සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සදහා යාල පලටුපාන ප්‍රදේශයෙන් ලංකා රියලිටි ලෙෂර් නම් සමාගමකට 2005 වසරෙන් පසු ලබා දුන් ඉඩමක බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය සහ කළමනාකාරීත්වය ගෙන ඇති තීන්දුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණය කටයුතු කළේය.
අදාළ සමාගම විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම මගින් ඉල්ලා සිටි සියලු කරුණු සදහා මෙම අතුරු තහනම ලබා දීමට දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය කටයුතු කළාය.
‘මව්රට’ පුවත්පත සහ ‘මව්රට’ වෙඩ් අඩවිය ආරම්භයේ සිටම විටින් විට මෙම සිදුවීම වාර්තා කළ අතර ඒ හරහා අප පෙන්වා දුන්නේ වත්මන් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙම ව්‍යාපෘතිය අත්හිටුවීම සදහා බලපෑම් සිදුකරන බවකි.
සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියාට අයත් ‘වයිල්ඩ් කෝස්ට් ලොජ් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් ආයතනයක් මගින් යාල ප්‍රදේශයේම සංචාරක හෝටලයක් තැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සදහා අනියමින් සහාය ලබා දීමට සභාපතිවරිය කටයුතු කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද අපි එහිදී අනාවරණය කර සිටියෙමු.
මේ සම්බන්ධයෙන් සභාපතිවරියට එරෙහිව අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ටද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.










