ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කාර්යමණ්ඩලයේ 390 දෙනෙකු වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් හාර කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ගෙවීම් කර ඇත්තේ 2017 ජනවාරි පළවෙනිදා සිට 2020 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලයේදී යැයි එම කාර්යාලය පවසයි.
මේ අතර බැඳුම්කර ගිවිසුම කඩ කිරීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 6 දෙනෙකුගෙන් 2020 වර්ෂයේදී රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය විය යුතුව තිබුණු බවද එම වාර්තාවේ දැක්වේ.
විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජීව විද්‍යාගාරය සඳහා 2016 වර්ෂයේදී රුපියල් ලක්ෂ විසි පහකට වැඩි මුදලකින් මිලදීගෙන තිබූ වර්ග අටකට අයත් වීදුරු ද්‍රව්‍ය ඒකක 70 ක්ද රුපියල් කෝටියකට වැඩි මුදලකින් 2019 වර්ෂයේදී මිලදීගෙන තිබූ උපකරණ හතරක් වසර හතරකට අධික කාලයක් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතුණු බව විගණන අංශ නිලධාරීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දෙන විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ බැඳුම්කර කොන්දේසි කඩකළ එම ආචාර්යවරුන්ගේ හිඟ මුදල් කොටසක් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලින් අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවයි.
විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා කාර්යාල ඉදිකරනු ලැබුවේ සිසුන්ගේ මූලික යටිතල පහසුකම් ලබාදුන් පසුව බවත් කාර්ය මණ්ඩලය විශාලවීම හේතුවෙන් නේවාසිකාගාර පහසුකම් ලබාදීමට නොහැකිවීම නිසා එම නිවාස කුලිය ගෙවූ බවත් පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.