ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ විදේශ සැපයුම්කරුවන් වෙතින් රථ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයෝ පිරිසක් අදාළ රථ වාහන නැව්ගත කිරීමට අවසර ලබාදෙන මෙන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති ‘2020 මාර්තු 19 දිනට පෙර ණයවර ලිපි විවෘත කළ හා ආනයන තහනම නිසා බලපෑමට ලක්වූ වෘත්තිකයනගේ සමූහය’ නම් වූ එකතුවට වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, කථිකාචාර්යවරුන්, ගණකාධිකාරිවරුන් සහ වෙනත් රජයේ විධායක නිලධාරී තනතුරු දරන වෘත්තිකයන් 300කට අධික පිරිසක් ඇතුළත් වෙති.
මෙම වෘත්තිකයන් සිය පුද්ගලික පරිහරණය වෙනුවෙන් රථ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති අතර, ඇතැම් අය ඇණවුම් ලබාදී ඇත්තේ 2019 ඔක්තෝබර් 31 දිනට පවා පෙරය.
කොවිඞ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ ලොව පුරා විවිධ බාධාවන් නිර්මාණය වීම නිසා මෙම වාහන ආනයන කිරීමේ කටයුතුද ප්‍රමාද විය.
එහෙත් 2020 මැයි මස අවසාන භාගයේදී මෙම වාහන නැව්ගත කිරීමේ කටයුතු සූදානම් කර තිබුණද, පසුව ගැසට් අංක 2176/19ට අනුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් 2020 මැයි මස 21 වන දිනට පසුව වාහන නැව්ගත කිරීම සීමා කරමින් 2020 මැයි මස 29 වන දින චක්‍රලේඛයක් නිකුත් කර තිබූ නිසා එම වාහන නැව්ගත කිරීමට නොහැකි විය.
කෙසේ වුවද මෙම තහනම හමුවේ පවා ඇතැම් පාර්ශ්වයන් විසින් චක්‍රලේඛයන් උල්ලංඝනය කරමින් 2020 මැයි 21 දිනට පසුවද වාහන නැව්ගත කිරීම් කටයුතු සිදුකළ බව අනාවරණය වී තිබේ.
එසේ වුවත් ආනයනය සහ අපනයනය පාලන දෙපාර්තමේන්තුව විසින් අතීත දිනයන්ට පමණක් බලපාන පරිදි තවත් චක්‍රලේඛ 2ක් නිකුත් කරමින් 2020/05/21 දිනට පසු ඇතැම් පාර්ශ්වයන් අයථා අන්දමින් නැව්ගත කරන ලද වාහන නිදහස් කර ගැනීම සඳහා අවසර ලබාදී ඇති බවට මෙම නිලධාරීන් චෝදනා කරයි.
උදාහරණයක් ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අතීත දිනයකට පමණක් බලපාන පරිදි 2020/06/19 දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් 2020/06/16 දින දක්වා නැව්ගත කර ලද වාහන හා 2020/07/10 දින නිකුත් කරන ලද චක්‍රලේඛයත් මගින් 2020/06/26 දක්වා නැව්ගත කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවකාශය ලබාදීම තුළින් අයථා අන්දමින් වාහන නැව්ගත කරන ලද පාර්ශ්වයන්ට නීතියේ රැකවරණය ලබාදී ඇති බැව් ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව වාහන ආනයන තහනම උල්ලංඝනය කරමින් 2020/05/21 දින සිට 2020/06/21 දින දක්වා අයථා ලෙස නැව්ගත කරන ලද වාහන මේ වන විට නිදහස් කර ගැනීමට අවකාශය ලැබී ඇත.
එක් පාර්ශ්වයකට පමණක් වාසි සහගත වන අයුරින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛ 2ක සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට ඍජුව චෝදනා එල්ල නොකරන නමුත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වීම තුළින් මෙම චක්‍රලේඛ නිකුත් කිරීම සිදුවන්නට ඇතැයි ඔවුන් සැක පහළ කරයි.
ඒ අනුව මෙම චක්‍රලේඛයට අනුකූලව නීතිගරුකව කටයුතු කිරීම නිසා රජයේ වෘත්තිකයන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 300 දෙනකු පමණ නැවත නැවැතත් දැඩි අසාධාරණයකට ලක්වී ඇති බව ඔවුන් දන්වා සිටී.
සැප්තැම්බර් මාසයේදී මෙම ගැටලුව අවධාරණය කරමින් බලධාරීන් වෙත ලිපි යොමු කරන ලද නමුත් ඒ සඳහා තවමත් ප්‍රතිචාර ලැබී නොමැත.
එමෙන්ම තවත් සංවිධාන රාශියක්ද මේ වන විට මෙම ගැටලුව විසඳා ගැනීමේ අරමුණින් බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
මොවුන්ගේ ඇනවුම් මත නිෂ්පාදනය කරන ලද වාහන 300 පමණ 2020 මැයි මස අගභාගයේ සිට නැව්ගත කිරීම සඳහා සූදානමින් තිබූ අතර එම වාහනවලින් වාහන 120ක් මාස 05ක් තිස්සේ සිංගප්පූරු වරායේ ගාල්කර ඇති අතර, ඉතිරි වාහන 180 විදේශ සැපයුම්කරුවන්ගේ වාහන අංගනවල ගාල් කර ඇති බැව් කියා සිටී.
මේ වන විට විදේශ වරායන්හි ගාල් කර ඇති එම එක් වාහනයක් සඳහා රු. ලක්ෂ 6ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු බැව්ද, මීට අමතරව දේශීය සැපයුම්කරුවන් වෙත නියෝජිත ගාස්තු වශයෙන් රු. ලක්ෂ 3-5ත් අතර මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතත් ඒවා නැවැත ලබාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව්ද මොවුන් ප්‍රකාශ කර සිටී.
මොවුන් අතරින් ඇතැමෙකු ණයවර ලිපි විවෘත කිරීම සඳහා මුදල් ලබා ගැනීමට එතෙක් භාවිතා කළ වාහන විකුණා ඇති අතර තවත් අයකු බැංකුවලින් ණයද ලබාගෙන මේ සඳහා යොදවා ඇතත් අවසානයේදී සිදුවී ඇත්තේ බැංකු ණය සඳහා පොලී ගෙවීමටත්, පෞද්ගලික වාහන මොැති නිසා කුලී වාහන මගින් රාජකාරි වාර්තා කිරීමටත් පමණක් බව ඔවුන් දැඩි කළකිරීමෙන් යුතුව ප්‍රකාශ කරයි.
මෙම වාහන ‘වෙනස් කළ නොහැකි ණයවර ලිපිය යටතේ’ ඇනවුම් කර ඇති බැවින් දෙපාර්ශ්වයම මූල්‍ය අලාභයක් නොවන පරිදි එම ගිවිසුම් අවලංගු කළ නොහැකි අතර, එසේ අවලංගු කිරීම ජාත්‍යන්තර ආනයන නීති උල්ලංඝනය කිරීමක් බැවින් අප වෙත සිදුවන මූල්‍යමය පාඩු වළක්වා ගත නොහැකි බැව්ද ඔවුන් පෙන්වා දෙයි.
රටේ පවතින විදේශ විණිමය දුෂ්කරතා පිළිබඳව විදේශ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කළ පසුව එම වාහන නැව්ගත කළ දිනයේ සිට දින 365ක් ණය සහන කාලසීමාවක් ලබාදීමට විදේශ සැපයුම්කරුවන් කැමැත්ත පලකර ඇති බැව් ඔවුන් ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මෙම සමූහය රජයෙන් ඉල්ලා සිටින්නේ 2020 මාර්තු 19 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළ වාහන දින 365ක ණය කාලසීමාවක් යටතේ නිශ්චිත කාලරාමුවක් තුළ නැව්ගත කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.
2020 මැයි 21 දින රජය විසින් පනවන ලද නව ආනයන සීමාවන් අනුව නැව්ගත කිරීම අත්හිටුවා ඇති බැවින් 2019 ඔක්තෝබර් 31 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළ රථ වාහන මීට පෙර පැවැති ආනයන බදු ව්‍යුහය යටතේ නිදහස් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසද මෙම සමූහය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.
එමෙන්ම මෙම දුෂ්කර කාලසීමාවේදී ආනයන තහනමක් පැනවීම සඳහා රජය තීරණය කිරීමට බලපෑ හේතු මෙම සමූහයේ සාමාජිකයන්ට මැනවින් වැටහෙන නමුත්, තවදුරටත් මෙම වාහන සම්බන්ධයෙන් ප්‍රමාද ගාස්තු ගෙවමින් බලා සිටීම නිශ්ඵල බැවින් දැනටමත් අප සියලුදෙනා හසුවී සිටින උගුලෙන් බේරීමට රජයෙන් සහනයක් ලබාගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බැව් මෙම සමූහය අදාළ බලධාරීන් වෙත කාරුණිකව දන්වා සිටී.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා සහ ඍජුව සාමාජිකයන් හා සම්බන්ධ වීම සඳහා කරුණාකර 071152333 අංකය අමතන්න.