්‍යවසායකයින් ගැන , ජනතාව ගැන කිසිදු සංවේදිභාවයක් රජයට නෑ. රජය ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදෙමින් ඔවුන්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
විදුලි බිල සියයට 300 කින් වැඩි කරලා සියයට 20 කින් අඩුකරලා පෙන්වනවා. තෙල් මිල එකසිය ගණන්වල ඉදලා තුන්සිය ගණන් දක්වා වැඩි කරලා රුපියල් 8 කින් අඩුකරලා පෙන්වනවා. ගැස් මිල තවම හාරදාස් ගාණක් වෙනවා. වැඩිවුණ ප්‍රමාණයට භාණ්ඩ හා සේවාවල මිල ආණ්ඩුව අඩු කරන්නේ නෑ. ජනතාවගේ ආදායමට අනුව භාණ්ඩ හා සේවා වල මිල අඩු කරන්නේ නෑ. ඩොලරය වැඩි වුණ වේගයට බඩු මිල වැඩි වුණා. ඩොලරය අඩුවන වේගයට භාණ්ඩවල මිල ගණන් අඩු වෙන්නේ නෑ. ණය ගෙවන්න වුණ දවසට නැවත ඩොලරය ඉහළ නගිනවා.
2014 දී වරයවල් / ගුවන් තොටුපළවල් හදපු මහින්ද ජනාධිපතිවරණයේදී පැරදුණා. 2015 මහ බැංකු මංකොල්ලය සිදුවුණා. යහපාලන ආණ්ඩුව ජව අප්‍රසාදයට ලක්වුණා. 2018 ප්‍රාදේශීය සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයට කර කියාගන්න දෙයක් නැතිවුණා. 2018 ප්‍රාදේශීය සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය කොලොන්නාවේ විතරයි සියලු කොට්ඨාස දිනුවේ. 2018 ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව පාර්ලිමෙන්තුව විසුරුවලා මහ මැතිවරණයට යමු කියලා රනිල් වික්‍රමසිංහට කිව්වා. එතුමා කිව්වා අපි පාරවල් බෝක්කු හදලා ඡන්දයක් තියමු කියලා. නමුත් අවසානයේදී මහ මැතිවරණය පරාදයි. ඒ වගේම තමයි අදත් ජනාධිපතිවරයා ගුරු පත්වීම් දෙනවා , ඉඩම් ඔප්පු ලබාදෙනවා. ඒවා හොද වැඩ. නමුත් මේ සියල්ල සිදුකරන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. මේ සියලු දේවල් ජනතාවට ලැබිය යුතු දේවල්. ජනතාවගේ අයිතිවාසිකම් ලබාදුන්නා කියලා ඡන්දයක් දිනන්න බෑ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැයි මාසය වනවිට රටේ තත්ත්වය බලලා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැ කියලා තිරණය කරනවා. නමුත් ඒ බව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් කියන්නේ නෑ. ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ කියලා කිව්වොත් රටේ සිටින රාජ්‍ය සේවකයින් , ත්‍රිවිධ හමුදාව , තානාපතිවරු , ව්‍යාපාරිකයෝ ඔහුව ගණන් ගන්නේ නෑ. ඒ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නවා. 2005 පසුව ජනාධිපතිවරණයක් රනිල් වික්‍රමසිංහ ඉල්ලලා නෑ. අවුරුදු 19 ක් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා නෑ.
මෙවර මැයි 01 වැනිදා සමගි ජනබලවේගය ගේන සෙනග දැක්කට පස්සේ රනිල් වික්‍රමසිංහට ඡන්දය ඉල්ලන්න වෙන්නේ නෑ. ඉතිහාසයේ සිදුකරපු දැවැත්තම මැයි දින පෙළපාලිය සමගි ජනබලවේගය විසින් සිදුකරනවා. සම්ප්‍රදායික මැයි රැළිවලින් ඔබ්බට ගිහින් මැයි දිනය පවත්වන්න කටයුතු කරනවා. සමගි ජනබලවේගය විසින් පනත්වන මැයි රැළියේදී බලාගන්න පුලුවන් ජන මතය තිබෙන්නේ කොහෙද කියලා. සමාජයේ සියලු නියෝජනයන් සිටින්නේ සමගි ජනබලවේගය සමගයි.
රටේ තිබෙන විශාලතම දේශපාලන සංවිධාන ජාලය තිබෙන්නේ සමගි ජනබලවේගය සතුව. සති අන්තයේ ඡන්ද පොළ මට්ටමින් රැස්වීම් පවත්වන එකම පක්ෂය වන්නෙත් සමගි ජන බලවේගය. දිස්ත්‍රික්ක මට්ටමින් අපි ජනහමු පවත්වනවා. අපි බිම් මට්ටමෙන් ජාල ගතවෙලා සිටින්නේ. අපේ රැස්වීම්වලට එන සියයට 20 ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට ඡන්දය දීපු පිරිස්. ඒ නිසා අපි කොහෙද ඉන්නේ කියන තක්සේරුව අපිට තිබෙනවා. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සුදානම්.
ඒ වගේම අනුර කුමාර දිසානායකට ආරාධනා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට එන්න කියලා. සිංහල අවුරුද්දට කලින් විවාදය කරන්න අපි සුදානම්. මැයි පළමු වැනිදාට පෙර විවාදයට එන්න. මැයි පළමු වැනිදා සමගි ජනබලවේගයේ සෙනග දැක්කම විවාදයට එන්න හිතෙන්නේ නෑ. ඊට කලින් විවාදයට එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි ඔවුන් සිදුකළ අභියෝගය භාරගත්තා ඔවුන්ගෙන් පිළිතුරුක් එනකන් අපි බලාගෙන ඉන්නවා.‘‘










