විපක්ෂය සමග එක්ව පුලුල් දේශපාලන බලවේගයක් ගොඩනැගීමට විමල් වීරවංශ මහතා එක්වනු ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට තමන්ට කිසිදු අදහසක් නැති බවකි.
එම සටහන මෙසේය.
‘හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පළ කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සුදානමින් සිටින බව ය. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.
ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරලතම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.
අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබූ 69 ලක්ෂයේත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ත ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අපහට එල්ල කළ ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණුවල වෙනසක් නොවන බව ද විශ්වාසයෙන් යුතුව කියමි.
අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනා වෙත සංවේගය පළ කරමි…!