• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න තීන්දු කරයි! සියඹලාපිටියගේ කාමරයේ රහස් සාකච්ජාවක්! කුට්ටිට ‌එරෙහිව මන්ත්‍රීවරියන්ගේ වට්ස්ඇප් මෙහෙයුම! මහින්දට අමාරු කාලයක්! (රාජ්‍ය රහස්)

November 28, 2021
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

-තිස්ස කුට්ටිට පිස්සු හැදිලාද?

-බැසිල්ගේ ඉන්දීය ගමනේ රහස

-අයවැයට 6ක් නෑ! විදුර ගේමක් ගැහුවාද!

-බයිඩන්ට ලංකාව එපා වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය පැවැතියේ ඉකුත් සතියේදීය. ගෙවුණු වසර දෙක ඇතුළත ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ සිටි ආණ්ඩුව ඇතුළේම කණ්ඩායම් මේ ගෙවුණු වසර දෙක ඇතුළත විවිධ ගැටුම් හේතුවෙන් යම් යම් දේශපාලන විරසකයන් හදාගෙන ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට ඇත. මෙහි පළමු ගැටුම ඇති වූයේ විසිවැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවේදීය. එහිදී විමල්-උදය-වාසු ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එරෙහිව පළමු විරෝධය ආණ්ඩුව ඇතුළෙන්ම මතු කළේය. ආණ්ඩුව ඇතුළේ දෙවැනි බෙදීම ඇති වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකුණා දැමීමේදීය. එහිදීද විමල්, උදය, වාසු කණ්ඩායම ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිටම කැරැල්ලක් දියත් කළෝය. තුන්වැනි බෙදීම ඇති වූයේ යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකාවට පැවරීමේ ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුවය. කැබිනට්ටුවටත් නොදන්වා මෙම ගිවිසුම මහ රෑ අස්සන් කළ බව කියමින් මෙම කණ්ඩායම පසුගියදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් ප්‍රසිද්ධියේම දියත් කළා පමණක් නොව මේ වන විට ආණ්ඩුවට එරෙහිව අධිකරණය ඉදිරියටද ගොස් අවසානය.

ශ්‍රීලනිපයට පල නොකියා පලා බෙදයි!

කෙසේ වෙතත් මේ සිදුවීම් තුනේදීම ආණ්ඩුව ඇතුළේ පිපිරීමට මුල් වුණේ විමල්, වාසු, උදය ඇතුළු සුළු පක්ෂ 10ක නායකයන්ය. එම පක්ෂ දහයේ සියලු දෙනා ගත්තද මන්ත්‍රීවරුන් සිටින්නේ 15කට අඩු සංඛ්‍යාවක්ය.

නමුත් පසුගිය සතිය වන විට සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ප්‍රසිද්ධියේම ආණ්ඩුව සමග බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය කරගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රතිපත්තිය විවේචනය කිරීම මුල් කරගෙනය. ශ්‍රීලනිපයද ඉකුත් කාලසීමාව පුරා 20 වැනි සංශෝධනය, නැගෙනහිර වරාය ඉන්දියාවට පවරා දීම, යුගදනවි ගිවිසුම අස්සන් කිරීම ආදී කරුණුවලදී විමල්, වාසු, උදය කල්ලිය සමග එක්ව ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කළද ඒ කිසිදු අවස්ථාවක විමල්ලා මෙන් සීමාව ඉක්මවා රතු ඉර පන්නන්නට කටයුතු කර තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් ආණ්ඩුවේ හතර මායිම් ඇතුළේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි.

ගැටුමට මුල මහින්දානන්ද

නමුත් කාබනික පොහොර වගාවේදී රටේ සියලු ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්වීම හේතු කොටගෙන ශ්‍රීලනිපය අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවට පෙන්වා දී තිබුණේ මෙම ප්‍රතිපත්තිය හොඳ වුවත් එක්වර එය සිදුකිරීමට යෑමෙන් බරපතළ තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය වී ඇතැයි කියාය. වරක් ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රසායනික පොහොර ගෙන්වන ලෙසටත්, කාලානුරූපීව කාබනික වගාව සඳහා රට හුරු කරවන ලෙසටත් දැනුම්දී සිටීමටද පියවර ගෙන තිබිණි. නමුත් ඊටද නිසි ප්‍රතිචාර නොලැබුණු තැන මෛත්‍රිපාලත්, ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකරත් ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය විවේචනයට ලක් කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරනු දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කළ මෛත්‍රී වරක් කියා සිටියේ මහින්දානන්ද වෙළක නියරකවත් බැස නැති, ඒදණ්ඩකවත් යන්න දන්නේ නැති කෘෂිකර්ම ඇමැතිවරයකු යැයි කියාය. ඒ, ඉකුත් ඔක්තෝබර් 31 වැනි දිනය.

මහින්දානන්දත් ගේම ඉල්ලයි

එම ප්‍රකාශයෙන් පසු ආණ්ඩුව හා ශ්‍රීලනිපය අතර බෙදීම නිල වශයෙන් තහවුරු වූ අතර මහින්දානන්ද ඊට පාර්ලිමේන්තුවේදීම පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් හොඳට වෙළේ කුඹුරේ බැස ඇති අයකු බවත්, මෛත්‍රිපාල සම්බන්ධයෙන් හොඳ හොඳ කරුණු තමන් ළඟ ඇති නමුත් ඒවා මේ මොහොතේ නොකියන බවත්ය. ඉකුත් නොවැම්බර් 09 වැනි දින පාර්ලිමේන්තුවේ මෙම කතාවට ප්‍රතිචාර දක්වමින් මහින්දානන්ද පළමු වතාවට මෛත්‍රිට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ කිසිදු ජනාධිපතිවරයකු නොකළ පරිද්දෙන් නිල නිවාස 3ක් එක්කොට විශාල මන්දිරයක් මෛත්‍රි ඉදිකරගත් බවට චෝදනාවක්ද එල්ල කරමිනි.

ඉන් පසු යළිත් මෛත්‍රී මහින්දානන්දට ප්‍රහාරයක් එල්ල කළේ ආණ්ඩුවට රසායනික පොහොර ගෙන්වීමේ තහනම ඉවත් කරගත් ඉකුත් බදාදා (24) දිනය. එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ මෛත්‍රි කියා සිටියේ රසායනික පොහොර තහනම ඉවත් කරගත්තද දැන් ගොවීන්ට සිදුව ඇත්තේ වහ බීමට බවත්, මේ සියලු දේවල්වලට මහින්දානන්ද වගකිව යුතු බවත්ය.

ජනපතිගෙනුත් මෛත්‍රීපාලට ෂොට් එකක්

මෛත්‍රිගේ මේ ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෛත්‍රි ඉලක්ක කරගෙන එකවර ද්විත්ව ප්‍රහාරයක් එල්ල වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් පළමු ප්‍රහාරය දියත් වූයේ බදාදා දිනම පාර්ලිමේන්තුවේදීය. දෙවන ප්‍රහාරය එල්ල වූයේ ජනාධිපතිවරයාගෙනි. ඒ, නව කැළණි පාලම විවෘත කිරීමේ උත්සවයේදීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයාද, හිටපු අගමැතිවරයාද වගකිව යුතු බවත්, තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පවතින හෙයින් අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වන්නේ නම් පාර්ලිමේන්තුව හරහා ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බවත්ය. මෙහිදී ජනාධිපතිවරයා නොකියා කීවේ අවශ්‍ය නම් මෛත්‍රිපාලගේත්, රනිල්ගේත් ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි යැයි කියාය.

දෙවන ප්‍රහාරය දරුණුයි

දෙවන ප්‍රහාරය ලෙස මහින්දානන්ද මෛත්‍රිට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සහ වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සන්සන්දනය කරමින් මෛත්‍රිපාලට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්දානන්ද මුදල් අතින් පමණක් නොව, වාහන භාවිත කිරීම අතින්ද හිටපු ජනාධිපතිවරයාට වඩා ගෝඨාභය රටට ආදර්ශයක් ලබාදී ඇති බවද කියා සිටියේය.

ශ්‍රීලනිප 14 දෙනා සියඹලාපිටියගේ කාමරයට රැස්වෙයි

මෙය ගෝඨාභය වර්ණනා කරමින් කළ සන්සන්දනය කිරීමක් වුවද ඒ හරහා මහින්දානන්ද හිටපු ජනාධිපති මෛත්‍රිපාලව දැඩිව විවේචනයට පියවර ගෙන තිබීම හේතුවෙන් ශ්‍රීලනිපයද මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව එදිනම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා එක්ව මේ පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තීන්දු කිරීමටත් තීරණය විය. සාකච්ඡාව රංජිත් සියඹලාපිටියගේ පාර්ලිමේන්තු නිල කාමරයේදී පැවැත්වීමටද තීන්දු විය.

දුමින්දට මහින්දානන්ද ඇත්තම කියයි

ඒ අතරවාරයේ එක්තරා අපූරු සිදුවීමක්ද සිදුවිය. ඒ, ශ්‍රීලනිපයේ රාජ්‍ය ඇමැතිවරයකු වන දුමින්ද දිසානායක මහතාට මහින්දානන්දව පාර්ලිමේන්තුවෙන් පිටතදී හමුවීමය. සිය දරුවා පාසලෙන් ගැනීමට දුමින්ද පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් සිටි අතර එහිදී අහම්බෙන් මහින්දානන්දව හමුවීමත් සමග පාර්ලිමේන්තුවේදී මෛත්‍රී ගැන කළ ප්‍රකාශය පිළිබඳ මහින්දානන්දගෙන් විමසා සිටීමට දුමින්ද පියවර ගත්තේය. එහිදී සිනාමුසු මුහුණින් යුතුව මහින්දානන්ද කියා සිටියේ ‘දන්නෙ නැද්ද දුමී, අපිත් ඉතින් ලොක්කව නග්ගන්න මොනව හරි කියන්න ඕනනෙ…’ යැයි කියාය. දුමින්ද එදින පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ මහින්දානන්දගේ මේ කතාවත් ඔළුවේ තියාගෙනය.

ලොක්කා නග්ගන කතාවට උත්තර

ඒ අනුව රංජිත් සියඹලාපිටියගේ නිල කාමරයේ ආරම්භ වූ රැස්වීමට මෛත්‍රි ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනාම එක්ව සිටියහ. මෙහිදී ජනාධිපතිවරයා කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී කළ කතාවක්, මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී මෛත්‍රිපාලව විවේචනය කරමින් කළ කතාවත් පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු විය. සාකච්ඡාව ආරම්භයේදීම දුමින්ද තමන්ට මහින්දානන්ද මහ පාරේදී හමුවූ විට කී, ‘ලොක්කා නැග්ගීමේ’ කතාවද පිරිස ඉදිරියේ තැබීමට කටයුතු කළේය.

‘මහින්දානන්ද ඇමැතිතුමා මට එළියෙදි දැන් ටිකකට ඉස්සෙල්ලා හම්බ වුණා. එතුමාගෙන් මම ඇහුවා මොනවද මේ වාහන වගයක් අල්ලගෙන අපිට ගහන්නෙ කියලා. එයා මට කිව්වා ගණන් ගන්න එපා දුමී, දන්නෙ නැද්ද අපේ ලොක්කව නග්ගන්න අපි මොනව හරි කරන්න ඕනනෙ කියලා…’ යනුවෙන් දුමින්ද මහින්දානන්ද තමන්ට කී කතාව ගැන කියද්දී මෛත්‍රී ගත් කටටම කියා සිටියේ, ‘එයාගෙ ලොක්කා නග්ගගන්න ඕන දෙයක් කළාට කමක් නෑ. අපට ගහන්නෙ නැතිව. අපිත් මේවට උත්තර දෙන්න ගියාම වෙච්ච දේවල් ඉතිහාසයෙදි ඕනෙ තරම් දැකලා තියෙනවා..’ යැයි කියාය.

මහින්දටත් ගහලා නිවේදනයක් දාන්න සූදානම්

ඒ අනුව පිරිස මහින්දානන්දගේ ප්‍රකාශයට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළහ. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ අතර මුල්ම යෝජනාව ලෙස ඉදිරිපත් වූයේ මෛත්‍රි ජනාධිපතිවරයාව සිටි සමයේදී මුදල් වෙන් කළ ආකාරය සහ මුදල් ඉතිරි කළ ආකාරය පිළිබඳ රටට කරුණු ඉදිරිපත් කොට නිවේදනයක් නිකුත් කිරීමටය. එම නිවේදනයට මෛත්‍රිට කලින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් වෙන්කර තිබූ ආකාරයත්, එම මුදල් වියදම් කළ ආකාරයත්, මහින්දට වෙන් කර තිබූ වාහන ප්‍රමාණය පිළිබඳවත්, මහින්දගේ හෙලිකොප්ටර් ගමන් බිමන් පිළිබඳවත් තොරතුරු ඇතුළත් කළ යුතු බවටද යෝජනා විය.

කෙසේ වෙතත් මේ අයුරින් මහින්ද හා මෛත්‍රිගේ වියදම් සන්සන්දනය කිරීමෙන් මහින්ද සම්බන්ධයෙන් යම් අප්‍රසාදයක් රට ඇතුළේ මතුවිය හැකි බවට යෝජනාවක්ද එහිදී ඉදිරිපත් විය. ඒ අනුව එහි යම් සත්‍යතාවක් ඇති බව පිළිගත් පිරිස අවසානයේදී තීන්දු කළේ මහින්දානන්ද කළ චෝදනාවන්ට පාර්ලිමේන්තුවේදීම පිළිතුරු ලබාදීමටය. එම පිළිතුරු ලබාදීම දයාසිරිට පැවරීමටද පිරිස තීන්දු කළහ.

උත්තර දීම දයාසිරිට පවරයි! වෙලාව නොකියයි!

ඒ අනුව දයාසිරි බදාදා දිනයේ තමන්ට කතාවක් අවශ්‍ය බව ආණ්ඩු පක්ෂයට දැනුම් දීමට පියවර ගත්තේය. එම දැනුම් දීමට අනුව බදාදා දින දයාසිරිට කතාවක් සඳහා වේලාවක් වෙන් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදුකොට නොතිබිණි. සාමාන්‍යයෙන් අමාත්‍යවරයකුට කතාවක් සඳහා කාලවේලාව වෙන් කිරීමෙන් පසු ඒ පිළිබඳ දැනුම් දීමක් කෙරුණද මේ අවස්ථාවේ එවැන්නක් සිදුනොවුණු නිසා දයාසිරි බදාදා දින වෙනත් රාජකාරි කිහිපයක්ම යොදා ගැනීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් බදාදා දිනයේ දයාසිරිට කතාවක් ලබාදී ඇති බව මුලින්ම දුටුවේ මෛත්‍රිපාලය. ඒ අනුව මෛත්‍රිපාල වහාම දයාසිරිට කතාකොට එන්නේ නැද්දැයි විමසද්දී දයාසිරි කීවේ තමන්ට කිසිකුත් ඒ බවක් දැනුම් නොදුන් බවත්, ඒ හේතුවෙන් වෙනත් රාජකාරි කිහිපයක් යොදාගත් බවත්ය.

කතානායකත් බෑ කියයි! දයාසිරිට යකා නගී!

ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි දයාසිරි මුලින්ම කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් තමන්ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව දැනුම්දී සිටියේය. නමුත් ඊට කතානායකවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නමුත් ඒ විරෝධය ගණන් නොගත් දයාසිරි, සිය අසුනින් නැගීසිටිමින් මහින්දානන්දට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. මහින්දානන්ද මොනරකු මෙන් පිල් විදහාගෙන නටන බවත්, එම නැටුම ඉදිරි පැත්තෙන් ලස්නන වුවත්, මහින්දානන්දගේ පසුපස පැත්ත එළියේ ඇති බව වටහාගත යුතු බවත් දයාසිරි එහිදී කියා සිටියේය.

මෛත්‍රීපාලත් වටේටම නෙළයි!

දයාසිරිගේ මෙම ප්‍රකාශයෙන් පසුව මෛත්‍රිපාලද මහින්දානන්දට උත්තර දීමට පටන්ගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී මෛත්‍රිපාල මහින්දානන්දට පමණක් නොව එක්තරා ආකාරයකට ජනාධිපතිවරයාට උත්තර ලබාදීම පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ, ජනාධිපතිවරයා කළ තුනෙන් දෙකේ බහුතර බලය සම්බන්ධයෙනි. මෙහිදී මෛත්‍රි කියා සිටියේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලය ඇත්තේ ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බව සියලු දෙනා මතක තබාගත යුතු යැයි කියාය. එමෙන්ම මහින්දානන්ද ජනාධිපතිවරයාටත්, කැබිනට් මණ්ඩලයටත්, ආණ්ඩුවටත්, රටටත්, ගොවීන්ටත්, පාරිභෝගිකයන්ටත් බොරු කී බව මෛත්‍රි, මහින්දානන්දගේ එම බොරු කීම නිසා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම රට හමුවේ අප්‍රසාදයට පත්ව ඇති බවත්, ඊට මහින්දානන්ද සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් කියා සිටියේය. මීට අමතරව ආණ්ඩුව ගහගන්න සූදානම් වුවද අප ගහන්නේ වෙනත් විදියකින් බවද මෛත්‍රි කියා සිටියේය.

උඹලා ගැහුවා… මමත් ගැහුවා…

කෙසේ වෙතත් මෛත්‍රිගේ මෙම ප්‍රහාරයෙන් පසු මහින්දානන්ද තවත් ෂොට් එකක් මෛත්‍රිට දෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ මතක් කිරීමක් කළේය. එහිදී මහින්දානන්ද කියා සිටියේ ‘පාස්කු ප්‍රහාරය ගැන මම දන්න දේවල් මෙතැනදී කියන්නද‘ යැයි කියාය. නමුත් ඊට ශ්‍රීලනිපය පැත්තෙන් කිසිදු පිළිතුරක් ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් විය.
මේ ආකාරයට මහින්දානන්ද, දයාසිරි හා මෛත්‍රි වාග් සංග්‍රාමයෙන් පසු පාර්ලිමේන්තු කොරිඩෝවේදී මහින්දානන්දත්, ලසන්ත අලගියවන්නත්, දයාසිරිත් මුණගැසිණි. එහිදී දයාසිරි, ‘මොනවද බං මේ කරන දේවල්…?’ යනුවෙන් මහින්දානන්දගෙන් විමසද්දී මහින්දානන්ද සිනාසෙමින් කීවේ, ‘නෑ ඉතිං මට උඹලා ගැහුවා. ඉතිං මමත් ගැහුවා…’ යැයි කියාය.

කුට්ටිගෙයි රෝහිණීගෙයි ගැටුම

මෛත්‍රිපාල, දයාසිරි, මහින්දානන්ද යන තුන්කට්ටුව අතර දෙදිනක් පුරා පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවූ වාග් සංග්‍රාමයට අමතරව තවත් දෙදෙනෙක් අතරද පසුගිය සතියේ රටම කළඹවන සංවාදයක් සිදුවිය. ඒ, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වූ තිස්ස කුට්ටිආරච්චි හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක වූ රෝහිණී කවිරත්න මහත්මිය අතරය.
එම වාග් සංග්‍රාමයට මුල් වූයේ රෝහිණී විසින් ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය විවේචනය කරමින් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී එල්ල කළ දැඩි ප්‍රහාරයය. එම ප්‍රහාරයෙන් පසුව සෙනසුරාදා දිනයේදී ඊට පිළිතුරු ලබාදීමට කුට්ටිආරච්චි කටයුතු කිරීමත්, ඊට යොදාගත් භාෂාවත් මෙම ආන්දෝලනයට හේතු විය. එහිදී කුට්ටි, ‘වම්බටු කීයද? ගහල කීයද? පළා කීයද? දැන් සැපද…?’ යනුවෙන් අසමින් රෝහිණීගේ නම පමණක් නොව සජිත්ගේ බිරිය වූ ජලනිද නම් කරමින් අදහස් ප්‍රකාශ කිරීම මෙම ආන්දෝලනයට හේතු විය. කෙසේ වෙතත් කුට්ටිගේ මෙම කතාවට ඒ මොහොතේම විරෝධය පළ කරමින් කතා කළේ නලින් බණ්ඩාරය. නලිත් වහාම එම අවස්ථාවේම මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා වූ අජිත් රාජපක්ෂට දැනුම්දී සිටියේ කාන්තාවන් ඉලක්ක කර කළ මෙම අපහාසාත්මක වචන හැන්සාඩ් වාර්තානේ ඉවත් කරන ලෙසටය. නමුත් අජිත් රාජපක්ෂ තමන්ට එවැනි අපහාසාත්මක කතා ඇසුණේ නැති බවට ප්‍රකාශ කිරීමත් සමග සභාව යළිත් උණුසුම් වන ආකාරයක් දැකගත හැකි විය.

රෝහිණී වට්ස්ඇප් මෙහෙයුමක

කෙසේ වෙතත් සෙනසුරාදා දින කුට්ටිආරච්චි මෙම කතාව කරද්දී රෝහිණී සිටියේ මාතලේය. සජබ මන්ත්‍රීවරුන් කුට්ටිගේ මෙම අසභ්‍ය ප්‍රහාරය පිළිබඳ වහාම රෝහිණී දැනුවත් කිරීමෙන් පසු ඇයද මේ කතාව පිළිබඳ වහාම සොයාබැලීමට පියවර ගත්තාය. ඒ අනුව කතාව ඇත්ත බව දැනගත් රෝහිණී කළේ වහාම පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැනීමය. ඒ, එම මන්ත්‍රීවරියන් 12 දෙනා අතර පමණක් ක්‍රියාත්මක වන ‘වට්ස්ඇප්’ කණ්ඩායමට පණිවුඩයක් තබමිනි. මෙම පණිවුඩය තැබීමෙන් පසු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙන්ම අනෙකුත් මන්ත්‍රීවරියන් 11 දෙනාම ඊට පිළිතුරු පණිවුඩ තබමින් කුට්ටිආරච්චිගේ මෙම ක්‍රියාව හෙළාදැකීමට කටයුතු කළා පමණක් නොව, ඒ පිළිබඳ කතානායකවරයාට පැමිණිලි කළ යුතු බවද සඳහන් කර සිටියහ. ඒ අනුව රෝහිණීද පණිවුඩයක් තබමින් කියා සිටියේ තමන් සඳුදා දින පාර්ලිමේන්තුවට පැමිණි වහාම ඒ පිළිබඳව කතානායකවරයාට පැමිණිලි කිරීමට කටයුතු කරනවා යැයි කියාය.

හැමෝම රෝහිණීට කනගාටුව පළ කරයි!

කිව්වා වගේම රෝහිණී සඳුදා උදේම පාර්ලිමේන්තුවට පැමිණියේ කතානායකවරයාට ඒ පිළිබඳ පැමිණිලි කිරීමටය. එහිදී පාර්ලිමේන්තු සභාගැබේදීත්, කොරිඩෝවේදීත්, ලොබියේදීත්, කැන්ටිමේදීත් රෝහිණී මුණගැසුණු පක්ෂ විපක්ෂ සියලු මැති ඇමැතිවරුන් පක්ෂ භේදයකින් තොරව කනගාටුව ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් කීවේ රෝහිණී, ශෂීන්ද්‍ර රාජපක්ෂට කළ ප්‍රහාරය නිසා තිස්සකුට්ටිආරච්චි හරහා පිළිතුරු ලැබුණා යැයි කියාය.

4 දෙනෙක් කතානායකගේ කාමරයේ

කෙසේ වෙතත් කතානායකවරයා හමුවීමට රෝහිණී ගියේ තනිවම නොව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ද සමගිනි. ඊට ආණ්ඩුව වෙනුවෙන් සුදර්ශනී, ජාතික ජන බලවේගය වෙනුවෙන් හරිනි අමරසූරියද, සමගි ජන බලවේගය වෙනුවෙන් තලතා අතුකෝරාලද එක්ව සිටියහ. ඒ අනුව කතානායකවරයා හමුවී කළ සාකච්ඡාවේදී කතානායකවරයාද කුට්ටිආරච්චි කළ කතාව පිළිබඳ රෝහිණීට සිය කනගාටුව පළකර සිටීමට කටයුතු කළේය. එය සභාවේදී ප්‍රකාශයට පත්කරන බවද කතානායකවරයා එහිදී කියා සිටියේය.

කනගාටුව පමණයි!

නමුත් මන්ත්‍රීවරියන් දිගින් දිගටම පෙන්වා දුන්නේ කාන්තාවන් ඉලක්ක කරගෙන මන්ත්‍රීවරුන් විසින් අසභ්‍ය වචන භාවිත කළ පළමු අවස්ථාව මෙය නොවේ යැයි කියාය. මීට පෙරත් මෙවැනිම වචන භාවිත කොට ඇති බව කී මන්ත්‍රීවරියෝ මේ අවස්ථාවේ හෝ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් එවැන්නක් පාර්ලිමේන්තුවේදී දැකගන්නට නොලැබුණු අතර කතානායකවරයා සිය කනගාටුව පළ කිරීම පමණක් සිදුවූ අතර තිස්සකුට්ටි ඒ අයුරින් හෝ කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.

බැසිල් තුනෙන් දෙක ගනී!

අයවැය දෙවැනි වර ඡන්ද විමසීම පැවැත් වුණේ ඉකුත් සඳුදා (22) දිනයේදීය. මෙවර අයවැය ඡන්ද විමසීමේදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව අතුළේ කොපමණ අර්බුද මත ගැටුම් පැවැතියත් තුනෙන් දෙකක අති බහුතර බලයකින් දෙවැනි වර ඡන්ද විමසීම සම්මත කරගැනීමට බැසිල් සමත් වීමය. එහිදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් හයදෙනකු සභා ගැබේ නොසිටියදීම මෙම ජයග්‍රහණය ලබාගැනීම තවත් විශේෂ සිදුවීමක් විය.

ආපු නැති 6 දෙනා මෙන්න!

අයවැය ඡන්ද විමසන අවස්ථාවේදී ඊට සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් හය දෙනා වූයේ ගාමිණී ලොකුගේ, විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ටිරාන් අලස්, එම්.එස්. තවුෆික් සහ සමන්ප්‍රිය හේරත්ය. මෙහිදී ගාමිණී ලොකුගේ සහභාගි නොවූයේ කොරෝනා ආසාදනය වී සිටීම හේතුවෙන්ය. ටිරාන් සිටියේ රෝහල්ගතවය. විජයදාස රාජපක්ෂ අයවැය ඡන්දය විමසන අවස්ථාවේ සිටියේ නිවෙසට වී කෙටි නින්දකය. තවුෆික් සහ සමන්ප්‍රියද කල් තියාම තමන්ට අයවැය ඡන්ද විමසන අවස්ථාවට සහභාගි විය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය වෙත දැනුම්දී තිබිණි.

විදුර ගේමක් ගැහුවාද

නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ විදුර සම්බන්ධයෙන්ය. මක් නිසාද යත් විදුර අයවැය ඡන්දය විමසන අවස්ථාවට පැමිණෙන බව දැනුම් දී තිබුණද ඡන්දය ආරම්භ වීමට කලින් සභාගැබේ දැකගන්නට නොලැබීමය. ඒ නිසා සියල්ලන්ම විදුරට කතා කොට ඔහු සිටින තැන සොයාබැලීමට පියවර ගත්හ. එහිදී විදුර කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන ගමන් සිටින බවත් බී.එම්.අයි.සී.එච්. අසල රථ වාහන තදබදයට හසුවී සිටින බවත්ය. නමුත් ඉන් අතුරුව විදුරට දිගින් දිගටම ඇමතුම් ලබාදුන්නද ඒ කිසිවකට විදුරගෙන් පිළිතුරු නොලැබීම නිසා සියලු දෙනාම සිතා සිටියේ විදුරත් ඡන්දය විමසන අවස්ථාවට සහභාගි නොවනු ඇති බවකි.

ඒ අනුව ඡන්ද විමසුම ආරම්භ වීමට මොහොතක් තියා යළිත් පාර්ලිමේන්තුවෙන් විදුරට කතා කරද්දී පිළිතුරු දුන් විදුර කියා සිටියේ තමන් පාර්ලිමේන්තු පිවිසුම අසළ සිටින බවත්, තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බවත්ය. නමුත් ඡන්ද විමසීම අවසාන වන තෙක්ම විදුරගේ මුහුණ කිසිවකුටත් දැකගත හැකි වූයේ නැත. කෙසේ වෙතත් විදුර අන්තිම මොහොතේ සභා ගැබට පැමිණියද ඔහුට ඡන්දය භාවිත කිරීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ, ඔහු ඡන්ද විමසුම අවසාන වී මොහොතකට පසු සභා ගැබට පැමිණීම නිසාය. එය අහම්බයෙන් සිදුවුණාද එසේත් නැත්ම් හිතාමතා කළ එකක්ද යන්න පිළිබඳ ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද කසුකුසුවක් ඒ මොහොතේම පැතිර ගිය ආකාරයක්ද සියල්ලන්ටම දැකගත හැකි විය.

බැසිල් ඉන්දියාවට යයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගියේ දැනට රට තුළ මතුව ඇති මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහාය. විශේෂයෙන්ම දැනට බරපතළ අර්බුදයක් බවට පත්ව පත්ව ඇති තෙල් ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් සමග සාකච්ඡා කොට යම් එකඟතාවකට එළඹීම බැසිල්ගේ ඉන්දීය ගමනේ මුලික අරමුණ විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවම ඉන්දියාව පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත පිළිතුරක් නැතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඉකුත් සතියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් බැසිල්ගේ ඉන්දීය සංචාරයේ රහස් හෙළිකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී දුමින්ද කියා සිටියේ ලංකාවට තෙල් ආනයනය කිරීමේ සම්පූර්ණ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීම බැසිල්ගේ මෙම සංචාරයේ අරමුණ යැයි කියාය.

නාගමුව රහස හෙළිකරයි!

දැනට ඉන්දීය අයි.ඕ.සී. සමාගම සතුව ඉන්ධන හල් විශාල සංඛ්‍යාවක් පවතින නමුත් බහුතර ඉන්ධන හල්වල අයිතිය ඇත්තේ ආණ්ඩුව සතුවය. නමුත් මෙම සංචාරයේදී ආණ්ඩුව සතු එම ඉන්ධන හල් සියල්ලද ඉන්දීය අයි.ඕ.සී. සමාගමට පවරා තෙල් ආනයනයෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීන්දු කර ඇති බවත්, බැසිල්ගේ ඉන්දීය සංචාරයේදී ඒ බව දැනුම් දෙනු ඇති බවත් දුමින්ද නාගමුව වැඩිදුරටත් කියා සිටියේය.

මහින්දට අමාරු කාලයක්!

පසුගිය සතියේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය. ඒ, වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහ මහතාය. ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ඇමෙරිකාවේ තානාපති ධුරය භාරගැනීම සඳහා මෙසේ මහින්ද මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ අතර ඉදිරි දින කිහිපය ඇතුළත මහින්ද නව තනතුර භාරගැනීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

කෙසේ වෙතත් මහින්ද ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ සුවපහසු කාලසීමාවක නම් නොවේ. ලංකාවට ඉතා අසීරු කාලසීමාවකය. මන්ද යත් වර්තමානයේදී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා හේතුකොට ගෙන මහින්දට සිදුව ඇත්තේ පටන්ගත් තැන සිටම මතුව ඇති චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ආණ්ඩුව බේරාගැනීමේ සටනට පණ පොවන්නටය.

බයිඩන් දීපු රතු එළිය!

විශේෂයෙන් ඉකුත් ට්‍රම්ප් පාලනය ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීම හේතු කොටගෙන ඉකුත් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව බරපතළ තත්ත්වයක් මතුවූයේ නැත. නමුත් ඩිමොක්‍රටික් පක්ෂයේ බයිඩන් යළි ඇමෙරිකාවේ බලය ඇල්ලීමත් සමග ඔවුන්ගේ පළමු ක්‍රියාමාර්ගය වූයේ නැවතත් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇතුළු වීමය. ඒ හේතුවෙන් එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා රැස්වීම ලංකාවට ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ඒ බව තහවුරු වන පළමු සංඥාව ඉකුත් සතියේ ඇමෙරිකාවේ බයිඩන් පාලනයෙන් නිකුත් විය. ඒ, ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා මුල් කරගෙන ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුවෙන් ලංකාව ඉවත් කිරීම බයිඩන් රජය තීරණය කර තිබීමය. ලබන 9 සහ 10 වැනිදා යන දෙදින පැවැත්වීමට නියමිත මෙම සමුළුවට රටවල් 110කට ආරාධනා කිරීමට බයිඩන් කටයුතු කර ඇතත් ලංකාවට ආරාධනා නොකිරීම තරමක් දරුණු ඉඟියක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ලංකාවට අමතරව චීනය, රුසියාව, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය යන රටවලටද ආරාධනා නොකිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පීපල්ස් ලීසිං වෙතින් PLC Touch නමින් ත්‍රෛයි භාෂික Mobile APP එකක්…

Next Post

රන්ජන්ගේ කාමරය වටලන සූදානමක්!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.