අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මිය අද (11) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
තමන් හෝ දරුවන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ නොවුණද දිගින් දිගටම තමන් හට මඩ ප්‍රචාර එල්ල වෙමින් පවතින බව කියමින් ශෂී වීරවංශ මහත්මිය පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසද ඇය ඉල්ලීමක් කොට ඇත.
කිසියම් පිරිසක් විසින් දිගින් දිගටම තමන්ව ඉල්ලක්ක කරමින් මෙසේ මඩ ප්‍රචාරයන් සිදු කරන බවත් මෙතෙක් එවැනි දෑ ඉවසුවද ඒ සම්බන්ධයෙන් දැන් ක්‍රියාත්මක විය යුතු බව තමාට හැඟුණු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සදහන් කළාය.
“මම දැකලාවත් නැති පුද්ගලයෙක් සම්බන්ධව මෙහෙම කරන කොට ඇත්තටම දරා ගන්න බැරි උනා. මට ලොකු දරුවො දෙන්නෙක් ඉන්නවා. ඇයි මේ? දේශපාලඥයො ගැන හොයන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒත් ඒකට හයියක් නැතුව බෙලහීන විදිහට අඹු දරුවො පටලගන්න එක නින්දා සහගතයි, ලැජ්ජයි!” යැයි ඇය පැවසුවාය.









