• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෝටර්ස් එජ් එකේ ෆ්‍රයිඩ් රයිස් එක්ක ජනපති අනුරපුරේ දුන් රාජකීය කෑමවේල! අයවැය කියවද්දී බැසිල්ට වෙච්ච ඇබැද්දිය! කොළඹ වැටලූ සජබ රහස් මෙහෙයුම! මහ රෑ මහින්ද බලපු නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එක! (රාජ්‍ය රහස්)

November 21, 2021
in Exclusive, Rajya Rahas
Reading Time: 23 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

-බැසිල්ගේ වෙනස මුලින්ම දැක්කෙ කබීර්

-ජනපති කතානායකට අතින් දුන් සිග්නල් එක

-මරික්කාර්ගේ ත්‍රීවීල් බැටෑලියන් එක

ජනපති සුමන්තිරන්ගේ පිටට තට්ටුවක් දාලා කියපු කතාව

-මහින්ද මේ පාර ගුණසේකරලාගේ ගෙදර නැවතුණේ නැත්තේ ඇයි!

ඉකුත් දින කිහිපය දේශපාලන කරළිය ඉතා උණුසුම් මෙන්ම රසවත් සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් බවට පත්වූයේ ආණ්ඩුව පැත්තෙන් මෙන්ම විපක්ෂය පැත්තෙන්ද දේශපාලන සිදුවීම් ගණනාවක්ම දැකගන්නට ලැබීම නිසාය. ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට ලැබුණු ප්‍රධාන සිදුවීම වූයේ 2022 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. විපක්ෂයේ පැත්තෙන් සිදුවූ ප්‍රධාන සිදුවීම වූයේ ජනාධිපතිවරයා බලයට පත්ව වසර දෙකක් පිරෙන මොහොතේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමය.

බැසිල්ට අමාරු අයවැයක්!

මෙවර අයවැය සම්බන්ධයෙන් මුලින්ම කතා කළහොත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එය ඉදිරිපත් කිරීමට සිදුවූයේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මුවවිට තියාගෙන වීම විශේෂ සිදුවීමකි. මීට පෙර ලංකා ඉතිහාසයේ සිටි කිසිදු මුදල් ඇමැතිවරයකුට මෙතරම් බරපතළ ආර්ථික අර්බුද රැසක් මැද අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසී නොතිබිණි. එම නිසා හිටපු මුදල් ඇමැතිවරුන් අයවැය මගින් අත දිගහැර ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට පියවර ගෙන තිබුණද බැසිල්ට මෙවර එසේ කළ නොහැකිව ඇත්තේ උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණපා සිටීම නිසාය. එක් අතකින් තවමත් අවසන්ව නැති කොරෝනා වසංගතයය. රෝගය පාලනය කරගැනීම සඳහා මේ වන විටත් අතිවිශාල මුදල් කන්දරාවක් වැයකිරීමට ආණ්ඩුවට සිදුව ඇති අතර වසංගතය හේතුවෙන් රටට ආදායම් ලැබුණු සියලු මාර්ග ඇහිරී ගොසිනි. ඒ හේතුවෙන් උග්‍ර ඩොලර් හිඟයකට රට මුහුණ දී සිටින අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම පවා මේ වන විට ඇත්තේ අර්බුදයකට ලක්වය. විදෙස් සංචිත ඩොලර් බිලියන දෙකහමාරකට පහත වැටී ඇති අතර ලබන වසරේ ජනවාරියේදී නැවත වතාවක් ඩොලර් මිලියන ගණනක ණය වාරිකයක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇත. ඒ මදිවාට රටේ තැනින් තැන ගෑස්, භූමිතෙල්, කිරිපිටි, තෙල් පෝලිම්ය.

දිවා රෑ නොබලා මහන්සි වෙයි

මේ සියල්ල මැද බැසිල් සිය පළමු අයවැය කතාව සකස් කිරීම ආරම්භ කළේ මීට මාස කිහිපයකට පෙර සිටමය. ඒ සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මහා භාණ්ඩාගාර නිලධාරීන්ද සම්බන්ධ කරගත් බැසිල් ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියද ඉක්මවන තෙක් වෙහෙස නොබලා එම කටයුතුවල නිරත වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ හේතුවෙන් අයවැය ඉදිරිපත් කරන දිනය වන විට බැසිල් සිටියේ හොඳටම හෙම්බත්ව බව කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන ක්‍රම කිහිපයක් තිබේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ මුදල් අමාත්‍යවරයා විසින් සමස්ත අයවැය වාර්තාවම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්කිරීමය. හිටපු මුදල් ඇමැතිවරුන් කිහිප දෙනකුම මෙම ක්‍රමය අනුගමනය කරමින් එක දිගට පැය ගණනක් අයවැය කතාව කරගෙන ගිය ඉතිහාසයක්ද පවතී. එහි වාර්තාවට හිමිකම් කියන්නේ මුදල් ඇමැතිවරයකු වූ රොනී ද මෙල්ය. රොනී වරක් පැය ගණනක් එක දිගට අයවැය කියවා වාර්තා පොත් අතරට එක්ව ඇත. තවත් ක්‍රමයක් වන්නේ අයවැය යෝජනා සාරාංශයක් වශයෙන් ඉදිරිපත් කොට ඊට අදාළ සියලු කරුණු සභාගත කිරීමය. එසේ කළ මුදල් ඇමැතිවරු රැසක්ද අපට සිටියහ.
කෙසේ වෙතත් බැසිල් ඉන් තෝරාගෙන තිබුණේ පළමු ක්‍රමය වූ සමස්ත අයවැයම පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත්කිරීමය.

මුදල් අමාත්‍යංශයෙන් දුන් වෙලාව

පාර්ලිමේන්තු නිලධාරීන් ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයෙන් විමසීම් කරද්දී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කියා සිටියේ බැසිල් පස්වරු 2ට අයවැය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්, එක දිගට අයවැය ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව පාර්ලිමේන්තු නිලධාරීන්ද ඒ වෙලාවට සරිලන ආකාරයට මුදල් අමාත්‍යවරයාගේ සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහයට සූදානම් වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

ඒ අනුව බැසිල් 12 වැනි අඟහරුවාදා අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණෙද්දී ජනාධිපතිවරයා, අගමැතිවරයා, සියලු මැති ඇමැතිවරුන් පමණක් නොව, සම්භාවනීය අමුත්තන් හා තානාපතිවරුන් පැමිණ සිටීම හේතුවෙන් කොරෝනා සීමාකිරීම් මැද වුවද පාර්ලිමේන්තුව පිරී ගොස් තිබුණු ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සියල්ලන්ගෙන්ම අවසර ගෙන බැසිල් සිය අයවැය කතාව සිදුකිරීම ආරම්භ කළේය.

මුලින්ම දැක්කෙ කබීර්!

කෙසේ වෙතත් පැය එකහමාරක් පමණ එක දිගට අයවැය කතාව කරගෙන යද්දී බැසිල්ට යම් අපහසුතාවක් මතුව ඇති ආකාරයක් මුලින්ම දැකගන්නට ලැබුණේ විපක්ෂය පැත්තේ බැසිල්ට එක එල්ලේම කෙළින් සිටි සජබ මන්ත්‍රී කබීර් හෂීම්ටය. බැසිල්ට වම් පැත්තේ එකම පේළියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත්, දකුණු පැත්තේ පවිත්‍රාත් අසුන්ගෙන සිටියත් සමාන්තරව අසුන්ගෙන සිටීම හේතුවෙන් ඔවුන්ට බැසිල්ගේ මේ අපහසුතාව දැකගන්නට ලැබුණේ නැත. නමුත් බැසිල් තෙහෙට්ටුවට පත්ව ඇති බව හොඳින් නිරීක්ෂණය කළ කබීර් වහාම කතානායකවරයාට පහළින් අසුන්ගෙන සිටි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට කතාකොට ඒ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. කබීර්, ධම්මිකට කීවේ බැසිල් අපහසුවෙන් කතා කරන බවත්, අයවැය කතාව නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය. නමුත් තමන්ට එවැන්නක් කළ නොහැකි බව ධම්මික, කබීර්ට කියද්දී කබීර් කියා සිටියේ එසේ නම් කතානායකවරයාට හෝ දැනුම් දී අයවැය කතාව නවත්වන ලෙසටය. නමුත් ධම්මික එවැන්නක් කතානායකවරයාට දැනුම් දීමට පියවර ගත්තේ නැත.

දේවානන්දාටත් වෙනස තේරෙයි!

නමුත් බැසිල්ගේ මේ වෙනස ඊළඟට වැටහුණේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දාටය. ඒ අනුව වහාම ඩග්ලස් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අසලටම ගොස් ඒ බව දැනුම් දීමට පියවර ගත්තේය. ඩග්ලස්ගේ දැනුම්දීම තහවුරු කරමින් ඒ වන විටත් බැසිල් කතානායකවරයාගෙන් අවසර ගෙන අසුන්ගෙන අයවැය කතාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව සේවකයකු ලවා ‘චුයින්ගම්’ එකක් වැනි පෙත්තක්ද ලබාගැනීමට බැසිල් ඒ වන විටත් පියවර ගෙන තිබිණි.

ජනපතිගෙන් කතානායකට හස්ත සංඥාවක්!

කෙසේ වෙතත් ඩග්ලස්ගේ දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයාද කළේ බැසිල් දෙසට හැරී ඔහු කතාව සිදුකරගෙන යන ආකාරය හොඳින් නිරීක්ෂණය කිරීමය. එහිදී බැසිල් අසුන්ගෙන අයවැය ඉදිරිපත් කළද අපහසුවෙන් සිටින බව ජනාධිපතිවරයාටද වැටහිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා කතානායකවරයාට අතින් සංඥාවක් ලබාදෙමින් සභාව කල්තබන ලෙස දැනුම් දීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාගේ එම හස්ත සංඥාව තේරුම් ගත් කතානායකවරයාද පස්වරු 3.30ට සභාව විනාඩි 10කට කල්තබන බව දැනුම්දී සිටියේය.

මෙසේ සභාව කල්තැබුණු විගස ජනාධිපතිවරයාගේ ළඟම සිටි ඇමැතිවරුන් කිහිප දෙනකු බැසිල්ව රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ජනාධිපතිවරයාගේ කාර්යාලයටය. එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයද වහාම ජනාධිපති කාර්යාලයට ගෙන්වීමට පියවර ගැනිණ. ඔවුන් බැසිල්ව නිරීක්ෂණය කොට කීවේ අධික වෙහෙස හේතුවෙන් මෙවැන්නක් සිදුව ඇති බවකි. ඒ අනුව ඖෂධ කිහිපයක්ම ඒ අවස්ථාවේ බැසිල්ට ලබාදීමටද පියවර ගැනිණ.

මහින්ද අමැතිවරුන්ට කියපු කතාව

කෙසේ වෙතත් අගමැතිවරයා බැසිල්ගේ සුවදුක් විමසීමට පැමිණියේ මදක් ප්‍රමාදවය. විදුලි සෝපානයෙන් බැස අගමැතිවරයා පැමිණෙද්දී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මැති ඇමැතිවරුන් රැසක්ම රැඳී සිටිනු දුටු අගමැතිවරයා, ‘අපරාදෙනෙ මෙයා මේ ඔක්කොම කතාව කරන්න ගියේ. යෝජනා ටික විතරක් කියලා අනෙක් ටික ටේබල් කළා නම් ඉවරයිනෙ…’ යැයි කියමින් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වීමට පියවර ගත්තේය. ඒ අනුව විනාඩි 10කට පමණක් කල් තැබූ පාර්ලිමේන්තුව යළි ආරම්භ වූයේ විනාඩි 30කට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවය.

බැසිල් රැස්වීමට නොඉදම යයි!

කෙසේ වෙතත් ඉන් පසු බැසිල් සාමාන්‍ය අයුරින් සිය අයවැය කතාව ඉදිරිපත් කළා පමණක් නොව, අවසානයේ පැවැති සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහයට පවා සහභාගි වීමට පියවර ගත්තේය. නමුත් ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වුණද ඊට බැසිල් සහභාගි වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

මරික්කාර්ගේ කොළඹ වටලන යෝජනාව

පසුගිය සතියේ සිදුවූ දෙවැනි සිදුවීම වූයේ සමගි ජන බලවේගයේ කොළඹ විරෝධතාවයය. මෙම විරෝධතාව පිළිබඳ අදහස මුලින්ම ඔළුවට පැමිණ තිබුණේ කොළඹ මන්ත්‍රීවරයකු වූ එස්.එම්. මරික්කාර්ටය. ඊට හේතු වී තිබුණේ පසුගිය කාලය පුරාම කොරෝනා හේතුවෙන් සජබය ජනතාව විඳින දුක මුල් කරගෙන කිසිදු විරෝධතාවක් සංවිධාන කොට නොතිබීමත්, ජනාධිපතිවරයාගේ දෙවර්ෂ පූර්ණයත්ය. මේ දෙකම මුල් කරගනිමින් කොළඹ දැවැන්ත විරෝධතාවක් සංවිධාන කළ යුතු බව මරික්කාර් සජිත්ට කියද්දී සජිත්ද ඊට එකඟතාව පළ කළේ ඊට කමිටුවක්ද පත්කරමිනි. එම කමිටුවට රංජිත්, රාජිත, හරීන්, මනුෂ මෙන්ම මරික්කාර්ද ඇතුළත්ව සිටියහ.
‘සාපයට එරෙහි ජනතා විරෝධය’ නමින් එම විරෝධතාව පැවැත්වීමට සියලු‍ දෙනාම එකඟ වූහ.

සූම් එකෙන් සාකච්ජා

පසුගිය සතියේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ‘දිනමු කමිටු’ පැවැත්වෙන අතරවාරයේදීත් මන්ත‍්‍රීවරු සාකච්ඡා කළේ විරෝධතාව සාර්ථක කරගැනීම ගැනය. ‘දිනමු කමිටු’ පැවැත්වෙන අතරවාරයේදී අයවැය විවාදය සම්බන්ධයෙන් වැඩමුළුවක්ද පැවැති අතර එහිදී සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූයේ සජිත් ඒ වන විට හම්බන්තොට සිටි නිසාය.
‘මේ වෙලාවේ අපි ලොකු විරෝධතාවක් කරන්න ගියොත් ලොකු ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි විරෝධතාවක් සංවිධාන කරනවා කියලා කතාව පිටට යාමත් එක්ක බුද්ධි අංශ එහෙම කලබල වෙලා කියලා අපිට තොරතුරු ලැබෙනවා…’ සරත් ෆොන්සේකා පැවැසුවේ ආරක්ෂාව ගැනත් අවධානය යොමු කරමින්ය.

ආණ්ඩුවෙන් ආපු ඔත්තුව

‘කොරෝනා ප‍්‍රශ්න එහෙම දාන්නත් ආණ්ඩුවට පුළුවන්’ තවත් මන්ත‍්‍රීවරයෙක් කීවේය.

මේ අතර සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන තොරතුරුත් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට ලැබී තිබිණි.

‘සෞඛ්‍ය රෙගුලාසි දාන්න ආණ්ඩුව හදනවා. එහෙම රෙගුලාසි දාලා විරෝධතාව නවත්වන්න ආණ්ඩුව හදනවා…’ යැයි රාජිත සේනාරත්න ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ඔහුට ලැබුණු තොරතුරක් හෙළිකළේය.

‘මේ විරෝධය නවත්වන්න ආණ්ඩුව ගන්නා උත්සාහයන් අපි පරාජය කරන්න ඕනෙ. අද ආණ්ඩුවට අපි බය වුණොත් හෙටත් අපිට ඔළු‍ව උස්සන්න දෙන්නේ නෑ. මේ වෙලාවෙ බය නැතිව අපේ වැඩේ අරගෙන යන්න ඕනෙ…’ යන්න හරින්, මනුෂ සහ මරික්කාර්ගේ ස්ථාවරය විය.

ආණ්ඩුවට එක නීතියක්! විපක්ෂයට තව නීතියක්!

විරෝධතාව පැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදය අවසානයේදී තීරණය වූයේ කෙසේ හෝ විරෝධතාව පැවැත්වීමටය.

කෙසේවෙතත් රාජිතට ලැබුණු තොරතුරු නිවැරදි බව සනාථ කරමින් විරෝධතාවට දින කිහිපයකට පෙර සෞඛ්‍ය රෙගුලාසි නිකුත් කළේය. එම ප‍්‍රවෘත්තිය ලැබුණු වහාම හරීන්, මරික්කාර් සහ මනුෂ සූම් සාකච්ඡාවක් සංවිධාන කළේ ඒ වන විට ඇතැම් මන්ත‍්‍රීවරුන් කොළඹින් පිට සිටි නිසාය.

‘ආණ්ඩුව අපි විරෝධතා කරන්න හදන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ හදනවා. පොහොට්ටුවේ සම්මේලන තියනකොට, ගම සමග පිළිසදර කියලා ජෝගි නටනකොට මේ කිසිම එකක් නෑ….’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

‘එක රටක් එක නීතියක් කියලා කිව්වට, ඒ අයට එක නීතියක්. අපිට තව නීතියක්. මේවා ආණ්ඩුවේ රෙදි ගැලවෙන වැඩ’ මුජිබර් රහුමාන් ඊට අලගු තිබ්බේය.
‘අපි කිසිම හේතුවක් නිසා විරෝධතාව ආපසු හරවන්න හොඳ නෑ’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් සිටියේ තද ස්ථාවරයකය.

හයිඩ් පිටියත් තහනම්!

සූම් සාකච්ඡාව යන අතරවාරයේදී මුජිබර්ට දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියැවුණේ කොළඹ මහනගර සභාව හා සෞඛ්‍ය නිලධාරීන් විරෝධතාව පැවැත්වෙන හයිඩ් පිටියට අවසර ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බවය.

‘අපිට හයිඩ් පිටිය තහනම් වෙලා. දැන් මට ඒ කෝල් එක ආවා’ මුජිබර් අනෙක් මන්ත‍්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

‘ආණ්ඩුවේ බය ඒකෙන්ම පේනවා. මේක මර්දනය. මර්දනය හමුවේ අපි නැමෙන්න නරකයි…’ මරික්කාර්ද විරෝධතාව ආපසු හැරවීමට කිසිදු බුරුලක් දුන්නේ නැත.

විරෝධතාව පැවැත්වෙන දිනට පෙර දිනයේදී සරත් ෆොන්සේකාට තොරතුරක් ලැබී තිබුණේ රටේ බොහෝ පොලිස් ස්ථානවලින් අධිකරණය හමුවට ගොස් විරෝධතාව පැවැත්වීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බවය. මෙම තොරතුර සජිත්ට ලැබුණ වහාම ඔහු පක්ෂයේ නීති ප‍්‍රධානීන් කැඳවූවේය.

‘දැන් විරෝධතාවට වාරණ ගන්නා හදන සෑම අධිකරණයකමට අපේ නීතීඥයෙක් යොමු කරන්න. අවශ්‍ය සියලු‍ නීතිමය පියවර සඳහා අපේ නීතිඥ කණ්ඩායම් සූදානම් කරන්න’ සජිත්, ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධනට උපදෙස් දුන්නේය.

සවස 5ට හදිසි රැස්වීමක්!

ඒ අතර පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමග සජිත් සූම් සාකච්ඡාවක් පැවැත්වූවේය. දහවල් එම සාකච්ඡාව පැවැත්වූ අතර සවස පහට නැවත විපක්ෂ නායක කාර්යාලයේදී පිරිස එක්වූහ.

‘දැන් අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු අසල පොලීසිය දාන්න හදනවා. තැන තැන පොලිස් මුරපොළවල් දාලා කොළඹට එන ජනතාව නවත්වන්න හදනවා…’ මනුෂ කීවේය.

‘එහෙම වුණොත් අපි රට පුරාම විරෝධතා පවත්වමු. බාධා පමුණවන තැනදී ඒ අයට විරෝධතා පවත්වන්න කියමු. අපි රටම විරෝධතා පිටියක් බවට පත් කරමු’ සජිත් කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දැක්වූහ.

මේ අතර විරෝධතා වළක්වන ලෙස ඉල්ලා සිටිමින් පොලීසි රැසක් අධිකරණ නියෝග ඉල්ලා සිටි අතර බොහොමයක් අධිකරණ එම නියෝග ප‍්‍රතික්ෂේප කිරීම විශේෂ සිදුවීමක් විය.

ක්ෂණික වට්ස්ඇප් මෙහෙයුමක්!

මේ තත්ත්වය හමුවේ රට පුරාම පැවැත්වෙන විරෝධතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ක්ෂණික තොරතුරු මධ්‍යස්ථානයක් නිර්මාණය කළේය. වට්ස් ඇප් ඔස්සේ රට පුරාම පැවැත්වෙන විරෝධතාවයන් පිළිබඳ තොරතුරු සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලයට එක් රැස් කළ අතර ඒවා මාධ්‍ය ආයතන වෙත බෙදාහැරීම සඳහාද ක්ෂණික ක්‍රමවේදයක් සකස් කළේය.

මරික්කාර්ගේ ත්‍රීවීල් බැටෑලියන් එක!

එමෙන්ම බස්වලින් බස්සන ජනතාව කොළඹට රැගෙන ඒම සඳහා වෙනම ත්‍රීවිල් බැටෑලියන් එකක් සකස් කළ යුතු බවට මරික්කාර් කළ යෝජනාවට සියල්ලෝම එකඟතාව පළ කළහ.

විරෝධතාවය පැවැත්වන දිනයේදී උදෑසනම රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත‍්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්යාලය මෙහෙයුම් මධ්‍යස්ථායක් බවට පත් කර ගනිමින් විරෝධතාවයට එල්ලවන බාධාවන්ට ක්ෂණික විසඳුම් ලබාදුන්හ. ඒ අතරම සියලු‍ම සංවිධායකයන්ට දැනුම් දුන්නේ කුමන හෝ ක්‍රමයකින් කොළඹට පැමිණෙන ලෙසය.

අසාර්ථක වෙයි කියලා බයවෙලා!

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙසට සියලු‍ දෙනාටම දැනුම් දුන්හ. සවස තුනට විරෝධතාවය පැවැත්විමට නියමිත වූ අතර සවස දෙක වන විටත් විපක්ෂ නායක කාර්යාලය අසලට විශාල පිරිසක් පැමිණ සිටියේ නැත.

මුල් සැලසුම වූයේ සජිත් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවය පවැත්වීමටය. සවස දෙක වන විටත් විශාල පිරිසක් නොපැමිණීම නිසා විරෝධතාවය අසාර්ථක වනු ඇතැයි ඇතැම් මන්ත‍්‍රීවරු සැක පළ කළහ.

‘අපේ ත‍්‍රීවිල් බළකායෙන් අපිට තොරතුරු ලැබෙනවා. හැම තැනම පොලිස් බැරියර් දාලා. බස් හරවලා යවනවා’ නලින් බණ්ඩාර කීවේ කොළඹ නගරයේ ත‍්‍රීරෝද රථ රියැදුරන්ගෙන් තොරතුරු එක් කිරීම සඳහා වූ මෙහෙයුම ගැනත් පැහැදිලි කරමිනි.

බයවෙන්න එපා! සෙනග එනවා!

‘ආණ්ඩුව මොන මර්දනය කළත් අපිව මර්දනය කරන්න බෑ. බය වෙන්න එපා. විරෝධතාවය සාර්ථක වෙනවා…’ හරින් කීවේ අභ්‍යන්තර රහස් සැලසුමේ තවත් තොරතුරු කිහිපයක් කියමිනි.

ඒ වන විට මැද කොළඹ සහ කොළඹ නගර සභා බල ප‍්‍රදේශයෙන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියේ පයිනි. එකිනෙකා බැගින් පැමිණි ඔවුන් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන විට ඒ අවට මාර්ගය එකම හිස් ගොඩක් බවට පත්ව තිබුණි.

තියන තැනේ රහස!

ආණ්ඩුවද සජබ පෙළපාළිය පවත්වන්න යන්නේ කොතැනද යන්න සිතාගත නොහැකිව කොළඹ ප්‍රධාන පිට්ටනි වූ හයිඩ් පිටිය, කැම්බල් පිටිය සහ විහාරමහා දේවි උiානයට විශාල ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන තිබිණි. නමුත් රාජිත, මරික්කාර්, හරීන්, මනුෂගේ සැලසුම වී තිබුණේ වෙනම එකකි.

‘දැන් මෙතැන නිකම් විරෝධතාවක් කරන්න බෑ. විරෝධතාව පෙළපාළියක් විදියට ඉදිරියට අරගෙන යන්න ඕනෙ’ රාජිත පැවැසුවේ ඒ අනුවය.

ඒ අනුව සජිත් විරෝධතාව පැවැත්වන විපක්ෂ නායක කාර්යාලය දෙසට පැමිණි අතර ඔහුට විපක්ෂ නායක කාර්යාලයට පැමිණීමට නොහැකි වූයේ ඒ පෙදෙසම එකම හිස්ගොඩක් වී තිබූ නිසාය. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය තුළට යන අදහස අතහැර ගත් සජිත් විරෝධාතාවයට එක්විය. සජිත්ගේ එක් පසෙකින් පාඨලී චම්පික රණවක සිටි අතර අනෙක් පසින් රාජිත සේනාරත්න විය. ඇතැම් විටක විරෝධතාකරුවන් වේගයෙන් ඉදිරියට යන්නට වූ අතර සජිත් චම්පික, රාජිත, දිගම්බරන්, මද්දුමබණ්ඩාර ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ අත් දැඩිව අල්ලා ගනිමින් ඉදිරියටම ගමන් කළහ.

අරලියගහ මන්දිරය පැත්තට හැරෙයි!

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, හරින්, මනුෂ, මරික්කාර්, නලින් බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙක් විරෝධතාවය සංවිධානය කරමින් ක්‍රමයෙන් ඉදිරියට යන ආකාරය ගැන ක්ෂණික තීරණ ගත්තේය.

‘අපි දැන් මේක ලිබර්ටි වටරවුම පැත්තට අරගෙන යමු. එතැනදී නායකතුමාට කතාවක් කරන්න කියමු’ ඔවුන් විරෝධතාව ලිබර්ටි වටරවුම දෙසට හැරවූයේ කලින් සැලසුම් කරගත් දෙවැනි සැලසුම ක්‍රියාවට නඟමිනි.

එතැනදී සජිත් මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබාදෙන විට නැවත වරක් මෙහෙයුමේ ප‍්‍රධානීහු වටරවුමට වී තවත් සාකච්ඡාවක් කළහ. ඒ රහස් සාකච්ඡාවේදී යළිත් තීරණය වූයේ විරෝධතාවය අරලියගහ මන්දිරය දෙසට රැගෙන යාමටය.

මහ වැසි මැද ඉදිරියට

කොල්ලු‍පිටිය මංසන්ධියේ සිට අරලියගහ මන්දිරය දෙසට විරෝධතා පෙළපාලිය ගමන් කරන විට වැස්සක් ඇදහැළුණේය. වැස්ස නොතකා පිරිස ඉදිරියට ගමන් කළ අතර ටික වේලාවකින් ආරක්ෂක නිලධාරියෙක් පැමිණ සජිත්ට කුඩයක් දුන්නේය. සජිත් කුඩය රැගෙන උසින් වැඩි චම්පිකට ඉසුලු‍වේය. චම්පිකද තරමක් පහතට වී සජිත්ගේ කුඩය යටට වූ අතර වැස්ස අවසන් වන තුරු සජිත් කුඩය අතහැරියේ නැත්තේ සිය සටන් සගයන් ආරක්ෂා කරමිනි.

මේ අතර නලින් තවත් මෙහෙයුමක යෙදී සිටියේය. ඒ, සජිත්ට කතා කිරීමට වාහනයක සවිකළ ශබ්ද විකාශන යන්ත‍්‍ර කාටත් හොරා විරෝධාතාවට ගෙන ඒමය. කොටුව දෙස සිට වාහනයක සැඟවූ ශබ්ද විකාශන යන්ත‍්‍රය කොල්ලු‍පිටිය දෙසට පැමිණ විරෝධතාවයට එක්වූ අතර හරින්, මනුෂ සහ මරික්කාර් වාහනයේ බොනට්ටුව මතට නැගී මයික්‍රෆෝනයෙන් විරෝධතා සටන් පාඨ කියමින් ඉදිරියටම ගමන් කළහ. ඔවුන් ගමන් කළ රථය තරමක් වේගයෙන් ගමන් කළ නිසා විරෝධතාවට තරමක් ඉදිරියෙන් එය ගමන් කළේය.

නලින් හංගන් ආ දේ!

සජිත් කීවේ විරෝධතාව අරලියගහ මන්දිරයත් පසුකරගෙන ගෝල්ෆේස් වටරවුමට පැමිණ විරෝධතා රැළියක් පැවැත්විය යුතු බවය. ඒ අනුව තරමක් ඉදිරියෙන් ගිය ශබ්ද විකාශන යන්ත‍්‍රය රැගත් වාහනය නැවත හරවාගෙන ගෝල්ෆේස් වටරවුමට පැමිණියේය. එහි කිසිදු වේදිකාවක් නොවූ අතර ශබ්දවිකාශන යන්ත‍්‍රය රැගෙන පැමිණි වාහනය සජිත්ගේ වේදිකාව බවට පත්විය.

‘රට දිනවන පොදු ජන අරගලය අපි ආරම්භ කරලා තියෙනවා.’දහසක් අභියෝග අප‍්‍රමාණ බාධක මැද පැමිණි මේ ජන ගංගාව ඔප්පුකර ඇත්තේ මේ අත්තනෝමතික ආණ්ඩුවට එරෙහි අරගලයේ ආරම්භයයි…’ යැයි කියමින් එහිදී සජිත් දැඩි කතාවක් කළේය.

ඒ අනුව විරෝධතාව සාර්ථකව අවසන් කළ මන්ත‍්‍රීවරුන් එදින රාත‍්‍රියේදී නැවත හමුවූයේ ආණ්ඩුවේ මර්දනය මැද කළ විරෝධය ගැන සාකච්ඡා කිරීමටය.
‘බය නැති මිනිස්සු කොළඹට ආවා. ආණ්ඩුව අපි බයකරන්න හැදුවට මේ රටේ මිනිස්සු බය නැති බව බය ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ…’ මනුෂ කීවේය.

‘මේ, විරෝධතාවල ආරම්භය විතරයි. ආණ්ඩුව එළවනතුරු අපි මේ සටන ඉදිරියටම අරගෙන යන්න ඕනේ… මන්ත‍්‍රීවරු සියල්ලෝම එක හඬින් පැවැසූහ.’

උපන්දිනය දා මහින්ද නෙට්ෆ්ලික්ස් එකේ බලපු ෆිල්ම් එක!

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණයත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වැනි ජන්ම දිනයත් යෙදී තිබුණේද පසුගිය සතියටය. ඒ අනුව මේ අවස්ථාවන් දෙකම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඉතා ඉහලින් සැමරීමට කටයුතු කරන ආකාරය දැකගත හැකි විය.

ඒ අනුව මුලින්ම මහින්ද සිය උපන්දින කේක් ගෙඩිය කැපුවේ රෝහිත රාජපක්ෂගේ නිවෙසේදීය. එම අවස්ථාවට නාමල්, යෝෂිත ඇතුළු පවුලේ ළඟම කිහිප දෙනා පමණක් එක්ව සිටීම විශේෂත්වයක් විය. එදින රාත්‍රී රෝහිතගේ නිවෙසට පැමිණි මහින්ද මධ්‍යම රාත්‍රිය උදාවන තෙක් කලේ සියලු දෙනා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ‘නෙට්ෆ්ලික්ස්’ නාලිකාවේ චිත්‍රපටයක් නැරඹීමය. ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේදී සියලු දෙනා සමග එක්ව කේක් කැපීමට මහින්ද පියවර ගත්තේය.

මුරුත්තෙට්ටුවේ හිමිගේ කිරිඅම්මලාගේ දානය!

ඊට පසු දින එනම් උපන් දිනය යෙදී තිබුණු පොහෝ දින මහින්ද අලුයම් කාලයේදී පළමුවෙන්ම ගියේ නාරාහේන්පිට අභයාරාමයටය. ඒ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සුපුරුදු පරිදි සංවිධාන කරන කිරිඅම්මාවරුන්ගේ දානයට සහභාගි වීමටය. ඉන් අනතුරුව අරලියගහ මන්දිරයේ පැවැති ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාවට සහභාගි වූ මහින්ද, ඉන් අනතුරුව කෙළින්ම පවුලේ උදවිය සමග අනුරාධපුරය බලා පිටත්ව ගියේ එදින සවස් වරුවේ සිදුකිරීමට නියමිතව තිබූ ‘සඳහිරු සෑය’ චෛත්‍යය සසුනට පූජා කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහාය. මෙම ‘සඳහිරු සෑය’ ඉදිවූයේ යුද්ධයේදී මියගිය රණවරුවන් සිහිකිරීම සඳහාත්, ඔවුන්ට පින් පැමිණවීම සඳහාත්ය.

රාජකීය රාජ භෝජනය!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය සහෝදරයා වූ මහින්දගේ උපන්දිනය නිමිති කරගෙන ‘සඳහිරු සෑය’ විවෘත කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන් සඳහා සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුරාධපුර ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට කටයුතු කළේය. එම රාත්‍රී භෝජන සංග්‍රහයට මැති ඇමැතිවරුන් පමණක් නොව ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරුන්ද, ආරක්ෂක අංශ නිලධාරීන්ද, පොලිස් නිලධාරීන්ද ඇතුළු විශාල පිරිසකට ආරාධනා කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. එම ආරාධනාවට අනුව බ්‍රහස්පතින්දා සවස් වන විට අනුරාධපුරය බලා පැමිණි මැති ඇමැතිවරුන්ගෙන් ඒ අවට හෝටල් සියල්ලම පාහේ පිරීගොස් තිබුණු ආකාරයක්ද දැකගත හැකි විය.

කෑම වෝටර්ස් එජ් එකෙන්!

එදින රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහයට සියලු ආහාර ඇනවුම් කර තිබුණේ වෝටර්ස් එජ් හෝටලයෙනි. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, මස් මාළු ආදියෙන් භෝජන සංග්‍රහය රසවත් වී තිබිණි. මැති ඇමැතිවරුන්ට එක් ශාලාවකුත්, අනෙක් ශාලාව ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරුන්ටත්, අනෙක් ශාලාව ආරක්ෂක අංශ නිලධාරීන්ටත් වෙන්කර තිබූ අතර රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ඒ හැම ශාලාවකටම යමින් ජනාධිපතිවරයා ඔවුන් සමග කතාබහ කරන ආකාරයක්ද දැකගත හැකි විය.

පළමුවරට මහින්ද රජගෙදර රාත්‍රිය ගත කරයි!

පසුව එදින රාත්‍රිය ජනාධිපතිවරයා සහ ජනාධිපති බිරියත්, අගමැතිවරයා හා අගමැති බිරිය වූ ශිරන්තිත් ගත කළේ මේ ජනාධිපති මන්දිරයේය. එහිද යම් විශේෂත්වයක් තිබේ. ඒ, මහින්ද පළමු වරට මෙම ජනාධිපති මන්දිරයේ රැයක් ගතකිරීමය. මහින්ද ජනාධිපතිවරයාව සිටි වසර 10ක කාලය තුළ අනන්තවත් අනුරාධපුරයේ පැමිණ රාත්‍රියේ නවාතැන් ගත්තත්, ජනධිපති මන්දිරයේ නැවතුණේ නැත. ඒ වෙනුවට මහින්ද නවාතැන් ගත්තේ සිය අතිජාත මිත්‍රයකු වූ ප්‍රකට බස් ව්‍යාපාරික ඩී.එස්. ගුණසේකරගේ නිවෙසේය. එකල ගුණසේකර නිවෙසේ මහින්ද වෙනුවෙන්ම සකස් කළ වෙනම කොටසක්ද තිබිණි. කෙසේ වෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය මහින්දගේ උපන්දිනය නිමිති කරගෙන පැවැත්වූ ජනාධිපතිවරයා සිය පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිකුරාදා දිනයේ දිවා භෝජන සංග්‍රහයක්ද සූදානම් කළේය. ඊටද ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට, දේශපාලන ප්‍රධානීන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඊට අමතරව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසකටද ඒ සඳහා ඇරයුම් කිරීමට පියවර ගත්තේය.

සුමන්තිරන්ලා අමෙරිකාවේ

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලද විශේෂ ආරාධනාවක් අනුව ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවකි. මෙම ගමනට දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට අමතරව තවත් නීතිඥයන් දෙදෙනකුද එක්වන බව අපි එහිදී සඳහන් කර සිටියෙමු.

කෙසේ වෙතත් සුමන්තිරන්ලාගේ මෙම ඇමෙරිකානු සංචාරය හිතුවාට වඩා බරපතළ සහ සැලසුම්සහගත එකක් බව මේ වන විට ආණ්ඩුවටද දැනගන්නට ලැබී තිබේ. ඒ, ඔවුන් මෙම සංචාරයේදී ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඉලක්ක කර ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබීම නිසාය. මෙම සංචාරයේදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඇමෙරිකාවේ සිටින දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානම් සිටින බවද දැනගන්නට ඇත.

ඩයස්පෝරා සාකච්ජාවක්

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයට අමතරව වෙනත් රටවල සිටින දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ද මේ දිනවල වොෂින්ටන් බලා පැමිණ ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අතර බි්‍රතාන්‍යයේ සිටින දෙමළ ඩයස්පෝරා නායකයන් වන සුරේන් සුරේන්දිරන් සහ රුද්‍රකුමාරන්ද සිටින බව දැනගන්නට තිබේ. එහිදී සුමන්තිරන් ඔවුන් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම ඇමෙරිකානු සංචාරයෙන් අනතුරුව සුමන්තිරන් යෑමට නියමිතව ඇත්තේ කැනඩාවටය. සුමන්තිරන් සමග ගිය නීතිඥවරුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ලංකාවෙන් තවත් එක් නියෝජිතයකු කැනඩාව බලා පිටත්ව යෑමටද නියමිතය. ඒ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්ය. ඒ අනුව මේ දෙදෙනාම කැනඩාවේ සිදුකරන සංචාරයෙන් අනතුරුව යළිත් වතාවක් බි්‍රතාන්‍යය බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ජනපති සුමන්තිරන්ට කියපු කතාව

කෙසේ වෙතත් සුමන්තිරන් ලංකාවෙන් පිටත්ව යෑමට ප්‍රථම පසුගිය 12 වැනිදා සවස පාර්ලිමේන්තුවේ පැවැති අයවැය තේපැන් සංග්‍රහයේදී ජනාධිපතිවරයා මුණගැසිණි. එහිදී ජනාධිපතිවරයා සුමන්තිරන්ගේ පිටට තට්ටුවක් දමමින් විමසා සිටියේ, ‘අපි කවද්ද හම්බවෙන්නේ…?’ යනුවෙනි. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් සුමන්තිරන් කීවේ තමන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවත්, එම ගමනින් පසු හමුවිය හැකි බවත්ය. ‘ඔව් ඔව් මටත් ආරංචියි ඔයාලා ඇමෙරිකාවෙ යනවා කියලා. ඒ ගිහින් ආවට පස්සේ අපි හම්බවෙමු…’ යනුවෙන් ජනාධිපතිවරයාද එහිදී ප්‍රතිචාර දක්වනු දැකගත හැකි විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

චීන අසූචි නැව ඉදිරියේ ආණ්ඩුව දණ ගහයි! ඩොලර් මිලියන 6.7ක් චීන සමාගමට ගෙවා ‌වැඩේ ගොඩින් බේරගන්න තීන්දු කරයි!

Next Post

කාබනික පොහොරත් රිවස්! මහ කන්නෙට රසායනික පොහොර ගෙන්වන්න තීන්දු කරයි!

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.