පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කළ මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයකට ගරු කරන ලෙසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමේ තත්ත්වයක් පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යොමු කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් දුන් අනුමැතිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ICJ රජයෙන් ඉල්ලා සිටියේය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව දැනුම් දී තිබේ.
එම කොමිසම පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මෙම ක්‍රියාවන් අධිකරණයේ සහ අධිකරණ ක්‍රියාකාරිත්වයේ ස්වාධීනත්වයට බරපතළ සහ අනවශ්‍ය අතපෙවීමක් බවයි.
එහි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ, ඉයන් සීඩර්මන් Ian Seiderman පැවසුවේ, “තමන්ගේම අධිකරණ බලය සහ නිපුණතාවය පිළිබඳ ප්‍රශ්න ඇතුළුව, යුක්ති සහගත ස්වභාවයේ සියලු කාරණා සම්බන්ධයෙන් අධිකරණයට අධිකරණ බලය ඇති බව නීතියේ මූලික රීතියයි”. “ශ්‍රේෂ්ඨාධිකරණය එහි අධිකාරිය තුළ ක්‍රියා කර තිබේද යන්න තීරණය කිරීම කිසිදු දේශපාලන නියෝජිතයකුට නොහැක.”යනුවෙනි.
මාර්තු 10 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ “ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් වරප්‍රසාද ප්‍රශ්නය ඇසීමට පෙර අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම බරපතල වරදක්” බවයි. එම පාර්ලිමේන්තු කාරක සභාව එම කරුණ පිළිබඳ විමර්ශනය අවසන් කරන තුරු ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස අදාළ සියලු බලධාරීන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍යවරයා නියෝජ්‍ය කථානායකවරයාගෙන් කළ ඉල්ලීම පිළිබදවද නීතිවේදීන්ගේ කොමිසම අවධානය යොමු කොට ඇත.
“ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද අතුරු නියෝගයකට ගරු කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ එය පාර්ලිමේන්තුවේ පරීක්ෂණයකට යොමු කිරීම බලතල බෙදීම කඩ කිරීමක් වන අතර අධිකරණයේ ස්වාධීනත්වය දැනටමත් බිඳෙනසුලු රටක භයානක පූර්වාදර්ශයක් සපයයි” යනුවෙන් ඉයන් සීඩර්මන් පැවසීය.
අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම “අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම” සහ “අනුචිත හෝ අනවශ්‍ය මැදිහත්වීමක් සිදු නොකළ යුතු බව” ICJ සිහිපත් කළේය.
පළාත් පාලන මැතිවරණයට අදාළව අතුරු නියෝගය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස සලකා බලන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා පසුගිය මාර්තු 7 වැනිදා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායකවරයා එම ඉල්ලීම පිළිගෙන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළේය.